දැන් හරිද? – අනුර සූරියබණ්ඩාර

කන්තලේ සීනි සමාගමේ අල්ලස් ගැනීමට සම්බන්ධව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ටී.එච්.කේ. මහානාම සහ රාජ්‍ය චදැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකොට තිබේ. එපමණක් නොව පී. දිසානායක මහතාගෙන් හිස් වූ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අනුරුද්ධ පොල්ගම්පොල මහතා වෙනුවට ශාන්ත බණ්ඩාර මහතා පත්කර සිටී.

අනුරුද්ධ පොල්ගම්පොල මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කොට හැරෙන තැපෑලෙන් ඉවත් කරන්නට ජනාධිපතිවරයාට සිදු වූයේ, පොල්ගම්පොල මහතාට එරෙහිව දූෂණ චෝදනා පවතින බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා හෙළිදරව් කිරීම නිසා බව පෙනෙන්නට තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ටී.එච්.කේ. මහානාම මහතා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් උදම් අනමින් ඇමැති ෆයිසර් මුස්තාපා ප්‍රකාශකර තිබුණේ අල්ලසට දූෂණයට එරෙහි සටන ජනාධිපති ක්‍රියාවෙන් ඔප්පු කළ බවයි.

ටී.එච්.කේ. මහානාම මහතාගේ සේවය අත්හිටුවීමෙන් හෝ ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් හෝ යහපාලනය; අල්ලසට දූෂණයට එරෙහි සටන ක්‍රියාවෙන් ඔප්පුවන්නේ නම්, දූෂණ චෝදනා සහිත පොල්ගම්පොල මහතා දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරීමෙන් ඔප්පුවන්නේ ආණ්ඩුවලට තනතුරු පත්කිරීමේදී දුෂණ නොසලකාහරින බවද යන සැකය කිසිවකුට මතු වීම බැහැර කළ හැකි නොවේ.

මහානාම මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුව හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පුත් සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලීන් ගුණවර්ධන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් තම පියාගේ මිනියෙන් පවා මහානාම මහතා ගසා කෑ බව පවසා තිබුණි.

එකී මාධ්‍ය සාකච්ඡාවේ දී රංජිත් කීර්තිතෙන්නකෝන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පවසා තිබුණේ, ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්, එනම් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම මහතාට සහ දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතාට තනතුරුවලට වඩා වැඩි දේපල උපයාගත් බවට පැමිණිලි තිබෙන බවයි. එසේ නම් එවැන්නන් මෙතෙක් නිරුපද්‍රිතව සිය තනතුරු දැරුවේ කෙසේ ද යන්න ගැටලුවකි. ඊටත් වඩා ඉඩම් අමාත්‍යාංශ ධුරයෙන් ඉවත් වූ පසුව මහානාම මහතා, රටේ ප්‍රධානතම ධුරයක් වන ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරට පත්වන්නේ කෙසේ ද යන්නත් බරපතළ ගැටලුකි.

ශ්‍රී ලංකා ආයේජන මණ්ඩලයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා, තමන් ආයෝජන ගිවිසුම් අත්සන් කරන නමුත් ඉඩම් ලේකම් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට බාධාකරන බව ජනමාධ්‍ය හමුවේ වරක් ප්‍රකාශ කළේය.  නමුත් ඒ පිළිබදව කෙරුණු විමර්ශනක් හෝ ගත් පියවරක් නැත. අවසානයේ සිදු වූයේ උපුල් ජයසූරිය මහතා සිය ධුරයෙන් ඉවත්ව යාම සහ ආයෝජන ගිවිසුම් වලට බාධා කළ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් පත්ව යාමයි.

කන්තලේ කම්හලෙහි අබලි යකඩ විකිණීමේ ටෙන්ඩරය නාවික හමුදාවේ ඉහළ නිලධාරියකුගේ බිරියකට ලබා දීමට ද මහනාම මහතා උත්සාහ දරා ඇති බවද එම උත්සාහය වැළකී ඇත්තේ ඉඩම් අමාත්‍ය ධුරයට ගයන්ත කරුණාතිලක මහතා පත්වීමෙන් බවට ද තොරතුරු තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචි නිලමේ මහතා පසුගිය සතියේ ලිපියක් ලියමින් කියා ඇත්තේ‍්, ‘2017.11.14 දින අමාත්‍ය මණ්ඩලහමුවේ දී තමා පෞද්ගලිකවම ආයෝජකයා මුහුණ පා සිටින තත්ත්වය ජනාධිපතිවරයාට පැහැදිලි කළ බවයි. දෙසිය හැත්තෑතුන් කෝටි විසි ලක්ෂයක් වටිනා කන්තලේ සීනි කම්හල මැයෙන් සංක්ෂිප්ත වාර්තාවක් ද ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව 2017.12.29 දින ඉදිරිපත් කළ බවයි.

2017.11.14 දින ආයෝජකයාගේ ප්‍රශ්නය අමාත්‍යමණ්ඩල රැස්වීමේදි හෙළිදරව් විනි නම් 2017.12.29 දින සංක්ෂිප්ත වාර්තාවකුත් දෙනු ලැබුවේ නම්, කම්හල ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින ආයෝජකයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන්වා කරුණු විමසා අවශ්‍ය උපදෙස් දෙන ලෙස ඉල්ලීමක් 2018.01.17 දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණේ නම්, 2015 පෙබරවාරි මාසයේ අනුමැතිය ලැබුණු යහපාලන ආණ්ඩුවේ මුල්ම ජාත්‍යනතර ආයෝජන අතරින් එකක් වන කන්තලේ සීනි කම්හල 2018 මැයි මාසය වන තුරුත්, එනම්; අවුරුදු තුනකුත් මාස තුනක් තිස්සේ ඇදෙමින් තබෙන්නේ කවර හේතුවක් නිසාද යන්නවත් සොයා බලන්නට ජනාධිපතිට, අගමැතිට, ආයෝජන ඇමතිට කල්පනා නොවීම ජාතියේ අවසනාව යැයි කියා හිත හදාගන්නට පුළුවන් කමක් ඇත්තේ නැත.

කන්තලේ සීනි කම්හලේ අල්ලස් සිද්ධියේ අලුත්ම මුහුණුවර වන්නේ අල්ලස් පැමිණිල්ල ඉදිරිපත් කළ සීනි කම්හලේ ආයොජකයාට මරණ තර්ජන එල්ලවීම සහ අල්ලස් චෝදනාවේ පරීක්ණවලට අවශ්‍ය සහයෝගය නිලධාරින්ගෙන් නොලැබෙන බවයි.

අල්ලස් ගත් නිලධාරින් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් යහපාලනය තහවුරු වන්නේයැයි හෝ ආණ්ඩුවේ අවංක බව තහවුරු වෙන්නේ යැයි යමෙක් සිතන්නේ නම් වරදකි. ආණ්ඩුවේ නිවැරැදිතාව ඔප්පු කරන්නට නම් මරණ තර්ජන කළ වුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම කඩිනම් කළ යුතුය. එසේම පරීක්ෂණ වලට බාදා කරන නිලධාරින් වහා හෙළිදරව් කර ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග මෙන්ම නීතික ක්‍රියාමාර්ග ද ගතයුතුය.

කන්නට වුවමනා වූ විට ආණ්ඩුව කබරගොයා තලගොයා කරගන්නා බව අනුරුද්ධ පොල්ගම්පොල දැව සංස්ථාවට පත්කිරීමෙන් තහවුරු වේ. තවත් එවැනි ලොක්කන් කී දෙනෙක් ඉහළ තනතුරුවල සිටින්නේ දැයි සොයා බලා ඔවුන් වහාම ඉවත් කිරීමට වගබලාගත යුතුය. මහතීර් මොහමඩ් මහතාට නැවත බලයට ඒමට හැකි වූයේ ඔහු එරට දූෂණය තුරන් කර නූතන ලෝකයට යා කළ නායකයා බැවිනි. දූෂණය පෙනි පෙනී නිදා සිටින්නට අපේ රටේ නායකයන් තවදුරටත් කටයුතු කරන්නේ නම් මේ ආණ්ඩුවේ පැවැත්ම 2020 දී අවසන් වීම වලක්වන්නට හැකි වන්නේ නැත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *