ආණ්ඩුව පෙරළන්න බිලි පූජාව – භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව පෙරළා දමා යළි රාජපක්ෂ පාලනයක් බිහි කරන තෙක් නින්ද නොයන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ප්‍රබලයන්ට ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යනු තවත් එක් අඩව්වක් ඇල්ලීම සඳහා අවස්ථාවක් පමණක් වන බවයි. තම නිල පිළිගැනීම හා වෘත්තියට ඇති ගරුත්වය පටු දේශපාලන හා පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදමින් මේ කල්ලි තව කොපමණ කාලයක් අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට ගනු ඇත්දැයි අපි සියලු දෙනාම සංවේගයෙන් බලා සිටිමු.

පසුගිය කාලයේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ “ඉසිවර වෙදැදුරු” මාලා නාටකය ලොකු පොඩි සැමගේ සිත්ගත් වැඩසටහනක්. එහි කතා තේමාව වුණේ “පෙප් කොන් යොං” කියන තරුණ වෛද්‍යවරයා. දැඩි දුෂ්කරතා මධ්‍යයේ වෛද්‍ය විද්‍යාව හදාරන කොංයොං මුදල් පසුපස හඹා නොගිය රෝගියාගේ පැත්ත පමණක් බැලූ වෛද්‍යවරයෙක් බව මුළු කතා මාලාව පුරාම ප්‍රකට කෙරුණා. පොප් කොං යොංගේ සමස්ත චරිත ස්වභාවය නන්දා මාලනීය විසින් ගායනා කරනු ලබන තේමා ගීතය හරහා ද අපූරුවට චිත්‍රණය කෙරුණා.

“කාසි නොදුටු බුලත් අතකි – ජීවක පරපුරේ කෙනෙකි” යනුවෙන් නන්දා මාලනිය ගායනා කරන විට අපි බොහෝ දෙනෙක්ගේ සිත් කම්පාවෙන් වෙළී ගියා. ඒ කොරියාවේ පොප් කොං යොං ලා වෙනුවට අපි නිතර දෙවේලේ දකින්නේ ප්‍රකට ජාතික කතාවල සිටින “චක්ඛුපාල” වර්ගයේ වෛද්‍යවරුන් නිසා. කොං යොං ලා, චක්ඛුපාල ලා සමඟ කරන මේ නීරස ගනුදෙනුව අතරේ අපූරු පොතක් ගැනත් කතා කරන්න හිතුණා. ඒ ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මියගේ ‘අරවින්දය”නව කතාව. 2015 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් වුණ මේ නව කතාව බුදු රජාණන් වහන්සේට පවා ප්‍රතිකාර කළ “ජීවක” වෙදදුරන්ගේ ජීවිත කතාව බවයි අපට පැහැදිලි වන්නේ.

මේ නවකතාවේ පසු පිටුවේ මෙසේ උපුටා දක්වනවා.

“වෛද්‍යවරයා යනු රෝගයේ අයිතිකරුවා හෝ ආරක්ෂකයා නොව රෝගියාගේ ආරක්ෂකයා හා අයිතිකරුවායි. රෝගියා වෛද්‍යවරයාගේ සදාකාලික සිරකරුවාද නොවෙයි. නීරෝගී බව පතා තමා වෙත එන රෝගියාට වෛද්‍යවරයා මවක විය යුතුයි”

අපට අද මේ සියල්ල උපුටා දක්වන්න සිදු වුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) සිදු කළ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වුණ අහිංසක රෝගී ජනතාව ගැන අනුකම්පාවෙනුත්, වෛද්‍ය වෘත්තිය සතු බලය හා ගෞරවය පටු දේශපාලන හා පෞද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවමින් සිටින ලංකාවේ ඇතැම් අවස්ථාවාදී වෛද්‍යවරුන් නායකත්වය දෙන වෘත්තීය සමිති හේතුවෙන් පසුගිය තෙවසරකට අධික කාලය පුරා දිගින් දිගටම විඳීමට සිදු වූ අනේක විද පීඩා හා දුෂ්කරතා ගැන උපන් පිළිකුළත් නිසයි.

යළි දේශපාලන න්‍යාය පත්‍රය අතට ගැනීම

කිසිදු පුද්ගලයෙක් හේතුවක් නැතිව වෛද්‍යවරයෙක් ළඟට නොයන බව කවුරුත් පිළිගන්නා පොදු කරුණක්. ඒ සමඟ ලංකාවේ නම් රජයේ රෝහලක් වෙත යන්නේ ඇත්තටම අඩු ආදායම්ලාභී පුද්ගලයෙක් පමණයි. විශේෂයෙන් අඩු ආදායම්ලාභී මවුපියන් තම කුඩා දරුවන්ගේ නොයෙකුත් රෝගාබාධ සඳහා බහුලව යන්නේ රජයේ රෝහල්වලටයි. ඒ අතර අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සේම විශ්‍රාමිකයන් ද බහුලයි. හදිසි අනතුරුවලට ලක්වන තවත් විශාල පිරිසක් ද රජයේ රෝහල්වලට දිනපතා එනවා. මේ කිසිවෙකුට තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම කල්දැමිය නොහැකියි. ඒ රෝගයට ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය නිසයි. ඕනෑම රෝගයක් හේතුවෙන් ඇතිවන කායික වේදනාව හා මානසික විඩාවට වහාම ප්‍රතිකාර අවශ්‍යයි. ඒ රෝගයක් නිසා හට ගන්නා වේදනාව තෘප්තිමත් හැඟීමක් නොවන නිසයි.

ඒත් ලංකාවේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා අහිංසක දුප්පත් රෝගීන්ට පසුගිය කාලය පුරාම තම වේදනාව විඳ දරාගෙන ඊට ප්‍රතිකාර ගැනීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවීම සුලභ තත්ත්වයක් වුණා. ඒ බදු ගෙවන අහිංසක ජනතාගේ ජනතාවගේ මුදලින් වෛද්‍ය අධ්‍යාපනය (සම්පූර්ණ අධ්‍යාපනය) ලබා රජයේ වැටුප් ලබන රැකියාවට පැමිණි රජයේ වෛද්‍යවරුන් පසුගිය තෙවසර (යහපාලන ආණ්ඩුවට බලයට පත් වූදා සිට) පුරාම අඛණ්ව, විවිධ හේතු ඉදිරිපත් කරමින් වැඩවර්ජනය කළ නිසා. අතිශයින්ම පෞද්ගලික කරුණක් වූ තම දරුවන් රජයේ සුපිරි පාසල්වලට අැතුළත් කරගැනීම, මෝටර් රථ සඳහා පිරිනමන තීරු බදු සහන වැඩිකර ගැනීම වැනි පටු අරමුණුවලට අඛණ්ඩව වැඩවර්ජනය කරමින් රෝගීන් ප්‍රාණ ඇපයට ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අතර “සයිටම් ආයතනය” දඩමීමා කරගෙන වසර කිහිපයක් මහා අරගලයක් කරමින් අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තා.

මේ සියලු සිදුවීම් අතර, විශේෂයෙන් සයිටම් ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමට ආණ්ඩුව පියවර ගැනීම සමඟ මේ රටේ අහිංසක දුප්පත් ජනතාව (ආණ්ඩුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නේ අන්ත දුප්පතුන්, විශ්‍රාමිකයන් වැනි උදවිය පමණක් බැවින්) වගේම සමාජ සංහිඳියාව අපේක්ෂා කළ පොදු ජනතාවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ අත්තනෝමතික වැඩවර්ජන රැල්ලට නිමාවක් ලැබෙයි කියා විශ්වාස කළා. ඒත් මේ සංගමයේ ප්‍රබලයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගැන මනා වැටහීමක් ඇති බොහෝ දෙනෙක් අවධාරණය කළේ ඉතාම ඉක්මනින් ඔවුන් නැවත තවත් බිල්ලෙක් මවාපාමින් රාජපක්ෂවරු යළි ඔසවා තැබීමේ දේශපාලන්‍ය න්‍යාය පත්‍රය පෙරට ගන්නා බව සහතික බවයි.

මාස කිහිපයක නිහැඬියාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි වැඩවර්ජනයකට යාම සමඟ එදා බොහෝ දෙනෙක් කී අනාවැකිය සනාථ වී තිබෙන ආකාරයක් දැකිය හැකියි.

ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කිරීමට හේතුව වශයෙන් දක්වා තිබුණේ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සහ එට්කා ගිවිසුම බලාත්මක නොකරන බවට ජනාධිපතිවරයාගෙන් මෙතෙක් පිළිගත හැකි ප්‍රතිඥාවක් ලැබී නොමැති බැවින් රට පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ බවයි. මේ වැඩවර්ජනයෙන් පසුව ද ජනාධිපතිවරයා දිගින් දිගටම නිහඬව සිටින්නේ නම් සෙසු වෘත්තීය සමිති සමඟ එක්ව දීප ව්‍යාප්තව අඛණ්ඩව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ආණ්ඩුව අනතුරු අඟවා තිබුණා. එහි දී වෛද්‍ය හරිත අලුත්ගේ කියා තිබුණේ, රටේ සමස්ත ජනතාවට බලපාන සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සහ එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත්, විෂයභාර ඇමැති මලික් සමරවික්‍රම ඇතුළු උපදේශකයන් තම ව්‍යාපාරික අවශ්‍යතා උදෙසා ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට පවා වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි.

නිදහස් වෙළෙඳ ගිවිසුම අවාසිදායකද ?

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඇතිවන අවාසි සහගත කරුණු රැසක් ගැන සඳහන් වෛද්‍ය අලුත්ගේ මේ සමඟ කරනවා.

මේ ගිවිසුම නිසා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 1000කට ආසන්න බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වෙනවා.

ලංකාවේ සමස්ත මුහුද සීමාව, අහස සහ භූමිය සිංගප්පූරුවට විවෘත වෙන අතර ලංකාවට විවෘත වෙන්නේ සිංගප්පූරු රජයට අයත් නොවන භූමියෙන් සියයට 10ක් පමණයි.

ලංකාවේ රැකියා වෙළෙඳපොළ සිංගප්පූරු ජාතිකයන්ට සේම සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා ගන්නා ඕනෑම ජාතිකයෙකුට විවෘත වෙනවා.

මෑන් පවර් සමාගම්වලට ද ලංකාවට ශ්‍රමිකයන් සැපයීමට හැකියාව ලැබෙනවා.

මේ තත්ත්වය තුළ ලංකාවේ කම්කරුවාගේ සිට වෘත්තිකයා දක්වා සියලු දෙනාගේ රැකියා අනතුරට ලක් වෙනවා.

මේ වෛද්‍ය අලුත්ගේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ලංකාවට අහිතකර වන ආකාරයට ගැන විග්‍රහ කරමින් තමන් ඊට එරෙහිව මාරාන්තික සටනක් කිරීමට දක්වන සූදානම සුජාත කරන ආකාරයයි.

මේ කරුණු ගැන අවධානය යොමු කිරීමේ දී ඉතාම පැහැදිලිව පෙනී යන්නේ වෛද්‍ය අලුත්ගේ ඉදිරිපත් කරන සියලු චෝදනා අභූත චෝදනා වන බවයි. උදාහරණයක් ලෙස මේ නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 1000ක බදු ආදායමක් අහිමි වීම දැක්විය හැකියි.

අනෙක් කරුණ වන්නේ සිංගප්පූරුව භූමි ප්‍රමාණයෙන් ලංකාවට වඩා අති කුඩා රටක් වුවත් එහි ආර්ථික ධාරිතාව ලෝකයේ ප්‍රධාන ආර්ථකයන් අතර ඉහළින්ම සිටින සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදිතය 2017 දී අමෙරිකානු ඩොලර් බිලියන 349ක් වන විට එහි ඒක පුද්ගල අාදායම අමෙරිකානු ඩොලර් 61, 000ක් වුණා. සිංගප්පූරුව සැලකෙන්නේ ලෝකයේ ඉහළම ඒකපුද්ගල ආදායමක් ඇති රටක් විදහටයි. මේ තත්ත්වය ලංකාවට සංසන්දනය කළහොත් ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය (2017) අමෙරිකානු ඩොලර් බිලියන 86ක් වූ අතර ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4020ක් වුණා. එවැනි තත්ත්වයක් තුළ ලෝකයේ දුර්වලම ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් සිංගප්පූරුව සම්පූර්ණයෙන් විවෘතවීම සහ ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් සියයට 10ක් විවෘත වීම සැලකිය හැකි වන්නේ වාසි සහගත ආර්ථික අවස්ථාවන් ලෙසයි.

අනෙක් අතට වාර්ෂික අමෙරිකානු ඩොලර් 61, 000ක ආදායමක් ලබන සිංගප්පූරුවේ ඕනෑම පුරවැයෙක් (පුරවැසිභාවය ලබාගත් හෝ) ඩොලර් 4000ක වාර්ෂික ආදායමක් ලබන, ජීවන වියදම ඉතාම ඉහළ, නීතියේ ආධිපත්‍යයෙන් තොර ලංකාව වැනි අව සංවර්ධිත රටකට පැමිණෙතැයි සිතීම විහිළුවක් වශයෙන් සැලකිය හැකියි.

මේ තත්ත්වය තවත් පැහැදිලි කරන්නේ නම් වෛද්‍ය හරිත අලුත්ගේ කියන ආකාරයට කම්කරුවාගේ සිට වෘත්තිකයා (වෛද්‍යවරුන්ද ඇතුළත්ව) රැකියා සඳහා ලංකාවට පැමිණෙන්නේ නම් ඔවුන්ව සැලකිය හැකි වන්නේ උන්මත්තකයන් වශයෙනුයි. මන්ද රුපියල් 30, 000 වැටුපට පවා ලංකාවෙන් ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් වාර්ෂිකව මැදපෙරදිග දුවන තත්ත්වක් තුළ, ඉදිකිරීම් හා ඇඟලුම් කර්මාන්තය සඳහා ලක්ෂ ගණනක ශ්‍රම පුරප්පාඩු ද පවතින තත්ත්වයක් තුළ සිංගප්පූරුව වැනි ඉංග්‍රීසිභාෂීය, නවීන තාක්ෂණය ඇති ධනවත් රටකින් හෝ යම් ආකාරයකින් ශ්‍රමිකයන් සංක්‍රමණය වීම රටට වාසියක් වන නිසයි.

අනෙක් අතින් අප අවධාරණය කරන්නේ මේ ගිවිසුම හරහා සිංගප්පූරු ජාතික වෛද්‍යවරුන් හෝ සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබාගත් සෙසු රටවල වෛද්‍යවරුන් නම් කිසිදා ලංකාවට පැමිණෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. හන්දියක් ගානේ පෞද්ගලික වෛද්‍ය සායන නමින් පෙට්ටි කඩ දමාගෙන, රාජකාරී කාලය තුළ පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණ කරමින් ලංකාවේ වෛද්‍යවරුන් (පොල් කඩනවා යැයි කියන) විසින් සිදු කරන රාජකාරිය කිරීමට හෘද සාක්ෂියක් ඇති ලෝකයේ වෙනත් කිසිදු වෛද්‍යවරයෙක් කැමැති නැති බව අපට සාධාරණ හේතු මත විශ්වාස කළ හැකි නිසයි.

ඒ නිසා අප අවධාරණය කරන්නේ තමන්ගේ රැකියාවට ඇති විය හැකි යැයි විශ්වාස කරන තරගය (සයිටම් ප්‍රශ්නයේ දී පවා) ගැන භීතියට පත්ව, තමන්ගේ අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් කුහක හා අතාර්කිත භීතියක් රට හමුවේ මවා පෑම පිළිගත් වෛද්‍ය වෘත්තිකයන්ට තරම් නොවන බවයි.

ජනාධිපතිතුමාව අල්ලා ගැනීම

වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ ඉහත ප්‍රකාශය අනුව අපට ඉතාම පහසුවෙන් වැඩවර්ජනයේ හේතු නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුහුණ දෙමින් සිටින අර්බුදය වටහා ගත හැකියි. මේ සමඟ තම වැඩවර්ජනය සර්ව සාධාරණ කිරීමට සහ එයට ජාතික වැදගත්කමක් ලබාදීමට හරිත අලුත්ගේලා පරණ සෙල්ලම ම භාවිත කරන ආකාරයක් අපට දැක ගත හැකියි. ඒ ජනාධිපතිවරයා සහ එජාපය අතර මෙහි දී ද ගැටුමක් ඇති කිරීමයි.

“ජනාධිපතිවරයාට නිවැරදි තොරතුරු ලබා නො දී එතුමාව නොමඟ යවමින් එජාපය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉටුකර ගැනීමට යනවා” යැයි කියමින් ජනාධිපතිවරයාව මුරුංගා අත්තේ තැබීම හා ඒ හරහා ජනාධිපතිවරයා සහ එජාපය අතර අනතර් සම්බන්ධතාව පළුඳු කිරීම මේ කල්ලිය පසුගිය කාලය පුරාම අඛණ්ඩව ක්‍රියාවට නංවන දේශපාලන උපක්‍රමයක් වශයෙන් සැලකිය හැකියි.

අනෙක් කරුණ වන්නේ මේ ගිවිසුම අත්සන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මස 23 වැනිදා ජනාධිපති කාර්යාලයේදීයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු අගමැතිවරයාගේ සංචාරය අවසන් දින මේ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබුවා. මේ ගිවිසුමට අත්සන් තැබූ පසු සිංගප්පූරු අගමැතිවරයා කළ විශේෂ ප්‍රකාශය ගැන අප මෙහි දී අපගේ අවධානය යොමු කළ යුතුයි.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ දී අදහස් දැක්වූ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මේ නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති බවයි. වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ඉදිරියේ දී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයන් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ එළැඹෙන ව්‍යාපාරික හමුවල දී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සඳහන් කළා. මූලෝපායික වශයෙන් සමානකම් රැසක් ඇති රටවල් දෙකක් ලෙස එම සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව පවතින බව ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ සිංගප්පූරුව මේ ගිවිසුම ලංකාව මත බලෙන් පැටවූ අවස්ථාවා දී, ඒකපාර්ශ්වික ගිවිසුමක් නොව ශ්‍රී ලංකාවේ ඉල්ලීම හා අවශ්‍යතාව පරිදි ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සඳහා මිත්‍ර රටක් ලෙස සුහදත්වයෙන් දිගු කළ ශක්තිමත් දෑතක් බවයි.

ජනතාවට දැනුම් දිය යුතුද ?

මෙහි දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන තවත් අතිසංවේ දී කරුණක් ගැන ද අප අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන්නේය යන චෝදනාවයි.

මෙහි දී ප්‍රථමයෙන්ම අවධාරණය කළ යුතු කරුණ වන්නේ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරාම ජාතික වශයෙන් වැදගත් සෑම ගිවිසුමක් ගැනම විධිමත් සමාජ හා දේශපාලන සංවාදයක් ඇති කිරීමට පියවර ගත් බවයි. ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ද මේ යහපාලන මාවතෙන් බැහැර වූ බවක් අප දැක්කේ නැහැ. අනෙක් අතට අද වෛද්‍ය හරිත අලුත්ගේ ලා ආණ්ඩුවට කරන මේ චෝදනාව පසුගිය රාජපක්ෂ පාලන සමයේ ද සිදු කළා ද යන්න අපට විමසීමට සිදුවේ. මන්ද රාජපක්ෂ යුගයේ කිසිදු ගිවිසුමක් හෝ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංවාදයට ලක් කරන ආකාරයක් අපි දැක්කේ නැහැ. අවම වශයෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අති සංවේ දී “සයිටම් ආයතනය” පිළිබඳව හෝ පසුගිය රාජපක්ෂ පාලනය මෙවැනි සංවාදයක් හෝ දැනුවත් කිරීමක් කළාද ? යන්නයි.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ යහපාලන ආණ්ඩුව පෙරළා දමා යළි රාජපක්ෂ පාලනයක් බිහි කරන තෙක් නින්ද නොයන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ප්‍රබලයන්ට ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යනු තවත් එක් අඩව්වක් ඇල්ලීම සඳහා අවස්ථාවක් පමණක් වන බවයි. තම නිල පිළිගැනීම හා වෘත්තියට ඇති ගරුත්වය පටු දේශපාලන හා පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදමින් මේ කල්ලි තව කොපමණ කාලයක් අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට ගනු ඇත්දැයි අපි සියලු දෙනාම සංවේගයෙන් බලා සිටිමු.

සටහන- භාතිය බරුකන්ද

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *