මනෝ විකාර, ගැටුම් හා සංවර්ධනය – නිශාන්ත කමලදාස

 මනෝ විකාර, ගැටුම් හා සමාජ මතවාදයකට රටක ගැටුම් ඇති කිරීමට හෝ නිවා දැමීමට ඇති හැකියාව මහත් ය. වඳ බෙහෙත් මිශ්‍ර කරමින් සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් ජාතිකයන් විසින් කුමන්ත්‍රණය කරන්නේ යන සමාජ මතවාදය, වඩාත් නිවැරදි ලෙස කියතොත් මනෝ විකාරය, අම්පාරේ මෑතක ඇති වූ ජාතිවාදී ගැටුම්වලට හේතු වූ බව මෑත ඉතිහාසයෙන් අපට ලබා දෙන උදාහරණයකි.

රටක ගැටුම් ඇති වීම සංවර්ධනය අඩාල වීමට ද රටක සංවර්ධනය අඩාල වීම පෙරලා ගැටුම් වර්ධනය කිරීමට ද හේතු වේ. තිස් අවුරුදු යුද්ධය විසින් අපේ රට කොතරම් ව්‍යාසනයකට ඇද දැමුවේ ද යන්න නැවත නැවතත් කිව යුතු නැත. ඒ ආර්ථික අවපාතය සිංහල මුස්ලිම් ගැටුම් නව වටයකින් ඇති කිරීම කෙරෙහි බලපා ඇති බව මුස්ලිම් ව්‍යාපාරිකයන් මූලික කරගෙන එල්ල කරගෙන යන තර්ජනයන්ගෙන් පෙනේ.

සංවර්ධනය අඩාල වීම නිසා ම නව දැනුම ළඟා වීම අඩාල වෙන අතර පැරණි සමාජ මතවාදයන් ප්‍රශ්න කිරීමකට පවා ලක් නොවීමට ද ඒ නිසා ඉඩ ලැබේ. වත්මන දකින්නට ලැබෙන්නේ පැරණි මතවාදයන් විශේෂයෙන් මනෝ විකාරයන් ප්‍රශ්න කරන මිනිසුන්ට ලේබල් අලවමින් පහර දෙන වටපිටාවක් පවා ඇති ව තිබෙන බව ය.

මේ සියල්ලෙන් අදහස් වන්නේ කෙලින්මත්, අනෙක් සංරචක හරහාත්, මේ ත්‍රිත්වය – එනම් සමාජ මතවාදය, ගැටුම් සහ සංවර්ධනය – එකිනෙක මත බලපෑම් කරන බව ය.

භූමි පුත්‍රයන් හා නොරටුන්

රට අයිති භූමි පුත්‍රයන් වූ සිංහල බෞද්ධයන්ට යැයි කියන මතවාදය සමාජ ගත වූ විට සෙසු මිනිසුන්ට ජීවත් වීමට සිදු වන්නේ දෙවැනි පුරවැසියන් හැටියට ය.භූමි පුත්‍රයන් කියන පිළිවෙළට ය. ඒ තත්වය පිළිගැනීමට සෙසු අය අකමැති වූ විට එතැන ඇති වන්නේ ගැටුමකි.

රටේ නීතිය අනුව සෑම පුරවැසියෙකුම නීතිය ඉදිරියේ සමාන ය. ඒ තුළ කියවෙන කාරණය නම් නීතිය විසින් සැමට රට පිළිබඳ සම අයිතියක් තිබේ යැයි සලකන බව ය. කිසිවෙකු සතු මානව හිමිකම් තවකෙනෙකුට උල්ලංඝනය කළ නොහේ. එය ජාති ආගම් කුල හෝ වෙනත් බේදවලින් ස්වාධීනව රටේ ඕනෑ ම පුරවැසියෙකුට ඇති අනුලංඝනීය අයිතියකි. එය ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇති අයිතියකි. එය ප්‍රසිද්ධියේ සියලුම නායක කාරකාදීන් පිළිගන්නා අතර ජනයා අතර බොහෝ දෙනෙකු ද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප නොකරන මතයකි. එවැනි වටපිටාවක සිංහල බෞද්ධ නොවන අය තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කිරීමට යෑම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටිම ස්වභාවික ය. එය ස්වභාවික වුව ද එය සිංහල සමාජය තුළ පවතින ප්‍රධාන ධාරාවේ සමාජ මතවාදයට ගෝචර වන්නේ නැත. ගැටුම ඇති වන්නේ ඒ නිසා ය. ඒ කියන්නේ නීතිය අභිබවන සමාජ මතවාදයක් රට තුළ ක්‍රියාත්මක වන බව ය.

1983 ජූලි කලබල සමයේ බොහෝ තැනක පොලීසිය මුණිවත රකිද්දී ප්‍රදර්ශනය වූයේ ව්‍යවස්ථාවේ කෙසේ සඳහන් ව තිබුණ ද පරාජිකා සමාජ මත වාදයන් නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවලට, නීතියට ද ව්‍යවස්ථාවට ද වඩා වැඩි බලපෑමක් ඇති කරන බව ය. ඊට වසර 30 කට වැඩි කලක් ඉක්ම ගිය තැන ඇති වූ බේරුවල අලුත්ගම සිද්ධිවල දී ද මෑතක දී තෙල්දෙණියේ හා අම්පාර සිදු වූ සිද්ධිවල දී ද ප්‍රකට වූයේ ද එම කරුණ ම ය. එයින් කියවෙන්නේ භූමි පුත්‍රයන් ඉදිරියේ සෙසු අය නිවටුන් විය යුතු ය යන සමාජ මතවාදය එදා මෙන් ම අද ද ප්‍රබලව පවතින්නේය යන්න ය. ගැටුම් ඇති කරමින් නතර නොවී ඒවා ඔඩු දුවා යනතෙක් පැතිර යන්නේ ද ඒ සමාජ මතවාදයට පින්සිදු වන්නට ය.

ඒක පුද්ගල දළ ජාතික ආදායම අතින් 1948 දී ආසියාවේ ජපානයට පමණක් දෙවැනිව සිටි ශ්‍රී ලංකාව පසු කලෙක තමන්ට පසුපසින් සිටි රටවල් බොහෝමයකට පැරද පසු බැස ගිය එක් හේතුවක් ලෙස දැක්වෙන්නේ රට තුළ තිබූ මේ සමාජ මත වාදය ය. ඒ හරහා ඇතිවූ පසු කලෙක යුද්ධයක් දක්වා පරිවර්තනය වූ වාර්ගික ගැටුම් ය. කුලබේදය පදනමක් සැපයූයේ යැයි සලකන දකුණේ තරුණ කැරලි ය. සංචාරක ව්‍යාපාරයට විදෙස් ආයෝජනයන්ට වැට බැන්දා වූ යුද්ධය ය. සම්පත් ගිලගත්තා වූ යුද්ධය ය. බුද්ධි ගලනය ඇති කළ යුද්ධය ය. කාලය කා දැමූ යුද්ධය ය. මිනිසුන් මරා දැමුණු අතුරුදහන් කෙරුණු සහ උන් අංග විකල කළ, ජනයා අවතැන් කළ, උන් රටින් පළවා හැරි යුද්ධය ය. ඉන් පරිබාහිරව ද තිබූ යුද්ධයෙන් පසු ද නිමක් දැකිය නොහැකි ගැටුම් ය.

සංවර්ධනයට වැට බැඳෙන විට සිදු වන්නේ ඇති තරම් සම්පත්, රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සහ අධ්‍යාපන අවස්ථා නිර්මාණය නොවීම ය. ඒ නිසා ඒවා තමන් වෙත නතු කර ගැනීම සඳහා පුද්ගලයන් කණ්ඩායම් ගැසීම ය. එහි දී ආගම සහ ජාතිය උපයෝගී කර ගැනීම ය. මුස්ලිම් භීතිකාවක් ඇති කරමින් මුස්ලිම් කඩ වර්ජනය කරන ලෙස සිදු කරන ව්‍යාපාරය පිටුපස තිබෙන්නේ මේ අභිලාෂයන් ය. ඇතැම් නගරවලින් ද ඇතැම් කර්මාන්තයන්ගෙන් ද අන්‍ය ජාතිකයන් පන්නා දැමීම අරමුණු කර ගෙන දියත් කර ඇති විවිධ උද්ඝෝෂණ පිටුපස තිබෙන්නේ ද මේ කතාව ය. හලාල්, වඳ බෙහෙත් හා ඇඳුම් සාප්පුවල සවි කර ඇතැයි කියන සැඟවුණු දර්පණ මෙන්ම සෙරෙප්පුවල දකින ධර්මචක්‍ර යන විවිධ ආකාරයන්ගෙන් මතු වන්නේ මේ උපාය මාර්ගයේ විවිධ හැඩතල ය.

ඌන සංවර්ධනය මෙසේ ගැටුම් ඇති කරවන අතර ඊට අවශ්‍ය උල්පන්දම් සපයනු ලබන්නේ සමාජ මතවාද විසිනි. ඒ ගැටුම් ආර්ථිකයට පෙරලා බලපෑම් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය අඩාල වේ. එය නැවතත් ගැටුම්වලට අවශ්‍ය තත්වයන් අප කී ලෙස ම නිර්මාණය කරන්නේ ය. මේ ඇතිව තිබෙන්නේ විෂම චක්‍රයකි. එය අපව ගෙනයන්නේ අගාධයකට ය. සර්පිලාකාර ගමනකින් කෙළවර වන අගාධයකට ය.

මේ ත්‍රිත්වයේ සම්බන්ධය හඳුනා ගැනීමට බොහෝ දෙනෙකු අසමත් ය. එය එකිනෙක සමග මුසු වෙමින් අපව අගාධයකට ගෙන යන බව තේරුම් ගැනීමට බොහෝ දෙනෙකු අසමත් ය. විශේෂයෙන් ජාත්‍යාලයෙන් හා ආගමික අන්තවාදයෙන් පෝෂණය කරනු ලැබ තියෙන මනසකට මෙවැනි සම්බන්ධයන් දැකීම හා ඒ සම්බන්ධයේ ගතිකත්වය විසින් අපව ගෙන යනු ලබන අභාග්‍ය සම්පන්න අනාගතය කුමක් දැයි තේරුම් ගැනීම විශේෂයෙන් අමාරු ය. ඒ නිසා ම මෙම සමාජ මතවාදයන් මේ රට අද වැටී ඇති නාරා වළෙන් ගොඩ ගැනීම වඩ වඩාත් අපහසු වන තත්වයකට පත් කොට තිබේ.

හේතුව හොයන අයට අහුවෙන්නේ තමන් කැමති මතවාදය ශක්තිමත් කරන එකකි. එය සමාජගතව ඇති පරාජිකා වූ මතවාදයක් වූ විට තත්වය කනගාටුදායක ය. එසේ සිතන ඇතැම් අයට අනුව සිදුව ඇත්තේ අපේ සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් සූරා කෑම නිසා ද පසු කලෙක නව යටත් විජීත වාදීන් විසින් අප රටට එරෙහිව කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියා නිසා ද සංවර්ධනය අඩාල වීම ය. ගැටුම් ඇති කිරිමේ වගකීම ද මේ අය විසින් පවරනු ලබන්නේ අධිරාජ්‍යවාදීන්ට ය. ඒ නිසා මේ ත්‍රිත්වයෙන් ඔවුන් අවධානය යොමු කරන්නේ කරුණු දෙකකට ය. වැදගත්ම තුන්වෙනි කාරණය ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වන්නේ නැත. ඊට අමතරව ඒ කරුණු දෙකම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන්නේ බාහිරට ය.

හේතුව මග හැරීම

අප සතු ව ඇති සමාජ මතවාදයන් ඒ තත්වයට කවර ආකාරයකින් හෝ බල පෑ බව ඔවුන් පිළිගන්නේ ම නැත. එහි වගකීම පවා හැකි නම් ඔවුන් පවරන්නේ බාහිර බලවේගයකට ය. ඒ ඇතැම් විට වංචාව ද අලස කම ද සුද්දන්ගේ උපක්‍රම ලෙස අර්ථ ගන්වමින් ය.

බ්‍රිතාන්‍යයන් අප රටින් යන විට අප ආසියාවේ දෙවැනි දැවැන්තයා ලෙස කිරුළු පැළඳ සිටි බව ඔවුන් දන්නේ නැත. නැත්නම් එය නොදන්නවා සේ මග හරිනු ලබන්නේ ය. සුද්දා හැදූ රේල්පාර අඟලකින් හෝ දික් කිරීමට අපට නිදහස ලැබී වසර 70 ක් ගත වූ බව ඔවුන් කියන්නේ නැත. සුද්දන් හැදූ මහපාරවල පළල පවා වැඩි කිරීමට අප සමත්ව ඇත්තේ යන්තමින් බව ඔවුන් කියන්නේ නැත. රට උගස් කර චීනාගෙන් ගත් ණය නොවන්නට අධිවේගී මාර්ගයක්වත් අපට හදන්නට ලැබෙන්නේ නැත.

කොරියාවට චීනයට සිංගප්පූරුවට මැලේසියාවට සුද්දාගේ කුමන්ත්‍රණ ඉක්මවන්නට හැකි වූයේ කෙසේ දැයි ඔවුන් කියන්නේ නැත. අපේ රටේ ඇති වූ වැනි ගැටුම් විවිධ ජනවර්ග ගණනාවක් ඇති සිංගප්පූරුවේ ඇති නොවුණේ කෙසේ දැයි ඔවුන් කියන්නේ නැත.

වගකීම අනුන්ට පවරන ජාතියක් කිසි කලෙක දියුණු වන්නේ නැත. බාහිර තර්ජනයකින් හෝ කුමන්ත්‍රණයකින් අප වැට්ටවිය හැකි නම් ඒ ද අපේ දුර්වලකමක් නිසා බව මෙසේ වගකීම අනුන්ට පවරන අය සිතන්නේ ද නැත. ඔවුන්ට කළ හැකි එක ම දෙය පහර දීමට මුව හමක් සොයා ගැනීම පමණකි. එයින් මුවාටවත් තමන්ටවත් අත් වන සෙතක් නැතැයි ඔවුන් දන්නේ නැත. ඒත් තමන් යමක් කරනවාය යන හැඟීමෙන් ඔවුන්ට තෘප්තිමත් විය හැකි ය. අවසාන ප්‍රතිඵලය හේතුව මග හැරීම ය.

හේතුව සොයා ගැනීමට අපහසු වන්නේ එක හේතුවක් වෙනුවට එකක් අනෙකෙන් පෝෂණය වන හේතු ත්‍රිත්වයක පැවැත්ම ය. ඒ තුළ මුල්වන එක් හේතුවක් නොතිබීම ය. ඒ වෙනුවට විෂම චක්‍රයක් පැවතීම ය.

ගොඩ ආ හැක්කේ කෙසේ ද?

එකවර ත්‍රිත්වයට ම ආමන්ත්‍රණය කිරීම ගොඩ ඒමේ මග ය. එකකට ආමන්ත්‍රණය කිරීමෙන් විෂම චක්‍රයක් හැර විය නොහැකි ය. කළ යුත්තේ සංවර්ධනය කළ හැකි හැම තැනකම ඒ සඳහා අවස්ථාව විවෘත කර ගැනීම ය. ගැටුම් වැළැක්විය හැකි හැම උපාය මාර්ගයක් ම ඊට අවස්ථාව ලද විට අනුගමනය කිරීම ය. සමාජ ගත වී ඇති වැරදි මතවාද හැකි හැම විටකම ප්‍රශ්න කිරීම ය. නව සාධනීය මතවාදයක් නිර්මාණය කර ගැනීමට උත්සුක වීම ය.

දැනට අගාධයක් දක්වා කැරකැවෙන ඍණ චක්‍රය එයින් මතු වී උඩට පැමිණිය හැකි ලෙස අනෙත් පැත්තට කැරකැවිය හැක්කේ මේ ත්‍රිත්වය තුළ කළ හැකි හැම ධන බලපෑමක් ම කිරීමෙන් ය. ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමකට දැයි කල්පනා කරමින් ලත වෙන්නේ නැතිව ධනාත්මක ලෙස වෙනස් කළ හැකි හැම සංරචකයක්ම වෙනස් කිරීමට බලපෑම් කිරීම ය. එකක සිදු වන හැම සාධනීය වෙනසක් ම ඊළග සංරචකය ඉදිරියට යොමු කරන්නේ ය. එය ඊළග සංරචකය තල්ලු කරන්නේ ය. දැන් චක්‍රය කැරකැවෙන්නේ ය.

මේ නිසා බොහෝ විට සිදු වන්නේ පැරණි පරාජිකා සමාජ මතයන් දරණ කණ්ඩායම් සංවර්ධනයට විරුද්ධ වීම ය. එයට අකුල් හෙළීමට කළ හැකි හැම දෙයක් ම කිරීම ය. ආර්ථිකය කඩා කප්පල් කිරීමට හැකි හැම දෙයක් ම කිරීම ය. සංචාරකයන්ට හිරි හැර කිරීම ය. පාරවල් වලට පැන උද්ඝෝෂණය කිරිම ය. රථවාහන අවහිර වන සේ හැසිරීම ය. ආයෝජකයන්ට මෙය කාන්තාරයක් ලෙස පෙන්නීම ය. දේශපාලන වශයෙන් රට අස්ථාවර කිරීම ය. වෙනත් රටක් සමග ඇති කරගන්නා වෙළඳ ගිවිසුමක් පවා රට හා ජනයා පාවා දීමක් ලෙස පෙන්වීම ය.

එපමණක් නොවේ. ඔවුහු හැකි සෑම තැනකම ගැටුම් ඇවිලවීමට ද වග බලා ගන්නෝ ය. ඒ සඳහා ඔවුහු බොරු වපුරවන්නෝ ය. පුවත් මවන්නෝ ය. ඒවා වෙනුවෙන්ම වෙබ් අඩවි පවත්වාගෙන යන්නෝ ය. පැරණි ඡයාරූපවලට අලුත් අර්ථ කථන සපයන්නෝ ය. බොරු සාක්කිකරුවන් නිර්මාණය කරන්නෝ ය. වෙන රටවල සිදු වුණු දෑ, වෙන යුගයක සිදු වුණු දෑ, මේ අද, අප රටේ, සිදු වුන දේ ලෙස දක්වන්නෝ ය.

එතැනින් නොනැවතී ඔවුහු මිථ්‍යාව ද වපුරන්නෝ ය. ඉතිහාස කතා අලුත් ආරකින් ඉදිරියට ගන්නෝ ය. රාවණාගේ චන්ද්‍රිකාවක් සොයා ගත්තේ ය යන්න මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද නවතම මැදිහත් වීම ය. ඒ පට්ට ගසා ඉවත දැමූ දඩු මොණරයට අමතර වශයෙනි. ගුවන් යානයකට වඩා කොහොමටත් චන්ද්‍රිකාවක් ඇඩ්වාන්ස් ය. මේ හැම එකකින් ම ඔවුන් කියන්නට යන්නේ එක් පණිවුඩයකි. අප සුද්දාට වඩා දියුණුව සිටි බවත් සුද්දා අපව නැත්තට නැති කළ බවත් ය. අදත් ඔවුන් දත කන්නේ අපව අගාධයක හිර කර තබන්නට බව ය. පරාජිකා මතවාද සමාජ ගත කිරීමට අවශ්‍ය හැම අනුබලයක් ම ඔවුහු මෙසේ ලබා දෙන්නෝ ය. ඒ අතර විද්‍යාවට හැම දෙයක්ම විස්තර කළ නොහැකි යයි කියමින් තමන්ට හා මිත්‍යාවට මැදිහත් වීමට අවශ්‍ය ඉඩකඩ ද ඒ සමගම පාදා ගන්නෝ ය. විද්‍යාව බොරුවකැයි කියමින් එය හෑල්ලු කරන්නේ ය. තමන් පරිහරණය කරන බොහෝ දේ විද්‍යාවේ ජයග්‍රහණ බව අමතක කරන්නෝ ය.

ආගම පවා යොදා ගනු ලබන්නේ සංවර්ධනය හානිකර බව කියන්නට ය. උන්නතිකාමිත්වය වැරදි බව කියන්නට ය. ඉන්න විදිහට ඉන්නා එක, දියුණුව පතනවාට වඩා යහපත් යැයි කියන්නට ය.

ඇස් පනා පිට ලබා ඇති දියුණුව අවතක්සේරු කරමින් ඔවුන් කිචේට අසන්නේ මේක ද දියුණුව කියා ය.

චක්‍රය ඉදිරියට කරකැවීම අමාරු ය

මේ නිසා ම චක්‍රය ඉදිරියට කැරකැවීම අමාරු ය. එය ජවයකින් කැරකැවෙන්නේ විරුද්ධ අතට ය. ඒ අගාධය කරා වේගයෙන් අප ගෙනයමින් ය.

ගණිතය පිළිබඳ මහාචාර්ය නලින් ද සිල්වා නාථ දෙවියන් ඉදිරියට දමමින් පහුගිය දිනක මැදිහත් වූයේ ඒ සඳහා ය. ඒ තනිව නොවේ. කැළණිය විශ්වවිද්‍යාලයේ සමාන විද්වතුන් ගණනාවක් ද සමග ය. මෑතක දී මේ පෝලිමට එක් වූයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය දයා අමරසේකර මහතා ය. ඒ මියගිය රණසිංහ ප්‍රේමදාස මහතා දේවාත්මයක ලබා ඇති බව තමන් දැනගත්තේ යැයි කියමිනි. චක්‍රය කරකවන්නේ ඊනියා විද්වතුන් වූ විට ද එය අනෙත් අතට කැරකැවීම වඩාත් අමාරු ය.

මේ චක්‍රය විරුද්ධ අතට කරකවන්නට යන අයට මේ චක්‍රයට අසු වී ඇතැම් විට අතක් පයක් කඩා ගන්නට පවා සිදු වන්නේ ය. නැතිනම් මෙයින් විසිකරණු ලබන කුණුවලින් නාගන්නට සිදු වන්නේ ය. ඩොලර් කාක්කා වැනි නම් ඇඟේ පච්ච කොටා ගැනීමට සිදු වන්නේ ය.

එවැනි ආපදාවලින් බේරී සිටීමට ශක්තිය ඇත්තේ ටික දෙනෙකුට ය. ඒ නිසා චක්‍රය අපව අගාධයකට ගෙන යන බව දන්නේ වුව ද වැඩිදෙනෙක් කිසිවක් නොකරති. ඕනැ අතකට කැරකෙද්දෙන් අපි මේ කොදෙව්ව ඇර යනවා යැයි සිතා සිටින්නේ එවැනි අය ය. උන් ලැබුණු මුල් ඉඩේ දී නැව් නගිනු ඇත (වයස 18-25 අතර තරුණයන්ගෙන් 60% කගේ එකම සිහිනය හොඳින් හෝ නරකින් පිටරටක පැන ගැනීම බව විශ්වවිද්‍යාල සමීක්ෂණයකින් හෙළි වී තිබේ).

තවත් අය මේ චක්‍රය කැරකෙනවා බලන්නට කැමති ය. ඒ දෙස බලා පොඩි ආතල් එකක් ගත හැකි නම් ඔවුන්ට ඒ ඇති ය. චක්‍රය අපව අගාධයකට ගෙන යනවා යැයි හැගීමක් ඔවුන්ට නැති නිසා යන මග වටපිට බලා සතුටු වීමෙන් ඔවුහු සැනසෙති. රාවණාගේ දඩු මොනරය චන්ද්‍රිකාවක් කර ආතල් ගන්නේ ඔවුන් ය.

මේ හේතු සියල්ල නිසා චක්‍රය තව තවත් මේ ආකාරයට කැරකෙනු ඇත. යම් හේතුවක් නිසා අනෙත් පැත්තට කැරකුණු විටක වුව ද එය නැවතත් පුරුදු අතට කැරකැවීමට ඉදිරිපත් වන පිරිස විසින් එහි දිසාව නැවත සකස් කරනු ඇත.

ඒ නිසා ම මේ ගැන දැනුවත් වීම ද සෙස්සන් දැනුවත් කිරීම ද වැදගත් ය. ඒ දැනුවත් භාවය ද ඇති ව මේ විෂම චක්‍රය නවත්වා සුගම චක්‍රයක් කර ගැනීම අවශ්‍ය ය. ඒ සඳහා සංවර්ධනයට ඉඩ සැලසීම ද, ගැටුම් සමථයකට පත් කිරීමට ඉදිරිපත් වීම හා සහජීවනයට අවශ්‍ය තත්වයන් නිර්මාණය කර ගැනීම මෙන්ම සමාජගත පරාජිකා මතවාදයන් පරාජය කිරීම ද අවශ්‍ය ය. එයින් එකක් නොව මේ තුන ම සමාන්තරව සාක්ෂාත් කර ගැනීමට වෙර දැරීම අවශ්‍ය ය. එය සංවර්ධිත හා සාමකාමී රටක් පතන මිනිසුන්ගේ වත්මන් පැහැර හැරිය නොහැකි වගකිමකි.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *