උඩින් යන පොලිස්පති – සම්පත් අමරසිංහ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ගේ සේවා කාලය ආසන්න වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ, 2018 මැයි මට 14 දා ය. පොලිස්පතිවරයා හා නීතිය හා සාමය අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණේ, වෛද්‍යාලංකාර මහතා, විනය පරීක්ෂණයකට යටත් සහ විනය පරීක්ෂණයෙන් පසුව විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය වන ආකාරයට විශ්‍රාමගන්වන ලෙසය. එහෙත් එම නිර්දේශය ප්‍රතික්ෂේප කරමින් පොලිස් කොමිෂන් සභාව, වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගන්නා අවස්ථාවේම අදාළ වරප්‍රසාද හිමි සාමාන්‍ය ක්‍රමයටම විශ්‍රාමගැන්වීමට තීරණය කළ බව ජනමාධ්‍ය වාර්තාකර තිබුණි.

රවී වෛද්‍යාලංකාර මහතාට එරෙහිව පොලිසියෙන් කරන විමර්ශනයේ පැමිණිල්ල වසර දෙකක් පැරණි බවද පොලිස් කොමිසම පෙන්වා දී ඇති බවද පැවසේ. එසේම වෛද්‍යාලංකාර මහතා මැයි මාසයේ විශ්‍රාම ගන්නා බව දැන සිටියදීත් විමර්ශනය අවසන් නොකර තිබීම ගැටලුවක් බව පොලිස් කොමිසම පෙන්වා දී ඇති බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

පොලිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා පණගන්වනු ලැබුණේ 19 වන ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක් වශයෙනි. විශේෂයෙන්ම පොලීසිය දේශපාලකයන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමටත් පොලිසියේ කොන්ද ශක්තිමත් කිරීමටත් පොලිස් කොමිසම හරහා ලැබුණු පිටුවහල අමතක කළ නොහැකිය. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පොලිස් කොමිසමේ අගය හෑල්ලුවන්නේ ද යන සැකය මතුවේ. වෛද්‍යාලංකාර මහතා සම්බන්ධ ප්‍රශ්නය එවැන්නකි. ඒ මහතා මැයි මාසයේ විශ්‍රාමගන්නට තිබුණේ නම්, ඔහු හා සම්බන්ධ විමර්ශනයක් ද පැවැත්වෙමින් තිබුණේ නම්, එම විමර්ශනයට වසර දෙකක් ගතවීත් ඇත්තේ නම්, වෛද්‍යාලංකාර මහතාට අසාධාරණයක් නොවන පරිදි විමර්ශනය අවසන් නොකළේ මන්ද යනු ප්‍රශ්නයකි. පොලිස්පතිවරයාගේ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය කළ නිර්දේශ අනුව ගියේ නම් වෛද්‍යාලංකාර මහතාට විශ්‍රාමගැනීමට සිදුවනු ඇත්තේ විනය පරීක්ෂණයට යටත්ව සහ විනය පරීක්ෂණයෙන් පසුව විනය පරීක්ෂණයෙන් පසුව විශ්‍රාම වැටුප් ගෙවීම ගැන තීරණය වන ආකාරයටය. වසර 39ක සේවා කාලයකට පසුව වෛද්‍යාලංකාර මහතාට එවන් ඉරණමකට මුහුණ දෙන්නට සිදුවූයේ නම් එය ඒ මහතාව පමණක් නොව අනෙකුත් පොලිස් නිලධාරින්ට පවා කලකිරීමට හේතුවක් වනවාට අනුමානයක් නැත.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නීතිය නැමීම පිළිබදව චෝදනා එල්ල වූයේ මෙයට කලකට පෙරය. ඊට අමතරව නිලමේ කෙනෙකු අත්අඩංගුවට නොගන්නා බවට ‘සර්‘ කෙනෙකුට පොරොන්දු වූයේ ද වත්මන් පොලිස්පතිවරයා ය. පොලීසියට මෛත්‍රි භාවනාව හුරුකරන්නට චක්‍රලේඛන නිකුත් කිරීමද ඔහුගේ ක්‍රියාවකි. මෛත්‍රි භාවනාවත්, ආනාපානසති භාවනාවත් ආගම් භේදයකින් තොරව වඩන්නට ඔහු පොලිස් නිලධාරින්ට කළ නියෝගය හාස්‍යයක් බවට පත් වූ ආකාරය අමතක නැත. එසේ භාවනා නොකළැයි පොලිස් සෝපානය ක්‍රියාකරවන අන්‍යාගමිකයකුට පහර දුන් බව ද සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය විය.

පොලිස් සේවය විධිමත් කරන්නට පණ ගැන්වුණු පොලිස් කොමිසමේ නිර්දේශ නොසලකා හැරීම පොලිස්පතිවරයා සිදු කළ තවත් වරදකි. ඒ සදහා එක් නිදසුනක් වන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වීමට සුදුසුකම් තිබුණු ශානි අබේසේකර මහතා එම තනතුරට පත් නොකරමින් පොලිස්පතිවරයා පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමය. අවසානයේ ශානී අබේසේකර මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබුවේ පොලිස් කොමිසම තනි මතයට හා විශාල බලපෑමක් කිරීමෙන් පසුවය.

තවත් වතාවක කියැවුණේ, පොලිස් කොමිසමේ නියෝග පහැරහරිමින් පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවැරන් පස් දෙනකු පත් නොකර සිටින බවකි. එකී පොලිස් නිලධාරින් පස්දෙනා අතරින් දෙනෙකු සමග පොලිපතිවරයාට පෞද්ගලික ආරවුලක් පැවති බවද ප්‍රකාශමාන විය.

නියෝජ්‍ය පොලිස්පති තනතුරු පුරප්පාඩු හයක් 2017 වසරේ සිට  පැවතුණි. එම තනතුරු සදහා නම් හයක් නීතිය හා සාමය අමාත්‍යාංශය ලේකම්වරයා විසින් පොලිස් කොමිසම වෙත යවා තිබුණි. ඉන් එක් නිලධාරියකු විශ්‍රාමගොස් ඇති අතර ඉතිරි නිලධාරින් පස්දෙනා නම්, ඊ. ජයසූරිය, අනුර අබේවික්‍රම, මෙවන් සිල්වා, ගාමිණි පෙරේරා සහ පාලිත සිරිවර්ධන යන මහතුන්ය. එකී නම් පොලිස් කොමිසම විසින් අනුමතකර පොලිස්පතිවරයා සහ නීතිය සහ සාමය අමාත්‍යාංශය වෙත යවා ඇත ඉන් පසුව සිදුවිය යුතුව තිබුණේ, පොලිස්පතිවරයා විසින් එම නම් ප්‍රකාශයට පත් කිරීමයි.

පොලිස්පතිවරයා ඒ වෙනුවට කළේ ඉහත තනතුරුවලට ඉහත නිලධාරින් පත් නොකර ගාමිණී පෙරේරා හා පාලිත සිරිවර්ධන යන මහත්වරුන් ගේ උසස්වීම් යළි සලකා බලන ලෙස පොලිස් කොමිසමට දැනුම් දීමයි. ඒ අනුව සලකා බැලූ පොලිස් කොමිසම ඔවුනට උසස්වීම් ලබාදීම පිළිබද ගැටලුවක් නොමැතිබව පොලිස්පතිවරයාට දන්වන ලදී. ඉහත නිලධාරින්ට පත්වීම් ලබාදෙන ලෙස පොලිස්කොමිසම තුන් වතාවක් පොලිස්පතිවරයාට දැනුම් දුන් නමුත් පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. අප්‍රේල් 23 වන විට ලිඛිත පැහැදිලිකිරීමක් කරන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දෙන්නේ එහෙයිනි. එහෙත් පොලිස්පතිවරයා එදිනට ද පැහැදිලි කිරීමක් කළේ නැත. ඊට ප්‍රතිචාර වශයෙන් පොලිස් කොමිසමට සතියක් ඇතුළත ඉහත පත්කිරීම් කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන්නට සිදු විය.

පොලිස් කොමිසම යනු ඉබේ පහළ වූවක් හෝ කරන්නට අන්යමක් නොමැති නිසා පිහිටවනු ලැබු ආයතනයක් හෝ නොවේ. 18වැනි සංශෝධනය හරහා රාජපක්ෂ පානය හකුලා දැමූ කොමිෂන් සභා නැවත පණ ගන්වා ගැනීම මෙරට ප්‍රජාතනත්‍රවාදය අපේක්ෂා කළ ජනතාව කළ දෑවැන්ත සටනක ප්‍රතිඵලයකි. මෙරට ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂාවීම පිළිබද බලාපොරොත්තු ඉටු වීමක් ලෙසත් පොලිස් කොමිසම හදුන්වා දිය හැකියි. නිලධාරිවාදයෙන් හා දේශපාලන මැදිහත්වීම් වලින් තොරව පොලිස් නිළධාරින්ගේ උසස්වීම්, මාරුවීම් සිදු කෙරෙන මූලික පසුබිම පොලිස් කොමිසම හරහා  සිදු කෙරෙනු ඇති බවට පොලිස් නිලධාරින් අතරත්, පොදු ජනතාව අතත් ඉමහත් බලාපොරොත්තුවක් තිබුණි. එහෙත් වත්මන් පොලිස්පතිවරයා කොමිසමට අවනත නොවන්නේ නම් සහ පොලිස් කොමිසමට ඉහළින් යාමට උත්සාහ කරන්නේ නම් ඉන් ගම්‍යවන්නේ නීතිය හා සාමය රැකීමේ මූලිකයාම නීතිය හා සාමය කඩකරමින්  සිටින බව නොවන්නේ ද? ඔහුට තවදුරටත් එසේ හැසිරෙමින් රටේ නීතිය හෑල්ලු කරන්නට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, පොලිස් කොමිසම, ව්‍යවස්ථාදායක සභාව, ජනපති, අගමැති කැබිනට් මණ්ඩලය ඉඩදී බලා සිටින්නේ ද‍?

සම්පත් අමරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *