තෙල් බැරලය මාස 11කදී ඩොලර් 32කින් වැඩි වෙලා – රාජපක්ෂ යුගයට වඩා රටේ මිල තාම අඩුයි

මීට මාස 11 කට පෙර ලෝක වෙළෙඳ පොළේ අමෙරිකානු ඩොලර් 45.50 ක් වූ තෙල් බැරල් එකක මිල පෙරේදා (10) වන විට ඉහළම අගය වාර්තා කරමින් ඩොලර් 77.48 දක්වා ඩොලර් 31.98 කින් වැඩි වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය.

ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල මතුව ඇති නව තත්ත්වයන් තුළ මේ මිල ගණන් තවත් ඉහළ යා හැකි බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ලෝක වෙළෙඳ පොළේ දිනෙන් දින තෙල් මිල ගණන් ඉහළ ගියත්, දේශීය වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි නොකර ලබා දුන් දකුණු ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වසර 2015ට පෙර ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරල් එකක මිල ඩොලර් 49 ක්ව පැවැති සමයේ දී පවා රාජපක්ෂ පාලන රෙජීමය විසින් දේශීය වෙළෙඳ පොළේ ඉන්ධන මිල වැඩි කොට තිබූ බව සිහිපත් කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා, අප ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දී වැඩි කළ මිල මට්ටම් තවම පැවැති පාලනයේ ඉන්ධන මිලට වඩා අඩු බව ද අවධාරණය කෙළේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල නේපාලයේ රුපියල් 149යි, බංග්ලාදේශයේ රු. 159යි, ඉන්දියාවේ රු. 169යි. නේපාලයේ ඩීසල් ලීටරයක් රු. 114 යි, බංග්ලාදේශයේ රු. 120 යි, ඉන්දියාවේ රුපියල් 142 යි. නමුත් අපේ රටේ තවමත් ඒ මිල මට්ටමට ඉන්ධන මිල වැඩි වී නැතැයි ඇමැතිවරයා කීය.

එදා රාජපක්ෂ පාලන සමයේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 157 යි. ඔක්ටේන් 95 ලීටරයක මිල රු. 158 යි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 111 යි. සුපර් ඩීසල් ලීටරයක මිල රු. 133 යි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106යි.

වත්මන් මිල සූත්‍රයක් හඳුන්වා දීමෙන් පසු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක්, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 148ක්, ඩීසල් ලීටරයක මිල රුපියල් 109ක්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119ක්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101ක් ලෙස වැඩි වී තිබෙනවා.

වසර 2016 ජූනි මාසයේ සිට මේ වන විට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල සියයට 36 කින්, ඉන්දියාවේ (මුම්බායි) සියයට 29 කින්, පාකිස්ථානයේ සියයට 31කින්, නේපාලයේ සියයට 19කින් වැඩි වී ඇත.


රාජපක්ෂ පාලන සමයේ මිල

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 157 යි.
ඔක්ටේන් 95 ලීටරයක මිල රු. 158 යි
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 111 යි
සුපර් ඩීසල් ලීටරයක මිල රු. 133 යි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106යි

වසර තුනකට පසු අද මිල

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137යි
ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 148යි
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 109යි
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119යි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101යි

ජයසිරි මුණසිංහ

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *