සමෘද්ධි බැංකුව තවත් ‘සක්විති බැංකුවක්’ නොවන්නට නම්…. – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

 

අපේ ගමේ මෑත දවසක දානමය පින්කමක දී මා සමඟ ගමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා කතා බස් කරමින් සිටියදී එතැනට වඩුබාස්උන්නැහේ කෙනෙකුත් ආවා. ඉන් පසුව කතා බහ යොමුවුණේ ඉහත කී සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා අලුතින් ඉදිකරගෙන යන නිවෙස සම්බන්ධවයි. එම නිවසේ දොර ජනල් සැදුවේ අර කී වඩු කාර්මික මහතා බවත්, ඔහුගේ වැඩ ඉතා හොඳ බවත් කී සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා, කතාව අවසන් කළේ, වඩුකාර්මික මහතා කළ සේවයට ගාස්තු වශයෙන් ඔහුට එතෙක් ලැබෙමින් තිබුණු තුන්සීයක සමෘද්ධි සහනාධාරය රුපියල් තුන්දහස දක්වා වැඩිකර දුන් බව කියමිනුයි. සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා ඒ බව කීවේ යම් ගෞරවයකින් ද යුතුවයි.

ඉහත සංවාදය මට සිහි වුණේ මේ දිනවල දිගින් දිගටම මතුවෙමින් ඇදී යන සමෘද්ධි බැංකු පිළිබඳ විවාදය නිසයි. විවාදයට පදනම වැටුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි 06 දා කොළඹ දී කළ කතාවක් නිසයි. එහි දී රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ අඩු අදායම් ලාභීන්ට ගෙවන්නට මේ වසරට වෙන් කළ රුපියල් බිලියන 25 ක සමෘද්ධි දීමනා වලින් බිලියන 13 ක්ම පළමු මාස 03 ඇතුළත වියදම් කර ඇති බවයි.

සමෘද්දි සහනාධාරය දෙන දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවත්, රටේ සියලුම බැංකු මහ බංකුව යටතේ අධීක්ෂණය වන නමුත් ගම්මට්මනින් ක්‍රියාත්මක සමෘද්ධි බැංකු ගැන කිසිම අධීක්ෂණයක් මෙතෙක් කර නැති බවත් එහි දී අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා තිබුණි.

අග්‍රාමාත්‍ය වරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව මුලින්ම නැඟී සිටියේ හිටපු සමාජ සුබසාධක හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය එස්.බී. දිසානායක මහතායි. ඒ මහතා කියා තිබුණේ, සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට ගන්නට නම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පනත වැඩි ඡන්ද තුනෙන් දෙකක බහුතරයකින් ‍පාර්ලිමේන්තුවේ සම්මතවන්නට අවශ්‍ය බව හා එසේ සම්මත කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉඩ නොදෙන බවයි.

එස්.බී. දිසානායක මහතාගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු මතය වශයෙන් සලකන්නට සාධක නැති වුණත් සමෘද්ධි සංවර්ධන බැංකුව යම් නියාමනයකට හෝ සොයා බැලීමකට ලක්කරන්නට ගන්නා උත්සාහයට එල්ල වන විරෝධය තේරුම් ගන්නට අපහසුයි. හිටපු ඇමැති ලක්ෂමන් යාපා මහතා ද එස්.බී. දිසානායක මහතාගේ අදහසට උඩගෙඩි දෙමින් පවසා තිබුණේ, රට පුරා සමෘද්ධි බැංකු 1074ක් තිබෙන බව සහ සමෘද්ධි මහ සංගම් 3352ක් ඇති බවයි. දුප්පතුන් නඟාසිටුවන්නට ස්වේච්චාවෙන් පාලනය වන සමෘද්ධි බැංකුව සතුව රුපියල් බිලියන 120ක අරමුදලක් තිබෙන බවත් ලක්ෂ්මන් යපා හිටපු ඇමැතිවරයා කියනවා.

බිලියන 120ක් යනු සුළු මුදලක් නොවේ. අනෙක් අතට ඒ බිලියන 120 යනු මෙරට අන්තිම දිළිඳු ජනතාවගේ ඉතිරි කිරීම්වල එකතුවයි. ඒ මුදල් කිසිම අධීක්ෂණයකින් තොරව හිතු මනාපයේ පාලනය කරන්නට ඉඩ දී ඇත්නම් එය වරදක් බව අ‍වබෝධ කරගන්නට මහා ආර්ථික විද්‍යා දැනුමක් හෝ ගණකාධිකරණ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගමක ග්‍රාම සංවර්ධන සමිතියක්, මරණාධාර සමිතියක් සතු අරමුදලක් පවා ක්‍රියාත්මක වන්නේ යම් පරිපාලනයකට සහ විගණනයකට යටත්වයි. එසේ නම් බිලියන 120ක සමෘද්ධි අරමුදල අධීක්ෂණයකට ලක්කි‍රීමේ වරදක් නැහැ.

සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භය ජනසවිය වැඩ සටහනයි. ග්‍රාමීන් බැංකු ක්‍රමය ආදි දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාරවල අභාෂය ඇතිව ඇරඹුණු ජනසවිය ව්‍යාපාරය විශේෂයෙන්ම ආර්. ප්‍රේමදාස යුගයේ ශක්තිමත් සහ වැඩදායී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වුණා.

චන්ද්‍රිකා බණ්ඩාරණායක සමයේ සමෘද්ධි ව්‍යාපාරය නමින් බෞතීස්ම කළ ජනසවිය වැඩ සටහන ඉන් පසුව මුලුමනින්ම ක්‍රියාවට නැගුණේ දේශපාලන ව්‍යාපෘතියක් වශයෙනුයි. සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේ කාට ද කවර ප්‍රමාණයක් ද යන්න සැම විටම තීරණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ආණ්ඩුවට අදාළ පුද්ගලයා කොතරම් පක්ෂපාතී ද යන නීර්ණයක මතයි. සමෘද්ධි සංවර්ධන නිලධාරින් පත්කිරීමේ දී සලකා බැලුණු මිණුම් දණ්ඩ වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එහි හිතවාදී පක්ෂවලට ඇති සම්බන්ධතාවයි. පක්ෂයේ රැස්වීම්, මැයි රැළි සියල්ලටම සහභාගි වන්නට සමෘද්ධි ලාභීන්ට සිදු වී තිබුණා. ඡන්දය වෙනත් පක්ෂයකට දුන්නොත් සමෘද්ධි සහනාධාරය නොලැබී යනු ඇතියි යන බිය නිසා අඩුම තරමින් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය භුක්ති විඳින්නටවත් සමෘද්ධි ලාභීනිට නිදහසක් තිබුණේ නැහැ. චන්ද්‍රිකා සමයේ සමෘද්ධි ඇමති එස්.බී. දිසානායකට ඡන්ද මැෂිම යන විරුධාවලිය ලැබී තිබුණේත් ඔහුගේ විශේෂ දක්ෂතාවක් නිසා නොවෙයි; ඔහු සමෘද්ධි ඇමති වූ නිසයි. එවැනි දූෂිත ආයතනයක් අයාලේ යන තත්ත්වයෙන් මුදා ගන්නවාය කියන වචනයටත් විරුද්ධ වන්නට එස්.බී. දිසානායක මහතා වැනි අය පෙළඹෙන හේතුවත් එයයි.

සමෘද්දි සංවර්ධන අරමුදල මහ බැංකුවේ අධීක්ෂණයට ලක්කිරීමට විරුද්ධව එස්.බී. වැන්නන් ගෙනෙන තර්කයක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව දිවි නැඟුම සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වූ බව සහ එම පනතට අනුව සමෘද්ධි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් නොවන බව සඳහන් වීමයි.

දිවි නැඟුම පනත යනු මෙරට ඉතිහාසයේ සම්මත වූ දූෂිතම පනතයි. එය සම්මත කරන්නේ නීතියට අනුව නොවෙයි. එකල අග්‍රවිනිශ්චයකාරවරිය බලහත්කාරයෙන් ගෙදර යැව්වේත් ඇය දිවි නැගුම පසත අභියෝගයට ලක්කළ නිසා බව එස්.බී.ලා ට අමතක වුණත් ජනතාවට අමතක නැහැ.

දිවි නැඟුම පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ බව කීවත්, මහින්දගේ තුනෙන් දෙකේ බලයත් ප්‍රජාතන්ත්‍රවාදීව නොව බලහත්කාරයෙන්, වරදාන දීමෙන්, මන්ත්‍රිවරු බිලීබාගෙන ගොඩ නඟාගත් බලයක්. ඒ නිසා එවැනි පාර්ලිමේන්තුවකින් සම්මත කරගත් පනතකට නෛතික මුහුණුවරක් තිබුණත් එය යුක්ති සහගත නැහැ.

එසේ බලහත්කාරීව සම්මත කරගත් පනතක් ඔස්සේ ගොඩ නැගූ දිවි නැඟුම ඔස්සේ සමෘද්ධි අරමුදල් අවභාවිත කරමින් මැතිවරණ ඉලක්ක කර ලිත් මුද්‍රණය කිරීම ආදි අකටයුතු සිදු වූ බව අමුතුවෙන් කිවයුතු නැහැ. දිවි නැඟුම පනතින් කෙරුණේ මෙරට දිළිඳු ජනතාවට අයත් බිලියන 120ක අරමුදල බැසිල් රාජපක්ෂ මහතාගේ කැමැත්ත අනුව පාලනය කරන්නට, වියදම් කරන්නට හැකි වටපිටාවක් සකසා දීම නොවේ ද? එවැනි පනකතට මුවා වී සමෘද්ධි අරමුදල අධීක්ෂණයකට යටත් කිරීමට ගන්නා උත්සාහයට විරුද්ධ වීම සම්පූර්ණයෙන්ම ජඩ ක්‍රියාවක් බව පිළිගත යුතුයි. එස්.බී. වැන්නන් මේ උත්සාහ කරන්නේ අනාගතයේ යම් දිනෙක යළි යළිත් සමෘද්ධි අරමුදල අවභාවිතයේ යෙදවීමට ඇති අවස්ථාව ආරක්ෂා කර ගැනීමට මිස සමෘද්ධි අරමුදල ආරක්ෂා කරන්නට නම් නොවේ. ඒ නිසා සමෘද්දි සංවර්ධන අරමුදල විනිවිද පෙනෙන ආකාරයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කිරීම කාලීන මෙන්ම ජාතික අවශ්‍යතාවක්. සමෘද්දිලාභීන් තෝරා ගැනීමත් විනිවිද පෙනෙන හා සාධාරණ, සුදුස්සාට සුදුසුතැන ලැබෙන ආකාරයකින් සිදු විය යුතුයි. එපමණක් නොවේ, මෙතෙක් සමෘද්දි සහනාධාර ලබාදීම අවභාවිත වී ඇත් ද යන්නත් සොයා බලා වරදක් සිදුව ඇත්නම් නිවැරදි කළ යුතුයි. වැරදි කරුවනට දඬුවම් පැමිණ විය නොහැකි නම් ඉදිරියේ දී වැරැදි කරන අයට දඬුවම් කළ හැකි ක්‍රමයක්  හෝ සැකසිය යුතුයි. සමෘද්ධි අරමුදල් හෝ දිවිනැගුම අරමුදල් හෝ අවභාවිත වී ඇති ද යන්න සොයා බලා වැරදිකරුවනට දඬුවම් පැමිණවිය හැකි ක්‍රමයක් ද සකස් කළ යුතුයි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *