ගෝඨාගේ වැදි බණ

 

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී ගෝඨා කළ කතාවක් අසන අතරතුර ඉස්කෝල මහත්තයාගේ නෝනා ඉස්කෝල මහත්තයාගෙන් ඇසුවේ, ගෝඨා පොහොට්ටුවේද එක්සත් ජාතික පක්ෂයේ ද? කියාය.

ඉස්කෝල නෝනාගේ කතාවෙන් විශ්මයට පත් වූ ඉස්කෝල මහත්තයා නෝනාගෙන් ඇසුවේ, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකකම පික්පොකට් ගහන්නට කුරුමානම් අල්ලන ගෝඨා යූ.එන්.පී. ද අහන්නට හේතු මොනවාද කියාය.

ඇයි අනේ ඔයාට තේරෙන්නේ නැද්ද? ගෝඨා‍ගේ කතාව ලියල දීල තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ද කිල මට නම් සැකයි. එයා තනිකරම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට ඉදිරිපත් කළ වැඩසටහනම නේද? කියා එවිට ඉස්කෝල නෝනා කීවාය.

චීනයේ ආර්ථික සංවර්ධනය ගැන, ඇමරිකාව ගැන, ඉන්දුනීසියාවේ ආර්ථිකය ගැන ගෝඨා කියන්නේ රනිල් මහත්තයාගෙන් කොපිකරගත් කතා බව ඉස්කෝල මහත්තයාටත් මතක් වූයේ එවිටය.

ආර්ථිකය නංවන්න සම්ප්‍රදායෙන් පිට පනින් ඕන කියල ගෝඨා කියූ විට ඉස්කෝල නෝනා, ඔයා ඒ ගැන හිතන්නේ මොකක්ද කියා ඉස්කෝල මහත්තයාගෙන් ඇසුවාය.

එවිට ඉස්කෝල මහත්තයා කී‍වේ ආර්ථිකය නංවන්න එයාල තරම් හොඳට සම්ප්‍රදායෙන් පිට පැනපු අය මේ ‍රටේ නැත්තටම නැහැ කියාය. දැන් බලන්න ඔය ෂැන්ග්‍රිලා හෝටලය. ගෝඨා ආරක්ෂක ලේකම් කාලෙ සම්ප්‍රදායෙන් පිට පැනල හමුදා මූලස්ථානෙ ඉඩම නොදුන්නනම් ආර්ථික සංවර්ධනයක් වෙනවද කියා ඉස්කෝලෙ මහත්යා කීවේය.

ෂැන්ග්‍රිලා හෝටලයට ඉඩම දුන්නෙ ඩෙන්ඩර්වත් කරන්නෙ නැතුවලු නේද කියා එවිට ඉස්කෝල නෝනා ඇසුවාය.

‘ඒක තමයි සම්ප්‍රදායෙන් පිට පැනපු ක්‍රමය’ ඉස්කොල මහත්තයා පැහැදිලි කළේය. “රටේ සම්ප්‍රදාය හා නීතිය අනුව නම් යමක් විකුණද්දි ටෙන්ඩර් කරන්න ඕන. මිල ගණන් කැඳවන්න ඕන. ගෝඨා සම්ප්‍රදායෙන් පිට පැනලා හමුදාවේ ඉඩම අතයට දීල ආදර්ශයෙන් ම වැඩේ පෙන්නුවා” ඉස්කෝල මහත්තයා කීවේය.

ෂැන්ග්‍රිලා හෝටලේට ඉඩම දීලා ගත්තු සල්ලි ගිය අත ගැනත් ප්‍රශ්නයක් තිබුණද කියා ඉස්කෝලෙ නෝනා නැවතත් ඇසුවාය. ගෝඨටවත්, මහින්දටවත්, බැසිල්ටවත්, සැල්ෆෝන් විමලෙයාටවත් ඔය සභාවේ බඩදාගෙන ඉන්න අයටවත් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි රටේ ජනතාවට නම් ප්‍රශ්නයක් තිබුණා කියා එවිට ඉස්කෝලෙ මහත්තයා කීවේය.

පුනරුත්තාපනය වුණු එල්.ටී.ටී.ඊ. තරුණයෙක් වේදිකාවේ ගී කියන්නට ආවේ එවිටය. ඒ දුටු ඉස්කෝලෙ නෝනා ඇසුවේ එයා පිල්ලෙයාන් ද, කේ.පී ද, නැත්නම් කරුණා ළමයා ද කියාය.

කේ.පී, පිල්ලෙයාන්, කරුණා ළමයා සාටකේ වේදිකාවල බයිලා ගයනා කළේ පුනරුත්තාපනය වෙන්න කලින් කියා කී ඉස්කෝල මහත්තයා, ඒ අයත් සම්ප්‍රදායෙන් පිට පැනලා ඉස්මුරුත්තාවට එනකම් සංවර්ධනය වුණා දැන් ෂේප් එකේ ඉඳලා පස්සෙ වැඩට බහී කියාය. වෙනදට වේදිකා පුපුරන්න කෑ ගහන සැල්ෆෝන් විමලේ සද්ද බද්ද අඩුකරලා ඉන්නේ මොකද කියා ඉස්කෝලෙ නෝනා කී විට ඉස්කෝ‍ල මහත්තයා කීවේ, ඇසිල් බැසිල්ගෙයි, සාටකගෙයි, ගෝඨගෙයි, නාමල්ගෙයි. තර‍‍ඟෙට විමලයා මැදි වෙලා කතා කරන්න තියා අධෝවාතයක්වත් යවා ගන්න බැරි තරමට එයාගෙ අහවල් තැනත් එක්කම පූට්ටු වෙලා කියල ආරංචියක් තියෙනවා කියාය.

“රට සංවර්ධනය කරන්න නම් පාලකයන් සහ නිලධාරින් දූෂණයෙන් ඈත්වෙන්න ඕන. සියලුම පුද්ගලයන් සහ සංවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්වමින් කටයුතු කරන්න ඕන. ආදි වශයෙන් ගෝඨා වැදි බණත් කියන්නට පටන්ගත්තේ ඔය අතරවාරයේය. බලන්නකෝ මෙයා, ඒ පාර ගෝඨා වෙනත් මුඛයකින් කතාකරනවා වගේ, කියා එවිටම ඉස්කෝලෙ නෝනා කීවාය.

ඒ අසා ඉස්කෝල මහත්තයා මඳ වේලාවක් රූපවාහිනිය දෙස බලා සිටියේ, ඇස්කණ්ණාඩි දෙකද සකසුරුවමින් නාසය මත රඳවා ගනිමිනි. ‘නැහැ නෝනේ, එයා කතා කරන්නෙත් බත් මුඛයෙන්ම තමයි. වෙන මුඛයකින් කතාකරනවා වගේ ඔයාට පෙනෙනවාද කියා ඉන්පසුව ඉස්කෝලෙ මහත්තයා කීවේය.

අනේ නැහැ මෙයා, සාටකගෙ ලේකම්, විදුලි සංදේශ නියාමනයේ ලොක්කා එහෙම අණ්ඩුවේ සල්ලිවලින් සිල්රෙදි බෙදද්දි, ඇසිල් බැසිල් අයියා දිවි නැගුමේ සල්ලිවලින් සාටකගෙ ඡන්ද නැඟුමට ලිත් අච්චු ගහද්දි, සැල්ෆෝනයා ආණ්ඩුවේ සල්ලි වියදම්කරල දිනපොත් ගහද්දි, ආණ්ඩුවේ සල්ලිවලින් සාටක පුම්බන්න ඔරලෝසු බෙදද්දි, ඉඩම් ගොඩකරන්න තිබුණු සල්ලිවලින් අම්ම අපුච්චිට ස්මාරක හදද්දි නිලධාරි දූෂණයෙන් ඈත්වෙලා හිටිය නම් හොඳයි කියල ගෝඨ ට මතක් වුණේ නැත්තෙ කාගෙ කරුමෙටද කියල හිතාගත්ත අමාරු යැයි එවිට ඉස්කෝලෙ නෝනා කීවාය. ගෝඨ ලා සාටක ලා ඒ කාලෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොඉක්මවල කටයුතු කරල සී ජේ ‍නෝනා ගෙදර යැව්ව හැටි, දහඅට ගෙනැල්ලා මැරෙනතුරු ඉන්න පාර කපා ගත්තු හැටි ඉස්සරහ වාඩි වෙලා ඉන්න ගනින්නාසෙලාටවත් මතක්වෙන්නෙ නැති හැටි පුදුමයි තමයි; කියා ඉස්කොල මහත්තයා ද කීවේය.

ආර්ථික වර්ධනයට අයෝජන ඉතාම වැදගත්, පුද්ගලික අංශයට උදව් කරමින් ඉහළ තත්ත්වයේ ආයෝජන රටට ගේන්න ඕන, ආදි වශයෙන් නැවතත් ගෝඨා කියන්නට පටන් ගත්තේ ය.

‘ඒ‍ ටික නම් එයා අල්ලගත්තෙ රනිල්ගෙන්, මොනවද ඔට්ටු?’ එවිට ඉස්කෝල නෝනා කීවා ය.

‘ඒක ඇත්තතමයි නෝනෙ. මම මේ කල්පනා කළේ, සාටක රජ්ජුරුවන්ගෙ කාලෙ රට ඇතුළෙ වරායවල් හදන්න, මැච් ගහන්නෙ නැති ක්‍රිකට් පිච් හදන්න, වනාන්තර මැද එයාර්පෝට් හදන්න, ගිනි පොලී ණය ගද්දි දැන් ආයෝජන ගැන කියන ඔය කට ඇරියෙ නැත්තෙ මොකද කියලයි’ ඉස්කෝල මහත්තයා ද කීවේය.

‘මම හිතන්නෙ මෙයා ඕක සාටක පවුලෙ ජන්ම ලක්ෂණයක්’ එවිට ඉස්කෝලෙ නෝනා කීවාය.

‘මට තේරුණේ නැහැ’ ඉස්කෝල මහත්තයා කීවේය.

දැන් බලන්න මෙයා, සාටක බලයට එන්න කලින් කීවේ, ‘මම මේ රටේ පාලකයා නෙමෙයි බාරකාරයා’ කියල. ඒත් බලය ලැබුණට පස්සෙ වැඩ කලේ රටේ උරුමක්කාරයා කියල හිතාන. බලයට එන්න කලින් කතා කළේ මානව හිමිකම් ගැන; බලයට ඇවිත් කළේ,  සුදු වෑන් එවපු එක, උස්සල මරපු එක, උද්ඝෝෂණවලට වෙඩි තියපු එක. ඒ කාලෙ කොළඹ වතු සමතලා කරපු, මිනිසුසු මරන්න අණ දීපු ගෝඨා දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ධර්ම දේශනා කරනවා. ඔවට ගහන්න ඕන ගෝඨ ට නෙමෙයි කතා අහගෙන ඉන්න එවුන්ට.’

ඉස්කෝලෙ නෝනා රූපවාහිනිය නිවා දැමුවා ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *