සිරිකොත ගමට ගෙනයාම – එම් ඕ ඒ ද සොයිසා

එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත් වූ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා එම තනතුරට පත් වූ විගස කළ ප්‍රකාශයකින් කියා සිටියේ සිරිකොත ගමට ගෙනයාමට තමන් පූර්ණ කැපවීමකින් කටයුතු කරන බවය. එමෙන්ම පසුගිය 06 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති පක්‍ෂයේ මැයිදින රැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ නායකතුමා ද කියා සිටියේ සෑම ගමකම පුංචි සිරිකොතක් සෑදීමට තමන් ඉදිරියේ දී ඇපකැප වී වැඩ කරන බවය. මහ ලේකම්වරයාගේ සහ පක්‍ෂයේ නායකයාගේ මෙම ප්‍රකාශවලින් ගම්‍ය වන අදහස වන්නේ සිරිකොත මේ වනවිට පවතින්නේ ගමෙන් ඈත් වූ ගම සමඟ සම්බන්ධයක් නොමැති කෝට්ටේ නගරයට නැතිනම් කොළඹට පමණක් එහි ක්‍රියාකාරිත්වය සීමා වූ පක්‍ෂ මූලස්ථානයක් හැටියට බවය. සිරිකොතත ගමට ගෙනයාම කෙසේවෙතත් මහලේකම්වරයාගේ හා නායකවරයාගේ ප්‍රකාශ ගැන එක් අතකින් සතුටු විය හැක. හේතුව කල්ගත වී හෝ පක්‍ෂය මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයට බලපා ඇති මූලික හේතු සාධක කිහිපයෙන් එකක්වත් තේරුම් ගැනීමට තරම් මේ නායකයින් දෙදෙනාට බුද්ධිය පහල වීමය.

නායකයාගේ සහ මහ ලේකම්වරයාගේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන ස්ථානය-නැතිනම් මූලිකස්ථානය දිය යුත්තේ සිරිකොත ගමට ගෙනයාමේ කරුණට බවය. නමුත් සිරිකොත ගමට ගෙනයාමෙන් පමණක් පක්‍ෂය අද මුහුණ දී තිබෙන අර්බුද මාලාවෙන් ගොඩඒමට පුළුවන් වේද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. හේතුව සිරිකොත ගමට ගෙනයාම අවශ්‍යයෙන්ම කළයුතු ප්‍රමුඛ කාර්යය වූවද එසේ කිරීම පමණක් පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව පැනනැ‍ඟී ඇති අර්බුදය විසඳා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පැහැදිලිවම පෙනී යාමය. සිරිකොත ගමට ගෙනයාමට අමතරව පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමේ දී අවශ්‍යයෙන්ම අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක්ම තිබේ.

මෙයින් එකක් වන්නේ මේ වනවිට බරපතළ අයුරින් බිඳවැටී තිබෙන පක්‍ෂයේ විනය යථා තත්ත්වයට පත්කර ගැනීම පිළිබඳව අවශ්‍ය නිසි පියවර ගැනීමය. දෙවැන්න මේ වනවිට මුලූමනින්ම අක්‍රීය තත්ත්වයකට පත්ව තිබෙන පක්‍ෂයේ සංනිවේදන අංශය ප්‍රතිසංවිධානය කිරීමය. තුන්වැන්න වන්නේ මේ වනවිට සම්පුර්ණයෙන්ම නතර වී තිබෙන පක්‍ෂයේ කාඩර්වරුන් නැතිනම් තරුණ ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ වැඩ සටහන යළි පටන් ගැනීමය. සිරිකොත ගමට ගෙනයාම සහ ඒ හා බැඳී පවතින ඉහත දැක්වූ කරුණු පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමේ දී ඒ සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති පක්‍ෂයේ ඉහළපෙලේ නායක පැලැන්තිය අවශ්‍යයෙන්ම අවබෝධ කරගත යුතු එක් වැදගත් කරුණක් තිබේ. ඒ වූ කලී දේශපාලන පක්‍ෂයක් වූ කලී එයට සම්බන්ධ වන සාමාජිකයින්ගේ ස්වේචඡාත්මක කැමැත්ත මත ගොඩනැගෙන දෙයක් විනා කාගේවත් පෞද්ගලික බල පුළුවන්කාරකම මත ගොඩ නැ‍ඟෙන දෙයක් නොවන බවය.

මෙයින් අදහස් වන්නේ දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වීම හෝ නොවීම යනු පුද්ගලයාගේ ස්වයං කැමැත්ත මත තීරණය වන හුදු පෞද්ගලික කාර්යයක් විනා බාහිර බලපෑම් මත සිදුවන දෙයක් නොවන බවය. මේ කරුණ විශේෂයෙන් සඳහන් කිරීමට හේතු වූයේ පසුගිය කාලය තුළ පක්‍ෂ නිලබල යාන්ත්‍රණයේ සමහර උද්ධච්ඡ සහ ආඩම්බරකාර පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් විශාල සාමාජික සංඛ්‍යාවක් පක්‍ෂයෙන් ඉවත් වී පක්‍ෂයට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹීමේ තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්ය.

ඉහත දැක්වූ කරුණු මදකට පසෙක තබා සිරිකොත ගමට ගෙනයාමේ අවශ්‍යතාවය පිළිබඳ කරුණ වෙත යළි අවධානය යොමුකළ හොත් ප්‍රථමයෙන්ම පක්‍ෂ නායකයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, සිරිකොත ගමෙන් ඈත් වී නගරයට පමණත් සීමා වූ පක්‍ෂ මූලස්ථානයක් බවට සීමාවූයේ ඇයිද යන ප්‍රශ්නයයි. පක්‍ෂ නායකයින් මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට පැකිලෙනු නොඅනුමානය. ඔවුන් කුමක් කීවද මේ කෙරෙහි බලපා ඇති ප්‍රධානම හේතුව ලෙස පෙනී යන්නේ, පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් මුලුල්ලේ පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහායැයි ක්‍රියාවට නංවන ලද සමහර තීන්දු තීරණ හේතු කොටගෙන අනුක්‍රමයෙන් පක්‍ෂයේ ජනතාවාදී පදනම පිරිහී ගොස්, පක්‍ෂය ප්‍රභූවරුන් නායකත්වය දරන, ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ක්‍රියාත්මක වන පක්‍ෂ යාන්ත්‍රණයක් සහිත කේඩර පක්‍ෂයක තත්ත්වයට පත් වීමය.

පසුගිය කාලය තුළ පක්‍ෂයේ කඩා වැටීම සම්බන්ධයෙන් බලපෑ ප්‍රධානම කරුණ මෙය වන අතර පක්‍ෂයේ විනය පිරිහෙන්නෙත්, පක්‍ෂයේ සංනිවේදන අංශය කඩා වැටෙන්නේත්, පක්‍ෂයේ කාඩර්වරුන් පුහුණු කිරීම පිළිබඳව පවත්වා ගෙන ආ යාන්ත්‍රණය බිඳ වැටෙන්නේත් සහ අවසාන වශයෙන් පක්‍ෂය සිරිකොතට අරක්ගත් ආඩම්බරකාර සහ උද්ධච්ඡ නිලබල පැළැන්තියක ආධිපතිත්ව බලයට යටත් වී සිරිකොත කෝට්ටේ නගරයට සීමා වූ පක්‍ෂ මූලස්ථානක් බවට පත් වන්නේත් එහි අතුරු ප්‍රතිථල ලෙසයි.

මෙම අර්බුදය නිවැරදිව තේරුම් ගැනීමට නම් කේඩර පක්‍ෂයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගත යුතු ය. ලෝකයේ රටවල්වල දේශපාලන පක්‍ෂ සංවිධානය කර ඇති ආකාරය පදනම් කරගෙන ඒවා කේඩර දේශපාලන පක්‍ෂ සහ ජනතාවාදී දේශපාලන පක්‍ෂ වශයෙන් කොටස් දෙකකට බෙදනු ලැබේ. මෙම වර්ග කිරීමට පදනම් සාධක ලෙස යොදා ගැණෙන්නේ පක්‍ෂ සාමාජිකත්වයේ ස්වරූපය, පක්‍ෂ නිලබල පද්ධතිය ගොඩනැ‍ඟී ඇති ආකාරය සහ පක්‍ෂ සංවිධාන ව්‍යුහයේ ස්වභාවය යන ඒවාය. ජනතාවාදී දේශපාලන පක්‍ෂ සහ කේඩර දේශපාලන පක්‍ෂ අතර පවතින වෙනස හඳුනා ගැනීම සඳහා අදාළ වන ප්‍රථම සාධකය වන්නේ පක්‍ෂ සාමාජිකත්වයයි. මේ අනුව බලනවිට පෙනී යන්නේ ජනතාවාදී පක්‍ෂ පුළුල් සාමාජිකත්වයක් සහිත මහාපරිමාණ දේශපාලන සංවිධාන වන අතර කේඩර පක්‍ෂ දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වූ සමාජ ප්‍රභූන් විසින් පිහිටුවා ගත් සීමිත සාමාජිකත්වයක් සහිත කුඩා දේශපාලන සංවිධාන වන බවය.

ජනතාවාදී පක්‍ෂයකට පක්‍ෂ සාමාජිකත්වය කරුණු දෙකක් නිසා වැදගත් වේ. මෙයින් ප්‍රථම කරුණ වන්නේ, ජනතාවාදී පක්‍ෂ ගොඩනැ‍ඟී තිබෙන්නේ හුදෙක් සාමජිකත්වයම පදනම් කරගෙන බැවින්, පක්‍ෂයේ දේශපාලන පැවැත්ම සඳහා සාමාජිකත්වය අතිශයින්ම වැදගත් වීමය. එබැවින් පක්‍ෂ සාමාජිකත්වය පුළුල් කර ගැනීම උදෙසා ජනතාවාදී පක්‍ෂ නිරන්තරයෙන්ම කටයුතු කරන අතර පක්‍ෂ සාමාජිකයින් දේශපාලන වශයෙන් දැනුවත් කිරීමටත්, දක්‍ෂ සහ සුදුසුකම් සහිත සාමාජිකයින් පක්‍ෂ නායකත්වය සඳහා පුරුදු පුහුණු කිරීමටත් අඛණ්ඩවම කටයුතු කරනු ලැබේ. මේ අනුව පක්‍ෂ සාමාජිකත්වය ජනතාවාදී දේශපාලන පක්‍ෂයක දේශපාලන හරය වනවා පමණක් නොව, පක්‍ෂයේ දේශපාලන ක්‍රියාපටිපාටියේ මූලික අවයවයද වන්නේය. ජනතාවාදී පක්‍ෂයකට සාමාජිකත්වය වැදගත් වන දෙවන කරුණ වන්නේ, පක්‍ෂ අරමුදල් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ය. ජනතාවාදී පක්‍ෂයක මූල්‍ය පදනම මුළුමණින්ම පාහේ ගොඩ නැ‍ඟෙන්නේ සාමාජිකයින්ගෙන් අයකර ගන්නා සාමාජික මුදල් මතය. ජනතාවාදී පක්‍ෂයක් සාමාන්‍යයෙන් පක්‍ෂ අරමුදල් සම්පාදනය කරගැනීම සඳහා පෞද්ගලික මුදල් ආධාරකරුවන්, විශාල ව්‍යාපාරිකයින්, බැංකුකරුවන් වැනි ධනපති කොටස් මත රඳා නොපවතී.

කේඩර දේශපාලන පක්‍ෂ වූ කලී දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සමාජ ප්‍රභූන්ගේ එකතුවකින් ගොඩ නැගුණ, සීමිත පක්‍ෂ සාමාජිකත්වයක් සහිත දේශපාලන සංවිධාන වේ. මේ අනුව ජනතාවාදී පක්‍ෂයකට සාමාජිකත්වය වැදගත් වන්නේ යම්සේද එයාකාරයටම කේඩර පක්‍ෂවලට වැදගත් වන්නේ නායකත්වය දරන සමාජ ප්‍රභූන්ය. මැතිවරණවල දී පක්‍ෂයට ඡන්ද ලබා ගැනීම සම්බන්ධයෙන් කේඩර පක්‍ෂ වඩාත් විශ්වාසය තබන්නේ සාමාජිකත්වය කෙරෙහි නොව නායක ප්‍රභූ පෙළැන්තිය සතු සමාජ තත්ත්වය, පෞද්ගලිකත්වය, නම්බුව සහ ධනවත්කම වැනි කරුණු වෙතය. මේ හේතුව නිසාම කේඩර දේශපාලන පක්‍ෂ සාමාජිකත්වය කෙරෙහි දක්වන ආකල්පය ජනතාවාදී පක්‍ෂ දක්වන ආකල්පයට මුළුමනින්ම වෙනස් වේ. එබැවින් කේඩර පක්‍ෂ තම සාමාජිකත්වය පුළුල් කිරීමට උත්සාහ නොගන්නවා පමණත් නොව සාමාජිකයින් දේශපාලන වශයෙන් දැනුවත් කිරීමට හෝ නායකයින් ලෙස පරුදු පුහුණු කිරීමටද උනන්දු වන්නේ නැත.

එමෙන්ම කේඩර පක්‍ෂ අරමුදල් සම්පාදනය කිරීම සඳහාද සාමාජිකත්වය මත වැඩි වශයෙන් රඳා පවතින්නේ නැත. දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය යනුවෙන් අදහස් කරන්නේ විධිමත් ක්‍රමයක් මත පක්‍ෂයට බැඳී පක්‍ෂයේ දේශපාලන, ආර්ථික හා සමාජ දර්ශනය පිළිගෙන පක්‍ෂ විනයට යටත්ව ක්‍රියා කිරීමට ගිවිසගත් සහ සාමාජික මුදල් නිසි පරිදි ගෙවනු ලබන තත්ත්වයක් නම්, එවැනි තත්ත්වයක් කේඩර පක්‍ෂ තුළ දැකිය නොහැක.

පක්‍ෂ සංවිධානාත්මක ව්‍යුහය දෙස බලනවිට පෙනී යන්නේ, ජනතාවාදී පක්‍ෂ, ශඛා පදනම් කරගෙන ගොඩනැගූ, සාමාජිකයින් කෙරෙහි බලපාන දැඩි විනයක් සහිත, විධිමත් නිලබල පද්ධතියකින් යුත් දැඩි මධ්‍යගතභාවයකින් හා ක්‍රමානුකූල සංවිධාන ව්‍යුහයකින් යුත් ඒවා වන බවය. නමුත් මෙයට පරස්පරව කේඩර පක්‍ෂ ආශ්‍රීතව දැකිය හැකි වන්නේ කෝකස (නායක ප්‍රභූන්ගෙන් සමන්විත කුඩා මණ්ඩල ) මත සංවිධානය කරන ලද, විධිමත් නිලබල පද්ධතියක් නොමැති, සාමාජිකයින් කෙරෙහි බලපාන දැඩි විනයක් නොමැති, එමෙන්ම, ක්‍රමානුකූල සංවිධාන රටාවක් නොමැති විමධ්‍යගත සංවිධාන වන බවය.

ඉහතින් දැක්වූයේ ජනතාවාදී සහ කේඩර දේශපාලන එකිනෙකින් වෙන්කොට හඳුනා ගැනීම සඳහා පාදක කරගත හැකි සාධකයන්ය. දේශපාලන පක්‍ෂ පිළිබඳ න්‍යායාත්මක දැනුමක් නොමැති අයෙකුට ඉහත දැක්වූ කරුණු එක්වරම තේරුම් ගැනීමට අපහසු වනු ඇත. නමුත් සියුම්ව එම කරුණු අධ්‍යයනය කිරීමේ දී පැහැදිලිවම පෙනී යන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන තත්ත්වය වඩාත් කිට්ටු වන්නේ, ජනතාවාදී පක්‍ෂයක තත්ත්වයට වඩා කේඩර පක්‍ෂයක තත්ත්වයට බවය. ඇත්තවශයෙන්ම කියනවා නම්, අද එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියාත්මක වන්නේ ජනතාවාදී දේශපාලන පක්‍ෂයකට වඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් විසින් පාලනය කරන පෞද්ගලික කොම්පැනියක් ලෙසටය.

පක්‍ෂය ගොඩනැ‍ඟී තිබුණ ග්‍රාමීය මට්ටමේ ශාඛා සංවිධාන ජාලාව පදනම් කරගත් සංවිධාන ව්‍යුහය විනාශ කරමින් නාගරික මට්ටමෙන් ක්‍රියාත්මක වන පොකුරු සංවිධාන ක්‍රමය හඳුන්වා දීම, ඒවා කළමනාකරණය කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් පක්‍ෂ කළමනාකරුවන් පත්කිරීම, සංනිවේදන අධ්‍යක්‍ෂක ජෙනරාල්වරුන් වැනි හමුදා මට්ටමේ තනතුරු සිරිකොත තුළ පිහිටුවීම, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මටිටමෙන් සමාජ ප්‍රභූන්ගේ බල ආධිපතිත්වය තහවුරු කරමින් සාමාන්‍ය සාමාජිකයින් නොසලකා හැරීම, පක්‍ෂයේ මූල්‍ය සම්පත්දායකයින් ලෙස ධනපතියන්ගේ ආධාර උපකාර වැඩි වැඩියෙන් ලබා ගැනීම හේතුවෙන් පක්‍ෂය ධනපතියන්ගේ ඕනෑ එපාකම් අනුව වැඩකරන පක්‍ෂයක් බවට පත්කිරීම යනාදියෙන් පෙන්නුම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය පසුගිය කාළය තුළ කොතරම් වේගයකින් ජනතාවාදී පදනමෙන් එහාට ගොස් කේඩර පක්‍ෂයක තත්ත්වයට පත්වූවාද යන්නය.

එසේනම් සිරිකොත ගමට ගෙනයාමට දරන උත්සාහයේ දී අනිවාර්යෙන්ම කළ යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය නමැති පෞද්ගලික කොම්පැනිය ජනතාවාදී පක්‍ෂයක් බවට පත්කිරීමය. පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කෑ මොර දෙන කවුරු කවුරුත් තේරුම් ගත යුත්තේ මෙම යථාර්ථය විනා, තමන්ට පක්‍ෂයයේ තනතුරක් ලබා ගැනීම සඳහා ආත්මාර්ථකාමීව කටයුතු කිරීම නොවේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *