|

බලය සොයා වළට වැටීම – සී.ජේ.අමරතුංග

 නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය බවට කතාවක් ඇත. කොඳුරු තෙල් හත්පට්ටයක් සොයා ගත්තද ඉතුරු ටික සොයා ගැනීමට බැරිවෙන බවද කියති. ඒ අන් යමක් නිසා නොවේ, වෙදකම කරන්න ඕනෑ නැති නිසාය. අප රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද සිදුවී ඇත්තේ ඒකය. මේ ආණ්ඩුව බලයට ආ‍ෙව්ම ඒකටය. 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොදු සටන් පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණය ජය ගත්තද වැඩේ කරන්න ගියාම විවිධ ප්‍රශ්න මතුවිය. පසුවට කල් ගිය ඒ වැඩේ කරන්න පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙසද කටයුතු කළේය. ඒත් තවම වැඩේ කෙ‍රුණේ නැත. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විසිවැනි සංශෝධනයක් ගෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එයට පහරදෙන්න පටන්ගත්තේ යෝජනාව ගෙනෙන්නත් කලිනි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව මත ජනාධිපතිවරුන් තිදෙනෙක් වරින් වර පත් වූහ. ජනාධිපතිවරණ පහත් ජයගත්තේ මෙම සටන්පාඨය යටතේය. මහ මැතිවරණද එතරම්ම ප්‍රමාණයකි. ඒ සියල්ල සිදුවුවද දැන් සමහරු කියන්නේ මේ වැඩේ කරන්න ආණ්ඩුවට ජනවරමක් නැති බවය. එසේ කියන්නේ වෙනත් දේශපාලන ගේම් ක්‍රියාත්මක නිසා බව තේරුම් ගැනීම අපහසු නැත.

මෙම ක්‍රමය රටට හඳුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. එදා පටන්ම එයට විරෝධතා මතුවීය. ලංකා සමසමාජ පක්ෂයේ නායක එන් එම්. පෙ‍රේ්රා මහතා පොතක් ලියා පළ කළේ මෙහි ඇති අනතුර පෙන්වා දෙමිනි. එනම් ජනතාවට වග නොකියන හිතුවක්කාර ආඥාදායකයකු ව්‍යවස්ථානුකූලවම නිර්මාණයවීම මෙමඟින් සිදුවන බව කියමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වමේ පක්ෂ සියල්ලත් සිටියේ එම මතයේය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් ආරම්භ වන්නේ එදා සිටමය. එම අරගලයට දැන් වසර හතළිහකි.

ලිඛිතව දුන් පොරොන්දුව

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 බලයට පත්වන්නේ ජනාධිපති ක්‍රමය වසරක් තුළ අවසන් කරන්නට ප්‍රතිඥා දෙමිනි. ඇය මෙම ප්‍රතිඥාව ජනතා විමුක්ති පෙරමුණට ලිඛිතව ලබා දුන්නේය. එහෙත් එය සිදුවූයේ නැත. ඇගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියා තිබුණේ අපිත් කාලයක් මේ බලයෙන් වැඩ අරගෙන මේක අහෝසි කරමු කියාය.එය එසේම වූවා විය හැකිය.

අනෙක් අතට ප්‍රශ්නය වන්නේ මෙය දේශපාලන බලය රැකගැනීමේ ක්‍රමයක් වීමයි. 1994 චන්ද්‍රිකා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබුණේ යන්තම් එක වැඩි ඡන්දයකි. එම බලය අනතුරට ලක්කරගන්න ආණ්ඩුව කැමති නොවූ බව පෙ‍ෙනන්නට තිබිණි. බලය රැකගැනීමේ ක්‍රමය බවට පත්වුණේ විධායක ජනාධිපති බලයයි.

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලයේදී විධායක ජනාධිපති ධුරය අ‍හෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ඉදිරිපත් කරන ලද්දේ මුලදී එක්සත් ජාතික පක්ෂයේද සහය ලබාගනිමිනි. එජාපය එයට සහය දුන්නේද දේශපාලන බල අවශ්‍යතා අනුවය. ඒ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළේ නම් ඊට පසු පවත්වන මහ මැතිවරණයෙන් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවීමට එජාපයට අවස්ථාව විවෘත කරගැනීම එම අවශ්‍ය තාවයයි. එහෙත් ශ්‍රීලනිපය ව්‍යවස්ථාවේ විධිවිධාන සකස් කළේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ නිල කාලය අවසන් වනතෙක් ඇයට විධායක බලය හිමිවන ආකාරයටයි. එජාපය එයට කැමැති වූයේ නැත. එහිදී ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හරස් වූයේ දේශපාලන බල අරගලයයි.

2005 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූයේද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නටය. ඒ සඳහා ජ.වි.පෙ. සමඟ ගිවිසුමකටද අත්සන් තැබීය. එසේ වුවද බලයට පත්වූ පසුව ඒ කිසිවක් කළේ නැත. කළේ ජනාධිපති ධුරයේ බලතල අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීම පමණකි.

2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් (දැන් ෆීල්ඩ් මාෂල්) සරත් ෆොන්සේකා ඉදිරිපත් වූයේ ජනාධිපති ධුරය අහෝසි කරන්නටය. මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමා එය අහෝසි කරන බවයි. ඒ කටයුත්තට තවත් කෙනෙකු බලයට පත්කළ යුතු නැති බවයි.

ජනාධිපතිවරණය ජයගත් මහින්ද රාජපක්ෂ මහතා කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොව එය වඩාත් ශක්තිමත් කිරීමයි. එසේ කළේ ඉර හඳ පවතින තෙක් බලයේ ඉන්නට හිතාගෙනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහඅටවැනි සංශෝධනය ගෙනාවේ ඒකටය. එය වියරු ඒකාධිපති ක්‍රියාවක් බව බොහෝ දෙනා දැන සිටියහ. වමේ අය එයට විරෝධය ප්‍රකාශ කළහ. නමුත් ලජ්ජා නැතිව ගොස් 18 සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළෝය. ඒ වනවිටත් මේ පක්ෂවල හා නායකයන්ගේ කොඳු ඇට බිඳ දමා තිබීම එයට හේතුවයි.

විනාශකාරී බලයේ තරම

විධායක ජනාධිපති ධුරයේ විනාශකාරී බලය රටට තදින්ම දැනුණේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේදීය. සුදු වෑන් වලින් තරුණයන් පැහැරගැනීම, මාධ්‍යවේදීන් මරා දැමීම, අතුරුදන් කිරීම හා ඔවුන්ට පහරදීම, උද්ඝෝසකයන්ට වෙඩි තබා මරාදැමීම, වැලිකඩ සිරගෙදර ඝාතනය වැනි භීෂණ සිදුවීම් වූයේ මෙම කාලයේය. ඒ සියල්ල සිදුවූයේ විධායක බලයේ රැකවරණය යටතේ බව පැහැදිලිය. තාජුඩීන් ඝාතනය වැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුවන්නේ ද එය හදිසි අනතුරක් බවට ප්‍රකාශ වන්නේද විධායක බලයේ ශක්තියෙනි. සාක්ෂි යට ගසා ඇත්තේ අද වනතෙක් සියල්ල හෙළිකරගත නොහැකි ආකාරයෙනි.

ස්වාධීනව තිබිය යුතු අධිකරණය පවා අවසානයේ විධායක බලයට යටත්කර ගත්තේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යවමිනි.ඊට පෙර සිටම ‍ෙජනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම වැනි සිදුවීම් වූයේ නීතියේ හස්තය තමන්ට අවශ්‍ය ලෙස මෙහෙයවමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්නට බලගතු සිවිල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැ‍ඟෙන්නේ ඉහත තත්ත්වය හේතුවෙනි. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ගොඩනැඟෙන්නේත්, විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් ‍කරන්නේත් එම ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙනි.

සෝභිත හිමියන් සකස් කළ වැඩපිළිවෙළ වූයේ ජනපතිවරණය ජයගෙන දින සියයක් තුළ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. එය පවතින පාර්ලිමේන්තුවෙන්ම කිරීම අපේක්ෂාව විය. ජනාධිපති විපක්ෂයේ වීම නිසා එම බලය අහෝසි කළ විට තමන්ට යළි බලය ගැනීමට අවස්ථාවක් උදාවේය යන හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය එයට සහය දෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි.

කෙසේ වෙතත් ‍ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයගත් පසු මහින්ද රාජපක්ෂ මහතා බලය සඳහා අමුතු ගේමක් ගැසූ බව පෙනෙන්නට තිබිණි. ඔහු කළේ තම පක්ෂ නායකත්වය ‍ෛ‍මත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ජනාධිපති ධුරය ශ්‍රී ලනිපයට ලබා ගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් කැපවී සිටි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රීලනිපයේ සහයද ලබාගත හැකි වනු ඇතැයි සිතා එම තනතුර භාරගත්තා විය හැකිය. එසේ වුවද සිදුවූයේ ඊට ඉඳුරාම පටහැනි දෙයකි. ඉන්පසුව ශ්‍රීලනිපය කීවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ බවයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වරෙක එයට පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළේය. තවත් වරෙක කීවේ පළාත් සභා ක්‍රමය තිබෙන තෙක් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු බවයි. මෙකී නොකී බොහෝ දේ කියමින් ශ්‍රීලනිපය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ විය. ඒ කියන්නේ කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඉල්ලීමයි.

මහින්ද රාජපක්ෂ මහතා කල්යල් බලා ඇටවූ උගුල නම් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වූ බලවේග අතර ගැටුම් ඇතිකිරීමයි. එය ඔහු ක්‍රමානුකූලව සිදුකළ බව පෙනෙන්නට තිබිණි. මේ වනවිට ප්‍රධාන පක්ෂ දෙකේ පහළ මට්ටම්වලින් එකිනෙකාට චෝදනා එල්ල කරන තත්ත්වයක් පැවතුණද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ පරිණතභාවය හේතුවෙන් බව පෙනෙන්නට ඇත.

මේ දේශපාලන බල අරගල නිසා දැන් නැවතත් සිදුව තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ උත්සාහය අඩපණ වීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩකටයුතු මේ වනවිට පවතින්නේ අකර්මන්‍ය වූ තත්ත්වයක බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වෙමින් සකස්කළ යෝජනා කෙටුම්පත් ගැන මේ වනවිට කතාබහක්වත් සිදුනොවන තරම්ය. පෙනෙන්නට තිබෙන්නේ දේශපාලන බල අරගලය තුළ සියල්ල යටපත් වී ඇති බවකි.

බල අරගලය හරස් වෙයිද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ එකඟත්වයක් ඇතිකරගැනීම මේ මොහොතේ යථාර්ථයක් වේද යන්න ප්‍රශ්නයකි. කාලය වශයෙන් එයට දැන් ඉතිරිව ඇත්තේ වසර එකහමාරකි. ලබන වසරේ අග වනවිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත නොහැකි වුවහොත් යළි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. අනෙක් අතට එම කාලය තුළ විසඳාගත යුතු ප්‍රශ්න බොහෝමයකි. විධායකයේ ස්වරූපය, පාර්ලිමේන්තුවේ හා ඇමැති මණ්ඩලයේ බලය, මැතිවරණ ක්‍රමය, බලය බෙදාහැරීම ආදී බොහෝ ක්ෂේත්‍රවල එකඟතා ඇතිකර ගැනීම අවශ්‍ය ය. ඒ සඳහා කාලය ප්‍රමාණවත්ද යන්න ප්‍රශ්නයකි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කොට ඇත්තේ මෙම දේශපාලන තත්ත්වය තේරුම්ගෙන විය හැකිය. ඔවුන් කියන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය ඉදිරිපත් කරන බවයි. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිලකාලයේ වෙනසක් හෝ බලයේ අඩුවීමක් සිදුවන්නේ නැත.

දෙවැනි කරුණ නම් පළාත් සභා සම්බන්ධයෙන් අවශ්‍ය බලතල විධායක ජනාධිපති ධුරයට ලබාදෙන බවයි. එම බලතල වෙනස් නොකරන බවයි. එසේ කර ඇත්තේ විධායකය වෙනස් කිරීමට එල්ල වන විවේචනවලටද සවන්දී බව පෙනෙන්නට තිබේ. දැන් තිබෙන්නේ මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කොට පක්ෂ අතර සම්මුතියක් ඇතිකර ගැනීමය.

කෙසේ වෙතත් නැවතත් මෙයට හරස්වනු ඇතැයි පෙනෙන්නට තිබෙන්නේ දේශපාලන බල අරගලයයි. ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් දැනටමත් ජනාධිපතිවරණය ගැන තීරණ ගෙන ඇති බව පෙනේනනට තිබේ. අපෙන් ඉදිරිපත් කරන අහවලාට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් කියා ඔවුන් සාකච්ඡා පමණක් නොව ප්‍රකාශද කරති. ඔවුන්ට ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. ඒ තම දේශපාලන බලය සඳහාය. මෙලෙස සිහින දකින උදවිය ඉතිහාසයේ පාඩම් ඉගෙන ගෙන නැති බව කිව යුතුය. යුද්ධය ජයගත් ජනාධිපතිවරයා යාවජීව ජනාධිපති කරන්නට ගොස් ඇනගත් ඇනගැනිල්ල නිසාවත් මොවුන්ට සිහිය සැපත්වී නැත. ජනාධිපතිවරණයකදී ක්‍රියාත්මක වන විවිධ බලවේග හා එම දේශපාලනය ගැනද මොවුහු නොදනිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් එසේ නොසිතන බව පැහැදිලිය. ඔහුට යළි බලයට ඒමට අවස්ථාවක් ලැබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වූ විටය. ජවිපෙ අද ඉටුකරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනා බව ඇතැමුන් කීවද එහි උපරිම වාසිය හිමිවන්නේ මහින්ද රාජපක්ෂ මහතාටය.

මේ මොහොතේ අපට කියන්නට තිබෙන්නේ මෙම ප්‍රශ්නය මේ මොහොතේ විසඳාගත යුතු බවයි. ජ.වි.පෙ. යෝජනාව දිනවන්නට කියා අප කියන්නේ නැත. අපට කියන්නට ති‍යෙන්නේ දශක ගණනාවක් තිස්සේ විවාද කරමින් පවතින මෙම ප්‍රශ්නය ගැන සම්මුතියක් ඇතිකර ගැනීම මේ මොහොතේ අවශ්‍ය බවය. දේශපාලන බල අරගලයට ජාතික අවශ්‍යතා යටපත් නොකළ යුතු බවය.

 

සී.ජේ.අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *