ජාතියට ප්‍රශ්නයක් වී ඇත්තේ වාර්ගික ප්‍රශ්නය නොව රාජපක්ෂ අවතාරයයි.

Soyza Imageගොඩනැගීමට නියමිතව ඇත්තේ සභාග ආණ්ඩුවක් වූවත්, මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට අවශ්‍ය කරන සමාජ කොන්දේසික් තිබේ. ඒ සමාජ කොන්දේසිය වන්නේ වෙනයමක් නොව ජනවාර්ගික සංහිඳියාව ය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුවක් වන මේ ප්‍රශ්නය තවදුරටත් තබාගෙන ඉදිරියට ගමන්කිරීමට හැකියාවක් නැත. අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිළිබඳ අවබොධයක් ඇතත්, මේකට සම්බන්ධවිය යුතු අනික් පාර්ශවය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එම උවමනාව තිබෙනවා ද යන්න ප්‍රශ්නයකි. එම පක්ෂය මහින්ද රාජපක්ෂ සමග මැතිවරණය මෙහෙයවූයේ ම වර්ගවාදය පදනම් කරගෙන ය. එක්සත් ජාතික පෙරමුණ බලයට පත් වුවහොත් රට බෙදන බවට පුචාරයක් ගෙනගිය අතර මැතිවරණය ආසන්න වන විට සිංහළයාගේ අවසානයට තව පැය 24යි යනුවෙන් එස්. එම්. එස් ව්‍යාපාරයක් ද දියත් කළ බව මතක් කළ යුතු ය. ජාතියට අද විනයක් වී ඇත්තේ මේ රාජපක්ෂ අවතාරය වේ.

රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන ජාතික ආණුඩු සංකල්පය මේ අවස්ථාවට උචිත වූවත්, එය තේරුම් ගැනීමට ශ්‍රිලනිපයේ මන්ත්‍රිවරුන්ගේ මනස පුණරුත්ථාපනයවීමට තරම් කාලයක් ගත වී නැත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින බහුතරයකගේ  චින්තනය තවමත් වැඩවසම්වාදී ය. ප්‍රජාතන්ත්‍රවාදයට තම චින්තයන ගලපාගන්නට හැකිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාකාරිත්වය තුළ ය. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය යන්න කුමක් ද යන්න තේරුම්ගන්නා තුරු එක්සත් ජාතික පක්ෂයට බලාසිටිය නොහැක. මේ පිරිස කල්පනා කරන්නේ හැකි ඉක්මනින් තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ය. එක්සත් ජාතික පෙරමුණ ආසන 106ක් දිනාගෙන තිබේ. සන්ධානය දිනාගෙන තිබෙන්නේ ආසන 96ක් පමණි. එක්සත් ජාතික පෙරමුණ සමග ආණ්ඩුවක් පිහිටුවීමට ද්‍රවිඩ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක් නොවන නමුත් නැවත මහින්ද රාජප්ෂ බලයට පත්කිරීමට හවුල් නොවන බව ඉතාම පැහැදිළි ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු තවමත් සිහින ලෝකයක ජීවත් වෙති.

පොදු ප්‍රතිපත්තියක් යටතේ බලණ්හාවකින් තොරව බලහවුල් කාරිත්වයක් මගින් රට ඉදිරියට ගෙනයෑමට වික්‍රමසිංහ මහතා කැමැත්ත පලකර තිබේ. පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය වසර ගනනාවක් විපක්ෂයේ සිටියේ ය. එම නිසාම එම පක්ෂයේ මන්ත්‍රිවරුන් ඇමතිකම්, උප ඇමතිකම් බලාපොරොත්තුවීම ස්වාභාවික ය. එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමන්ගේම ආණ්ඩුවක් තිබීම ගැන සතුටු වනවා නොඅනුමාන ය. ආසන 120ක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පෙරමුණට කිසිසේත්ම අපහසු නැත. සමානුපාතික ක්‍රමය යටතේ ආණ්ඩු පිහිටුවාගෙන තිබෙන්නේම ඒ ආකාරයට ය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය මේ අනුව කර තිබෙන්නේ විශාල කැප කිරීමකි. ඒකාධිපතියෙකුට යටත්ව කරන පාලනයක් මිස රට මුහුණ දී ඇති බරපතල ප්‍රශ්න විසද ගැනීමට බලතල බෙදාහදාගෙන කටයුතු කිරීමේ ඇති වැදගත්කම ඒ මන්ත්‍රිවරුන්ට තේරෙන්නේ නැත.

මෙතන ඇත්තේ පොදු වැඩපිළිවෙලක් පමණි. එක් එක් පුද්ගලයින් ගේ චින්තන නැත. ප්‍රතිරූප ගොඩ නැගීමක් නැත. රනිල් දර්ශනයක් කියා දෙයක් ද නැත. ඇත්තේ යහපාලන දර්ශනයකි. එය ද මතුවූයේ සිවිල් හා පුරවැසි සංවිධාන තුළිනි. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන්නේ සියළුම දෙනා එක්කර ගෙන එම යහපාලන දර්ශනය යථාර්තයක් කිරීමට ය. ඒ ගමනේ දි අල්ලසට දුෂණයට ඉඩක් නැත. එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අතිමහත් බහුතරයට එම ක්‍රමය නුහුරු ය. දූෂණයට පුරුදු වූ අයට එවැනි යහපාලනයක් ද ප්‍රශ්නයකි.
මෙවැනි තත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අහක බලාගෙන සිටීම සුදුසු නොවේ. කවුරු අකැමැති වූ වත් මේ ආණ්ඩුව ඉදිරි වසර 5කට ආසන්න කාලයක් පවතිනු ඇත. සිවිල් සමාජයේ ද කාර්යභාරය අවසන් වී නැත. තමන් බලාපොරොත්තු වූ අරමුණු ඉටුවන තුරු ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීම ඒවායේ ද වගකීමකි.

ඇත්තෙන්ම මේ රටේ ජාතික ප්‍රශ්නය වී ඇත්තේ මහින්ද රාජපක්ෂය. වර්ගවාදය, ගෝත්‍රවාදය, අධිකාරිවාදය යන සියල්ල මේ ජාතියටම මහත් කොඩිවිනයකි. තවමත් මේ හොල්මන්කරන්නේ ජාතියට විනකරන එම අවතාරය බව අප තේරුම්ගත යුතු ය. මේ අවුල ඇතිකරන්නේ කළ දූෂණ හා අල්ලස් පිළිබඳ චෝදනා වලින් ගැලවීමට ඇති එකම මාර්ගය වන්නේ නැවත බලයට පැමිණිම පමණක් වන නිසා ය. හවුල්කාරී ආණ්ඩුවක් හැදුවත් කෙරී ඇති මහාපරිමාන අල්ලස් හා දූෂණ චෝදනා විභාග කිරීම නතර වන්නේ නැත. බල හවුල්කාරිත්වයකට අකැමැත්වීමට එය ද එක් හේතුවකි. කුමන උපායන් යෙදුව ද එක්සත් ජාතික පෙරමුණට තනියම හෝ ඉදිරි වසර 4. 1/2 පාලනය ගෙනයෑමට දැන් වරමක් ලැබී තිබේ. රට මුහුණ දී ඇති බැරෑරුම් ප්‍රශ්න විසඳගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හරස්වන ඕනෑම මොහොතක තනිවම ආණුඩුවක් පිහාටුවා ගැනීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *