භින්නෝන්මාද රෝගී උගතුන්ගේ බහුරූ කෝලම් – වෛද්‍ය රුවන් එම් ජයතුංග

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස  මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය දයා අමරසේකර මහතා පවසයි. මේ බව කියන්නේ දේවාලයක කපුවෙක් හෝ විඝටන ආබාධයකින් (Dissociative disorder ) හෝ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු විසින් නොවේ. ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි. 
මීට ඉහතදී කැළනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ දෙවියන් මගින් පරියේෂණ කල බව කියමින් විනෝද සමයක්  ගෙන ආවේය.  මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ පරියේෂණය පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂණ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් හට කීවෙමි. මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් දෑස් ලොකු කරගෙන මදෙස බලා සිටියා විනා කිසිවක් නොකීවේය​.
ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල (ඊනියා)  උගතුන් හට බරපතල අර්බුධයක් තිබේ. එනම් තම ක්ශේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් එළි දැක්වීමට තිබෙන නොහැකියාවයි. එම නිසා ලෝකය ඉදිරියේ තමන් නිකමෙකු බවට පෙනී යන විට මෙවැනි බහුරූ කෝලම් ඔවුන් විසින් පෙන්වනු ලැබේ. එමගින් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන විචාර බුද්ධිය  අඩු කොටස් අතර ඔවුන් ජනප්‍රිය වෙති. 
කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු බව කියන මහාචාර්‍ය චන්දන ජයරත්න තමන් ගේ ක්ශේත්‍රයේ පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් කල බවක් අප අසා නැත​. එහෙත් ඔහු මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙකි. වරක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා  මට අපූරු කතාවක් කීවේය​. මේ 2003 පමණ කාලයේ සිදුවූ සිදුවීමකි. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිකාර කරන ලද කාන්තා භින්නෝන්මාද රෝගියෙකු ඥාතීන් විසින් මානසික ප්‍රතිකාර සඳහා තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න වෙත ගෙන යන ලදි. කපුවෙකු මෙන් සුදු වතින් සැරසී සිටි චන්දන ජයරත්න  රෝගියාට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් නිර්දේශ කරන ලද  ප්‍රති මනෝව්‍යාධික ඖෂධ සියල්ල නවතා දමන ලෙසට උපදෙස් දුන්නේය​. ඉන් පසු  රෝගී කාන්තාවට සහ ඇයගේ ඥාතීන්ට කියා සිටියේ යාබද නිවසේ අය විසින් කරන ලද කොඩි විණයක් නිසා භූත ආත්මයක් ඇයගේ ශරීර ගතවී සිටින බවකි. ඉන් පසු සිදු වූයේ ජන්ජාලයකි. ඔවුන් අසල් වැසියන් සමග උරණව දබර කර ගත්තෝය​. ඖෂධ නොමැති වීම නිසා භින්නෝන්මාද රෝගී කාන්තාවගේ මනෝව්‍යාධික තත්වය උත්සන්න වූවාය​. අවසානයේදී ඇය දිවි තොර කර ගැනීමට පවා ගියාය​. කෙසේ නමුත්  යලිත් අංගොඩ රෝහල වෙත රෝගී කාන්තාව ගෙන ඒමෙන් පසුව යලිත් ඇය නිසි ප්‍රතිකාර ලැබුවාය​.
මේ කතා වලින් පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ  ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් පත්ව සිටින දුක්ඛදායක තත්වයයි. ඔවුන් දැණුම සොයා නොයති. දැණුම ලැබෙන සාකච්ඡා නොපවත්වති. අන්තර්ජාතික ප්‍රජාව සමග සම්බන්ධ වී දැණුම ගවේශණය නොකරති. මේ නිසා සීමිත දැණුමක් සමග  කොටු වෙන ඔවුන් විචාර බුද්ධිය  අඩු කොටස්  අතර පණ්ඩිතයන් මෙන් පෙනී සිටීම සඳහා බහුරූ කෝලම් කතා කියමින් ගැලරිය පිනවති.  
 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *