රැවටෙන්නට පේවීම – නිශාන්ත කමලදාස

 ලන්දේසීන්ට රැවටී අපි පෘතුගීසින් පන්නා දැමුවෙමු. බ්‍රිතාන්‍යයට රැවටී අපි ලන්දේසීන් පන්නා දැමුවෙමු. විවිධ දේශපාලන ප්‍රවාහයන්ට මාරුවෙන් මාරුවට රැවටෙමින් අපි තවමත් රැවටීමේ ඉසව්වේ ම රැඳි සිටින්නෙමු. හෙටත් එසේ ම රැවටෙන බවට සළකුණු පෙනෙන්නට තිබේ. එහෙම බැලුවහම අප රැවටෙන්නට උපන් ජාතියක් දැයි සැක හිතෙන තරම් ය.

පොල් ගෙඩියක් තල් අත්තට වැටුණු විට ලෝකය පෙරළෙන්නේ යැයි සිතූ සිංහයා මෙන්ම අපි ද රැවටෙමින් සිටිමු. ඒ රැවටීම නිසා ම හති වැටෙන තුරු දුවමින් සිටිමු.

අප පැවත එන්නේ සිංහයෙකුගෙන් යැයි ජීව විද්‍යාත්මකව විය නොහැකි කතාවක් ගෙතූ මහාවංශයට අපි රැවටෙමු. හඳේ හාවෙකුගේ රුවක් ඇතැයි සඳහන් ජාතක පොත සාහිත්‍ය කෘතියක් ලෙස නොව සත්‍යය ලෙස ගෙන අපි ඊට රැවටෙමු. ඉපදුණු ගමන් ඇවිදින, කතා කරන බිළිඳෙකු ගැන ද මැරී නැවත ඉපදුණු මිනිසෙකු ගැන ද කියන කතා ඇත්ත ලෙස ගෙන අපි රැවටෙමු. ඒවා කතා ලෙස නොව සැබෑ ලෙස සිදු වූ දේ ලෙස විශ්වාස කරමු.

චන්ද්‍රයාට පමණක් නොව චන්ද්‍රයාගේ හෙවනැල්ල වන රාහුට ද අපේ ජීවිතයට තීරණාත්මක බලපෑමක් කළ හැකි යයි සිතා, අපි කේන්දරකාරයන්ට රැවටෙමු. හතර කේන්දරේ පාලු නිසා ළමයින් මහණ කරමු. කේන්දරේ අහවල් ග්‍රහයා බැල්ම හෙළන නිසා එයින් ගැලවෙන්නට කප්පරක් පූජා කරමු. ළමයා ඇතැම් විටෙක පවුලෙන් වෙන් කර තබන්නට ග්‍රහයෙකුගේ එක් පිහිටීමක් අපට ප්‍රමාණවත් ය. ඒ දරුවා නිසා මාපියන්ට අපල යැයි පැවසෙන කල ය. බොහෝ ගැහැනු දරුවන් ගෙදරට නාකිවන්නේ ග්‍රහයා හරියට නොබැලූ නිසා ය.

හූනන්ද බෙල්ලන්ද බලවන්තයෝය

මුහුදේ සතෙකුගේ රැකවරණය සඳහා ඇති කටුවක්, එනම් වාලම්පූරියක්, ළඟ තබා ගත් විට අපට සැප සම්පත් ගලා එන බව අදහමින්, අපි රැවටෙමු. ඒවා මහන්සියෙන් උපයා ගත් මුදල් වියදම් කර ගෙදර ගෙනත් සුවඳ දුම් අල්ලමින් කාලය ද කා දමමු. මැටියෙන් තනන ලද පෙන් ෂූ රුවකට සතුට හා සම්පත් ගෙනා හැකි යයි අපි අදහන්නෙමු. ඊට ද නොයෙක් පූජා කරමින් මුදලුත් කාලයත් වැය කරමු.

හූනෙක් ඇඬුවොත් බාධාවක් යැයි සිතා කරන්නට තියෙන වැඩ කල් දමමු. අපේ ගෙදර ඉන්නා ඕනෑම හූනෙකුට අපේ ඇඟේ විවිධ තැන්වලට පැන අපේ ඉරණමට බලපෑම් කළ හැකි යයි සිතා අපි දිවි ගෙවන්නෙමු.

උලමෙකුට නිකමට හඬ නගන්නට බැරි ය. බස්සෙකුට නිකමට හූ මිටි තියන්නට බැරි ය. කපුටෙකුට නිකමට කට හොල්ලන්නට බැරි ය. කළු පූසෙකුට වැරදිලාවත් අප යන මගට නිකමට එන්නට බැරි ය. කළු බල්ලෙකු ගොම්මන් අඳුරේ මුණ ගැහුණොත් නූලක් බැඳීමෙන් දෙහි කැපීමෙන් තොරව නැවත ගොඩ ගැනීම බොරු ය. ඒ සියල්ල අපට ම යමක් කරන්නට හිතාමතා කරන ඒවා ලෙස අපි සලකන්නෙමු. ඒවා අපට බලපානවා යැයි සිතා අපි කරදරයට පත් වෙමු. රැවටෙමු.

අපේ ගෙදර තිබෙන දොරවල් ජනෙල් ගණන ඔත්තේ ද ඉරත්තේ ද වීම වැනි දේ පවා අපේ ඉරණම තීරණය කරන්නේ යැයි අපි විශ්වාස කරමු. ඒ නිසා වාස්තු ගුප්ත විද්‍යාකාරයා ඉටු දෙවියෙකු ලෙස සලකා ඔහු කියන හැම දෙයක් ඒ ලෙස ම ඉටු කිරීමට අපි වග බලා ගන්නෙමු.

ගමනක් යන්නට මගට බහින විට සංඝයා වහන්සේ කෙනෙක් හෝ හිඟන්නෙක් දැක්කොත් ගමන හබක් ය. වහා ගේ ඇතුළට දුව ගොස් ඒ දෙදෙනාම මග හැර ගිය පසු මගට බහින්නට අපි වග බලා ගනිමු. ඒ ඔවුන්ට අපේ කටයුතු වෙනස් කරන්නට, පුදුමයකට මෙන් එක සමාන, බලයක් තිබෙන නිසා ය.

මියගිය මිනිසුන්ට අපේ ජීවිතයට බලපෑම් කළ හැකි යයි ද අපි අදහමු. හොල්මන් අවතාර පමණක් නොව ඔවුන් ආවේශ වී කරන කියන දේ සම්බන්ධයෙන් ලස්සන කතාන්දර අපි විශ්වාස කරමු.ඒවාට රැවටෙමු.හඳපානේ පරඩැලක් හෙල්ලුණත් සිහි නැතිවෙන්නට ඇති ය. තියෙන තුට්ටු දෙක වියදම් කර රෑ එළිවෙන තෙක් දහ අට සන්නියම නටා තොවිල් පවිල් ද කරන්නේ එසේ මිය ගිය මිනිසුන්ගේ “නොපවතින යමක්“ ගැන බියෙන් බේරෙන්නට ය.

පෝරුවෙන් බහින විට බිඳෙන පොල් ගෙඩියකට විවාහයේ ඉරණම බාර දීමට අපට පැකිලීමක් නැත. එය උඩුකුරුව නොසිට පෙරළී ගියොත් මනස කඩා වැටෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ත්‍රස්ත ප්‍රහාරයෙන් කඩා වැටුණා සේ ය.

නැකතට වැඩේ කර ගන්නට බැරි වුණොත් ඉන්නේ උන්නට වඩා මළා වගේ ය. ඔරලෝසුවේ කට්ටකට ඒසා විශාල බලයක් තිබෙන බව කට්ට දන්නේ නැති එක හොඳ ය. නැත්නම් අපට සිද්ධ වෙන්නේ කේන්දරකාරයන්ට වාස්තු විද්‍යාකාරයන්ට වගේ ම ඔය කට්ටටත් යටත් වෙන්නට ය.

නමය නපුරු ය. දහතුන සතුරු ය. ඒවාට ද මහා ලොකු දේවල් කළ හැකි යයි අපි සිතමු. වසනාවන්ත අංක යෝජනා කරන ගුප්ත විද්‍යාවක් ද තිබේ. ඒකට කියන්නේ නියුමරලොජි කියා ය. නම බරපතළ ය. රැවටීම එක ය. අන් හැමදෙයකට ම වගේ ම අංකවලටත් අපි බය ය. කීකරු ය.

එපමණ ද? නැත. සමහර දිනවලට ද අප බය ය. අඟහරුවාදා සිකුරාදා දවස් විශේෂ ය. මළ සිරුරක් ගෙදරට ඒ දිනවල වද්ද ගන්නේ නැත. කෙම්මුර දවස්වලට අප හීලෑ ය. ඒ දිනවල කරන නොකරන දේ අපි පරිස්සමින් වෙන් කර ගෙන සිටිමු.

අතේ රේඛාවලින් අපේ ඉරණම කියන්නට පුළුවන් යැයි අපි විශ්වාස කරමු. අපේ ඉරණම සම්බන්ධයෙන් අප විශ්වාස නොකරන එක ම දෙය එය හස්ත රේඛා තුළ නොව අප අතේ පවතින එකක් බව ය. එයට අපට, අපට අවශ්‍ය ආකාරයට, නිර්මාණය කර ගත හැකි එකක් බව ය. රැවටෙන්නට තීරණය කරගත්තාට පසු ඒ බවක් සිතන්නට අපට ඉඩක් නැත.

වස් කවියකට අපව දවා හළු කරන්නට පුළුවන. සෙත් කවියකට අපට වාසනාව සාමය සතුට පමණක් නොව දුක් කරදර වලින් නිදහස ද ගෙන ආ හැකි ය. කළ යුත්තේ හරියට ගණ පිහිටුවා ලියන එක ය.

පිරිතකට යක්ෂයන් ප්‍රේතයන් පළවා හැරිය හැකි ය. ලෙඩ රෝග සුව කළ හැකි ය. ඒ සඳහා පිරිත් ඇසීමට ම අවශ්‍ය නැත. පිරිත් පැන් බීමෙන් ද ලෙඩ රෝග සුව කළ හැකි ය. පිරිත් නූලකට ආරක්ෂාව සළසා දිය හැකි ය. සුරයකට ද (තඹ කැබැල්ලකට ද) ඒ වැඩේ ම කළ හැකි ය. රැවටෙන්නට ලොකු දේවල් ම අවශ්‍ය නැති බව මේ හැම කාරණයකින් ම අපට කියා සිටින්නේ ය.

පෙන්ටගනයට අහු නොවුණ අපේ තාක්ෂණය

ජීවම් කරන ලද යන්ත්‍රයකට වෙඩි නොවදින ලෙස අපව ආරක්ෂා කර ගත හැකි ය. අමෙරිකාවේ පෙන්ටගනය මේ අයගේ සේවය මිලට නොගන්නේ ඇයි ද යන ගැටලුව පැත්තක තිබේවා. ඊළාම් යුද්ධයේ දී මේ යන්ත්‍ර හැංගිලා හිටියේ කොහේදැයි අසන කෙනෙක්වත් නැත. ඇදහිල්ල ඒ තරමට අන්ධ ය.

අඳුන් තවරන ලද පීරීසියකට සියල්ල පෙන්නුම් කළ හැකි ය. ඇවිද්දවන ටීපෝ එකකට ද කැරකෙන කුල්ලකට ද හොරෙකු අල්ලා දිය හැකි ය. මේ තරම් දේශීය ශිල්ප ශාස්ත්‍ර ළඟ තබා ගෙන පොලීසිය හොරුන් අපරාධ කරුවන් මිනීමරුවන් අල්ලා ගැනීම සඳහා මේ උපක්‍රම භාවිතා නොකරන්නේ ඇයි ද යන්න පොලිස්පති තුමා ගෙන් අසන කෙනෙකු නැත.

මෝටර් රථයක දෙහි ගෙඩියක් හා අමුමිරිස් කරල් කීපයක් එල්ලීමෙන් රථයේ ආරක්ෂාව සහතික වේ යැයි අපි සිතමු. ඒ කෝකටත් කියා, අප මුදල් ගෙවා ලබා ගෙන තිබෙන, රක්ෂණ සහතිකයට අමතර ව ය. මෝටර් රථ කර්මාන්ත ශාලාවල අධික වියදමක් දරා සුරක්ෂිතතාවය සඳහා කරන පරීක්ෂණ අපරාදේ ය. ඔවුන් එතරම් වියදම් කරන්නේ රුපියල් දෙක තුනකින් කර ගත හැකි වැඩක් සඳහා වීම දරා ගැනීමට අමාරු සිතුවිල්ලකි. මේ තාක්ෂණය අපට ලෝකයට විකිණිය හැකි එකකි. අපනයනය කරන්නට බොහෝ දේ නිපදවන්නට දක්ෂ නැති අපට මෙහෙම එකකින් වත් ගොඩ එන්නට මිනිසුන් කල්පනා නොකරන්නේ මන්දැයි මට නිතර කල්පනා වන්නේ ය.

නව මෝටර් රථය කතරගම දෙවියන්ට පෙන්නා උන්නාන්සේගේ ආශිර්වාදය ලබා ගත්තොත් සුරක්ෂිත වෙන බව ද අපි අදහමු.ඒ නිසා දෙහි ගෙඩියෙන් බැරි වුණොත් පූජා වට්ටියකින් හෝ වැඩය කරගන්නට දන්නා මිනිසුන්ගෙන් ලංකාවට අඩුවක් නැත. ඒ කෙක්කෙන් බැරි වුණොත් කොක්කෙන් ඒ දේ කර ගැනීමට අප දක්ෂ නිසා ය.

දෙවියන්ට බාර හාර වෙන්නට ද ඒවා ඔප්පු කරන්නට ද අප දක්ෂ ය. ඇතැම් විට අප රැවටෙන්නේ දෙවියන්ව ද රවට්ටමින් ය. පඩුරු ලෙස ගැට ගහන්නේ සිල්ලර කාසි ය. එසේ කාසිවලට වැඩක් කරන මිනිස්සු නම් දැන් නැත. එහෙත් එවැනි දෙවියන් සිටිනවා යැයි අපි විශ්වසා කරමු.

ලොකු ලොකු දේ කියා බාර හාර වෙන මිනිසුන් නැතිවා නොවේ. රූපෙට රූපයක් දෙන බවට පොරොන්දු වන්නෝ ඔවුහු ය. ජීවිතයකට ජීවිතයක් පොරොන්දු වන්නේ ඔවුන් ය. එසේ දෙන පොරොන්දු ඉටු කරන්නට මිනිස්සු බොහෝ මහන්සි වෙති. වියදම් දරති. ඒ වුණත් කොතෙක් පොරොන්දු වුව ද ඇතැම් විට ප්‍රාර්ථනා ඉටු වන්නේ නැත. එවිට මිනිසුන් සිතන්නේ තමන් අතින් යම් වැරැද්දක් වූ බව ය. කට වැරදුණු බව ය. නිවැරදි ලෙස පේ නොවුණු බව ය. තමන් හරි හැටියට දෙවියන්ට ඒත්තු නොගැන්වූ බව ය. ඇතැම් විට කිල්ලක් අහුවුණා වෙන්නට පුළුවන. තවත් විටෙක වැරදිලා හෝ මසක් මාංශයක් හෝ පුළුටක් කැවුණා වන්නට පුළුවන. ඒ නිසා දෙවියන් තමන් මග හැරියා වන්නට පුළුවන. පෙර කරුමයක් නම් දෙවියන්ට වුව කළ හැකි දේ අවම ය. එහෙම බැලුවහම වැරැද්දක් තිබුනොත් අපේ ය. දෙවියන් කවදාවත් වැරදි නැත. අපට රැවටෙන්නට දෙවියන් සම්බන්ධයෙන් ඒ උපකල්පනය දැඩි සේ අවශ්‍ය ය.

දෙවියන්ට කෙලින්ම අල්ලස් දෙනවා හැරෙන්නට දේව සිත් දිනා ගැනීමට තව ක්‍රමයක් තිබේ. ඒ පින්කම් කිරීමෙන් ය. කප් රුක් පූජා, බෝධි පූජා, පළතුරු පූජා, පහන් දස දහසේ පූජා වැනි දෑ ඊට ඇතුළත් ය. ඒ පූජා කර පින් ලබා එයින් කොටසක් දෙවියන්ගේ ගිණුමට ඊට පසු බැර කළ යුතු ය. අප රැවටිලා මදි ය. දෙවියන්ව ද රැවැට්ටිය යුතු ය. වැඩ ගත හැක්කේ ම රවටලා ය.

බුදුන් දේවත්වයට හෙළීම

දෙවියන් කරන වැඩේ කරන්නට පැත්තකට වී සිටින බුදුන් වහන්සේව ද මිනිස්සු පෙළඹවූහ. ඒ දෙවියන්ට මෙන් පලතුරු පූජා, බුද්ධ පූජා, සුවඳ දුම් පූජා පැවැත්වීමෙන් ය. ඔවුහු ඒ ලෙස බුදුන් දෙවි කෙනෙක් කළ හ. ඒ රැවටෙන්නට පුළුවන් ලෙස බුදුන්ව ද වෙනස් කිරීමට උන්ට ඕනෑ වූ නිසා ය.

බුදුන් පමණක් නම් මදෑ. බුදුන් පිට දුන් බෝරැක ද ඒ වැඩේට ම යොදා ගැනීමට ඔවුහු වග බලා ගත්තෝ ය. විභාගය පාස් කර දෙන මෙන් ද රැකියාවක් ලබා දෙන මෙන් ද රෝගයක් සුව කර දෙන මෙන් ද ඉල්ලන පණිවුඩ බෝගහේ එල්ලන්නේ ඒ අනුව ය. බෝගහට ද දෙවියන්ට මෙන් යමක් කළ හැකි යයි ඔවුහු දැන් විශ්වාස කරති. ඇත්තටම කියනවා නම් අපේ රටේ මිනිසුන් එකකට රැවටීමෙන් සෑහීමකට පත් වන්නේ නැත. බහු විධ දේවලට රැවටීමට ඔවුන්ට වුවමනා ය.

සමහර විට ඒ කෙක්කෙන් නැත්නම් කොක්කෙන් හෝ කඩා ගත යුතු ය යන ආකල්පය නිසා ම විය හැකි ය. ඒ නිසා එක ම කන්නලව්ව බුදුන්ටත් බෝධියටත් දෙවියන්ටත් කිරිමට ඔවුහු වග බලා ගනිති. ආරක්ෂාව පතා (පිරිත් නූල් බැඳගැනීමට නවරත්න මුදු පැළඳවීමට ෂෙන් සූ බුදු පිළිමයක් ළග තබාගැනීමට සෙත්කවි කිමට දේව කන්නලව්වක් කිරීමට වැනි) එකක් නොව දුසිමක් දේ කිරීමට ද වග බලා ගනිති. බුද්ධාගමේ සාත්තු සප්පායම් අවසන් වූ විට ඔවුහු හින්දු දේවාලය පැත්තට හැරෙති. ලංකාවේ දේවල් අවසන් වුන විට ඔවුහු ඉන්දියාවට යති. තිරුපති කෝවිලට ද යති. දේවාල වැඳ අවසන් වූ විට වඳින්නට සායි බාබලා වැනි බබාලා ද තෝරා ගනිති.

රැවටිල්ලෙන් වන අලාභය

අයි. රණසිංහ පෙරේරා මහතා ‘සමාජ සජීවකරණය’ නමැති සිය පොතේ සිංහලයන්ගේ ඇදහිලි හා විශ්වාස ගැන මෙසේ සඳහන් කරන්නේ ය.

‘ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවන පරිදි සිංහලයන්ගේ විශ්වාස හා ඇදහිලි දෛනික ජීවිතයේ සමාජ, ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ වී ඇත්තේ හැමවිටම නිශේධනීය ලෙස මිස සාධනීය ලෙස නොවේ. ඔවුහු කිවිසීම, කැස්ස ආදි සාමාන්‍ය ශරීර වුවමනාවන් පවා අසුබ ලකුණු ලෙස සැලකූ බැවින් යම් කටයුත්තක් ආරම්භ කිරීමේදී කිවිසුමක්, කැස්සක් පැමිණියේ නම් ආරම්භ කිරීමට නියමිත කාර්යය පසුවට කිරීමට කල් දැමූහ. පරිසරයේ නිතර දක්නට ලැබෙන හූනන්, කපුටන් ආදින්ගේ ශබ්ද අසුබ යැයි සලකා සමාජ ආර්ථික කටයුතු කල් දැමූහ. මනුෂ්‍යයන්ගේ කටහඬ නොමැති අවස්ථාවක් එනතුරු සිටිමින් ආහාර පිසගැනීම සඳහා වළඳට සහල් දැමීමද කල් දැමූහ. ගමන් බිමන්වලදී ඕනෑම කෙනෙකුට මුණගැසිය හැකිව තිබෙන බොහෝ දේ අසුබ යැයි සලකා ගමන් බිමන් පසුව යාමට කල් තැබූහ.’

ඔහු ඒ ගැන වැඩිදුරටත් මෙසේ කියා තිබේ.

‘සිංහලයන්ට සුබ ලකුණු අඩුය. අසුබ ලකුණු වැඩිය. මේ නිසා කටයුතු සිදුකිරීමට තිබෙන ඉඩකඩට වඩා කල් දැමීමට තිබෙන ඉඩකඩ වැඩිය.’

රැවටීම එකකි. රැවටීම නිසා සිදු වන අලාභය තව එකකි. අලාභයක් නැත්නම් රැවටීම හරහා ආතල් ගත්තාට කමක් නැත. එහෙම නම් ඒ ආතල් කැඩීමට මෙසේ ඉදිරිපත් වීම ද වැරදි ය. ඒත් ප්‍රශ්නය අලාභය විශාල වීම ය.

මේ සියල්ල තුළ තිබෙන වඩාත් උත්ප්‍රාසවත් කාරණය නම් මේ සියල්ල කරන්නේ අපේ ඉරණම අප කරන ලද කර්මයන්ට අනුව සිද්ධ වේ යැයි ද අප විසින් ම විශ්වාස කරන අතරතුරේ වීම ය.

ඊළගට සිදු වන්නේ එසේ යැයි අවංකව විශ්වාස කරන අය ද රැවටීමට, වෙනත් ආකාරයක රැවටීමකට, බඳුන් වීම ය.

අපේ රටේ ඇතැම් උදවිය දිව්‍ය සැප සම්පත් පතා යන්නේ බටහිර රටවලට ය. ඒ දිවි පරදුවට තබා ගෙන ය. ඒ වුනාට මරණින් මතු දිව්‍ය ලෝකයට යන්නට ඒතරම් කරදර විය යුතු නැත. එක්තරා ධර්ම දේශනාවක දී සඳහන් කළ ආකාරයට, ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගෞරවයෙන් යුතු ව ආසනයක් පැන වීම ඒ සඳහා ප්‍රමාණවත් ය. එසේ ආසනයක් පැන වූ එක් උපාසිකාවක් තම මරණයෙන් පසු තව්තිසා දෙව්ලොව ඉප දී මැණික් ආසනයකට උරුම කම් කීවේලු. එහෙම ඉඩකඩක් තිබිය දී මේ තරම් මහන්සි වී එරොප්පේට යන්නට දත කන්නේ මන්දැයි හුදී ජනයාගෙන් අප ප්‍රශ්න කළ යුතු ය.

එහෙම ප්‍රශ්න කළ පමණින් ඔවුන් සැලෙන්නේ නැත. ඊළඟ ආත්මයේ වඩා හොඳ තැනක් සඳහා ඔවුහු ආයෝජන කරන්නෝ ය. ඒ වැඩි වැඩියෙන් පන්සලට හාමුදුරුවන්ට දීමෙනි. ආනිශංස වැඩි එවැනි දාන මාන නිසා බැවිනි. ඒ නිසා පන්සල පොහොසත් වන්නේ ය. එය වැඩි දියුණු වී බබලන්නේ ය.

වයසට යන්න යන්නට මිනිසුන්ට ඊළග ලෝකය වැඩ වැඩියෙන් පෙනෙන්නේ ය. ඒ නිසා ම පිංකම් පොළවල ඉදිරියෙන් ම ඉන්නේ වයසක අය ය. ඊළග ආත්මයේ තමන්ට වඩා සුදුසු තැනක් පතා ඔවුහු පිංකම් කරන්නේ හිටු කියලා ය.

එයින් අදහස් කරන්නේ කර්මය (හොඳ හෝ නරක) ගැන මිනිසුන්ගේ විග්‍රහය තුළ ද රැවටීම හරි හරියට තිබෙන බව ය. කඨින පිංකම් කප්රුක් පූජා මේ හොඳ ලයිස්තුවේ උඩින් ම තියෙන්නේ ඒ නිසා ය. කඨින පිංකම හාමුදුරුවන්ට සිවුරු ඇන්දීම සඳහා වනවිට කප්රුක් පූජාව චෛත්‍යයට සිවුරු ඇන්දීම සඳහා වන්නේ ය. මේවා වඩාත් ම යහපත් ක්‍රියාවන්නේ කෙසේ දැයි දන්නේ හාමුදුරුවන් ම පමණ ය.

ඒ කියන්නේ කර්ම සංකල්පය තුළ ද රැවටීම අධිනිෂ්චය වී ඇති බව ය. එය මතු ව විකාරයක් ලෙස පෙනී සිටින බව ය. ඒ කියන්නේ රවටනු ලැබීම, යහපත් යැයි අප විසින් සලකා ගෞරව කරනු ලබන පාර්ශවයන්ගෙන් ද සිදු විය හැකි බව ය. ඔවුන් වුමනාවෙන් අප රවටනවා යැයි එයින් අදහස් නොවන්නේ ය. ඇතැමුන් එහෙමත් කරනවා ඇත. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ අති බහුතරය තමන් රැවටී ඇති නිසා තමන් කරන්නේ යහපත් දෙයකැයි සිතා අනුන් රැවටීම නොදැනුවත් ව කරන බව ය.

කාලාම ස්‍රූත්‍රයෙන් උගත හැකි පාඩම

අප බුදුන් දෙසූ කාලාම සූත්‍රය නැවත උගත යුත්තේ ඒ නිසා ය. උන්වහන්සේ කාලාම සූත්‍රයෙන් අපට මෙසේ කියති.

කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව (ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව), පරම්පරාකථායෙනුදු නොගණුව (පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව), තෙල මෙසේ වී ලැ යි ද නොගණුව (යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව), අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව (තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව), තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව (හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව), නයග්‍රාහයෙනුදු නොගණුව (හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව), ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව (යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නො පිළිගතයුතු බව), අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව (තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නො පිළිගතයුතු බව), භව්‍යරූපතායෙනුදු නොගණුව (මෙතෙම පූජ්‍යයෙකැයි, මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව), මේ මහණ අපට ගුරුහයි ද නොගණුව (තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව), කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

රැවටීමෙන් තොරව ජීවත්විය හැක්කේ මේ බුදු බණ පිළිපැදීමෙන් පමණකි.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *