රනිල් ට බය ඇයි? – අනුර සූරියබණ්ඩාර

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර ගන්නට, එයට මුල් වූ ඒකාබද්ධ විපක්ෂය සහ එයට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට හැකි වූයේ නැත.

විශ්වාසභංග යෝජනාවේ දී එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ බලය තමා සමඟ රඳවාගන්නට පක්ෂයේ නායක‍යා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමත් වීම ජයග්‍රහණයට බල පෑ මූලික සාධකයයි.

දෙවනුව එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට ආණ්ඩුවේ රැඳී සිටින පිරිස අතරින් 16 ‍දෙ‍නකු හැර අන් අයගේ විශ්වාසය තමන් කෙරෙහි රඳවා ගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. එම පිරිස විශ්වාස භංගයට විරුද්ධව හෝ පක්ෂව හෝ ඡන්දය නොදීමෙන් ප්‍රකාශමාන වූයේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ උත්සාහය ඔවුන් අනුමත නොකරන බවයි.

තෙවැනි සහ වැදගත්ම සාධකය සුළු ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තබන ලද විශ්වාසයයි. උතුරේත් දකුණේත් විශ්වාසය එකතරමට දිනාගත හැකි දකුණේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ඒ ඔස්සේ ඔහු රට හමුවේ තහවුරු කර තිබේ.

සුළු ජාතික පක්ෂ මේ මොහොතේ හැසිරෙන ආකාරය අනුව සහ ඉදිරියේදිත් එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට හෝ වැඩි දියුණුකර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවහොත් සහ 2020 වර්ෂයේ ජනාධිපතිවරණයක් පැවැත්වුණහොත් මැතිවරණය අවසන් වනු ඇත්තේ නිසැකවම රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ඊළග ජනාධිපති ලෙසින් තීරණය කරමිනි.

එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව කැරැල්ලක් ඇති බව උලුප්පා දක්වන්නට මෙරට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය දිගින් දිගටම උත්සාහ දරමින් සිටිනු පෙනේ. මෙරට දැනට ක්‍රියාත්මක විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියල්ලම පාහේ පසුගිය වකවානුවේ මහින්ද රාජපක්ෂ රෙජිමයේ අනුදැනුම සහ අනුග්‍රහය උපකාරය මත පෝෂණය වූ බව මේ මොහොතේ මතකයට නඟා ගැනීම වැදගත්ය. එකී මාධ්‍ය උත්සාහ දරමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජානාධිපතිධුරයට පත්විය නොහැකි බැවින් (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව) ඔවුන්ගෙන් කෙනෙකු එනම් ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ බලයට පැමිණ‍වීමේ උත්සාහයකය. එම උත්සාහයේ දී දකුණේ ජාතිවාදී හා ආගම්වාදී මෙන්ම දූෂණයට භීෂණයට ලැදි ඡන්ද ප්‍රමාණයක් ඔවුන් අතරින් කෙනෙකුට අද පවතින දේශපාලන වාතාවරණය යටතේ ලබාගත හැකිවනු ඇත. එහෙත් උතුරේ හෝ මෙරට සුළුජාතික පක්ෂ හෝ ලබා ගැනීමට එම පිලට හැකි වන්නේ නැත.

එසේ හෙයින් මේ වන විට තමන්ගේ සැබෑ මෙන්ම ජයග්‍රාහී ප්‍රතිවාදියා ලෙස ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා හඳුනාගෙන ඇත. ඔවුන් ඒ අභියෝගය ජය ගැනීම සඳහා උපාය දෙකක් අනුගමනය කිරීමට සූදානම් වනු පෙනේ. එකක් වන්නේ නියමිත කාලයට පෙර මහමැතිවරණයක් කැඳවා ගැනීමයි.

ඔවුන්ගේ ගණන් බැලීම අනුව මහ මැතිවරණයක දී පසුගිය පාළාත් පාලන මැතිවරණයේ දී මෙන් සිංහල ප්‍රදේශවල බහුතර ආසන සංඛාවක් දිනාගැනීමට රාජපක්ෂවාදීන්ට හැකිවනවා ඇත. එසේ යම් හෙයකින් ආණ්ඩු බලයක් අත්පත්කර ගත හොත් ඔවුන් ගේ ඊළඟ තුරුම්පුව වනු ඇත්තේ 19 වැනි සංසෝධනය කණපිට හරවා මහින්දට යළිත් දේශපාලනයට පැමිණිය හැකි වාතාවරණයක් සකසා ගැනීමයි. ඒ බවට ඉඟියක් පසුගිය දිනෙක මාධ්‍යයට අදහස් දැක්වීමක දී දිනේශ් ගුණවර්ධන මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයට පත් විය. අනෙක් අතට එවැනි ආණ්ඩු බලයක් අතට ගතහොත් පොහොට්ටුවාදින්ට ඊළඟට එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වුව ද 2001 – 2004 සමයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්‍රාමාත්‍ය තනතුරට අකුල්හෙලූ ආකාරයට ඔහුට බාදා කළ හැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා වන්නට පුළුවන.

ඒකාබද්ධයේ ඊළඟ උපක්‍රමය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් චරිතයක් එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් ජනාධිපතිවරණය සඳහා ගෙන්වා ගැනීමයි. පොහොට්ටු පාර්ශවයෙන් කවර තැනැත්තකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුව ද රනිල් වික්‍රමසිංහ මහතා තරඟයේ සිටිය හොත් පොහොට්ටුවට ඉරණම ලියැවී ඇත්තේ පරාජය වීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂවාදීන්‍ ගේ සහයෝගය ඇතිව හෝ නැතිව ඉදිරිපත් වුව ද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටිය හොත් ජයග්‍රාහකයා රනිල් වික්‍රමසිංහ මහතා ම මිස අන් අයෙක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා 2020 ජනාධිපතිවරණයෙන් ඉවත්කර තැබීමට ප්‍රතිවාදින් ගන්නා උත්සාහයේ රහස එයයි.

එකී උත්සාහයේ දී රනිල් විරෝධින්ගේ උත්සාහය වන්නේ රනිල් වික්‍රමසිංහ යනු දුර්වල නායකයකුය යන මතය එක්සත් ජාතික පක්ෂය තුළත් එම පක්ෂයේ සාමාජිකයන් අතරත් ව්‍යාප්ත වන ආකාරයට කටයුතු කිරීමයි. මැකියාවේලි කියා ඇත්තේ ‘ඔබට සතුරන් සිටි නම් ඔබ සතුටු විය යුතුයි’ කියා ය. මැකියාවෙල්ලි කියන ආකාරයට සතුරන් ඇති වන්නේ ශක්තිමත් රාෂ්ට්‍ර පාලකයනටය. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ද සත්‍ය වන්නේ එයයි.

‘රනිල් ට බෑ’ යන සටන් පාඨය කූප්‍රකට වයඹ මැතිවරණ සමයේ පටන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සංවිධානාත්මකව දියත් කරන ලද්දකි. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ‍යේ නායකයා වශයෙන් මැතිවරණ පරාජයන් රැසකට මුහුණ දුන් බව පිළිගත යුතු සත්‍යයකි. එහෙත් ඒ පරාජයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික දුර්වලතාවක් නිසා ඇති වූවක් ද යන්න මධ්‍යස්ථව කල්පනා කළ යුතුය.

1978න් පසුව මුහුණ දුන් සියලු මැතිවරණවල දී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මියට සිදුවූයේ ද දිගින් දිගට ම පරාජය වන්නටය. එහෙත් එවක කිසිවකු ‘සිරිමාට බෑ’ කියා කීවේ නැත. හේතුව පරාජයේ මූල බීජය ඇත්තේ සිරිමා බණ්ඩාරනායක යන චරිතයේ නොව 1978 විධායක බලතල සහිත ජනාධිපතිවරයකු බිහිකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බව එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තේරුම් ගෙන සිටීමයි.

1978න් පසුව පැවැති මැතිවරණ සහ අතුරු මැතිවරණ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ. මැරබලය හොර ඡන්ද දැමීම ආදිය ඔස්සේය. ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව ඩී.බී. විජේතුංග මහතා මෙරට යම්තාක් දුරකට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොකළේ නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද ඉරණම ලියැවෙනු ඇත්තේ පරාජිතයන් ගේ නාම ලේඛනයට එකතු වන්නටය. ‍

අනෙක් අතට ඒ යු‍ගයේ චන්ද්‍රිකා නියම තුරුම්පුවක් අතට ගත්තේය. එනම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, දූෂණය, භීෂණය නැති කිරීම ආදියයි.

නමුත් බලයට පැමිණි පසුව චන්ද්‍රිකා පාලනය විධායකයේ බලතල උපරියෙන් ක්‍රියාවට නැංවුවා පමණක් නොව  බලයට පැමිණෙන්නට පෙර විවේචනය කළ ඡන්ද දූෂණ, හොර ඡන්ද දැමීම්, ඡන්ද දායකයන් බිය වැද්දීම් ආදී සියලු ඡන්ද ගුණ්ඩු ක්‍රියාවේ යෙදවූයේ ය. එක්සත් ජාතික පක්ෂය පරාජ‍ය වූයේ ඒ දූෂිත ක්‍රම හමුවේ මිස රනිල් වික්‍රමසිංහ මහතා නිසා නොවේ. රනිල් ට බෑ වැනි සටන් පාඨ එකල එතරම් මර්දනකාරි තත්ත්වයක පවා විරුද්ධවාදින්ට අවශ්‍ය වූයේ රනිල් ශක්තිමත් නායකයකු බව විරුද්ධවාදීන් අවබෝධකර ගෙන සිටි නිසාය.

එවැනි වටාපිටාවක් පවා විධායක බලය සතුරා අත පැවතියදීත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පරාජය කර ආණ්ඩුබලය පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ බව මතකයට නගා ගත යුතුය. ඒ ආණ්ඩුවේ පැවැත්ම කෙටිකාලීන වූයේ රනිල් ගේ දුර්වලතාව නිසා නොව විධායකයේ අසීමිත බලය ඒ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාවේ යෙදවුණු නිසාය.

රනිල් ගේ නායකත්වය වෙනස් විය යුතුයැයි කියන එක්සත් ජාතික පක්ෂයෙ පිරිසගේ චෝදනාව වන්නේ රනිල් තරුණයන්ට තැන නොදෙන බවයි. පුදුමයකට මෙන් එසේ කියන පිරිස අතර රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමතිධුර, නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිධුර ලබා දුන් අයද සිටිති.

පියා මියයැමෙන් පසුව අධ්‍යාපන වියදම් පිළිබඳ ගැටළුවකට ලලිත් ඇතුළත් මුදලි මහතා මුහුණ දුන්නේය. ඔහුගේ අධ්‍යාපන වියදම් පියවීමේ පනතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ආ නමුත් ලලිත් ගේ පියාගේ පක්ෂ වුණු එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය. නමුත් එස්. ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ගේ උත්සාහය අනුව එම පනත සාර්ථක වී ඇතුළත්මුදලි මහතාට ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය අවසන් කරන්නට හැකියාව ලැබුණි. පසුව එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට එක් වූ ලලිත් ඇතුළත්මුදලි මහතා තමාට ලැබුණු ඇමතිධුරයෙන් ඉහළම වැඩ පෙන්වා ආර්. ප්‍රේමදාස මහතා සමඟ ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කරට කර තරඟ කළ හැකි තත්ත්වයකට පත් වූයේය. ගාමිණි දිසානායක මහතා ද එසේය. ඔවුන් පක්ෂ නායකයන් ලෙස ඉස්මතු වූයේ දක්ෂතා පෙන්වීමෙන් මිස නායකත්වයට ගල් ගසමින් විරුද්ධවාදින්ට උඩගෙඩි දෙමින් නොවේ. ගැටලුව වන‍්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ කඩින් කඩ ආණ්ඩු කාලවල තම ශක්තියෙන් ඉස්මතු වූ  දෙවැනි පෙළක් දක්නට නැති කමය. තමන් ගේ දස්කම් පෙන්වා පෙරට ඒම වෙනුවට ඔවුන් කරන්නේ විපක්ෂයේ හොරණෑව අතට ගෙන ‘රනිල් ට බෑ’ වාදනය ම කරමින් යාමය.

රනිල් ට බැරිනම් ඊට වඩා හැකියාවක් ඇති අනෙකා කවුද? එවැන්නකු එක්සත් ජාතික පක්ෂයේ අදටත් නැත. ර‍ටේත් නැත. රුවන් විජේවර්ධන කමිටු වාර්තාව ක්‍රියාවේ යෙදවෙන බවට එක්සත් ජාතික පක්ෂයෙන් පැවසී තිබේ. ඊට අමතරව තරුණ දෙවැනි පෙළවන සජිත්, අජිත් පී, හරින් වැන්නන්ට දොර විවර වී තිබේ. දැන් ඔවුන් කළ යුත්තේ ගල් ගැසීම් හුනියම් නවතා තමන්ගේ මාර්ගය තමන් විසින්ම පාදා ගැනීමයි. එසේ නොකර පක්ෂයේ නැති අර්බුද ඇති කරන්නට යාම යනු 2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි ජයග්‍රහණය පක්ෂයට අහිමිකර ගැනීමයි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *