සිංගප්පූරු ගිවිසුමෙන් රැකියා වෙළෙඳ පොළ විවෘත කරන්නේ නෑ – අගමැති වෘත්තියවේදීන්ට කියයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට කිසිදු වෘත්තිකයකුට අවස්ථා අහිමිවීමක් හෝ අසාධාරණයක් හෝ සිදු නොවන බවත්, මෙරට රැකියා වෙළඳ පොළ විදේශිකයන්ට විවෘත කිරීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වික්‍රමසිංහ මහතා ඒ අදහස් දැක්වූයේ අද (18) දහවල් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව විවිධ වෘත්තිකයන්ට තිබෙන ගැටලු සහ දුරාවබෝධයන් විසඳා ගැනීම සඳහා නිරන්තරයෙන් සාකච්ඡා වාරයන් පැවැත්වීමට ද මෙහි දී තීරණය කෙරිණි.

ගිවිසුම හා එහි උප ලේඛන සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති තැන් පිළිබඳ දැනුම් දෙන ලෙස ද, එවිට සත්‍ය තත්ත්වය පැහැදිලි කර ගත හැකි බව ද අගමැතිවරයා පැවැසීය.

එසේම ගිවිසුම ක්‍රියාත්මකවීම නිරීක්‍ෂණය කිරීමේ කටයුතුවලට ක්‍රියාශීලීව සම්බන්ධ වීමට ද නියෝජිතයෝ එකඟත්වය පළ කළහ. ඒ නිරීක්‍ෂණ අනුව ගිවිසුම වාරානුකූලව සංශෝධනය කරලීමේ අවකාශ ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ පරමාර්ථය විදේශ ආයෝජන මෙරටට ඇද ගැනීමත්, ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ට විදේශ රැකියා අවස්ථා ඇති කිරීමත්, ලෝකයේ අනෙකුත් රටවල සමාගම් සමඟ මෙරට සමාගම්වලට ඒකාබද්ධව ව්‍යාපාර කිරීමට අවස්ථාව සැලසීමත් බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, ආගමන විගමන පාලක ජනරාල් එම්. එන්. රණසිංහ යන මහත්ම මහත්මීන් ද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *