සුද්දො එනව නංගියේ පරිස්සමෙන් මල්ලියේ – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

සංචාරක පොලිස් බලඇණිය පොලිස් නිලධාරින් 300කගෙන් ඉහළ නංවන්න ආණ්ඩුව තීරණය කර ඇති බව කියැවෙනව. ඊට අමතරව සංචාරක කළාපවල පොලිස් මුරපොළවල් සංඛ්‍යාව තවත් 2කින් ඉහළ නංවන්නට යන බවයි කියන්නෙ. ඊට අමතරව සංචාරක කර්මානතයේ යෙදෙන ස්ථානවලට බලපත්‍ර ලබා ගැනීම උනන්දු කරවන්නට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවත් පසුගි දා ප්‍රකාශ කෙරුණ.

සංචාරක කර්මාන්තය නැතිනම් මෙරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාලන අධිකාරියේ අවධානය මේ අකාරයට යොමුවුණේ පසුගිය අපේල් 08 වනදා මිරිස්සේ දී විදේශ සංචාරකයන් දෙදෙනකුට පහර දීමේ සහ සංචාරක කතකට අතවර කිරීමේ සිද්ධියෙන් පසුවය.

1977න් පසුව මෙරට ජාතික ආධායම ඉහළ නංවා ගැනීමේ ක්‍රමයක් වශයෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීම කෙරෙහි පැවති සියලුම ආණ්ඩුවල අවධානය යොමු වී තිබුණ.

යුද්ධය නිමා වීමත් සමග මෙරටට පැමිණෙන සංචාරකයන් ගේ සංඛාව ශීඝ්‍රයෙන් ඉහළගිය බව පෙනුණ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු වූ සංචාරක කර්මාන්තය දියුණුව කෙරෙහි රටේ අවධානය යොමු කරවන්නත් විශේෂයෙන් උනන්දු වූ බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණ. රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව නිතර ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම එහි දී අනුගමනය කළ එක් පියවරක්. ඊට අමතරව මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවේදී යම් කැපී පෙනෙන ඉලක්කම් සම්පූර්ණ කරන සංචාරකයන් ගුවන් තොටුපළ ආදියෙහි විශේෂ පිළිගැනීමකට ලක්කිරීමෙත් ඒ කාලයේ දක්නට ලැබුණ. කවර අර්ථයකින් කළා වුණත් මෙරට සංචාරක කර්මාන්තය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරවන්නටත්, මෙරට සංචාරක කර්මාන්තය කෙරෙහි විදේශ ඇස යොමුකර ගන්නටත් එවැනි වැඩසටහන් වැදගත් බව පිළිගන්න ඕන.

නමුත් සංචාරකයන් ගෙන්වා ගැනීමට සහ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හුවා දැක්වීමට ගත් උත්සාහයේ තරමට සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති ආණ්ඩුවත් උනන්දු වුණේ නැති බව පිළිගන්න සිද්ධ වෙනව. එයට එක් නිදසුනක් වශයෙන් විදේශිකයකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සමූහ දූෂණයකට ලක් කිරීම දක්වන්නට පුළුවන්. ඒ හා සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පැවති ආණ්ඩුව අදි මදි කළේ සිද්ධියට සම්බන්ධ තැනැත්තන් ඒ ආණ්ඩුවේ හිතවතුන් වීම නිසයි.

දැන් මේ ආණ්ඩුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ අවධානයක් යොමු කරන්නට යාම සංචාරක කර්මාන්තයේ උන්නතිය අපේක්ෂා කරන අයට සැනසිල්ලට කරුණක් වුවත් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරි සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් සංචාරකයන්ගේ ආරක්ෂාව විශේෂයෙන්ම විශ්වාසය තහවුරු කරන්න පුළුවන්ද?

මෙරට දී සංචාරකයන් අතවර වලට මුහුණ දීමට බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ මත්දුව්‍ය භාවිත කළ ස්වදේශිකයන් බවයි කියැවෙන්නේ. අනෙක් කරුණ වත් පැන්. තවත් අතකින් මෙරට සාමාන්‍ය ජනයා විදේශිකයන් කෙරෙ දක්වන ආකල්පයත් ඒවැනි සිද්ධීන්ට බලපානවා. බිකිනි ඇද හිරු ඒළිය විදින විදෙස් කතුන් යනු කා සමගත් යහන්ගතවීමට සූදානම් කාමුක පිරිසක් ලෙසින් අපේ සමහරුන් වැරැදි අවබෝධයක පසුවන බව පැහැදිලියි.

සංචාරකයන්ගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ බේරුවල ප්‍රෙද්ශයෙ සංචාරක කර්මාන්තයෙ යෙදෙන තැනැත්තෙකු අප සමග පැවසුවෙ සංචාරක නිකෙතනවල ස්වදේශීකයන්ට මත්පැන් අලෙවි කිරීම තහනම් කළ යුතු බවයි. ඒසෙම ඔහුගේ අදහස අනුව පොලීසිය වැඩිකිරීමෙන් පමණක් සංචාරකයන්ගෙ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය නිරාකරණය කරන්නට බැහැ. ඔහු කියන ආකාරයට අපේ පොලීසියට විදේශසංචාරකයන් සමග ගනදෙනු කරන්නට අවශ්‍ය භාෂා දැනුම අත්තෙ නැහැ. ප්‍රංශ චීන ඉංග්‍රිසි වැනි භාෂාවෙන් වැඩ කළ හැකි පිරිසකගෙන් සංචාරක පොලීසිය සන්නද්ධ කළ යුතු බවයි ඔහු කියන්නෙ‍. දැන්ට පවතින තත්ත්වය අනුව සංචාරකයකුට යම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූ විට පොලීසියට ගොස් පැමැණිල්ලක් කිරීමට විදෙශීකයකුට බැහැ. හේතුව භාෂා ප්‍රශ්නය තමන්ට සිදු වූ දෙය පොලීසිය හමුවෙ රගදක්වන්නට විදෙශිකයාට සිදුවනු ඇති බව ඔහු කියනවා.

ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙ දුම්රියේ බස්රියේ යන පාන් වඩෙ කන හිගන සංචාරකයන් වෙනුවට ධනවත් සංචාරකයන් මෙරටට ගෙන්වා ගන්නට කටයුතු කරන බවයි. ඒ අදහස නරක නැතත් දුම්රියෙ බස්රියෙ යන සංචාරකයන් ද බැහැර කරන්නට පුළුවන්කමක් නැහැ. සංචාරක කර්මාන්තය ගැන බරතබා කරයුතු කරන බලාපොරොත්තුවක් රටට තිබෙනවා නම් දුම්රිය සේවා බස්රථ සේවා ආදිය විදේශ සංචාරකයන්ගෙ ආකර්ෂණය දිනාගත හැකි මට්ටමකින් පවත්වා ගෙන යන්නට අපට සිදු වීම අනිවාර්යයයි. ගල්කිස්ස, කොළඹ කොටුව, අනුරාධපුරය, බෙරුවල, ගාල්ල, මාතර, මහනුවර, බණ්ඩාරවෙල ආදි සංචාරකයන් නිතර හා වැඩිපුර ගැවසෙන දුම්රිය ස්ථානවල දුම්රිය පැමිණීම පිටවීම බස් රථ පැමිණීම පිටවීම විදේශිකයන්ට වටහා ගත හැකි පරිදි භාෂා කීපයකින් තබා ඉංග්‍රිසි බසින් වත් නිවැරැදිව නිවේදනය කරන බවක් පෙනෙන්නට නැත. සංචාරකයන් නිතර ගැවෙසන පින්නවල අලි අනාථාගාරයට ආසන්නට දුම්රිය ස්ථානය වන රඹුක්කන දුම්රිය ස්ථානයෙ දුම්රිය පැමිණෙන පිටත්වන ආකාරය සටහන් පුවරුවෙ ඇත්තේ සිංහල බස පමණයි. (ඉතාම මෑතක ඒම පුවරුව වෙනස් වූවාද දන්නෙ නැත) ඒ හේතුව නිසා විදෙශ සංචාරකයන් දුම්රිය ගැන තොරතුරක් දැනගන්නට දුම්රිය පොළ වැටේ ඇවිදින අයුරු මම දිනක් ඇස් දෙකෙන්ම දැක්කා. දුම්රිය ටිකට් කවුන්ටරයෙන් තොරතුරක් දැනගන්නට ඒම විදෙශිකයන් උත්සාහ කළත් සතුටු දායක ලෙස ඔවුන්ගෙ අරමුණ ඉටු නොවුණේ ටිකට් කවුන්ටරයෙ සිටි මහතාත් චතුර ඉංග්‍රිසි කථකයෙක් නොවූ නිසයි.

පසුගිය දිනක විදෙස් කතක් පැවසුවේ බීච් බෝයි ආදීන්ගෙන් විදේශිකයන්ට බෙහෙවින් කරදර බවයි. අනවශ්‍ය ආකාරයට උදව් කිරීමට උත්සාහ කිරීම බීච් බෝයි වරුන්ගෙන් සිදුවන ලොකුම අපහසුතාව. අනෙක් කරුණ නිත්‍යානුකූල ‍නොවන මග පෙන්වන්නන් ගේ කරදරය බවයි ඇය කීවෙ.

සංචාරක හෝටල් හිමියකු කී පරිදි සංචාරකයන්ගෙ ආරක්ෂාව ගැන වගකීම ආණ්ඩුවටත් වඩා හෝටල් හිමියන් වගබලා ගන්නට ඕනෙ. එය හෝටල් හිමියන්ට කළ හැකි බවත් ඔහු කීවා. සංචාරකයන්ට වන හිරිහැර නවත්වන්න හෝටල් හිමියන් ස්වයං ආචාරධර්ම සහ නීති මාලාවක් සකස් කරගත යුතු බව ඔහු කියනවා. හෝටල් තුළ මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ගැනීමට නොදීම, අවට ජනතාවට සංචාරක හෝටල්වලින් මත්පැන් අලෙවි කිරීම නතර කිරීම ඊට අදාල කොන්දේසි ඒක දෙකක් බවයි ඔහු කියන්නේ. අනෙක් කරුණ බීමත් පුද්ගලයන් හෝටල් තුළට ගෙන්වා නොගෙන සිටීම.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නිදහසේ කටයුතු කරන්නට බාධා කෙරෙන බලගතු මාෆියාවක් සාමාන බලෙව්ගයක් විශෙෂයෙන්ම දකුණෙ මුහුදු තීරයේත් රටේ වෙනත් තැන්වලත් ක්‍රියාත්මක බව සමහරුන්ගෙ මතය. ඊළග කාරණය නීතිය ක්‍රියාත්මක කරන්නට ඇති ආයතනවල නිලධාරින් අල්ලසට යටවීම ඒවැනි සමහර නිලධාරින් නිත්‍යානුකූල නොවන සංචාරක නිකේතන ආදියෙන් විදේශ මත් පැන් මුදල් ලබාගෙන ඇස් පියා සිටින බව දකුණෙ ප්‍රසිද්ධ රහසක්.‍

සංචාරක කර්මාන්තයෙ නියැලෙන්නට බලපත්‍ර ලබා ගැනීමට දිරිමත් කිරීම වැදගත් තීරණයක් වන්නේ ඒ නිසයි. එය සංචාරකයන්ගෙ ආරක්ෂාව හා දියුණුවටත් රජයයේ ආදායමටත් යහපත් ලෙස බලපාන බව සිතිය හැකියි. නමුත් ඒ ක්‍රියාමාර්ග ක්‍රියාවේ යෙදවීමට අවශ්‍යවන නිලධාරින් ද අදාළ ආයතන්වලට ලබාදිය යුතුයි. ඒමෙන්ම බලපත්‍ර ලබාදීම ආදි කටයුතු පක්ෂග්‍රාහි නොවී විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරෙන බවටත් ආණ්ඩුව වගබලා ගත යුතුය.

අකුරැස්සෙ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *