සාටක රජා ගේ විජ්ජාත්මක ක්‍රමේ

මැයි 1 දා සවස අභයාරාමයෙන් නිවසට ගිය සාටක රජාගෙන්, පොහොට්ටු පක්ෂයේ සත්තුත් සාමාජික වෙලා ඉන්නවාද කියා සාටක බිසව ඇසුවාය.

සාටක රජා එවිට තිස්තුන් වගාවක් පමණ උඩ බිම බැලුවේ, බිසව අසන්නේ ද්විත්ව පුරවැසි මන්ත්‍රිවරියක් ගැනවත්දැයි සැක හිතුණු නිසා වුවත්, පොහොට්ටුවේ ඉන්නේ අමුතුම ජාතියේ සත්තු ටිකක් බව ඔයා නොදන්නවා ද? කියා පෙරළා ප්‍රශ්න කළේය.

ඔයා ළග ඉන්නේ අමුතුම සත්තු සෙට් එකක් බව මම විතරක් නෙමෙයි තුන් ලෝකෙම දන්නවා. ඒත් උන් අතරින් කොයිකද කකුල් හතරෙන් පැන පැන යන සතා කියල මට හිතාගන්න අමාරුයි, කියා එවිට සාටක බිසව කීවාය.

කකුල් හතරෙන් පැන පැන යන සතෙකුට තාම පොහොට්ටුවේ සාමාජිකත්වය දෙන්න බැරි වුණා, හැබැයි කකුල් දෙකෙන් පනින වුන් නම් සෙට් එකක්ම ඉන්නවා. සාටක කීවේය. පොහොට්ටුවේ නායක ජිල් පප්පා පැනපු පැනිලි ඔයා දන්නෙ නැද්ද? ධනරිනත් ඒ පැත්තට පැන්නා මේ පැත්තට පැන්නා, අන්තිමේ පොහොට්ටුවටත් පැන්නා. සැල්ෆෝන් විමලයාත් පැනල ආවේ අමුඩෙත් නැතුව. ගල්ලෙන බිඳලා සිංදුව කියකියා හුටපු පිවිතුරු උදයා පැන්නේ උගේ අම්මා මුත්තවත් පැන්නෙ නැති පැනිල්ලක්. වේලිච්ච වට්ටක්කයාත් පැනිල්ලට දස්සයා. තවත් කරණම්කාරයෝ දහසයක් පනින්න කැසපොට ගහනවා. උනුත් පනීද නැද්ද කියල මම බලාන ඉන්නවා. ඔක්කොටම හපන් අපේ ඇසිල් බැසිල්. ඌ අප්පගෙ පක්ෂෙන් සිරිකොත පැත්තට පැන්නා. සිරිකොතේ ඉඳලා වෝඩ් ප්ලේස් එකට පැන්නා. ඡන්දෙන් පැරදිලා ඇමරිකාවට පැන්නා. අවුලක් නෑ කියල දැනුනම ඇමරිකාවෙන් ලංකාවට පැනලා, දැන් මටත් උඩින් ජනාධිපතිකමට පනින්න බලනවා. සාටක රජා කියාගෙන ගියේය.

අලුත් ‍වනජීවි ඇමති එන ආරංචියට කුලප්පුවෙලා තියෙන්නෙ ඔය සැට් එකෙන් කොයි කොයි සතා ද කියා සාටක බිසව ඇසූවිට සාටක රජාට තමා උත්තර දී ඇත්තේ පොටපටලවාගෙන බව වහා වැටහී ගියේය.

අලුත් වනජීවි ඇමති එනව කිව්වට දැන්නම් උන් එකෙක්වත් කලබල වුණේ නැහැ. ඒත්, අලුත් වනජීවි ඇමතිට නීතිය හා සාමය දෙන්න යනව කියල ආරංචි වුණ වෙලාවෙ නම්, අපේ එවුන්ගෙ හන්දි වෙවුළලා, සුළුදියත් පහවුණා කියා සාටක රජා කීවේය.

ඇමති මණ්ඩල සංශෝධනය විද්‍යාත්මක නෑ කියල ඔයා කියල තිබුණා. වනජීවි අමාත්‍යාංශය වෙනස් කරල තියෙන්නේ ජීව විද්‍යාත්මකව කියලත් කියල තිබුණා, ඔයාගෙ ඇමති මණ්ඩලේ නම් කරල තිබුණේ රසායනික විද්‍යාවෙන් ද මොන විද්‍යාවෙන් ද කියා සාටක බිසව ඇසුවාය. එවිට සාටක රජා කීවේ, මගෙ ඇමති මණ්ඩලේ හැම ඇම්බැට්ටයෙක්ම මම නම් කළේ, සුමනදාසයාගේ ගුප්ත විද්‍යාත්මකව කියාය.

ඔයාගෙ ඇමති මණ්ඩලේ මෙගා වුණේ ගුප්ත විද්‍යාත්මකව විෂයපථ වෙන්කරපු හින්දද කියා ඇසූ සාටක බිසව, පෙන්ෂන් ආමාත්‍යංශ, කංකානි ආමාත්‍යාංශ, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ, ශ්‍රේෂ්ඨ අමාත්‍යාංශ ඔක්කොම තිබුණෙ ඔයාගෙ කැබිනට් එකේ ද නැත්නම් වෙනත් කාගෙහරි කැබිනට් එකකද කියා ද ඇසුවාය.

එවිට සාටක රජා සාටක බිසවට කීවේ, ඒ කාලේ ප්‍රභාකරන්ට බයේ වෙවුල වෙවුලා තිබුණු මගේ දෑත ශක්තිමත් කරන්න ආපු එවුන් නවත්ත ගන්න ඊට වැඩිය විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදිල්ලක් හිතා ගන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. කියාය.

ප්‍රේමෙ ජයන්තට දීල තිබුණු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමුණුගම උන්නැහැට දීම විද්‍යාත්මක නැහැ කියලද ඔයා හිතන්නේ කියා සාටක බිසව ඇසූවිට සාටක රජා කීවේ ‘ප්‍රේමෙ ජයන්තයාට තරම් අපූරුවට ඇඟේ ඉඳන් කනකන තාක්ෂණේවත් විද්‍යාවවත් අමුණුකාරයාට පිහිටලා නැහැ කියාය. ප්‍රේමෙ ජයන්තයාට ඛනිජතෙලේ බලේ දීපු දවස්වල සුපිරිතෙල් නැවක් ගෙන්නලා පාරපුරා වාහන නැවතුණු වෙලාවෙ, තෙලේ අවුල ඉන්ධන ෆිල්ටරේට යොමු කරලා ඌත් ඇඟබේරගෙන අපේ ආණ්ඩුවත් බේරගත්තේ උගෙ විද්‍යාවටයි තාක්ෂණයටයි දෙකටම පින්සිද්ධ වෙන්නයි. කී සාටක රජා, අමුණුගම ලොක්කාට ඒ වගේ තෙල් ගෙන්නන තාක්ෂණේවත් ඇඟ බේරා ගන්න තාක්ෂණේවත් තේරෙන්නෙම නැහැ. මගේ ගුප්තවිද්‍යාත්මක ඇමති මණ්ඩලෙන් මිනිහ හැලුවෙත් ඒ නිසා යැයිද කීවේය.

වීරක්කොඩියාගේ නිපුණතා සංවර්ධනෙයි වෘත්තිය පුහුණුවයි දෙකමත් අමුණුගම උන්නැහැටම දීලා තියෙනව. කියා සාටක රජා කීවේ, වීරක්කොඩියාට නිපුණතා සංවර්ධනෙයි වෘත්තිය පුහුණුවයි මුලින් දීමත් වැරදියි උගේ නිපුණතාව වර්ධණය කරගන්නත් ඌටම බැරි එකේ අනුන්ගේ නිපුණතා සංවර්ධනය කරන්නේ කොහොම ද කියාය.

ඔයාලගෙ විශ්වාභංගෙට අතගහන්න ගිහිං කටුගම්පොල යාපාටත් ලොකු අපදාවකට මුහුණ දෙන්න සිද්ධවුණා නේද? කියා සාටක බිසව ඇසුවේ කටුගම්පොළ යාපා ගැන හදපත්ලෙන්ම උපන් අනුකම්පාව නිසාය.

ඔයා ඒ යකා ගැන වැඩිය දුක් වෙන්න ඕන නැහැ. ඔකා සාටක එක්ක ඇයි හොඳයියට ගියේ, බඩු අරගෙන බෙදලා සතොසේ ඡන්ද කරපු පව බොල්ණය වශයෙන් කපා හැරගන්න හිතාන වෙන්න පුළුවනි, කියා එවිට සාටක රජා කීවේය.

ප්‍රේමෙ ජයන්තයාටයි කටුගම්පොල යාපාටයි සාටක පිලට හේත්තු වෙන්න කීවේ ඔයා කියල ප්‍රෙමෙ ජයන්ත ප්‍රේම ගීතයක් ගායනා කරල තිබුණෙ ඇත්තට ද බොරුවට ද කියා සාටක බිසව ඇසූ විට සාටක රජා කීවේ, මම යන්න කීවට ගියා වුණාට කරන්න කීව ඩියුටිය උන්දෙන්නගෙන් එකෙක්වත් හරියට කළේ නැහැ කියාය.

එහෙම කතා කරන්න එපා මෙයා, උන් සෙට් එක ආණ්ඩුවට රංගලා යහපාලනේ අබල් බබල් කළේ නැත්නම් ඔයාගෙ චෞර පොහොට්ටුවෙ හතරෙන් තුනක්ම මෙලහට වැලිකඩ නැත්නම් බෝගම්බර නේද කියා එවිට සාටක බිසව කීවාය.

හඟුරන්කෙත බණ්ඩාගේ උඩරට උරුමයටත් කණකොකා ඇඬුවේ ඔයාලගේ වරදින්, අගමැති ගෙදර යවන්න කියලා විශ්වාස භංග ගෙනාවා අන්තිමට වුණේ අත උත්සපු උන්ට ගෙදර යන්නයි. කියා සාටක බිසව කීවාය. එවිට සාටක රජා බිසව සනසන්නට කීවේ, හඟුරන්කෙතයාගේ උරුමය ගැන ඔයා වොරි වෙන්න එපා. ඕකා සැටලයිට් නෝනගෙ කාලෙයි මගේ කාලෙයි උරුමය මදි නොකියන්නම හදා ගත්තා කියාය. ගෙදර යන ගමං අවලං ගමං යන සීජේට කට කැඩෙන කතා කියලා තැටියෙ බත් කකා හිටිය හඟුරන්කෙතයාට මම කරපු උදව්වට ඕකා විශ්වාස භංගෙදි අත්දෙක විතරක් නෙමෙයි කකුල් දෙකත් උත්සන්න ඕනැ, යයි සාටක රජා වැඩිදුරටත් කීවේය.

ඒක නෙමයි මේයා, මෙදා පාර අධිකරණයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණයත් එකතු කරලම දීල, ඔයාට ඒ ගැන බයක් හිතෙන්නෙ නැද්ද කියා සාටක බිසව ඇසුවාය .

මගෙ බුදු අප්පච්චියේ ඔයා කියනතුරු මට ඒක කල්පනා වුණේ නැහැ. සාටක රජා වැසිකිළිය දෙසට දුවන්නට ගත්තේ, සරමේ මළ පහවන තරමටම අතීසාර බරක් දැනෙන්නට පටන්ගත් නිසාය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *