මග හොඳට තිබේ නම්… යන්න දෑසත් පෙනේ නම්…. – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

 

2018 මැයි 06 ඉරිදා පුවත්පතක සම්මුඛ සාකච්ඡා දෙකක් පළ වී තිබුණා. එකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ සමඟ. අනෙක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද හිතවාදී රංජිත් සොයිසා සමඟ.

සුජීව සේනසිංහ මහතා කියා තිබුණේ රනිල් 2020 ට ඉල්ලුවොත් තමා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලයි. ‘රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ හතරක් පැරදුණු නායකයෙක්!’ ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 – 45ක් පමණ පක්ෂයේ සැබෑ වෙනසක් සිදුවිය යුතුයි කියන තැන ඉන්නවා’ ‘බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ තවම ලැබිල නැහැ. ඒවෙනුවෙන් අපේ සටන තවම ක්‍රියාත්මකයි’ ‘දැන් ඇති වුණේ අර නායක, මේ නායක, උප නායක කිය කියා නමට ඉස්සරහින් තනතුරක් ආපු එක විතරයි’  ‘මට නොම්ර එක රනිල් වික්‍රමසිංහ මහතා නෙමෙයි. අපේ පාක්ෂිකයොයි නොම්මර එක වෙන්නෙ’ ආදි වශයෙන් එම පුවත්පතින් සුජීව සේනසිංහ මහාතාගේ ප්‍රකාශය උලුප්පා දක්වා තිබුණා.

එ අතර රංජිත් ‍‍‍සොයිසා මන්ත්‍රීවරයා කියා තිබු‍‍ණේ අපට ඉස්කෝප්ප ආසියො දෙන්නෙක් නැහැ එක ආසියයි. ඒ මහින්ද කියායි. එකම දිස්ත්‍රික්කය නියෝජනය කරන පවිත්‍රා සමඟ ඔහුගේ අරෝව එම සාකච්ඡාවේ දී මතුවී තිබුණත් යහපාලන ආණ්ඩුව පෙරළීම සඳහා එජාපයට හා ශ්‍රී ලනිපයට  මෛත්‍රී කණ්ඩායමට එරෙහිව රංජිත් සොයිසා ඉතාම ලස්සනට ඉදිරිපත් කර තිබුණා. ඔහු උත්සාහ කර තිබුණේ දැනට පොහොට්ටු පක්ෂයේ මතුව ඇති ගෝඨාභය බැසිල් තරගය පවා යටපත් කරන්නටයි.

මා ඉහත සම්මුඛ සාකච්ඡා දෙක උපුටා දැක්වූයේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව තමන්ගේ ප්‍රචාරක කටයුතුවලදී දක්වන සැලකිල්ල දුබලතා පෙන්වා දෙන්නටයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ හතරක් පැරදුණු බව උලුප්පා දක්වන්නට සුජීව සේනසිංහ මහතා (මෝඩ ආකාරයට) කටයුතු කරද්දී රංජිත් සොයිසා මහතා කියන්නේ ඔවුන්ගේ එකම තුරුම්පුව මහින්ද රාජපක්ෂ මහතා බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ මෑත කාලීන දේශපාලනය සලකා බැලුවොත් ඇත්තේන්ම කියන්නේ නම් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ගේ තුරුම්පු පිට පිට දෙවතාවක්ම ජයග්‍රහණය කරද්දී මහින්ද රාජපක්ෂ මහතා ඒ දෙවතාවේම පරාජය වුණා.

සුජීව සේනසිංහ වැන්නන් තේරුම් නොගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ දේශපාලන කරළියේ රැඳී ඉන්නේ පරාජිතයකු වශයෙන් නෙමෙයි. සැබෑ ජයග්‍රාහකයෙක් විදිහටයි. නමුත් ඒ ජයග්‍රහණයේ සැබෑ ගරුත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රධානය කර නායකයකු වශයෙන් ඔහු ජනතාව අතර මාකට් කරන්නට එක්සත් ජාතික පක්ෂය කටයතු කළේ නැහැ. තමන්ගේ නායකයාගේ හැකියාවන් සහ දක්ෂතා ඉස්මතු කර දක්වනවා වෙනුවට සුජීව සේනසිංහ වැන්නන් තවමත් කරමින් සිටින්නේ ‘බැරිවාදමක්‘ නිතර කියමින් පක්ෂයත් පක්ෂයත් නායකත්වයත් ප්‍රපාතයට හෙළීමයි.

අනික් අතට මහින්ද රාජපක්ෂ යනු මෑත ඉතිහාසයේ ලංකාවේ බිහිවුණු දූෂිතම රාජ්‍ය පාලකයා බව රටම පමණක් නොව ලෝකයමත් දන්නවා. ඔහුගේ පාලන කාලයේදී කෙරුණේ ජාතික ධනය කොල්ලකෑම, රට උගසට තබා ණය ගැනීම ආදිය බව බොරුවක් නෙමෙයි. ඔහු තරමට ජනතාව පීඩනයට පත් කළ ජනාධිපතිවරයකු මෙරට තවත් නැහැ. තාජුදින් ඝාතනය, හෙජින්, ශ්‍රී ලංකන් වැනි ගනුදෙණු, මල්වානේ ඉඩම්, සිල්රෙදි බෙදාදීම්, ලිත් අච්චු ගැසීම් මේ සියලුම දේ මහින්ද ට විරුද්ධ භාවිත කළ හැකි තවමත් වලංගු ශක්තිමත් ආයුධ නෙමේ ද?

මහින්ද වටා එකතු වී සිටින පිරිස ගත්තත් ඔවුන්ගෙන් 99%ක් ම දූෂණ චෝදනාවලට ලක් වූ අය. නමුත් ඒ කිසිවක් පොහොට්ටුවට හෝ මහින්දට විරුද්ධව භාවිතයට ගන්නට එසේ භාවිතයට ගෙන මහින්දගේ ඊනියා ප්‍රතිරූපය බිඳ දමා ඔහුට නැවත නැගීටීමට ඇති ඉඩකඩ අහුරා දමන්නට සුජීව සේනසිංහ ඇතුළු රනිල් විරෝධය අවුලන එජාප පිරිස් උත්සාහ කරන බවක් පෙනෙනේනේ නැහැ.

2001 වර්ෂයේ සිට කිහිප වතාවක්ම රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පක්ෂය අභ්‍යන්තරයේ කැරලි ඇති වුණා. ඒ හැමවිටම හේතු වශයෙන් ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ පරාජය වීමයි. නමුත් 2001 වර්ෂයේ කැරැලෙන් පසුව එම වසරේ දෙසැම්බර් මාසයේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුබලය අතට ගත්තා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේයි.

වික්‍රමසිංහ මහතා ඡන්ද සටනකින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වූයේ විධායක ජනාධිපති ධූරය තමන්ගේ ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සතුව තිබිය දී බව ඔහු පක්ෂයේ නායකත්වයෙන් එළවා දමන්නට කටයුතු කරන අය අමතක කරන්නේ ඇයි? ඒ මැතිවරණ ජයග්‍රහණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ශක්තිමත් නායකත්වය ප්‍රදර්ශනය වන්නේ නැද්ද?

ඊළඟ කැරැල්ල ඇති වූයේ 2014 වර්ෂයේ දී ඉන්පසුව එළැඹුණු 2015 ජනවාරි මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා නේද? රනිල් වික්‍රමසිංහ මහතා දුර්වල යැයි කෑකෝ ගසන අය ඒ ජයග්‍රහණය අමතක කරන්නේ ඇයි?

ඊළඟ හැරවුම් ලක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඌව පළාත් සභාව හරින් පුනාන්දු මහතා ලබාගත් ජයග්‍රහණයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ වියරු ඒකාධිපතිත්වයට අභියෝග කළ ඒ පළාත් සභා මැතිවරණය නිසා මහින්ද රාජපක්ෂ මහතාට අවුරුදු දෙකක් තම නිල කාලය ඉතිරිව තිබියදීත් ජනාධිපතිවරණයකට යන්නට සිදු වුණා.

මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෑතක දී ප්‍රකාශ කළේ මෑත ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය මෙරටට ලැබී ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ බවයි. ඉතිරි කාලය තුළ මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙන බවත් විරැකියාවට විසඳුම් දිය හැකි බවත් අයෝජන ඉහළ යනු ඇති බවත් අනාවැකි පළ වී තිබෙනවා. මේ සියල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලබාගත් ජයග්‍රහණ.

සියල්ල අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ ඇත්තේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව ජනතාව පක්ෂයට ආකර්ෂණය කර ගැනීමේ නොහැකියව පිළිබඳ ප්‍රශ්නයක් බවය. ජනතාව පක්ෂය කෙරෙහි විශ්වාසයක් ඇති නොවන්නට මූලික හේතුව වන්නේ සුජීව සේනසිංහ වැන්නන්ගේ ක්‍රියා කලාපයයි. ඇත්තේන්ම දැනට මහින්ද රාජපක්ෂට විරුද්ධව පාවිච්චි කළ හැකි හොඳම තුරුම්පුව රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. උත්රේත් දකුණේත් ජනතා විශ්වාසය දිනාගත හැකි එකම නායකයා රනිල් පමණයි.

මැච් එක පරාජය වූ විට නායකයාට දොස් කියා පලක් නැති බව හරීන් ප්‍රනාන්දු මහතා මෑතකදී පුවත්පතකට කියා තිබුණා. ඇත්ත කතාවත් එයමයි. සුජීව සේනසිංහල රනිල් ට ගල් ගසමින් කාලයත් පක්ෂයත් කා දමමින් සිටින අතර මහින්ද රජපක්ෂ ඒ සියල්ලෙන් උපරිම වාසි ලබාගන්නවා. දැන හෝ නොදැන සුජීව සේනසිංහ වැන්නන් මේ කරමින් ඉන්නේ වියරු ඒකාධිපතියකුට රටේ බලය ලබා ගන්නට මාර්ගය සකසා දීමයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම දුර්වල කම ඔහු යහපත් ප්‍රජාතාන්ත්‍රිකයකු වීමයි. එසේ නොවූයේ නම් සුජීව සේනසිංහ වැන්නන් මේ වනවිටත් සිටිය යුතුව ඇත්තේ විනය විරෝධි චෝදනා ලැබ පක්ෂයේ පිළිකන්නේයි. 2020 මැතිවරණය ජයග්‍රහණයෙන් කෙළවර විය යුතු නම් රනිල් මහතාගෙන් ඉටු විය යුතු ලොකුම යුතුකම පක්ෂයේ ගමනට අකුල් හෙළන කෙලතොලු කතාකාරයන්ගෙන් නිදහස් කර පක්ෂය එක මතයකට ගොනුකර ගැනීමයි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *