මුල්ලෙවයික්කාල් සිසිල් පැන් සංග්‍රහය – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

දෙමළ ඊළාම් සටන අවසන් වී වසර නමයක් ගතවීම, දකුණේ දෙතැනකත් උතුරේ ස්ථාන දෙකකත් පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දකුණේ යුද ජයග්‍රහණය නැතිනම් රණවිරු සැමරුම සිදු වූයේ එකක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ නිල උත්සවය වශයෙන් අනෙක මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නිල නොවන ආකාරයෙන්.

රණවිරු සැමරුම නිල වශයෙන් පැවති උත්සවයේ දී ජනපති මෛත්‍රි කියා තිබුණේ, රණවිරුවන් දේශපාලන වාසි පිණිස යොදා ගැනීම නොකළ යුතු බවයි. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස රණවිරු සැමරුම මුවාවෙන් කරන්ට යෙදුණේ රණවිරුවන් තම දෙශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීම බව අමුතුවෙන් කිවයුතු නැහැ. ආණ්ඩුව නිල වශයෙන් රණවිරු සැමරුමක් සංවිධානය කර තිබිය දී තවත් සැමරුමක් කුමට ද? මහින්ද පාර්ශ්වය රණවිරුවන් සැමරුවේ රණවිරුවන් කෙ‍රෙහි ඇති ගෞරවයකට හෝ ආදරයකට නොවෙයි. ඒ අවස්ථාව උපයෝගී කර ගත්තේ ‘ආණ්ඩුව රණවිරුවන්ට සලකන්නේ නැත’ වැනි අදහසක් පෝෂණය කිරීම සඳහායි.

2015 ජනවාරි වෙනසින් පසුව ආණ්ඩුව රණවිරුවන් විකුණාකමින් ජනතාවගේ ඇසට වැලි ගසා බලය තහවුරු කරගන්නට උත්සාය නොකළ නමුත් රණවිරුවන් වෙනුවෙන් සැලකියයුතු මෙහෙවරක් ඉටුකර ඇති බව කවුරුත් පිළිගත යුතුයි. එහි දී මූලිකම කරුණක් වන්නේ හමුදාවන්හි ගෞරවය ආරක්ෂාකිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවරයි. පාලකයන්ගේ පුතුනට රේස් පදින්නට පදික වේදිකාවල වැලි කොට්ට අහුරන හමුදා සෙබළුන් අද දකින්නට නැත්තේ ඒ නිසයි. හමුදාපතිවරයා ද මෑතක දී කියා තිබුණේ හමුදාවට නිදහසේ කටයුතු කරන්නට දැන් ඉඩ ලැබී ඇති බවයි. සුදු වෑන් පදවන්නට හෝ එවාහි නැගී ගොස් මිනිසුන් පහැරගන්නට හෝ අද හමුදාවන්ට අණ ලැබෙන්නේ නැහැ. අබාධිත සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් වැනි ප්‍රශ්න දඩමීමා කර ගනිමින් රණවිරුවන් පාරට බැස්සවීමටත් ඉන් දේශපාලන වාසි ලබාගන්නටත් ඇතැමුන් උත්සාහ කළත් එකී ප්‍රශ්න මහින්ද රාජපක්ෂ යුගයෙන් වත්මන් ආන්ඩුවේ ගිණුමට බැර වූ ප්‍රශ්න මිස මේ ආණ්ඩුවේ පාලන කාලයේ ඇති වූ ප්‍රශ්න නොවෙයි. එම ප්‍රශ්නවලටත් උපරිමයෙන් විසඳුම් ලබා දෙන්නට මේ ආණ්ඩුව නම්‍යශිලිව කටයුතු කරමින් ඉන්නා බව පැහැදිලියි. ඊට අමතර ව රණවිරු සේවා අධිකාරිය වැනි ආයතන හරහාත් රණවිරුවන් වෙනුවෙන් කටයුතු රැසක් සිදුවන නමුත් පැවැති ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව ඒ සේවා හරහා ප්‍රචාරක හෝ දේශපාලන වාසි ලබා ගැන්මට උත්සාය කරන්නේ නැහැ.

2015 ජනවාරි වෙනසින් පසුව ආණ්ඩුව රණවිරු සැමරුම ට අනුගමනය කළේ දකුණේ රණවිරුවාගේ ගෞරවය ආරක්ෂාවන සහ උතුරේ ජනතාව ගේ සිත් නොරිදෙන පිළිවෙතක් බව කියන්නට පුළුවනි. එසේම උතුරු ප්‍රදේශවල ජනතාවට යුද්ධයේදි මියගිය සිය ඥාතින් වෙනුවෙන් දුක්වීමට ශෝක වීමට ඇති අයිතිය ආරක්ෂාවන ආකාරයෙන් ද ආණ්ඩුව කටයුතු කළා. දකුණේ අන්තවාදි සුළුතරය දේශපාලන වාසි තකා එම පිලිවෙත විවේචනය කළත් එහි යහපත් ප්‍රතිඵල අද දකින්නට පුළුවනි. ඒ සඳහා ඇති හොඳම නිදසුන මෙවර වෙල්ලමුල්ලි ‍වයික්කාල් හිදී පැවතුණු මියගිය වැසියන් සැමරීමේ උත්සවයයි.

උතුරේ මිය ගිය වැසියන් සැමරීමේ නිල උත්සවය වශයෙන් ගත හැකි උත්සවය පැවැත් වුණේ මැයි මස 18 වන දා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ උත්සවයට සාමාන්‍ය වැසියන් හැර දේශපාලන නියෝජිතයන් කිසිවකු සහභාගි වී සිටියේ නැහැ.

පසුගිය ව‍සරේ එනම් 2017 වසරේ මියගිය වැසියන් සැමරූ වෙල්ලමුල්ලිවයික්කාල් උත්සවය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් සහ දෙමළ සන්ධානයේ සෙසු සමාජික පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණත් මෙවර ඔවුන් කිසිවකු උත්සවයට සහභාගි වී සිටියේ නැහැ. එසේ සහභාගි නොවීමට හේතුව වශයෙන් මාධ්‍ය වාර්තාකර තිබුණේ. මෙවර සැමරුම් උත්සවයට යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සහයෝගය ලැබීම සහ මුල්ලෙවයික්කාල් මියගිය අය සැමරුම දේශපාලනීකරණය වීමට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අකමැත්ත පළ කිරීමයි.

විග්නේශ්වරන් මහතා වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුමට සහභාගි වුණේ එම සමරුව උතුරු පළාත් සභාවේ සංවිධායකත්වයෙන් පැවැත්වුණු නිසයි. එම තත්ත්වය එක්තරා ආකාරයකින් අර්ථකථනය කළ හැක්කේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උතුරු පළාත් සභාව යම් නිල මට්ටමකින් පිළිගැනීමක් වශයෙනුයි. එනම් එයින් කියැවෙන්නේ, යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් (මේ මොහොතේ) වෙනම රාජ්‍යයක් වෙනුවට උතුරු පළාත් සභාව නමැති ශ්‍රී ලංකාවේ මධ්‍යම ආණ්ඩුවේ පළාත්බද පරිපාලන ඒකකය වන පලාත් සභාව සමඟ කටයුතු කිරීමට සූදානමින් පසුවන බවයි. මෙය යහපාලන ආණ්ඩුව උතුර සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතෙහි යම් සන්ධිස්ථානයකි.

ඊළඟ කාරණය දෙමළ ඊළාම් සංකල්පය ඔස්සේ උතුරේ ගොඩනැගී තිබුණු ඒකමිතිය මේ වන විට දියාරුවෙමින් පවතින බව මෙවර වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම ඔස්සේ තහවුරු වීමයි. ඊට හොඳම නිදර්ශනය වන්නේ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්. කේ. සිවාජිලිංගම් මහතා සමඟ පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් පක්ෂයක් බව කියැවෙන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමි පෙරමුණ ද මැයි 17 දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබීමයි. ඔවුන් එහි දී පහන් දල්වා මල් පූජාකර යුද්ධයෙන් මියගිය 50000කට අධික මහවිරුවන් සමරණ බව කියා තිබුණා. සිවාජිලිංගම් ඇතුළු පිරිස එහි දී අනුස්මරණය කළේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව නොව මහවිරුවන් වශයෙන් හැඳින්වෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වුවත් එහි දී පවා ඔවුනගේ එළඹුමේ යහපත් නම්‍යතාවක් පැහැදිලිවම දක්නට ලැබෙනවා. පළමුවැන්න ඔවුන් මෙවර මහ විරුවන් සැමරුවේ, පෙර මෙන්, මිනිස් ඝාතන,දේපළ විනාශ කිරීම්, සන්නද්ධ ක්‍රියාවලින් නොවේ. මල් පහන් පිදීමෙන් අහිංසක ආකාරයෙන්. දෙවැනි හා වඩාත් වැදගත්ම කරුණ මහවිරු සමරුමට වුව ඔවුන් සංවිධානය වූ ආයතනයේ නම ප්‍රජාතන්තවාදි සටන්කාමි පෙරමුණ වීම. ප්‍රජාතන්ත්‍ර විරෝධී සටන්කාමි සන්නද්ධ මාවත වෙනුවට ඔවුන් සටන්කාමි වුවත් ප්‍රජාතන්ත්‍රවාදි මාවතකට අවතීර්ණ වී තිබීම අතිශය වැදගත්.

මෙවර මුල්ලෙවයික්කාල් සැමරුම සම්බන්ධයෙන් මා දකින තීරණාත්මක මෙන්ම වඩාත් ධනාත්මක නැඹුරුව වන්නේ මළවුන් සැමරුමට මුල්ලෙවයික්කාල් ගොස් ආපසු පැමිණෙන පිරිසට හමුදාව විසින් සිසිල් පැන් සංග්‍රහයක් පැවැත්වීමයි. ඇත්තෙන්ම එම ක්‍රියාව දෙවැනි වන්නේ යුද්ධයේ අවසන් දවස්වල එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිනිස් පලිහෙන් ගැල වී නන්දිකඩාල් කලපුව තරණය කර පැමිණි ජනතාවට හමුදාවෙන් කළ උවටැන් සහ සංග්‍රහවලට පමණයි.

තිස්වසරක සිවිල් යු‍ද්ධයේ මළකඩ මිනිස් සිත්වලින් මකාදමන්නට එවැනි සද්ක්‍රියා බෙහෙවින් වටිනවා. සංහිඳියාවේ මාවත ඇත්තේ යුද ජය සැමරීම මත නොව යුද්ධයේ දුක බෙදාහදා ගැනීම මත බව අවබෝධකරගත්තොත් උතුරත් දකුණත් එක්ව අත්වැල් බැඳගන්නා දිනය ඈතක නොවෙයි.

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *