|

ගෝඨාභයගේ එළිය සහ අඳුර – සී. ජේ. අමරතුංග

 පසුගියදා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මන්ත්‍රණයක් ගැන තොරතුරු වාර්තා වුණේ මේ රටේ මෑත ඉතිහාසය දන්නා අයගේ ඇ‍ඟේ හිරිගඩු පිපෙන ආකාරයෙන් නැතහොත් තැති ගැන්වෙන ආකාරයෙනි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන නළුවා නැතහොත් මෙහෙයුම්කරුවා ගෝඨාභය රාජපක්ෂයි, ඔහු තම පිරිවර සමඟ කල එළි බසින්නේ වෙනදා කතාකරන යුද්ධය හෝ නාගරික සංවර්ධනය ගැන කතා කරන්නට නොවේ, එදින ඉදිරිපත් වූයේ දේශපාලන වැඩපිළිවෙළකි. ඒ 2030 සඳහාය. ආර්ථික, දේශපාලන මෙන්ම විදේශ ප්‍රතිපත්තිය ගැනද කතා කරන්නට කථිකයන් යොදවා තිබිණි.

මෙදා ගෝඨාභය කතා කළේ නව ආර්ථික ප්‍රතිපත්තියක් ගැනය. එහි නොයෙක් අංග ගැන ඔහු කතා කළේ වියුක්ත ආකාරයෙනි. සංයුක්ත පියවර ගැන ඉඟි එම කතාව තුළ තිබිණි. ඒවා මතුකර ගැනීම වෙනම කාරණයකි. ආර්ථිකය ගැන වැඩිදුර කතා කිරීමට නාලක ගොඩහේවාට පවරා තිබුණද ඔහු කළේ දේශපාලකයකුගේ කතාවකි. මහින්ද රාජපක්ෂ සමයේ ආර්ථිකය වර්ධනය වී සියල්ල හොඳින් සිදුවූ බවත් දැන් කිසිවක්ම සිදුනොවන බවක් හැර වෙන ගත යුත්තක් එම කතාවේ නොතිබුණි.

බලයට ඉව ඇල්ලීම

මෙහි ප්‍රධාන දේශනය රොහාන් ගුණරත්නට පවරා තිබීම ගැන අභ්‍යන්තරයේම ප්‍රශ්න මතුවූ බව වාර්තා විය. ගෝඨාභය පිටුපසින් සිටින අන්ත ජාතිවාදී පිරිසට අනුව රොහාන් ගුණරත්න ජාතිද්‍රෝහියෙකි. එන්ජීඕ කාර‍යකු නැතහොත් රෝ ඔත්තුකාරයෙකි. ඔවුන් එලෙස සලකන රොහාන් ගුණරත්න, ගෝඨාභය රටට දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවිට ප්‍රධාන කථිකයාය. එය ඔවුන් කොහොම දරාගන්නවාද යන්න තේරුම්ගත නොහැකිය.

මෙය ඉතිහාසය දන්න මිනිසුන් තැතිගන්වන වැඩක් බව පැහැදිලි වන්නේ මේ එන්නේ මෙරට දේශපාලන බලයට ඉව අල්ලන ගමනක් බව හොඳින්ම තේරුම් යනවිටදීය. එවිට වහාම මතකයට නැඟෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩලාට, ලසන්ත වික්‍රමතුංගලාට, කීත් නොයාර්ලාට, උපාලි තෙන්නකෝන්ලාට ආදී මෙකී නොකී බොහෝ දෙනාට අත් වූ ඉරණම නැතහොත් විඳින්නට වූ අත්දැකීමයි. රතුපස්වල ජනයාට නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ට, හලාවත ධීවරයන්ට සැලකූ ආකාරයයි. වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා ඝතනය කිරීමයි.

මේ බොහොමයක් සිදුවීම් තවමත් විසඳී නැත්තේ ප්‍රමාණවත් සාක්ෂි හෙළිදරව් වී නැති නිසාය. එසේ නැතහොත් සාක්ෂිකාරයන්ට කටඅරින්න නොදී බියපත් කරගෙන සිටින නිසාය. ඇතැම්විට දේශපාලන ඩීල්ද තිබෙන්නට බැරි නැත. කෙසේ වෙතත් මේ ර‍ෙ‍ට් ජනතාව නම් මේ සියල්ලට වගකිව යුත්තේ කවුදැයි දනිති.

ගෝඨාභයගේ මෙම දේශපාලන කළ එළි මංගල්‍යයට මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද පැමිණ සිටිනු දක්නට ලැබිණි. එසේ වුවද ඔවුන්ගේ ආශිර්වාදය මෙයට හිමිවූවාද යන්න ප්‍රශ්නයකි. පසුගිය හත්වැනිදා ගාල්ලේ පැවැති මැයි රැලියේදී සියලු කථිකයන්ට මහින්ද බැසිල් නායකයන් දන්වා තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ගැන කතාකිරීම තහනම් බවයි. එමෙන්ම ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට ජවිපෙ ගෙන එන යෝජනාව විවේචනය නොකළ යුතු බවයි. විමල් වීරවංශ මහතාගේ කතාවද විනාඩි දහයකට සීමාකොට තිබිණි. ගෝඨාභය ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයා කරන්නට වලිකන්නේ විමල් වීරවංශ උදය ගම්මන්පිල කණ්ඩායමයි.

වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ මහත්වරුන් ඇතුළු වමේ කණ්ඩායමද ‍ගෝඨා ගෙන එනවාට විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. එසේ වූවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයටද අත උස්සා මේ කට්ටිය දිගටම එම අදහසේම සිටීදැයි කිව නොහැකිය. ගෝඨාභය කණ්ඩායමේ උත්සාහය විය හැක්කේ තමන්ගේ බලය පෙන්වා අනෙක් කණ්ඩායම් පසු බැස්සවීම විය හැකිය. විශාල මුදලක් වියදම් කරමින් සංදර්ශන සංවිධානය කරන්නේ ඒකටය.

ආර්ථික ප්‍රතිපත්තිය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කළ වි‍යුක්ත කතාවේදී ආර්ථික ක්‍රමය ගැන කීවේ සමාජවාදී වෙළෙඳ පොළ ආර්ථිකයක් වශයෙනි. එය එක්සත් ජාතික පක්ෂය කියන සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයටද නැතහොත් වෙනත් යමක්ද කියා ඔහු පැහැදිලි කළේ නැත. ඔහු කීවේ ලෝකයට විවෘත විය යුතු බව හා සාම්ප්‍රදායිකව සිතන විදි හා ප්‍රතිපත්ති බොහෝමයක් වෙනස් කළ යුතු බවයි.

ගෝඨා කරන්නේ මොකක්ද

මේ කරුණු ඕනෑ අතකට තේරුම් ගත හැකිය. ලෝකයට විවෘත විය යුතු බව කියන ගමන් සාම්ප්‍රදායික අදහස් ඉවත දමා වෙනස් විය යුතු බව කියනවිට ඒ කියන්නේ තවමත් රටේ රජකරන ආරක්ෂණවාදී අදහස් ඉවත දැමිය යුතු බව කෙනෙකුට සිතෙන්නට පුළුවන. එනම් ආනයන විවිධ තහංචි සීමා දැමීම, ඉහළ තීරුබදු පැනවීම ආදිය ගැන විය හැකිය. බොහෝ ආර්ථික විද්‍යාඥයන් කියන්නේ මේවා වෙනස් විය යුතු බව හා ආර්ථිකයේ තරගකාරී බව වැඩි කළ යුතු බවයි. තීරුබදු මඟින් දේශීය වෙළෙඳ පොළ ආරක්ෂා කිරීම වැරදි බව එවැනි ආර්ථික විද්‍යාඥයෝ කියති. එසේ වුවද අ‍ෙප් ව්‍යවසායකයන් කියන්නේ එම ආරක්ෂණ අවශ්‍ය බවයි. මෙහිදී ගෝඨාභය වෙනස් කළ යුතු යැයි කියන්නේ නිෂ්පාදකයන්ගේ ආකල්පද නැතහොත් ආර්ථික විද්‍යාඥයන් කියන දේද යන්න පැහැදිලි නැත. එසේ වුවද ලොවට විවෘත වීම් ගැන කියන කතාවෙන් පෙනෙන්නේ ආරක්ෂණවාදයට එරෙහිව ඔහු පෙනී සිටින බවකි.

තම කතාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් වෙළෙඳ කලාප ගැනද කතා කළේය. ඔහු කීවේ නිදහස් වෙළෙඳ කලාප හැදුවාට ලෝකයේ සිදුවී ඇති වර්ධනයන්ට අනුව ඒවා වෙනස් වී නැති බවයි. ඒ කියන්නේ විදේශ ආයෝජකයන්ට ආකර්ෂණීය වන ලෙස නිදහස් වෙළෙඳ කලාප සකස්වී නැති බවයි.

නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ට වඩාත් ආකර්ශනීය වන්නේ ඒවා තුළ කම්කරු අයිතිවාසිකම් නැති විටයි. වෘත්තීය සමිති නැතිවිටයි. කේවල් කිරීමේ අයිතිය නැති විටයි. වැඩ වර්ජනවලට ඉඩ නැතිවිටයි. බාධාවකින් තොරව තම නිෂ්පාදන කටයුතු කරගෙන යා හැකිය යන සහතිකය ඇතිවිටයි. එම තත්ත්වය මෙරට වෙළෙඳ කලාප තුළ නැති බව ඇත්තකි. ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ මෙම තත්ත්වය වෙනස් කළ යුතු බව යැයි පෙනෙන්නට තිබේ. ලෝකයේ අවශ්‍යතා අනුව අප‍ෙග් වෙළෙඳ කලාප වෙනස් වී නැතැයි කීමේ තේරුම එවැන්නකි. ‘හයර් ඇන්ඩ් ෆයර්’ ලෙස හඳුන්වන සේවකයන් බඳවා ගැනීමේ මෙන්ම ඉවත්කිරීමේද නිදහස ඇති නව නිදහස් වෙළෙඳ කලාප ක්‍රමයක් ගැන ඉඟියක් මෙයින් ලැබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වියුක්ත ආකාරයෙන් කරන මෙම ඉඟිකිරීම් මඟින් රටට දෙන්න හදන පණිවිඩය ගැනද සිතා බැලීම අවශ්‍යය. මෙබඳු තීරණාත්මක පියවර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ කෙබඳු පාලනයක්ද යන්න එම පණිවිඩයයි. මේ කියන්නේ මෙරටට ඒකාධිපති පන්නයේ පාලකයකු අවශ්‍ය බවද? මෙබඳු වැඩ කරන්නට නම් තෝරාගත යුතු වන්නේ අනුකම්පා විරහිත දරදඬු ඒකාධිපති පාලකයකු බව මෙයින් අඟවන කාරණයද යන්න සිතා බැලීම අවශ්‍යය. එය එසේ නම් ඒ සඳහා සුදුසුකම් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවට සැකයක් නැත. ‘වියත් මග’ සමඟ සිටින හමුදා නිලධාරින් වැනි උදවියට නම් එබඳු පාලනයක් ඉතාමත් යහපත් විය හැකිය. එසේ වුවද ඒකාධිපති පාලනයකින් බැට කා සිටින අපේ ජනයාට නම් මේ කතා යහපත් වන්නේ නැත.

මේ රට ගොඩගන්නට නම් දේශපාලනඥයන් හා නිලධාරින් දූෂණයෙන් මුදාගත යුතු බවත්, දූෂණය නැවැත්වූයේ නැත්නම් ආර්ථිකය සංවර්ධනය කළ නොහැකිය යන්නත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම කතාවේදී විශේෂයෙන් සඳහන් කළේය. දූෂණයට විරුද්ධවීමද බොහෝ ඒකාධිපතියන්ගේ ජනප්‍රිය සටන්පාඨයකි. උතුරු කොරියාවේ පාලක කිම් ජෝන් අන් තම ප්‍රතිවාදින් ඝාතනය කරන්නේ ඔවුන් දූෂිතයන් බව කියමිනි. අද ඉතා හොඳ රජයේ නිලධාරියා කියන තැනැත්තා හෙට ඝාතනය කර කියන්නේ ඔහු අන්ත දූෂිතයකු බව හෙළි වූ බවයි. හැබැයි දූෂණය නවතින්නේ නැති අතර ඒකාධිපති පාලනය පමණක් තහවුරු වෙයි.

කෙසේ වෙතත් ආර්ථික සංවර්ධනය සඳහා දූෂණ පිටුදැකීම අත්‍යවශ්‍ය බවට සැකයක් නැත. මහජනයා මෙම ආණ්ඩුව පත් කළේ ඒකටය. පසුගියදා පැවැති මැතිවරණයෙන් මහජනයා පෙන්නුම් කළේ ආණ්ඩුව එම කාර්යය නොකිරීම ගැන තිබෙන කෝපයයි. දැන් ‘වියත් මග’ හා වෙනත් නොයෙක් සංදර්ශන බලන්නට මහජනයාට සිදුව තිබෙන්නේ ආණ්ඩුව තමන්ට භාරදුන් වැඩේ හරියට නොකළ නිසාය.

දේශපාලනඥයන්ගේ හා නිලධාරින්ගේ දූෂණ නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂලා කතාකරනවිට මේ රටේ ජනතාවට වෙන්නේ හිනාවෙන්නද අඬන්නද කියා හිතාගන්න බැරිවෙන එකය. මේ රටේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ ගණනාවකට ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලයේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධය. එකක් නම් ප්‍රකෝටි ගණනක මිග් යානා ගනුදෙනුවයි. ඒ ගැන පරීක්ෂණය නිමනොවී දිග්ගැස්සෙන්නේ ජාත්‍යන්තර වරෙන්තු මත සිටින ගෝඨාගේ මස්සිනා ගෙන්වන්නට ප්‍රමාදවීම නිසාය.

පිළිතුරු දියයුතු ප්‍රශ්ණ

බත්තරමුල්ලේ ආරක්ෂක හමුදා මූලස්ථානය හැදීම ඇරඹෙන්නේද ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයාගේ මඟපෙන්වීම යටතේය. එහි ගනුදෙනු ගැන ප්‍රශ්න බොහෝමයකි. එහි සැලසුම හදන්න ගෘහ නිර්මාණ ශිල්පියාට කළ ගෙවීම් ගැන ප්‍රශ්න ඇති බව කියති. මල්වානේ අක්කර දහසයක ඉඩමක මාලිගාවක් ඉදිවී ඇතත් එයට අයිතිකරුවකු නැත. අයිතිකරු ලෙස පෙනී සිටියේ ඉහත කොන්ත්‍රාත්තුව ගත් ගෘහනිර්මාණ ශිල්පියාය. ඔහු කියන්නේ මාලිගාව තමන්ගේ නොවන බවයි. ඔහුගේ ගනුදෙනු ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟය. මේවා සිදුවූයේ කෙසේ දැයි තවමත් හරියට හෙළිදරව් වී නැත.

අම්මාගේ තාත්තගේ සොහොන් හදන්නට රජයේ මුදල් යෙදීම දූෂණයක් නොවේ කිව නොහැකිය. වැඩේ අහුවන විට මුදල් ගෙව්වාම නිදොස් වෙන්නේ නැත. කෙහෙල් කැන ආපහු දුන්නාම හොරා නිදහස් කරන්නෙ ගමේදීය. ඒ බොහෝවිට හොරාද ඥාතියකු වන නිසාය. නැතිනම් අනුකම්පාවටය. රජයේ මුදල් භාවිතයේදී එහෙම කරන්නට බැරිය.

දේශපාලනඥයන්ගේත් නිලධාරින්ගේත් දූෂණ නතර කරන්නට කතා කරන්නේ මෙබඳු බොහෝ දූෂණ ගැන විවිධ චෝදනා නැඟී ඇති පුද්ගලයෙකි. හිනාවෙන්නද අඬන්නද කියා හිතාගන්න බැරිවෙන්නේ ඒ නිසාය.

ගෝඨාභයගේ කතාවෙන් මහින්ද රාජපක්ෂ මහතාටද ටොක්කක් අනින්නට අමතක කළේ නැත. ඔහු කීවේ යටිතල ව්‍යාපෘති සඳහා රජයේ මුදල් යොදනවිට නිසි සක්‍යතා අධ්‍යයනයක් කළ යුතු බවයි. ඒවායේ ප්‍රතිලාභ ලැබෙන්නට කල් ගතවන බව සිතා වියදම් කළ යුතු බවයි. වි‍යුක්ත ලෙස මේ කියන කතා අදාළ වන්නේ මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගණය වැනි රාජපක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික වැඩවලටය. දකුණු අධිවේගී මඟ කටුනායක ගුවන්තොටුපොළ, නොරොච්චෝලෙ බලාගාරය ආදියට එය අදාළ නැත. ඒවා 1988 තරම් ඈතක සිට එජාප ආණ්ඩු විසින් සැලසුම් කළ ඒවාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ‘වියත් මඟ’ කියාගෙන මේ එළිබැස ඇත්තේ ගමනක් යන්නටය. එය නම් බලය සඳහා යන ගමනයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ දැන් වියුක්ත ලෙස ප්‍රකාශයට පත්ව ඇත. සංයුක්තව විමසා බලනවිට එහි ඇති බිහිසුණු බව පැහැදිලිය. ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බව හිතාගැනීම දැන් ඉතින් අමාරු නැත. කෙසේ වෙතත් ගෝඨාභය ඇතුළු පිරිස මතක තබාගත යුත්තේ මෙරට ජනතාව මැරී නැවත ඉපදී නැති බවයි. අතීතය දන්න ජනතාව මෙම බිහිසුණු ගමනට තිත තබන්නට නැඟී සිටිනවා ඇත.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *