යු.ඇන්.පී යට විනය කර්මයක් – එම් ඕ ඒ ද සොයිසා

දේශපාලන පක්‍ෂයක සාමාජික විනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් අදාළ වන්නාවූ පොදු න්‍යායක් හෝ මතවාදයක් දේශපාලන විද්‍යාව තුළ දැකිය නොහැක. මේ හා සම්බන්ධව යම් මතයක් ඉදිරිපත් කළේ වී. අයි. ලෙනින් විසින් ඉදිරිපත් කළ ‘මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති න්‍යාය යටතේය. එම න්‍යාය ගොඩනගා තිබෙන්නේ කරුණු හතරක් පදනම් කර ගෙනය. මෙයින් පළමු කරුණ වන්නේ පහළ මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා ඇති පක්‍ෂයේ සෑම ආයතනයකම සාමාජිකයින් විවෘත ඡන්දයෙන් තෝරා ගැනීමය. දෙවන කරුණ වන්නේ පක්‍ෂයේ පහළ ආයතන පද්ධතිය විසින් කාලීනව පවතින තත්ත්වයන් ගැන ඉහළ මණ්ඩලවලට වාර්තා සැපයීමය. තුන්වන කරුණ වන්නේ සාමාජිකයින් කෙරෙහි බල පැවැත්වෙන ඉතාම දැඩි විනය සහ සුළුතරය බහුතරයට යටත් වීමය. සිව්වන කරුණ වන්නේ පක්‍ෂයේ ඉහළ ආයතනවලට පක්‍ෂයේ පහළ ආයතන ප්‍රශ්න කිරීමකින් තොරව යටත් වීමය.

මෙම මූලධර්ම යටතේ පක්‍ෂය සංවිධානය කළ විට එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදය පක්‍ෂය තුළ ආරක්‍ෂා වනවා මෙන්ම අනෙක් අතින් පක්‍ෂයේ මධ්‍යගතභාවය ආරක්‍ෂා කර ගැනීමට හැකිවන බව ලෙනින් පෙන්වා දුන්නේය. එමෙන්ම පක්‍ෂ ඒකාග්‍රතාව මෙන්ම පක්‍ෂ විනයද ඉතාම හොඳින් මේ ක්‍රමය යටතේ පවත්වා ගෙනයාමට හැකි බව ලෙනින් කියා සිටියේය.

පිළිගත් පොදු මතය වන්නේ දේශපාලන පක්‍ෂයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු එක් මූලික කොන්දේයක් වන්නේ පක්‍ෂය විසින් තම සාමාජිකයින් කෙරෙහි බලපාන දැඩි විනයක් පවත්වා ගෙන යාමත් සෑම සාමාජිකයෙක්ම එනම් පක්‍ෂ නායකත්වයේ සිට පහළින්ම සිටින සාමාජිකයා දක්වාම, පක්‍ෂ විනයට ගරු කරමින් එයට යටත්ව ක්‍රියා කිරීමත්ය. එමෙන්ම මේ හා බැඳී පවතින අනෙක් කොන්දේසිය වන්නේ යම් පක්‍ෂ සාමාජිකයකු එනම් නායකයකු හෝ වේවා නැතිනම් සාමාන්‍ය සාමාජිකයකු හෝ වේවා පක්‍ෂ විනයට එරෙහිව කටයුතු කරන්නේ නම් එසේ කරන පුද්ගලයාගේ තරාතිරම නොබලා අවශ්‍ය දඬුවම් පැමිණවීමට පක්‍ෂයට හැකියාව තිබීමය.

මෙසේ කරන දඬුවම් එක්කෝ ප්‍රාථමික වශයෙන් කෙරෙන අවවාද කිරීමක් වියහැක. නැතිනම් පක්‍ෂයේ දරන

තනතුරුවලින් ඉවත් කිරීමක් වියහැක. එසේත් නොමැති නම් පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමක් වියහැක. අවසාන වශයෙන් පක්‍ෂ සාමාජිකත්වයෙන් පන්නා හැරීම වියහැක. මෙහි දී එක් කරුණක් විශේෂයෙන් සඳහන් කළ යුතුය. එනම් යම් පුද්ගලයකු දේශපාලන පක්‍ෂයක දරන සාමාජිකත්වයෙන් ප්‍රසිද්ධියේ පන්නා හැරීම එම පුද්ගලයාට දේශපාලන වශයෙන් කළ හැකි බරපතළම අපහාසයක් වන බවය. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ යම් ආගමකින් පුද්ගලයකු පන්නා හැරීමේ තත්ත්වයට බෙහෙවින්ම සමාන වන දෙයක් ලෙසය. හේතුව ආගමකින් පන්නා හැරීම කෙනකුගේ ආගමික ජීවිතය විනාශ වීම කෙරෙහි බලපාන්නේ යම් සේද එයාකාරයටම දේශපාලන පක්‍ෂ සාමාජිකත්වයෙන් යම් අයකු පන්නා හැරීම එම පුද්ගලයාගේ දේශපාලන ජිවිතය මුලූමණින්ම විනාශ වීම කෙරෙහි බලපාන බැවිනි.

මීට ඉහතින්ද දැක්වූ පරිදි දේශපාලන පක්‍ෂයක තිබිය යුතු විනය පටිපාටිය සම්බන්ධයෙන් පිළිගත් පොදු මතයක් නොමැති වූවද සාමාන්‍යයෙන් පිළිගත් මතය වන්නේ යම් අයකු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වූ පසුව මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පක්‍ෂය සමඟ එකඟතාවකට පැමිණෙන බවය. මෙයින් එකක් වන්නේ පක්‍ෂයේ දේශපාලන දර්ශනය, ආර්ථික දර්ශනය සහ සමාජ දර්ශනය හොඳින් තේරුම් ගෙන එය අනුගමනය කිරීමට බැඳී සිටින බවට පොරොන්දු වීමය. දෙවන කරුණ පක්‍ෂයේ දර්ශනය සමාජය තුළ පතුරුවා හරිමින් අනෙක් අයට අවබෝධ කර දෙමින් ඒ අය පක්‍ෂයට බඳවා ගැනීමට කටයුතු කිරීමය. තුන්වන කරුණ ගිවිසගත් පරිදි සාමාජික ගාස්තු නිසි ලෙස කලට වේලාවට ගෙවමින් පක්‍ෂ සාමාජිකත්වය අඛණ්ඩව පවත්වා ගෙනයාමට කටයුතු කිරීමය. සිව්වන කරුණ පක්‍ෂය පිළිගත් විනය පටිපාටිය අනුව ක්‍රියා කිරීමය. විනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයෙන්ම අදාළ කොන්දේසියක් වන්නේ පක්‍ෂය විවෘතව විවේචනය නොකිරීමය. නායකයින්ගේ වැඩ කටයුතු විවෘතව සාකච්ජා කිරීම හෝ විවේචනය නොකිරීමය. එමෙන්ම නායකයින්ට අවනත වීමය. පක්‍ෂයේ රහස් දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමය. කථාකළ යුතු හෝ සාකච්ඡා කළයුතු යම් දෙයක් වේ නම් පක්‍ෂය තුළම පමණක් කිරීමය.

දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය සම්බන්ධයෙන් අදාළ වන මෙම කොන්දේසි එයාකාරයෙන්ම අනුගමනය කිරීමට නොහැකි නම් එවැනි අයට පක්‍ෂයට කළහැකි ලොකුම මෙහෙය වන්නේ පක්‍ෂය තුළ රැඳී සිටිමින් පක්‍ෂයට තවදුරටත් හානි පැමිණවීම නොව ස්වකීය කැමැත්තෙන්ම පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී යාමය. නැතිනම් එවැනි පක්‍ෂ ද්‍රෝහීන් පන්නා දැමීමට පක්‍ෂය පියවර ගැනීමය. අකීකරු සාමාජිකයින් සම්බන්ධයෙන් යම් දේශපාලන පක්‍ෂයකට ඉහත දැක්වූ ආකාරයට දැඩි විනය පියවර ගැනීමට නොහැකි වන්නේ නම් එවැනි දේශපාලන පක්‍ෂයක පැවැත්ම අතිශයින්ම අනතුරුදායක තත්ත්වයකට පත්වන බව අමුතුවෙන් කීම අවශ්‍ය නැත. මෙයින් එක් දෙයක් අවබෝධ කරගත යුතුය. එනම් යමෙක් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වූ විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පුද්ගලයින්ට හිමිවන නිදහසේ කතාකිරීමේ අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි සමහර අයිතීන් යම් යම් සීමාවන්ට යටත්ව භාවිත කිරීමට සිදුවන බවය.

ඉතාම කෙටියෙන් කියනවා නම් දේශපාලන පක්‍ෂ වූ කලී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කොට පවත්වා ගෙනයාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය විසින් නිර්මාණය කළ අපූර්වතම නිර්මාණයක් වූවද දේශපාලන පක්‍ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම එයාකාරයෙන්ම ක්‍රියාත්මක වන්න් නැත. ඇත්තවශයෙන්ම දේශපාලන ක්‍ෂපක්‍ෂයක් තුළ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව පක්‍ෂ නායකත්වයේ කතිපයාධිකාරී ආධිපතිත්ව බලයයි. වෙනත් ආකාරයකට කියනවා නම් පක්‍ෂ නිලබල පද්ධතියේ ඉහළින්ම සිටින නායකයන්ගේ අධිපතිවාදී බලයයි. දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වන්නේ කවුරුන්ද මේ යථාර්ථය මැනවින් අවබෝධ කර ගැනීම අවශ්‍යම දෙයක් වේ. එසේ නොමැතිව පක්‍ෂයක් තුළ තමන්ට හිතෙන හිතෙන ආකාරයට දේශපාලනය කිරීමට ගියහොත් සිදු වන්නේ තමන් විසින් දේශපාලන වශයෙන් තමන් විනාශ කර ගැනීමය.

දේශපාලන පක්‍ෂයක සාමාජිකයින් කෙරෙහි බලපාන විනය සම්බන්ධයෙන් මෙම කරුණු සඳහන් කිරීමට සිදුවූයේ මේ රටේ මේ මොහොත වනවිට පවතින ප්‍රධානම සහ විශාලම දේශපාලන පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂය සාමාජිකයින්ගේ විනය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය හේතු කොට ගෙනය. සාමාජිකයින් කෙරෙහි බලපාන විනය නීතිරීති මාලාවක් නැති සාමාජිකයින්ට තම තමන්ගේ ඕනෑ එපාකම් සහ රුචි අරුචිකම් අනුව පෞද්ගලික මට්ටමෙන් හැසිරීමට ඉඩහැර තිබෙන අයාලේ යන දේශපාලන පක්‍ෂයක් බවට මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂය පත්ව තිබේද? මේ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙන්නේ පසුගිය මාස දෙක තුන තුළ විශේෂයෙන් සඳහන් කරනවා නම් පසුගිය පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසුව පක්‍ෂයේ සමහර සාමාජිකයින් විශේෂයෙන්ම සමහර ජේෂ්ඨ සාමාජිකයින් හැසිරෙන ආකාරය දෙස බලන විටය. මේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ අවිචාරවත් හැසිරීම දෙස බලනවිට පෙනී යන්නේ දේශපාලන පක්‍ෂයකට සම්බන්ධව සිටිනවා නම් එහි විනය පටපාටිය අනුව කටයුතු කළයුතුය යන සිද්ධාන්තය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් දැනුමක් හෝ අවබෝධයක් මොවුන්ට නොමැති බවය.

මෙම විනය විරෝධී හැසිරීමේ කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ ඉවක් බවක් නොමැතිව පක්‍ෂයේ නායකයා බරපතල ලෙස විවේචනය කිරීමය. පක්‍ෂ නායකයාට එලව එලවා පහර දීමය. අපහාස කිරීමය. තමන්ගේ පක්‍ෂ නායකයා මේ තරම් දරුණු ආකාරයට විවේචනය කරන වෙනත් දේශපාලන පක්‍ෂයක් මේ මොහොත වනවිට ලංකාව තුළ දැකිය නොහැක. ඇත්ත වශයෙන්ම විරුද්ධ පක්‍ෂවලින් කළයුතු කාර්යකි. පක්‍ෂය තුළ ඉඳිමින්ම මේ නායක විරෝධී කල්ලිය කරන්නේ. මෙසේ අවිචාරවත්ව සහ දඩබ්බරව හැසිරෙමින් නායකයාට සහ පක්‍ෂයට විවෘතව ද්‍රෝහිකම් කිරීමට මෙම නායක විරෝධී කල්ලියට හැකියාව ලැබී තිබෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහි දී ඇසීමට සිදු වේ. මෙයට බලපා තිබෙන එකම හේතුව පක්‍ෂය තුළ විනය පවත්වා ගෙන යාමටත් මෙවැනි ද්‍රෝහිකම් කරන කල්ලිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටත් පක්‍ෂ නායකත්වය අසමත් වීමත්ය.

මෙසේ කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ගතහැකි ඉතාම හොඳ ආදර්ශය වන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිරිල් මැතිව් සහ ගාමිණී ජයසූරිය යන ඇමතිවරුන් දෙදෙනා පක්‍ෂයෙන් පන්නා හැරීමය. එයාකාරයටම පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන ඇමතිවරුන් දෙදෙනා පක්‍ෂයෙන් පන්නා දැමීමය. මේ ජනාධිපතිවරුන් දෙදෙනා එදා ගත් දැඩි පියවර නිසා පක්‍ෂයට යම්යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවූවත් ඒවා යටපත් කර ගනිමින් පක්‍ෂයේ ඒකාග්‍රතාවය ආරක්‍ෂා කොට පක්‍ෂය ඉදිරියට ගෙන ඒමට හැකි වීය. අද පවතින විනය පිරිහීමේ තත්ත්වයෙන් පක්‍ෂය ගොඩගෙන පක්‍ෂයේ ඒකාග්‍රතාවය ආරක්‍ෂා කර ගනිමින් පක්‍ෂය ඉදිරියට ගෙන යාමට නම් වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ විසින්ද අනුගමනය කළ යුත්තේ තම පූර්වාගාමීන් වූ ජේ. ආර්. ජයවර්ධන සහ පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් දෙදෙනා අනුගමනය කළ දැඩි පිළිවෙත එයාකාරයෙන්ම අනුගමනය කරමින් පක්‍ෂයට සහ නායකයාට ද්‍රෝහිකම් කරන ඕනෑම අයකුගේ තරාතිරම නොසලකමින් පක්‍ෂයෙන් පන්නා හැරීමය. එසේ නොමැතිව ඔළුව අත ගාමින් හුරතල් කරමින් සිටීම නොවේ.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *