|

පෙරහැරේ යන්න හදන ගෝඨාට කොට අදින බැසිල් පිලේ විරෝධය

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පසුගිය වසරේ ආරම්භ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුවයි. ගම් මට්ටමින් ක්‍රියා කරමින් කෘෂිකර්මාන්තය මෙන්ම ග්‍රාමීය කර්මාන්තද නඟා සිටුවීම මෙම ව්‍යාපාරයේ අරමුණ වෙනවා. ගැමි ජනයාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම එමඟින් සිදුවනු ඇති.

රට පුරා ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා පැවතුනේ බදුල්ල නගරයේ දී යි. ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරිහු මෙන්ම දේශපාලන නියේජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුන්ද ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතාද ඩිලාන් පෙරේරා ඇමැතිවරයාද මේ අවස්ථාවට එක්ව සිටියා.

ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙන්ම ගැමි ජනතාවගේ ගැටලු ගැනද එහි දී සාකච්ඡා කළා. එම ගැටලුවලට සාවදානව සවන්දුන් ජනාධිපතිතුමා එම ගැටලු විසඳීමට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නා. ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ අරමුණු යථාර්ථයක් කරගැනීමට දේශපාලන භේදයෙන් තොරව එක්වන ලෙස මෙහි දී ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

වැලිමඩ, ඌව පරණගම හා හපුතලේ ප්‍රදේශවල ක්‍රියාත්මකකොට ඇති විසිතුරු මල් වගා කිරීමේ ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා ගිවිසුම් අත්සන් කිරීමද මේ අවස්ථාවේ සිදුවුණා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ හේලීස් ආයතනයේ දායකත්වයෙන්. ඌව පළාත් ග්‍රාම ශක්ති මල් සංගමය සහ හේලීස් ආයතනය අතර ගිවිසුම් අත්සන් කිරීමද මෙහි දී සිදුවුණා. වගාකරුවන්ගේ මල් සම්මත මිල ගණන් යටතේ මිලට ගැනීම සඳහාත්, ඔවුනට අවශ්‍ය උපකරණ හේලීස් සමාගමෙන් ලබාදීමටත් එම ගිවිසුම මඟින් එකඟත්වයට පැමිණ තිබෙනවා.

ඌව පළාත පුස්තකාලය අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඥාණිස්සර මහනායක හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීමේ උත්සවයට ද ජනාධිපතිතුමා බදුලු සංචාරයේ දී සහභාගි වුණා. නාහිමියන් පිළිබඳව කළ සී ඩී පටයක් මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට පිළිගන්වන ලද්දේ පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති මානෙල් රත්නායක මහතා විසින්.

අනාගතය දිනන දරුවෝ ශිෂ්‍යත්ව වැඩසටහනද බදුල්ල නගර ශාලාවේ දී පැවැති අතර දරුවන්ගේ පෞරුෂත්ව සංවර්ධන වැඩ සටහනක්ද එහි දී ක්‍රියාත්මක කෙරුණා. එම අවස්ථාවටද ජනාධිපතුමා සහභාගි වුණා.

පසුගිය අප්‍රේල් 28වනදා බිංගිරියේ පැවැති ජාතික වෙසක් උත්සවයට ගිය ජනාධිපතිතුමා‍ට වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන්ගේ දුක් ගැනවිල්ලක් දැන ගන්නට ලැබුණා. ඔවුන්ට තිබුණේ පානීය ජල ප්‍රශ්නයක්. ජල පිරිපහදු පද්ධතියක අවශ්‍යතාව තදින් දැනෙමින් තිබුණා. ජනාධිපතිතුමා වහාම ලබාදුන් ප්‍රතිපාදන සහ නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිවුණු ජල පිරිපහදුව මෙවර ජනාධිපතිතුමා බිංගිරියට ගිය අවස්ථාවේ විවෘත කරනු ලැබුවා. මේ කාර්යයට ගතවූයේ මාසයකටත් අඩු කාලයක්.

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ගුරු වෘත්තිය ඉතාම වැදගත් වෘත්තියක් වුවත් එම සේවයට ඇතුළත් වන සියයට අටක් නවයක් වැනි පිරිසක් සේවයට නුසුදුසු බවයි. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් තිබුණද ඔවුන් අතින් දරුවන් හිරිහැරයට පත්වන බවට තොරතුරු ඇති බව ජනාධිපතිතුමා කීවා. ගුරුවරයකු අවධානය ලබාදිය යුත්තේ දක්ෂ දරුවාට පමණක් නොවන බවත් සියලු දරුවන්ට අවධානය ලබාදිය යුතු බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එහි තිබූ ආගමික කටයුත්තකට හා එජාප ජාතික සංවිධායක ලෙස පත් වූ ඇමැති නවීන් දිසානායකගේ මහතාගේ රාජකාරී ඇරඹීමේ නිල උත්සවයට එක්වීමටයි. ඒ සඳහා අති විශාල පිරිසක් එක්වී සිටියා.

එජාප නායකයා මෙන්ම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස උප නායක රවී කරුණානායක මහ ලේකම් අකිල විරාජ් ඇතුඑ සියලු මැති ඇමතිවරු මෙන්ම එජාප පසුපෙළ මන්ත්‍රීවරු රැසක්ද පැමිණ සිටියා.

“එජාපය කිසිදා යටපත් කළ නොහැකි හා පරාජයට පත් කළ නොහැකි මේ රටේ විශාලතම හා විශාලම සේවාව රටට කළ පක්ෂයයි.සියලු දෙනා එකමුතුව කැපවීම් කළ විට 2020 දී තනි ආණ්ඩු බලය මෙන්ම රටේ නායකත්වයද එජාපයට ලබා ගැනීම කිසිසේත්ම අසීරු නැහැ. ඒ වෙනුවෙන් නව තනතුර සඳහා මගේ උපරිම කැපවීම සිදු කරනවා. නව උපාය මාර්ග අනුගමනය කරමින් එජාපය රට පුරා නගා සිටුවනවා. ඉතිරි වසර 1 ½ තුළ ආණ්ඩුවත් රටට ජනතාවට උපරිම සේවාව කිරීමට වගබලා ගත යුතුයි. එය ඉටු කිරීමේ සැලැස්ම දැන් වේගයෙන් ඉදිරියට යනවා.” නවීන් දිසානායක කීවේ දැවැන්ත අත්පොලොසන් මධ්‍යයේයි.

“එජාපය බාරගෙන 2030 වෙනතෙක් ඉදිරියට ගෙන යා හැකි දක්ෂ තරුණ නායකයන් අපට ඉන්නවා. ඒත් විපක්ෂයට ඉන්නේ යුද්ධය මැද බයවෙලා අමෙරිකාවට පලා ගිය විශ්‍රාමික හමුදා නිලධාරීන් විතරයි. ඔවුන්ට මේ රටේ සුළු ජාතීන් විතරක් නොව සිංහල බහුතරයකුත් කැමති නැහැ. ඔවුන්ගේ දේශපාලන හැසිරීම් ජනතාවට මතකයි” අගමැති රනිල් කීවේද දැඩි ප්‍රතිචාර මැදයි.

එම උත්සවයට එක්වීමට නොහැකි වූයේ පාර්ලිමේන්තු රාජකාරී නිසා බව සඳහන් කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලද ඇමැති නවීන් වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබුණා. සිරිකොතේ සිට අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගිය අතර ඔහුගේ කාර්යාලය තුළ මැති ඇමතිවරු රැසක් ඔහු අපේක්ෂාවෙන් සිටියා.

“නවීන්ගෙ උත්සවය හොඳට සංවිධානය වෙලා තිබුණා. සජිත් රවී අකිල ඇතුළු සියලු දෙනා එකතු කරගෙන ඒ උත්සවය කරන්න නවීන් සමත් වී තිබීමත් ඉතා හොඳ පෙරනිමිත්තක්. මම සැර කතාවකුත් කළා” අගමැතිවරයා කීවා.

“ප්‍රාදේශිය සභා ඡන්ද කාලෙ ගෝඨාභය අමෙරිකාවට වෙලා කූල් එකේ හිටියෙ. එයාගෙ අද දඟලන ටීම් එකත් ඒ ඡන්දයට බැස්සෙ නැහැ. ඒත් දිනුවට පස්සේ ගෝඨායි එයාගෙ සෙට් එකයි තමයි දැන් පොහොට්ටුව අතට අරන් තියෙන්නේ. ඒ නිසා ඇතුලෙ ලොකු අවුල්ලු. ” ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

“ගෝඨා තනියම පොටෝ දාගෙන පෝස්ටර් ගහන එකටත් ඡන්දය දිනවපු බැසිල් හා එයාගෙ ටීම් එකයි පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලයි විරුද්ධලු.”දයා ගමගේකිව්වා.

“ එකපාරට ආපු ගංවතුරෙන් ලක්ෂයට වඩා අනාථ වුණා. සියල්ල නිසි ක්‍රමවේදයකට කළමනාකරණය කර ගන්න ආණ්ඩුවට හැකි වුණා කියල විපක්ෂය පවා පිළිගන්නවා” වජිර අබේවර්ධන කිව්වා.

“ ජීවිත හා දේපළ බේරා ගැනීමට මුල් තැන දෙන්න. අවශ්‍ය තරම් මුදල් හා හමුදාව යොදවන්න.” අගමැතිවරයා උපදෙස් දුන්නා.

“ මේ වසරෙදි නියගය හා ගංවතුර රටේ ආර්ථිකයට විශාලම හානිය කළා. ණය ගෙවීම වගේම මේ විපත් හරහා සිදුවන අලාභයත් අපි කළමනාකරණය කරගත යුතුයි.” අගමැතිවරයා පැවසුවා.

“ හිටපු ආපදා කළමනාකරණ ඇමතිට වඩා නව ඇමැති දුමින්ද මේ ගංවතුරේ දී හුඟක් මහන්සි වෙලා වැඩ කළා.” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළා.

“ කෝටි ගණනක් වැය කරලා සති ගණන් රණවිරු උපහාර උළෙලවල් කරනවාට වඩා ඒ මුදල් රණවිරුවන්ගේ සුබ සාධනයටම යොදවන්න ආණ්ඩුව තීන්දු කළ එක හොඳයි කියල හුඟ දෙනෙක් අහනවා. .”කිරිඇල්ල කිව්වා.

“උතුරේ මියගිය ත්‍රස්තයන් සමරන්න ආණ්ඩුව ඉඩ දුන්නා කියල විපක්ෂය අපට ලොකු මඩක් ගහනවා” ගයන්ත කරුණාතිලක කිව්වා.

“71 හා 88 කැරලිවලින් මියගිය අය ජවිපෙ දිගටම සමරනවා. ඒ කාලෙ ඒ අයටත් ත්‍රස්තවාදීන් කියලයි ලේබල් කළේ. ඒ නිසා මියගිය අය සමරන එක ඒ පවුල් කරන කොට කාටවත් ඒක නවත්වන්න බෑ” ලක්ෂමන් කිරිඇල්ල කිව්වා.

“ඔව්. රට බෙදනවා කීවොත් ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා කීවොත් අවි අරන් කැරලි ගහන්න ආවොත් නීතිය කැඩුවොත් ඒක නවත්තන එක ආණ්ඩුවේ වගකීමයි. ඒත් පන්සලකට කෝවිලකට පල්ලියකට ගිහින් කවුරු හරි තම මියගිය ඥාතීන් සමරන එක නවත්වන්නේ කොහොමද” අගමැතිවරයාත් කිව්වා.

“වියත් මඟ ප්‍රාතිහාර්ය ජනක දේශපාලන ආර්ථික හා සංවර්ධන වැඩ පිළිවෙළක් බව කඩේ යන අයයි සමහර මාධ්‍යයි කීවත් ඒක මේ රජයේ “2025 දැක්ම” හි කාබන් කොපියක් බව මලික් ඇමතිතුමා රටට පෙන්වාදීම ඔවුන්ට ලොකු පහරක් වුණා. දෙක අතර ඇති එකම වෙනස ඒ අය එජාපයට වඩා මේ වැඩ පිළිවෙළට වැඩිපුර වසර 05ක් ඉල්ලා සිටීම විතරක් බවත් මලික් පෙන්වා දීම ඉතා වටිනවා.” විජේදාස රාජපක්ෂ කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“ විජේදාස ඇමතිතුමා බැලුම්ගල පුරා වස්තු විනාශය හා දඹුල්ලේ බිතු සිතුවම් පිළිසකර කිරීමේ අවස්ථාවලට ගිහින් සොයා බැලීම කවුරුත් අගය කරනවා.” දයා ගමගේ කීවේ විජයදාසට සියලු දෙනා ප්‍රශංසා කරන අතරේයි.

“ මංගල ඇමතිතුමා එක්ක පටලැවිලා ගෝඨාභය හොඳට අහගත්තා. අපි ගෝඨාට බය තමයි එක්නැලිගොඩලා ලසන්තල හා හිරකරුවන් 27ට සිදු වූ දේවල් හා සුදුවෑන් ගැන මතක නිසා මුළු රටම ඔහුට බය බව කීම හොඳට වදින්න ඇති.” චමින්ද විජේසිරි කිව්වා.

“ 2019 දී ලංකාවට ගෙවන්න ඇති ණයවලින් 77% ක්ම මහින්ද ගත්ත ඒවාලු. රු.මිලියන 4285 ක් ගෙවන්න තියෙනවාලු. 2020 දී බිලි.රු.3768 ක් ගෙවන්න තියෙනවලු. ණය විවාදයකට එන්නත් මහින්ද රාජපක්ෂට අභියෝග කළා.ණය ගැන මිසක් එතුමාල කරපු දූෂණ ගැන ඒ විවාදයේ දී වචනයක්වත් කතා නොකරන බවට මංගල ඇමතිතුමා ලොකු පොරොන්දුවකුත් දීපු එක මාරයි.” චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනාමැදයි.

“ වියත් මග කියන්නෙ ජාතිවාදයේ, ආගම්වාදයේ හා භීෂණයේ තෝතැන්නක්. ජනතාව ඒකත් දන්නවා” විජේදාස රාජපක්ෂ කිව්වා.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සති අන්තයේ වවුනියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල නව උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහන්වල නිරත වුණා. වවුනියාව උතුර, පුලියන්කුලමේ “භාරතී කෝට්ටම්”සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පච්චිලෛපල්ලි, ඉත්තාවිල් හි “සුරබිනගර්” යන මේ නව ගම්මාන දෙකම ඉදිවී ඇත්තේ මුළුමනින්ම දෙමළ බස කතා කරන ජනයා ජීවත්වන පෙදෙස්වලය. “භාරතී කෝට්ටම්” උත්සවයට ද්‍රවිඩ ජාතික සංවිධානය නියෝජනය කරමින් පැමිණ සිටි දොස්තර එස්. සිවමෝහන් සහ අන්නමලේ නාඩේසු ශිවශක්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වේදිකාවේ අසුන්ගෙන සජිත් සමඟ බොහෝ දේ කතාබස් කරමින් සිටියා. “ඇමැතිතුමා, ඔබතුමාගේ නිවාස වැඩපිළිවෙළ ගැන අපට බොහොම සංතෝෂයි. මේ වැඩපිළිවෙළ නිසා යුද්ධයෙන් දුක් විඳපු ජනතාවට විශාල සහනයක් ලැබෙනවා” ඔවුන් කියද් දී සජිත් කීවේ “අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත් මට කියනවා මේ වැඩපිළිවෙළ තව තවත් ශීඝ්‍රගාමීව කරන්න කියලා. මම ඒ අනුව සැලසුම් සකස් කරගෙනයි යන්නේ. දැනටමත් ක්‍රියාත්මක වන මගේ නිවාස ව්‍යාපෘති 2500 ඉලක්කයෙන් උතුරු – නැ‍ඟෙනහිර පළාත් දෙකත් පැහැදිලිවම ආවරණය වෙනවා” කියායි. මන්ත්‍රීවරුන් දෙදෙනා සිය කතාවල දී ද උතුරේ ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට සජිත් ගෙන ඇති පියවර ප්‍රශංසාවට භාජනය කිරීමට අමතක කළේ නැහැ.

පසුගිය සිකුරදා දිසාපති සමුළුව දෙවැනි දිනයටත් ස්වදේශ කටයුත අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒහි දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සිංහල ජාතිවාදයටත්, දෙමළ ජාතිවාදයටත්, මුස්ලිම් ජාතිවාදයටත් රජය දැඩි සේ විරුද්ධ බවයි. ජාතිවාදී ගැටුම් ඇතිකරන පුද්ලයන්ට ඒරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජයෙන් ගන්නා බව සිහිපත් කළ ඇමැති වජිර කීවේ ජාතික කොඩිය භාවිතය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පනවා ඇති නියමයන්ට ඒරෙහිව කිසිවෙකුත් කටයුතු නොකරනු ඇතැයි තම විශ්වාසය බවයි. එමෙන්ම 71 කැරැල්ලේදීත් 88 – 89 කාලයේ දී දකුණේ මියගිය අය විරුවන් ලෙස සමරන බවත් යුද්ධයෙන් මියගිය හමුදා නිලධාරීන් සමරන්නා සේම උතුරේ මියගිය ජනතාව සැමරීම වැළැක්වය නොහැකි බවත් ඇමතිවරයා කියා සිටියේ මළවුන් සැමරීම ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත ඒන චාරිත්‍රයක් බව ද සිහිපත් කරමින්.

උදෑසන තමන් විසින් ලබාගත් ජාත්‍යන්තර කාලගුණ වාර්තාවක් අතටගත් අමාත්‍යවරයා එය දිසාපතිවරුන්ට පෙන්වමින් කියා සිටියේ ඉදිරි දින කිහිපයේ දී බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හේතුවෙන් දිවයින පුරා වැසි අධික විය හැකි බවයි. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය අනතුරුදායක ස්ථානවල පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කිරීමටත්, අවශ්‍ය සහන සේවා සැපයීමටත් වහාම සූදානම් වන්න යැයි ද ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි ද අමාත්‍යවරයා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේ පසුගිය වසරේ ගංවතුර හටගන්නා අවස්ථාවේ ද දිසාපතිවරුන් දිසාපති සමුළුව ට සහභාගී වීම සඳහා කොළඹට පැමිණ සිටි බව සිහිපත් කරමින්.

ඇමතිවරයා කී අනාවැකිය සෙනසුරාදා වනවිට යථාර්ථයක් වෙමින් තිබුණා. රත්නපුර නගරය ගංවතුර අවදානමකට මුහුණ දෙමින් තිබිය දී වජිර එදින රත්නපුරයට ගියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වීමටයි.

බ්‍රහස්පතින්දා ඇමතිවරයා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට පැමිණියේ ගාල්ල දිස්ත්‍රික්කය යළිත් වතාවක් දැඩි ආපාදාවකට මුහුණ දී තිබීම හේතුවෙන්. මේ දිනවල ගාල්ල මොරගොඩ ඇළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ගාල්ලේ බොහෝ දෙනකුගේ අදහස වන්නේ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය ආසාර්ථක බවයි. ඒමෙන්ම මේ ඇළ ව්‍යාපෘතිය හේතුවෙන් ගංවතුර තත්ත්වය වෙනදාටත් වඩා දරුණු වී ඇතැයි ද රජයේ නිලධාරීන් ද පවසනවා. ඇමතිවරයා රැස්වීමේ දී මොරගොඩ ඇළ ව්‍යාපෘතිය දැඩි සේ විවේචනය කළා

”මහ වැස්සක් ඇද හැළුනාම ගාල්ල යටවන ප්‍රශ්නය දිගටම තිබුණා. මේ සඳහා පසුගිය රජය ලෝක බැංකු අධාර යටතේ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. නමුත් ඒයින් ගංවතුර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. වෙනදාට අඩි පහක් යටවෙනවානම් මේ ව්‍යාපෘතිය අවසන් කළාම අඩි තුනක් යටවෙනවාලු. ඉතින් ගංවතුර ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේවා අසාර්ථක ව්‍යාපෘති.දේශපාලන න්‍යායපත්‍ර අනුව අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. දැන් මෙවර ගංවතුරෙන් මේ තත්ත්වය ඉතා පැහැදිලියි. වැස්සක් ළඟ එන විටවත් ජනතාව ගැන හිතලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඇළේ ව්‍යපෘතිය නිසා ඇළ අවහිර වෙලා. තැන් තැන්වල වැලිකොට්ට ගොඩගහලා. පාලම් දෙපැත්තෙන්ම ෆයිල් ගහලා හිරවෙලා. අඩුම ගණනේ මේ වැසි කාලයේදීවත් මේ අවහිරකිරීම් ඉවත් කරලා වතුර ඉක්මනට බැසයන්න සලස්වන්න තිබුණා. ඒවැනි දෙයක් කළේ නැහැ. මොරගොඩ ඇළ ව්‍යාපෘතිය නිසා ගංවතුර තත්ත්වය වැඩි වූ බව පැහැදිලියි. ඒ නිසා නිවාස හානි තක්සේරු කරලා අදාළ ව්‍යාපෘතියට වහාම දැනුම් දෙන්න හානියට ගෙවීම් කරන්න කියලා. . මේ හානියට වන්දි ගෙවන්න ඒ ව්‍යාපෘතියට හැකියාව තිබෙනවා. ලෝක බැංකු ආධාර ඉල්ලගෙන හරි ගෙවන්න අවශ්‍යයි. ”

ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිකුරාදා වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලූ කටයුතු සූදානම්ව තිබුණා. ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කොට තිබූ විශේෂ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින් 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත 2020 ජනවාරි 09 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවටද ජවිපෙ යෝජනා කර තිබෙනවා.

තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල කැබිනට් අනුමැතියට යටත් කිරීමට, වැරදිකරුවන්ට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති බලතල කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්කිරීම, ඇමැති ධුර දැරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව අහෝසි කිරීම ඇතුළු බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමට 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා සතු 13 වැනි සංශෝධනයට අදාළ බලතල එසේම පැවැත්වාගෙන යාමටද යෝජනා කර තිබෙනවා. ජනාධිපතිවරයා සතු මුක්තිය දැනට තිබෙන ආකාරයෙන් පවතින අතර ජනාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳ දැනට ඇති ප්‍රතිපාදන සංශෝධනය වන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ (22වෙනිදා) බඩුමිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණය කල්දැමීමට සිදු වූයේ දිස්ත්‍රික් සංවිධායකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සමගයි. අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතැම් දිස්ත්‍රික්කවල ආපදාවන්ට මුහුණ දුන් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් යම් යම් මැදිහත්වීම් සිදුකිරීමට තිබෙන බැවින් උද්ඝෝෂණය තාවකාලිකව කල්දැමීමට ජවිපෙ තීරණය කළා. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ නුවරඑළිය බදුල්ල ප්‍රදේශවල ජවිපෙ සංවිධායකයෝ පැවැති තත්ත්වය පක්ෂ නායකයන්ට දැනුම් දුන්නා.පසුගිය 21වෙනිදා වන විට අයහපත් තත්ත්වය වර්ධනය වෙමින් තිබුණා. ඒ වනවිට බදුල්ල ප්‍රදේශයේ සිටි ටිල්වින් සිල්වා ප්‍රධාන ලේකම්වරයා විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට උද්ඝෝෂණය අවලංගු කළා. මේ තත්ත්වය සමඟ ගාල්ලේ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ විජිත හේරත් මන්ත්‍රීවරයාට යෝජනාවක් කළා. ”ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ධීවර ජනතාව බරපතළ ගැටලූ ගණනාවකට මුහුණ දීලා.

අපි පාර්ලිමේන්තුවේ මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. කල්තැබීමේ විවාදයක් ගන්න පුළුවන්ද?” නලින් හේවගේ ඉල්ලා සිටියා. ”ඔව්, භූමිතෙල් මිල වැඩිවීම ධීවරයින්ට බලපාලා වගේම ඞීසල් මිල පෙට‍්‍රල් මිල වැඩිවීම සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් වෙලා. ඒ නිසා මේක විවාදයට ගන්න එක හොඳයි.” විජිත හේරත් කී අතර පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් සඳහා නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් කථානායකවරයාට ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත් 22වෙනිදා උපායමාර්ග සංවර්ධන පනත පිළිබඳව විවාදයක් පැවැති අතර එදින පස්වරු 4.00ට ඉන්ධන මිල විවාදය යෙදී තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව පවසමින් පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්ත්වයක් ඇති කළ අතර ජවිපෙ බිමල් රත්නායක සභාව කඩාකප්පල් නොවීමට යෝජනාවක් කළා. ”අපි ඉන්ධන මිල වැඩිවීම ගැන විවාදයක් ඉල්ලා සිටියා. පක්ෂ නායක රැස්වීමේ ඒකට එකඟ වුණා. දැන් ගංවතුර ගැන විවාදයක් කරමු කියනවානම් ඒ කරුණු දැක්වීමත් මේ විවාදයේ කරන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙකම ජනතාවට බලපාන බරපතළ ගැටලූ” බිමල් රත්නායක කියා සිටියා. කෙසේ වෙතත් ජවිපෙ ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව විවාදය පවතිද් දී ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් විවාදයට සම්බන්ධ නොවී පිටත්ව ගොස් තිබුණා.

ඒකාබද්ධ විපක්ෂය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ එක්තරා සංදර්ශනයක් කළා. එදාට නියමිතව තිබුණේ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියෝග දෙකකට අනුමැතිය ලබා ගැනීමයි. කෙසේ වෙතත් සභාව ආරම්භ කරන අවස්ථාවේ නැ‍ඟීසිටි දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ “ගංවතුර විපත ගැන විවාදයක් වහාම අවශ්‍ය බවයි. පනත විවාදය නවතා එම විවාදය කරන්න ඔහු ඉල්ලුවා. මන්ත්‍රීවරුන් විසිදෙනකු නැගිට මෙම ඉල්ලීම කරනවිට එය ලබාදිය යුතු බව ගුණවර්ධන මහතා කීවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේ පක්ෂ නායක රැස්වීමේ එකක් කියා සභාවට පැමිණ වෙනත් දෙයක් කීම ගැනයි. “ඔබතුමා පක්ෂ නායක රැස්වීමේ දී කීවේ විවාදයක් ඉල්ලනවා. ඒක එතනින් ඉවරයි” කියලයි. දැන් මොකද වහාම විවාදයක් ඉල්ලන්නේ. ඔනෙනම් අපි හවස හතරට විවාදයක් දෙන්නම් කිරිඇල්ල මහතා කීවා.

එවිට දිනේෂ් කීවේ ක්‍රමෝපාය සංවර්ධන පනත ඉතා වැදගත් නිසා එය හවස වනතෙක් සාකච්ඡා කිරීමෙන් පසුව තමන් ඡන්දයක් ඉල්ලන බවයි. ගංවතුර ප්‍රශ්නය හදිසි නිසා එය වහා විවාද කළ යුතු බව ඔහු කීවා. කථානායකතුමා කීවේ කියන කියන විදිහට පැයෙන් පැයට තීරණ වෙනස් කළ නොහැකි බවයි. හවසට විවාදය පැවැත්වීමට සභාව එකඟ වුණා.

කෙසේ වෙතත් එදින හවස් වන විට ඒකාබද්ධ විපක්ෂයේ උදවිය සභාවේ හිටියේ නැහැ. ක්‍රමෝපාය සංවර්ධන පනතට ඡන්දයක් ඉල්ලුවෙත් නැහැ. විවාදය ඉල්ලූ අය නැති නිසා ගංවතුර ගැන විවාදය පැවැත්වුණෙත් නැහැ. තෙල් මිල වැඩි කිරීම ගැන ජ.වි.පෙ. ඉල්ලා තිබූ විවාදය පමණක් පැවැත්වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීම ගැන රහස එම විවාදයේ දී ජ.වි‍.පෙ. මන්ත්‍රී නලින්ද ජයතිස්ස හෙළිදරව් කළා. ඔහු කීවේ ඒකාබද්ධ විපක්ෂය මේ රඟපාන්නේ රූපවාහිනියට බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීම සිදුවන්නේ එහි ආරම්භයේ සිට සවස තුන දක්වා පමණයි. රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වන්නේ මෙම කාලය තුළ සිදුවීමයි. ඒකාබද්ධ විපක්ෂය හැම තිස්සේම කුමක් හෝ ප්‍රශ්නයක් මතුකර ගැටුමක් නිර්මාණය කරගන්නේ ඒ වෙලාව තුළයි. ඒ ඔවුන්ගේ සටන්කාමි බව පෙන්වන්නයි. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ සජීවී රූපවාහිනී විකාශය නැතිවිට ඒකාබද්ධ විපක්‍ෂයේ නළුවන්ටික පාර්ලිමේන්තුවෙත් නැති බවයි.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *