රාජපක්ෂ යුගයේ විද්‍යාත්මක ක්‍රමය – තුෂාල් විතානගේ

2007-2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණෙන මන්ත්‍රීවරුන් 13 දෙනකුට විටින් විට කැබිනට් ඇමැති පදවි හිමිවූ අතර 2015 ජනාධිපතිවරණය ආසන්නයේ 2014 /12/11 වැනිදා ආණ්ඩුවට එක් වූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ද කැබිනට් (සෞඛ්‍ය) අමාත්‍යධුරයක් ලබා දුන්නේය. මෙම යුගය තුළ එජාපයෙන් ආණ්ඩුවට එක් වූ 10 දෙනකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමමින් ආණ්ඩුවේ මුදලින් වරදාන පිරිනැමීමට මහින්ද රාජපක්ෂ මහතා නොමසුරු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර යළි දේශපාලන සංහිඳියාව තහවුරු කළ පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ සාධනීය හා නිශේධනීය ප්‍රතිචාර පළවෙමින් තිබෙනු දක්නට ලැබේ. එහි දී සුපුරුදු පරිදි මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන පාර්ශ්වයෙන් දැඩි විවේචනයක් ප්‍රකාශයට පත්වන අතර එහි දී නව කැබිනට් මණ්ඩලය හාස්‍යයට ලක් කිරීමට ගන්නා තැතක් ද පැහැදිලිව දැකිය හැකිය. ඒ අතර එජාපයේ සහ ශ්‍රීලනිපයේ යම් පිරිසක් ද තමන්ට ලැබුණු කොටස ගැන අතෘප්තිමත්ව ඒකපාර්ශ්වික විවේචනයක යෙදෙනි. මේ තත්ත්වය තුළ විපක්ෂයෙන් හා ආණ්ඩුවෙන් ද ඍණාත්මක තොරතුරුම පමණක් ලබා ගන්නා සාමාන්‍ය ජනතාව ‘‘ආණ්ඩුව තුළ සිදුවන්නේ කුමක්ද ?’’ යන දෙගිඩියාවෙන් පෙළෙති. ඔවුන් තුළ දීර්ඝ කාලීනව වර්ධනය වෙන මෙම අවිනිශ්චිතභාවය පහ කිරීමට, කඩිනම් පියවරක් ගත යුතුව ඇත. මන්ද ‘‘දේශපාලන අස්ථාවරභාවය’’ ආණ්ඩුවේ එදිනෙදා දෛනික ක්‍රියාකාරීත්වයට සේම දීර්ඝ කාලීනව බලය අල්ලා ගෙන සිටීමට අයහපත් නිසාය.

මෙහි දී ප්‍රථමයෙන්ම එජාපයේ හා ශ්‍රීලනිපයේ අතෘප්තිමත් පාර්ශ්වයට එක් යෝජනාවක් කළ හැකිය. ඒ ‘‘ඔබට තැල්ල බඳින්න නම් බෙල්ල බේරා ගත යුතුව තිබෙන බවයි. මෙය වෙනත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම් මේ කණ්ඩායමට ඇමැතිකම් නොව අවම වශයෙන් මන්ත්‍රී පදවියක් දැරීමට හෝ ආණ්ඩුවක් තිබිය යුතුය. මේ ආකාරයෙන් නැඟී සිටින අත්ත කපා දමමින් අඛණ්ඩව සිදුවන මැසිවිලි හා කකුලෙන් ඇදීම් මගින් එජාප හෝ ශ්‍රීලනිප පාක්ෂිකයන් (කැපුවත් කොළ හෝ නිල්) ප්‍රබල කම්පනයක් ඇති නොවුණත් මේ තත්ත්වය මැතිවරණයක දී අතිශය තීරණාත්මක ‘‘පාවෙන ඡන්දවලට’’ ප්‍රබල බලපෑමක් සිදුකරන බව මේ කණ්ඩායම වටහා ගත යුතුය. (මේ ගැන වෙනම සාකච්ඡා කළ යුතුය.)

පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන මධ්‍යස්ථ විද්වතුන් විශාල පිරිසක් අවධාරණාත්මකව කියා සිටියේ විද්‍යාත්මක පදනමක් මත සිදු වූ නව කැබ්නට් මණ්ඩල සංශෝධනය මගින් පසුගිය දීර්ඝ කාලයක් පුරා රාජ්‍ය පාලනය තුළ සිදු වූ ප්‍රමාදයන් හා ගැටුම් අවම කර ගැනීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බවය. මෙහි දී ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වූ විකාරරූපී කැබිනට් මණ්ඩල පත් කිරීම් අවම කිරීමට ද කැබිනට් මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව අවම කිරීමට ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගත් ප්‍රයත්නය විශේෂ ඇගයීමට ලක් විය යුතු බවය.

මෙහි දී අද ආණ්ඩුවේ සියලූම ක්‍රියා කොන්දේසි විරහිතව විවේචනය කරන, හාස්‍යයට ලක් කරන පසුගිය ආණ්ඩුවේ 2005-2015 කැබිනට් මණ්ඩල හා ඒ හා අදාළ වෙනත් පත් කිරීම් ගැන පසුවිපරමක් කළ යුතුව තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව මේ රටේ ජනතාවට අතීතය අමතකයැයි සිතා සිටින පරාජිත පාලකයන් කළ කී දෑ දිනපතාම නොව සෑම මොහොතකම යළි ස්මරණය කරමින් ජනතාවගේ මතකය අලුත් කළ යුතු නිසාය.

කැබිනට් එක අල්මාරිය වූ හැටි

ලංකාවේ කැබිනට් මණ්ඩල පත් කිරීම් ගැන හා එහි ප්‍රමාණය ගැන පසුගිය කාලය පුරා සමාජය තුළ ප්‍රබල විවේචනයක් නිර්මාණය වී තිබුණේ දැවැන්ත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සාපේක්ෂව අමාත්‍යාංශ විෂයයන් බෙදා දීම සම්බන්ධයෙන් ද පැවැති අවිද්‍යාත්මක පසුබිම මතය. ජනතාවට පටි තද කර ගැනීමට යැයි කියමින් දැවැන්ත කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීම හා කැබිනට් මණ්ඩලයට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාවක් නො දී ඒ සඳහා ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතමයන් ඍජුව මැදිහත්වීම මගින් උද්ගත වූ ගැටලු ඒ අතර ප්‍රමුඛ විය. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2005 – 2015 යුගය තුළ මේ තත්ත්වය ඉතාම ප්‍රබල ආකාරයෙන් දැකිය හැකි විය.

පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයට හාස්‍යයට හා උපහාසයට ලක්කරන හිටපු ජනාධිපතිවරයාගේ පාලන යුගයේ කැබිනට් මණ්ඩල පත් කිරීම් මත වර්ධනය වූ තත්ත්වය අපගේ විමසුමට ලක්විය යුත්තේ ජනතාවට පමණක් නොව හිටපු පාලකයන්ට ද තම අතීතය යළි මතක් කරදිය යුතු නිසාය.

1947 පළමු මහ මැතිවරණයේ සිට අවම ඇමැතිවරුන් පිරිසකගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හා විෂය බෙදාදීමේ විද්‍යාත්මක පදනමක් මත ගෞරවනීය හා ජනතාවගේ ප්‍රසාදයට හේතු වන කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙන යාමට බලයට පත් නායකයෝ දැඩි පරිශ්‍රමයක් ගත්හ. විශේෂයෙන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් දැවැන්ත පරිවර්තන සිදුකළ 1956, 1970, 77 යන යුගවල දී මේ තීක්ෂණ භාවය හා කැබිනට් ඇමැති පදවි තම බල අවශ්‍යතා සඳහා අපයෝජනය කරන සම්ප්‍රදායක් දැකිය නොහැකි විය. ඒ නිසාම මෙම යුගයේ (1947- 1994) කැබිනට් මණ්ඩලය රටට බරක් නොවූ අතර එය ජනතාවගේ ගෞරවයට හා පිළිගැනීමට ද ලක්වූවේය. විශේෂයෙන් මෙම යුගයේ කැබිනට් ඇමැති පදවි සහ සෙසු ඇමැති පදවි (නියෝජ්‍ය, රාජ්‍ය ආදි වශයෙන්) පිරිනැවීමේ දී දේශපාලන පරිණතභාවය, කාර්යක්ෂමභාවය හා විෂයයික දැනුම ද දැඩි අවධානයට ලක් විය. එම නිසා 1947 – 1994 යුගයේ දැකිය හැකි වූයේ රටට නායකත්වය දෙන, පක්ෂයට නායකත්වය දෙන යුග පුරුෂ භූමිකාවක් ඉටුකළ හැකි දේශපාලන නායකයන්ය. කැබිනට් ඇමැතිවරුන්ය. ජේ.ආර්. ජයවර්ධන, ආර්.ජී. සේනානායක, ඇම්. ඩී. බණ්ඩා, විජයානන්ද දහනායක, සී. පී. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ටී.බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක, ඇන්. එම්. පෙරේරා, රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි හා රනිල් වික්‍රමසිංහ වැනි ජාතික තලයේ නායකයන් හා යුග පුරුෂයන් වශයෙන් සැලකිය හැකි පරිණත දේශපාලනඥයන් රටට උරුම වන්නේ කැබිනට් මණ්ඩල පත් කිරීම, දේශපාලන ගැතිභාවය හා පටු බලලෝභීත්වය සඳහා අපයෝජනය නොකළ මේ යුගයයේදීය.

මේ තත්ත්වය 1994 මහ මැතිවරණයෙන් පසු සම්පූර්ණයෙන්ම විකෘතියකට ලක්වන ආකාරයක් දැකිය හැකිය. 1994 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට නොහැකි වූ තත්ත්වය තුළ සුළුජන පක්ෂ හා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු ආණ්ඩුවට සම්බන්ධකර ගැනීම නිසා දැවැන්ත කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුවට සිදු විය. ඇමැති පදවි විපක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරු එක්කර ගැනීමේ සහ ආණ්ඩු පක්ෂයේ අසහනයට පත්ව සිටින මන්ත්‍රීවරු ආණ්ඩුව තුළ රඳවා ගැනීමට ගන්නා ඇමක් වශයෙන් ද ක්‍රියාත්මක විය. මේ තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය හා බර රටට දැරිය නොහැකි තත්ත්වයට පත්වූ අතර එය ජනතාවගේ දැඩි අප්‍රසාදයට හා පිළිකුළට ලක් විය.

ජයවර්ධන යුගය

1947 සිට 1977 දක්වා (ඇමැති – පාර්ලිමේන්තු ලේකම් (උප ඇමැති) වශයෙන් පැවැති අමාත්‍යධුර 1977 ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන යුගයේ දී ඇමැති – නියෝජ්‍ය ඇමැති වශයෙන් සුළු වෙනස්කම්වලට ලක් විය. ඒ අතර තවත් වෙනසක් ඇතිකරමින් දිස්ත්‍රික්ක 24 සඳහා ‘‘දිසා ඇමැතිවරුන්’’ 24 දෙනකු පත් කිරීමට පියවර ගත්තේය. 1989 පෙබරවාරි 18 වැනිදා දිවුරුම් දුන් රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ කැබිනට් මණ්ඩලය තුළ පෙර පැවැති දිසා ඇමැති පදවි නොවූ අතර නියෝජ්‍ය ඇමැතිවරුන් පත් නොකොට ‘‘රාජ්‍ය ඇමැතිවරුන්’’ පිරිසක් පත් කෙරිණි. 1994 දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ යටතේ එජාපයේ රාජ්‍ය ඇමැති පදවි අහෝසිකර නියෝජ්‍ය ඇමැති පදවි පිරිනැමීමක් සිදු විය.

මේ තත්ත්වයේ වෙනසක් 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂය යටතේ යළි සිදුවිය. ඒ අනුව කැබිනට් ඇමැති පදවිවලට අමතරව ‘‘කැබිනට් නොවන ඇමැතිවරු’’ නම් කෙරුණු අතර එයට අතිරේකව නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනකු ද නම් කෙරිණි. මෙහි දී ‘‘කැබිනට් නොවන ඇමැති’’ නම් කිරීම් ජනතාවගේ සේම ආණ්ඩු පක්ෂයේ ද විවේචනයට ලක් විය.

ඇමැති පදවි අපයෝජනය කිරීම

ආණ්ඩුවේ හා පුද්ගලික බල ව්‍යාපෘති සඳහා ඇමැති පදවි දැඩි අපයෝජනයකට ලක්වන්නේ මහින්ද රාජපක්ෂ (2005-2015) යුගයේ දී බව පොදු පිළිගැනීමය. මෙම යුගයේ තරම් කැබිනට් මණ්ඩලය වෙත විධායක ජනාධිපතිවරයාගේ හා ඔහුගේ සමීපතමයන්ගේ (ගෝඨාභය, බැසිල්, නාමල් ඇතුළු රාජපක්ෂ පවුල සහ වෙනත් ප්‍රබලයන්) මැදිහත්වීම් වෙනත් කිසිදු යුගයක දැකිය නොහැකි විය. උදාහරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණය සඳහා වික්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙමින් කළ විවේචන දැක්විය හැකිය.

මහින්ද රාජපක්ෂ මහතා 2004 මහ මැතිවරණයෙන් ලද සුළුතර ආණ්ඩු බලය සහ 2005 ජනාධිපතිවරණයෙන් ලද අනපේක්ෂිත ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා සමස්ත ආණ්ඩු ක්‍රමය දැඩි විකෘතියකට ලක් කළ අතර අමාත්‍ය පදවි පිරිනමමින් විපක්ෂය විනාශ කිරීම අසීමාන්තික ලෙස ක්‍රියාත්මක කළේය. ඒ බව 2005-2015 කැබිනට් මණ්ඩලය තුළින් පමණක් නොව ජ්‍යෙෂ්ඨ ඇමැති, නියෝජ්‍ය ඇමැති පදවිවලින් ද මනාව දැකගත හැකිවිය. උදාහරණයක් වශයෙන් 2007-2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණෙන මන්ත්‍රීවරුන් 13 දෙනකුට විටින් විට කැබිනට් ඇමැති පදවි හිමිවූ අතර 2015 ජනාධිපතිවරණය ආසන්නයේ 2014 /12/11 වැනිදා ආණ්ඩුවට එක් වූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ද කැබිනට් (සෞඛ්‍ය) අමාත්‍යධුරයක් ලබා දුන්නේය. මෙම යුගය තුළ එජාපයෙන් ආණ්ඩුවට එක් වූ 10 දෙනකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමමින් ආණ්ඩුවේ මුදලින් වරදාන පිරිනැමීමට මහින්ද රාජපක්ෂ මහතා නොමසුරු විය.

අරන්තලාව භික්ෂූ සංහාරය, නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 දෙනකු ඝාතනය කිරීම, ශ්‍රී දළඳා මාළිගාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ඇතුළු දැවැන්ත සංහාරයන්ට ඍජුව වගකිව යුතු නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන්ට 2008 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දී 2009 ජාතික ඒකාබද්ධතා ඇමැති පදවිය ලබා දෙන්නේ මේ අපයෝජනයේ උපරිමය සටහන් කරමිනි.

අද මොනරාගල ශ්‍රීලනිප ප්‍රබලයා වන විජිත් විජිතමුණි සොයිසාට ධීවර ඇමැති පදවිය පිරිනැමීම හාස්‍යයට ලක්කරන ඒකාබද්ධය 2013 දී එජාපයේ සිට ආණ්ඩුවට එක් වූ ලක්ෂ්මන් සෙනවිරත්න මහතාට ‘‘සීනි කර්මාන්ත සංවර්ධන’’ කැබිනට් ඇමැති පදවිය පිරිනමන්නේ කුමන පදනමක් මතදැයි පැහැදිලි කළ යුතුය. එසේම ජනමාධ්‍ය සමඟ අඛණ්ඩ ගැටුමක සිටින මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා ඇමැතිවරයා වශයෙන් පමණක් නොව රුපවාහිනි සංස්ථා සේවකයන්ට පහර දී පැමිණි පසු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද පත් කළේ විද්‍යාත්මක පදනමකින් දැයි පැහැදිලි කළ යුතුය.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් පළිගැනීම

අද දේශපාලන පළිගැනීම් ගැන හඬා වැටෙන රාපක්ෂ මහතා එකල අමාත්‍ය පදවි පරිනැමීමේ දී තමන් අකැමැති හෝ තමන්ට තර්ජනයක් විය හැකි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් පළිගැනීම සඳහා අමාත්‍ය පදවි අවභාවිතය කළේ ‘‘ජ්‍යෙෂ්ඨ ඇමැති පදවි’’ නම් නාමික තනතුරක් නිර්මාණය කිරීම සමගිනි. මේ ජ්‍යෙෂ්ඨ ඇමැති පදවි නිර්මාණය තුළින් හිටපු ජනාධිපතිනිය සමඟ සමීප යැයි විශ්වාස කළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක, පියසේන ගමගේ, ආචාර්ය සරත් අමුණුගම වැනි ප්‍රබලයන් පිරිසක් පසෙකට කර තිබුණු බව අමතක නොකළ යුතුය.

ඊට අමතරව කැබිනට් ඇමැති පදවි අධීක්ෂණය සඳහා රාජපක්ෂ පාලනය ‘‘අධීක්ෂණ මන්ත්‍රීවරු’’ නමින් හිතෛෂීන් පිරිසක් ද පත් කරන්නට යෙදිණි. ඒ අනුව ප්‍රබලතම කැබිනට් ඇමැති ධුරයක් වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ විදේශ කටයුතු අමාත්‍යාංශය අධීක්ෂණය සඳහා සජින් වාස් ගුණවර්ධන මහතා පත් කර තිබූ අතර දුමින්ද සිල්වා මහතා ද අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විය. තමන් අකැමැති ඇමැතිවරුන්ට ඉහළින් තම හෙංචයියන් ඔසවා තබන නිල ක්‍රමයක් මේ අනුව අපූරුවට ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක කැබිනට්ටුවක් ගැන අද කතා කළද එකළ රාජපක්ෂ පාලනය පියවර ගත්තේය.

තුෂාල් විතානගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *