පිළිම වහන්සේලා සහ වෙනත් වහන්සේලා – අනුර සූරියබණ්ඩාර

රුපියල් ලක්ෂ 32ක බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා රේගුවේ සිරවී තිබුණු බෝධිසත්ව පිළිම සහ බුද්ධ ප්‍රතිමා විසිනමක් සහ තුන් සූත්‍රය සහිත අධිතාක්ෂණික උපකරණ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාගේ මැදිහත් වීමෙන් රේගුවෙන් නිදහස් කර විහාරස්ථාන වෙත බෙදා දුන් බව 2018 මැයි 22 පුවත්පතක් වාර්තා කර තිබුණි.

එකී පුවත්පත් වාර්තාවට අනුව ජනාධිපතිවරයා පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ,කතානායක කරූ ජයසූරිය ,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,සජිත් ප්‍රේමදාස ,වජිර අබේගුණවර්ධන ,ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍ය වරු මෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුලු අමාත්‍යාංශ ලේකම්වරු කිහිපදෙනෙක්ද ඊට උදව් කල බව උත්සව සභාව අමතමින් වලවාහැංගුණු වැව ධම්මරතන හිමියන් පවසා තිබුණි.

උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ රේගු බදු නොගෙවා පිළිම සහ අනෙකුත් උපකරණ නිදහස් නොකිරීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ලෝකවාසී බෞද්ධ පමණක් නොව බෞද්ධ නොවන ජනතාවටත් මහත් කම්පන තරංගයක් නිකුත් වූ බවයි . කොරියාව ,ජපානය ,චීනය ,ඇමරිකාව ,ඕස්ට්‍රේලියාව රටවලත් අන්තර්ජාලය ඔස්සේ පුවත පැතිරී එහි සිටින බෞද්ධයන් දුරකථනයෙන් ,ඊමේල් පණිවිඩ වලින් මුදල් දෙන්න කතා කළ බවයි . බැංකු ගිණුම් අංක ඉල්ලූ බවයි. ඔවුනට දීමට ගිණුම් අංක උන්වහන්සේට නොතිබුණු බවයි. එබැවින් රටේ නායකයන් මොනවා හෝ නොකලහොත් මුදල් එකතු කරමුයි කී බවයි. උන්වහන්සේ තවදුරටත් කියා තිබුණේ සීදූවේ කතෝලික තරුණයෙකු විහාරයට පැමිණ සියලු මුදල් දෙන්නට පොරොන්දු වූ බවයි .

වලවාහැංගුණු වැව හිමියන් යනු මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් සහ භාරකාර හිමියන්ය. මිහින්තලේ රජමහා විහාරයට යනු විශාල වශයෙන් පඩුරු මුදල් එක්රැස්වන ස්ථානයකි.එවැනි ස්ථානය ක හිමිනමකට පෞද්ගලික බැංකු ගිණුමක් නැතැයි යන කියුම කෙසේහෝ පිලිගත්තා වුව,විහාරස්ථානය වෙනුවෙන් හෝ ගිණුමක් නැතැයි පිලිගැනීම අසීරුය . ඒ නැතත් ගිණුමක් ආරම්භ කර හෝ මුදල් ගෙන්වා ගන්නට පුලුවන. නැතිනම් විශ්වාසවන්තයකුගේ ගිණුමක් ඔස්සේ ගෙන්වා ගන්නට වුවද හැකියාව ඇත.සීදූවේ කතෝලික තරුණයාගේ මාර්ගයෙන් රේගුවට බදු ගෙවන්නට සලස්වා පිළිම වහන්සේ නිදහස් කරගන්නටද තිබුණි.

එවන් ක්‍රියාමාර්ගයකට ගියේ නම් මහා භාණ්ඩාගාරයට ලක්ෂ 32ක මුදලක් පාඩු නොකර පිළිම නිදහස් කරගන්නට තිබුණි .මහා භාණ්ඩාගාරයේ මුදල් යනු රටේ බෞද්ධ අබෞද්ධ ආගමක් ඇති නැති කාගේත් ධනය බැවිනි . ඊලඟ කරුණ වන්නේ බෝධිසත්ව පිළිම මෙරටට කුමකටද යන්නයි.බුද්ධ වන්දනාව මිස බෝධිසත්ව වන්දනාවක් මෙරට බෞද්ධ සම්ප්‍රදායේ නොමැති බැවිනි .බෝධිසත්ව වන්දනාව අයත්වන්නේ චීනය ,ජපානය ,නවසීලන්තය ,කොරියාව ,වියට්නාමය ආදී රටවල පැතිර පවතින මහායාන බෞද්ධ සම්ප්‍රදායට වන නිසාය .

බුද්ධ ප්‍රතිමා සම්බන්ධව ගත් කලද ශ්‍රීලංකාවේ බෞද්ධ සම්ප්‍රදායට අනුකූල බුද්ධ ප්‍රතිමා කලාවක්මෙරට තිබේ.අපේ බුද්ධ ප්‍රතිමාව රුව සම්බන්ධයෙන් ගත්තද තායි ආදී බුද්ධ ප්‍රතිමා ඉක්මවා යන්නකි.එසේවුව මෑතක සිට තායි ආදී බුද්ධ ප්‍රතිමා මෙරට බෙහෙවින් ප්‍රචලිත වෙමින් පවති. එක අතකින් ගත්කල එය සංස්කෘතික ආක්‍රමණයක් තරමටම බලවත් වී තිබේ. සංස්කෘතික ආක්‍රමණයක් නම් ඊට අනුබල දෙමින් සිටින්නේද බෞද්ධ භික්ෂූන් වීම කණගාටුවට කරුණකි. යම් රටකින් හෝ සංවිධානයකින් නොමිලේ දුන් පළියටම වගවිභාගයකින් තොරව සියල්ල භාර ගැනීම බුද්ධ පුත්‍රයනට පමණක් නොව මෙරට සංස්කෘතියට කොයිතරම් එකගද සිතා බැලිය යුතුය.

රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු මේවනවිටත් අධිකරණය හමුවට පමුණුවා ඇත්තේ සිල්‍ රෙදි බෙදාදීමේ වරදට චෝදනා ලැබ සිටින බැවිනි . එකී චෝදනාව වන්නේද රාජ්‍ය අරමුදල් වියදම් කර සිල්‍ රෙදි බෙදාදුන් බවටය.මැතිවරණයක් ආසන්නයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් එසේ කළේය. යන තර්කය මෙන්ම එවැන්නකට රාජ්‍ය අරමුදල් යෙදවීමද වරදක් වන්නේය .
කවර තත්ත්වයක් යටතේ වුව රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු මුදලක් නොලැබී යන තැනට කටයුතු කිරීමද වරදක් බව අපගේ හැගීමය. ලක්ෂ 32ක බදු භාණ්ඩාගාරයෙන් ගෙවා පිළිම නිදහස් කිරීමෙන් රජයට පාඩුවක් සිදුවී තිබේ.එහි වග උත්තරකරුවන් වන්නේ ජනාධිපති ,අගමැති ,කතානායක ,ඇමතිවරු කිහිපදෙනෙක්,නියෝජ්‍ය ඇමතිවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙක් බව වලවාහැංගුණු වැව හිමියන්ගේ කතාව අනුව පැහැදිලි වේ.

බුදු පිළිම රේගු බදුවලින් තොරව නිදහස් කිරීම ආගමික භක්තිය පෙරදැරිව කල කටයුත්තක්ය යන අදහසින් සමාව දියහැකි යැයි කෙනෙකු කිව හැකිය. එය එසේයැයි මදකට හෝ පිළිගත්තා වුවද වෙනත් ආකාරයකින් බදු මුදල් ගෙවිය හැකිව තිබියදී එනම්,එම බදු මුදල ගෙවීමට දායකවීමට පුද්ගලයන් ඉදිරිපත් වෙමින් සිටියදි රජය පාඩු විදිමින් පිළිම රේගුවෙන් නිදහස් කිරීම අවශ්‍ය නැත. රේගු බදු අවලංගු කරන්නට මැදිහත් වී,කැමැත්තෙන් පසුවන්නන් ලවා බදු මුදල් ගෙවීමට සලස්වන්නට තිබුණි.

ආධාර ගෙන්වා ගැනීමට තිබූ බාධකය බැංකු ගිණුම නම් බැංකු ගිණුම් ප්‍රශ්නය විසදා දෙන්නට මැදිහත් වන්නට ඉහත පිරිසට හැකියාව තිබුණි . ජනාධිපතිගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා පිරිස එවැන්නකට යොමු නොවීම අවාසනාවකි. පිළිම වහන්සේලා ට බදු අය නොකර ඒ සදහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීමට කටයුතු කල සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාදෙන බව වලවාහැංගුණු වැවේ හිමියන් පිළිම බෙදාදීමේ උත්සවයේදී කියා තිබුණද උන්වහන්සේගේ එම ආශිර්වාදය සියලු ශ්‍රීලංකා වාසී බෞද්ධ අබෞද්ධ අනාගාමික ජනතාව විදිය යුතුය . භාණ්ඩාගාරයේ මුදල් යනු ජනපති,අගමැති ,මැති ඇමති අමාත්‍යාංශ ලේකම් වරුන්ගේ පෞද්ගලික බූදලය නොව සමස්ත ජනතාවගේම අයිතිය වන බැවිනි .

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *