මැලේසියානුවන් දුෂිත නජිබ් පාලනය පෙරළා මහතීර් පත්කරගැනීමේ පාඩම – භාතිය බරුකන්ද

පසුගිය දා පැවැති මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඞ් මහතා නායකත්වය දුන් ‘‘අපේක්ෂාව පිළිබඳ සන්ධානය’’ අනපේක්ෂිත ජයග‍්‍රහණයක් ලබා ගැනීම ජාත්‍යන්තර දේශපාලනයේ සහ ජනමාධ්‍යවල දැඩි අවධානයක් දිනාගත්තා. මහතීර් මොහොමඞ්ගේ යළි ආගමනය මේ තරම් අවධානයට ලක් වීමට බලපෑ හේතු කිහිපයක් තිබෙන බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළේ.
ඒ අතර ප‍්‍රමුඛ වුණේ මැතිවරණයකින් රාජ්‍ය බලයට පත් වුණු ලොව වයස්ගතම පාලකයා බවට 92 හැවිරිදි නව අගමැතිවරයා පත්වීමයි. ඒ සමග මැලේසියානු දේශපාලනයේ සුවිශේෂතා කිහිපයක් ද මොහොමඞ් මහතාගේ යළි ආගමනය වර්ණවත් කිරීමට හේතු වුණා. ඒ අතර ප‍්‍රමුඛ කරුණ වන්නේ හිටපු අගමැතිවරයා ද වසර 22කට ආසන්න කාලයක් නායකත්වය දුන්, (1981-2003* මැලේසියාව නිදහස දිනාගත් 1957 සිට 2018 දක්වා එරට පාලනය කළ ‘‘බී.එන්. පක්ෂයට’’ ප‍්‍රථම වරට රාජ්‍ය බලය අහිමි වීමයි. මැලේසියානු දේශපාලන විචාරකයින් මෙය සලකන්නේ ‘‘ විශ්වාස කළ නොහැකි ’’ දෙයක් විදිහටයි. මේ සමග ම අන්ත දුෂිත පාලනයක් ගෙන ගිය හිටපු අගමැති ‘නජිබ් රසාක් ’’ (2008-18* බලයෙන් පහ කිරීමට ලැබීම ගැන ද මැලේසියානු ජනතාව අතර පවතින්නේ දැඩි සතුටක්.
නජිබ් රසාක් බලයට පත්වීම (2008* පිටුපස සිටි ප‍්‍රබලතම සාධකය වුණේ මැලේසියාවේ කීර්තිමත් පාලකයා වශයෙන් අවිවාදයෙන් පිළිගන්නා මහතීර් මොහොමඞ් වීම ද අප මෙහිදී අවධානයට ගත යුතු කරුණක්. එහෙත් නජිබ් පාලනය ඉතාම කෙටි කාලයකින් අන්ත දුෂිත එකක් බවට පත් වූ බවට මැලේසියානු ජනතාව චෝදනා කරනවා. ඒ අතර නජිබ් පාලනයට එරෙහි ප‍්‍රබලම දුෂණය චෝදනාව වන්නේ  රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 700ක් තමන්ගේ සාක්කුවට දමා ගැනීම පිළිබඳවයි.
බලයෙන් විසි වුණා නජිබ් රසාක් ගැන මේ ආකාරයේ දුෂණ චෝදනා එල්ල වෙන කොට යළි බලය අල්ලා ගත් මහතීර් මොහොමඞ්ගේ අතීතය වර්ණවත් එකක් නොවන බව ද අප විසින් සිහියට නඟා ගත යුතුයි. මහතීර් පාලනය සමයේ මැලේසියානු ආර්ථිකය ප‍්‍රබල තත්ත්වයකට පත් වුව ද මහතීර් පාලනයේ අවසාන යුගය සැලකුණේ දුෂිත සේම මර්ධනකාරී පාලනයක් ලෙසයි. මෙම යුගය තුළ අග්නිදිග ආසියානු කලාපයේ ප‍්‍රබලයින් වූ (ජනතා උද්ඝෝෂණ හමුවේ බලයෙන් පළාගිය* පිලිපීනයේ ෆර්ඩිනඞ් මාකෝස්, පිලිපීනයේ සුහත්තෝ, සේම මැලේසියාවේ මහතීර් මොහොමඞ් ද (විශ‍්‍රාමික* ඒකාධිපති පාලකයෙක් ලෙසයි ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ. ආර්ථික වර්ධනය තුළින් ඔහුව ඉහළට ඔසවා තැබු ද තම බලයට අභියෝගයක් වන විපක්ෂයේ දේශපාලන නායකයින් දඩයම් කිරීම ඒ අතර බහුලව සිදු වුණා. ඒ අතර ප‍්‍රමුඛ පළිගැනීම වුණේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණය කළ මහතීර් ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැතිවරයා වුණ අන්වර් ඊබ‍්‍රහීම් මහතාව (1998 දී * දුෂණ හා සමලිංගික චෝදනා එල්ල කරමින් සිරගත කිරීමයි. අද මහතීර් මොහොමඞ් මහතා සමග කරට අත දා ගෙන සිටින්නේ මේ අන්වර් ඊබ‍්‍රහීම් ම වීම දෛවෝපගත සිදුවීමක් වශයෙන් මේ අනුව සැලකිය හැකියි.
අද පොහොට්ටු කල්ලිය අමන්දානන්දයට පත්ව සිටින්නේ ඉහත සඳහන් කළ ආකාරයේ විෂම දේශපාලන පසුබිමක් ඇති, ජනතාව විසින් බලයෙන් පළවා හැරීමට පෙර විශ‍්‍රාම ගිය (මාකෝස්ට, සුහර්තෝට අත් වූ ඉරණම හමුවේ නොකර බැරි නිසා* ඒකාධිපතියෙක් වූ පාලකයෙක්ගේ යළි ආගමනයක් වෙනුවෙන් වීම හාස්‍යයට කරුණක් වුවත් යථාර්ථය ද පිළිගැනීමක් බව ද අප විසින් වටහා ගත යුතුයි. මේ තත්ත්වය තුළ පොහොට්ටු කල්ලියේ ඊනියා නායක මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ඉදිරිපත් කරන මහතීර් පන්නයේ ඊනියා මහින්දාගමනයක් ගැන කුතර්ක කෙරෙහි මේ රටේ ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුයි.
නජිබ් රසාක් හා රනිල් වික‍්‍රමසිංහ
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ උපකල්පනය / ගණන් බැලීම වන්නේ මැලේසියානුවන් දුෂිත නජිබ් පාලනය පෙරළා දමා දෑහිතකාමී, සංවර්ධන ප‍්‍රාතිහාර්යය පෑ විශ‍්‍රාමික හිටපු පාලක මහතීර් මොහොමඞ් යළි බලයට ඔසවා තැබුවා සේ ලංකාවේ ජනතාව ද දුෂිත හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ජනතා විරෝධී රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව පෙරළා දමා යළි (පරාජිත* හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීම සඳහා 2020දී පියවර ගනු ඇති බවයි.
මහාචාර්වරයාගේ තර්කය/උපකල්පනය ගැන පසුගිය දින කිහිපය තුළ විවිධාකාරයේ විශ්ලේෂණ ජනමාධ්‍ය හමුවේ සාකච්ඡුාවට ලක්වන ආකාරය අපි දුටුවා. ඒ අතර ඉතාම මධ්‍යස්ථ විශ්ලේෂණයක් කළ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ තර්කානුකූලව පෙන්වා දී තිබුණේ මැලේසියාවේ මහතීර් මොහොමඞ් යළි පාලන බලයට පත්වීම කිසිසේත් 2020 දී සිදුවනු ඇතැයි කියන මහින්ද රාජපක්ෂ යළි බලයට පත්වීම පිළිබඳ ගණන් බැලීම් සමග සංසන්දනය කළ නොහැකි විෂම ලක්ෂණ සහිත එකක් බවයි.
මෙහිදී මහචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මෙසේ සඳහන් කර තිබුණා.
‘‘මැලේසියාවේ ගිය සතියේ සිදුවූ දේශපාලන වෙනස සහ ලංකාව සංසන්දනය කරන්නේ නම්, එය වඩාත් කිට්ටුවන්නේ ලංකාවේ 2015 ජනවාරි මාසයේ සිදුවූ දෙයටයග වෙනත් වචනවලින් කිවහොත් 2018 මැයි මාසයේ 9දා සිදු වූයේ, ඊට අවුරුදු තුන හමාරකට පමණ පෙර 2015 ජනවාරි 08දා ලංකාවේ සිදුවූ දේශපාලන සිදුවීම සීමිත ප්රදමාණයකට නැවත සිදුවීමකිග මහින්ද රාජපක්ෂ මහතා 2020දී ජයගෙන අගමැති වුවහොත්, එය ගිය සතියේ මැලේසියානු සිදුවීමට සමානවන්නේ, එකම එක පටු අර්ථයකිනිග එය නම් කලින් බලයේ සිට, අවුරුදු කිහිපයක් බලයේ නොසිටි නායකයකු නැවත මහජන ඡන්දයෙන් දිනා, අලුත් ආණ්ඩුවක නායකයා වී ඇත යන අර්ථයෙන් පමණිග එහෙත් එය තවමත් ලංකාවේ සිදුවී නැති දෙයකිග 2015 ජනවාරි ලංකාව සහ 2018 මැයි මැලේසියාව අතර නම් සමානතා කිහිපයක්ම තිබේග ඉන් පළමුවැන්න නම් අවුරුදු 9ක්ම බලයේ සිටි, අතිශයින්ම මර්දනකාරී, අධිකාරිවාදී සහ දූෂිත පාලකයකු, අලුතෙන්, දුෂ්කරතා මැද පිහිටුවා ගත්, ජයගැනීමට ඒතරම් ඉඩකඩ නොතිබූ අලුත් විපක්ෂ සන්ධානයක් විසින් ප්රඅජාතන්ත්ර්වාදී මාර්ගයෙන් බලයෙන් නෙරපා දැමීමයිග 2009 සිට 2018 දක්වා බලයේ සිටි මැලේසියානු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ පාලනතන්ත්රගයල අධිකාරවාදයල බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය සහ උද්ධච්ඡභාවය අතින් සමාන වන්නේ ලංකාවේ මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පාලනතන්ත්ර,යටයි’’ රාවය, 2018/05/20*
මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඇතුළු දේශපාලන විශ්ලේෂකයින් බොහෝ දෙනකු හේතු සහිතව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය (2005-2015* නජිබ් රසාක්ගේ අන්ත දූෂිත පාලනයට (2008-2018* සමානත්වයක් දක්වන අතරේ මහතීර් මොහොමඞ්ගේ (1981- 2003* යළි ආගමනය සමානත්වයක් දක්වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් 2015 ජනවාරි 08 වැනිදා ලංකාවේ සිදු වූ දේදුනු විප්ලවයට බවයි. අද පොහොට්ටු කල්ලිය සහ රාජපක්ෂ මාධ්‍ය ජුන්ටාව ඊනියා අයිසිංකරණය මගින් තම වාසියට අර්ථකථනය කරමින් සිටිනේ මේ තත්ත්වයයි. සරලව පැහැදිලි කළහොත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නායකත්වය දුන් ජනවාරි 08 වෙනසට සමපාත මැලේසියානු දේශපාලන වෙනස රාජපක්ෂාගමනයක් වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස අර්ථකථනය කිරීමේ රංගනයකයි අද මේ පොහොට්ටු කල්ලිය යෙදී සිටින්නේ.
මෙහිදී තවත් සුවිශේෂ කරුණක් දෙසත් අප අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ වත්මන් ආණ්ඩුවට එල්ල වන ප‍්‍රමුඛම චෝදනාව වන දූෂණය හා ජනතාව මත බදු බර පැටවීම කොතරම් දුරට නිරවද්‍යද යන කරුණ වෙතයි.
වත්මන් ආණ්ඩුවේ, විශේෂයෙන් එජාපය කේන්ද්‍රීයව එල්ල වන දූෂණ චෝදනාවලට පදනම් හා ශක්තිමත්ම කරුණ වන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධ සිදුවීමයි. එයින් ඔබ්බට ගිය දූෂණ චෝදනාවක් මේ මොහොත දක්වා තෙවසරක කාලය තුළ එජාපයට එරෙහිව ඉදිරිපත්ව නැහැ. මේ තත්ත්වය තුළ එජාපයට, විශේෂයෙන් එජාප නායකත්වයට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි පොහොට්ටු කල්ලිය පසුගිය තෙවසර පුරාම අඛණ්ඩව එල්ලී සිටින්නේ මහ බැංකු බැඳුම්කර සිදුවීම තුළ පමණයි. එයින් ඔබ්බට සිදු වන බව කියන දූෂණ චෝදනා හුදු දේශපාලන ප‍්‍රලාප මිස භූමිය තුළ සිදු වූ දේවල් නොවෙයි.
මේ තත්ත්වය කිසිසේත්ම මැලේසියාවේ නජිබ් රසාක්ට සමාන කළ නොහැකියි. නජිබ් රසාක්ට ඩොලර් මිලියන 700ක් ගැන ඍජුව දූෂණ චෝදනා එල්ල වුණා (නජිබ් පාලනය සමයේදීම මැලේසියානු බලධාරීන් මේ චෝදනාවලින් රසාක්ව නිදහස් කළත් ඒ ගැන රටවල් කිහිපයක විමර්ෂණ සිදු වෙනවා* ඒ අතරේ තවත් දූෂණ හා බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනා රැුසක් නජිබ්ට එරෙහිව එල්ල වෙනවා. විශේෂයෙන් මහතීර් – ඊබ‍්‍රහීම් පසුගිය මහ මැතිවරණයේදී නජිබ්ට එරෙහිව දැවැන්ත දූෂණ චෝදනා එල්ල කළා. එය ඔහුගේ පරාජය කෙරෙහි දැවැන්ත ලෙස බලපෑවා.
ලංකාවේ තත්ත්වය මෙයම බව අපට පැහැදිලියි. මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලටත්, මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටි ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පළාත් පාලන, පළාත් සභා ඇතුළු සම්පූර්ණ දේශපාලන යාන්ත‍්‍රණයටත් බලය අයුතු ලෙස භාවිත කිරීම, ඝාතන, අතුරුදන් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් හා පහරදීම්, අතුරුදන් කිරීම්, රාජ්‍ය දේපොළ හා මුදල් අයුතු ලෙස භාවිත කිරීම් ඇතුළු දැවැන්ත චෝදනා මහින්ද රාජපක්ෂ පාලනය හා බැඳ තිබෙනවා. ඒවා මේ වන විට විමර්ෂණය වෙමින් තිබෙනවා. මේ අනුව අපට පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ යනු කිසිසේත් මහතීර් මොහොමඞ් කෙනෙක් (මහතීර්ගේ බොහෝ ගතිගුණ තුළ රාජපක්ෂ අනන්‍යතා ද ඇත* නොවන බව පමණක් නොව ඔහු නජිබ් රසාක්ටත් එහා ගිය අන්ත දූෂිතයෙක් බවයි.
එහෙත් ලංකාවේ මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ විරෝධය එල්ල වන්නේ රාජපක්ෂ යුගයේ හොරු, දූෂිතයින් හා ඝාතකයින් ඇල්ලීම පමා කිරීම හෝ ඇතැමුන්ට එරෙහිව (ගෝඨාභය රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ගාමිණි සෙනරත් ආදී* විශේෂත්වයක් දැක්වීම පිළිබඳවයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඍජු ප‍්‍රකාශනය වශයෙන් ද සැලකිය හැකි වන්නේ මේ විරෝධයයි. රාජපක්ෂ පොහොට්ටු කල්ලිය ව්‍යාජ කරුණු දක්වමින් වසං කිරීමට තැත් කරන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ලක්ෂ 62ක ජනතාව තුළ තිබෙන මෙම කණස්සල්ලයි.
මේ සමග මැලේසියානු විප්ලවයේ තවත් සුවිශේෂ කරුණක් දෙස ද අද අපේ සමාජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ දූෂණ විරෝධී, ඝාතන විරෝධී ආණ්ඩුවක් බලයට පත් වූ වහා ගත යුතු අතිිෂයින්ම වැදගත් පියවර මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව විසින් නොගැනීම පිළිබඳවයි. ඔවුන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ දේශපාලන උණුසුම සමග මැතිවරණ සමයේ පොරොන්දු වූ ආකාරයෙන්ම දූෂිතයින් හා ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගත්තේ නම් අද යහපාලන ආණ්ඩුවට මෙවැනි දුෂ්කර තත්ත්වයක් උද්ගත නොවන බවයි. උදාහරණයක් ලෙස මහතීර් – ඊබ‍්‍රහීම් හවුල බලයට පත් වූ මොහොතේම හිටපු අගමැති නජිබ් රසාක්ගේ නිවස වැටලීම දැක්විය හැකියි. එදා යහපාලන බලවේග ද බලාපොරොත්තු වුණේ මෙවැනි වෙනසක් ද සහිත යහපාලනයක් මිස මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව අද ක‍්‍රියාත්මක කරමින් සිටින ආකාරයේ දේශපාලන සූදුවක් නොවෙයි. ජනතාව බලාපොරොත්තු වුණේ මැතිවරණ ජයග‍්‍රහණය සමග ඇමෙරිකාවට පළා ගිය බැසිල් රාජපක්ෂ වැලිකඩට දක්කන මෙහෙයුමක් මිස බැසිල්ගේ පදයට නටන ආණ්ඩුවක් නොවෙයි. මේ තත්ත්වය ගෝඨාභය රාජපක්ෂට සේම විමල් වීරවංශට ද අදාළ බව අප වටහා ගත යුතුයි. අද මේ සියලූ කල්ලි දේශපාලන පොරපිටිය තුළ කරණම් ගසන්නේ ඔවුන්ට වැලිකඩට ගාල් කිරීමට යහපාලන ආණ්ඩුව දක්වන උදාසීනභාවය හෝ වෙනත් ඇලීම් හා බැඳීම් නිසයි. රාජපක්ෂ පාලන සමයේ හොරු, දූෂිතයින් හා ඝාතකයින් නීතිය හමුවට ගෙන එනු දැකීම එකම බලාපොරොත්තුව කරගත් 62 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන එක නිමේෂයක දී මේ සියලූ දේශපාලන සැලසුම් වැල්ලේ තැනූ මාළිඟා බවට පත්වන බව සහතිකයි.
එනිසා අපට අවධාරණය කිරීමට තිබෙන්නේ මහතීර් – ඊබ‍්‍රහීම් පන්නයේ ජයග‍්‍රහණයකින් යළි රාජපක්ෂ පවුල් පාලනයක් ස්ථාපිත කිරීම දේශපාලනිකව ස්වයං වින්දනයේ යෙදීමට අවස්ථාවක් නිර්මාණය කර තිබුණත් දේශපාලන යථාර්ථය තුළ එය මිත්‍යාවක් පමණක් බවයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *