එ.ජා.ප ප්‍රතිසංවිධානය; ගීලටිනයට යා යුතු කවුද? – එම් ඕ ඒ ද සොයිසා

පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම’ පිළිබඳ මන්ත්‍රය එක්සත් ජාතික පක්‍ෂය ආශ්‍රිතව යළිත් වරක් ජපකරන ආකාරය මේ දිනවල නිරන්තරයෙන්ම දැකිය හැකිය. එයට බලපා තිබෙන ආසන්න හේතුව වන්නේ පසුගිය පෙබරවාරි 10 වෙනි දින පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ අනපේක්‍ෂිත පරාජයයි. මෙම මැතිවරණයේ දී ඒ සඳහා තරග වැදුණු කිසිදු දේශපාලන පක්‍ෂයකට නිශ්චිත ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි වූවද මැතිවරණ ප්‍රතිඵලයෙන් බෙහෙවින්ම කලබලයට පත්ව සිටින්නේ අනෙක් සෑම දේශපාලන පක්‍ෂයකටම වඩා එක්සත් ජාතික පක්‍ෂයයි.

ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ මන්තරය ජප කිරීම ආරම්භ වන්නේ මෙම පසුබිම තුළය. එක් අතකින් බලන විට පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමේ මන්තරය ජප කිරීම එක්සත් ජාතික පක්‍ෂයට අලූත් දෙයක් නොවේ. පසුගිය කාලය තුළ පැවැත්වූ මැතිවරණ 22 කට ආසන්න ප්‍රමාණයක දී එක්සත් ජාතික පක්‍ෂය නොකඩවාම හිමිකර ගත් අමිහිරි ප්‍රතිඵලවලට පසුව එහි වේදනාව සමනය කර ගැනීම සඳහා පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමේ මන්තරය ජප කිරීමට පටන් ගැනීම සාමාන්‍යයෙන් අඛණ්ඩවම කෙරෙන දෙයක් බවට පත්ව තිබේ. මෙය හරියට උණ වැඩිවුණාම වලිප්පුව හැදෙනවා වැනි තත්ත්වයට සමාන වේ.

උණ අඩු වූ විට වලිප්පු රෝගය පහව යන්නා සේම මැතිවරණ උණුසුම සහ එයින් අත්වූ මානසික වේදනාව පහව ගියවිට ප්‍රතිසංවිධානය කිරීමේ මන්තරය ජප කිරීමද අනුක්‍රමයෙන් පහව යෑම පසුගිය දශක දෙකක කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂයට ආවේණික දෙයක් බවට පත්ව ඇත. එසේ වූවද උණ සනීප වී ඇති බවක් දැකිය නොහැකිවාක් මෙන්ම ප්‍රතිසංවිධානය කිරීමේ මන්තරය ජප කිරීමද නතර වී නැත. හරියට සීයා මැරෙන්නෙත් නැහැ ඇඳ ඉවර වෙන්නෙත් නැහැයයි කියන කථාවට සමානය.

මෙයින් පෙනී යන්නේ එක්කෝ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ මන්තරය කිසිදු ආකාර බලයක් නොමැති හිස් වචන මාලාවක් පමණක් වන බවය. නැතිනම් මන්තරයේ ඇති බලය නියමාකාරයට බල ගැන්වෙන අයුරින් ජප කිරීමට මන්තරය ජපකරන ගුරුන්නාන්සේලාට හැකියාවක් නොමැති බවය. මේ දෙකෙන් කුමක් වූවද ප්‍රතිඵලය වී ඇත්තේ ලෙඬේ සුව නොවීමය. ආතුරයා පණ ඇදි ඇ දී හෝ ජීවත් වීමය. ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ මන්තරය අර්ථ විරහිත මෙන්ම ප්‍රතිඵල විරහිත දෙයක් බවට පත් වීමය.

එසේ වීමට හේතුව කුමක්ද? එක් හේතුවක් වන්නේ එම මන්තරය යථාර්ථවාදී පදනමක් මත ප්‍රබන්ධ කර නොතිබීමය. පැහැදිලිවම පෙනීයන්නේ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ මන්තරය සෑම මැතිවරණ පරාජයකටම පසුව පරාජිත මනස තුළ ක්‍ෂණිකව උද්ගත වන හැඟීම් සහ ආවේග දරා ගැනීමට මානසික ශක්තියක් නොමැති පක්‍ෂය තුළ සිටින රනිල්ට අකමැති සහ රනිල් විරෝධී දේශපාලනඥයින් කිහිප දෙනෙක් විසින් ජප කරන්නක් හැටියට ඉදිරිපත් වන දෙයක් විනා පැන නැ‍ඟී තිබෙන තත්ත්වය හා සම්බන්ධ කරුණු කාරණා නිසි ලෙස සොයාබලා ඒවා නිසි ලෙස විශ්ලේෂණය කරමින් තාර්කික සහ යථාර්ථවාදී පදනමක් මත ඉදිරිපත් කරන දෙයක් නොවන බවය.

නිදසුන් ලෙස ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ මන්තරය ජප කරන මන්තරකරුවන් සෑම මැතිවරණයකටම පසුව මන්තරය මගින් ඉස්මතු කරන කරුණු දෙකක් තිබේ. එයින් එකක් වන්නේ මැතිවරණ පරාජයේ සම්පූර්ණ වගකීම පක්‍ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ බාර ගතයුතු බවය. දෙවන කරුණ වන්නේ එම වගකීමට ගරුකරමින් රනිල් වික්‍රමසිංහ පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී පක්‍ෂය මෙහෙයවීම වෙනත් පුද්ගලයකුට දියයුතු බවය. මෙම චෝදනාව සහ ඒ මත කරන ඉල්ලීම යුක්ති සහගත සහ සාධරණ එකක්ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ.

ප්‍රතිසංස්කරනවාදීන් ප්‍රකාශ කරන ආකාරයට එක්සත් ජාතික පක්‍ෂය දිගින් දිගටම අයත් කරගත් මැතිවරණ පරාජයන්ට බලපෑ එකම හේතුව පක්‍ෂ නායකත්වය පමණක්මද? අනෙක් අතට එය එසේම යැයි පිළිගන්නවා නම් පක්‍ෂ නායකත්වය වෙනස් කිරීම මගින් පමණක් පක්‍ෂය ජයග්‍රාහී මාවතකට යොමු කිරීමට පක්‍ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයැයි ඉල්ලා සිටින ප්‍රතිසංස්කරනවාදීන්ට ශක්තිය හා හැකියාව තිබෙනවාද? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු සෙවීම ලෙහෙසි හා පහසු කාර්යයක් නොවේ. හේතුව එම ප්‍රශ්න දෙක නූල් බෝලයක් මෙන් එකට පැටළුණ ලෙහෙසියෙන් දිගහැරිය නොහැකි අතිශය සංකීර්න ප්‍රශ්න දෙකක් වීමය. යම් දේශපාලන පක්‍ෂයක්

මැතිවරණවල දී පරාජයට පත්වීම හුදෙක් නායකත්වය නිසාම සිදුවන බව සහ ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම නායකත්වය බාරගත යුතුය යනුවෙන් එල්ල කරන චෝදනාව කිසිසේත්ම යුක්ති සහගත නොවන මෙන්ම කිසිම අයුරකින් සාධාරණීකරණය කළහැකි චෝදනාවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

හේතුව දේශපාලන පක්‍ෂයක් මැතිවරණ සටනේ නියුක්ත වීම සහ සිටින වෘත්තීමය දේශපාලනඥයින් වන නායකයින් ඊළඟට සිටින ප්‍රබලම දෙවන කණ්ඩායම වන පක්‍ෂ ක්‍රියාකාරිකයින් සහ පහල මට්ටමේ සිටින සාමාන්‍ය සාමාජිකයින් යන කණ්ඩායම් තුනේම ඒකාබද්ධ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන අතිශයින්ම සාමූහික ක්‍රියාවක් විනා පක්‍ෂ නායකයා විසින් කරනු ලබන තනි පුද්ගල කාර්යයක් නොවීමය. මෙයින් එක කණ්ඩායමක් හෝ විශේෂයෙන්ම නායකයා සහ ක්‍රියාකාරීන් මැතිවරණයක දී තමන්ගේ කාර්ය කොටස නිසි ලෙස ඉටු නොකරන්නේද එහි දී පක්‍ෂය පසුබෑමට ලක්වීම අනිවාර්ය දෙයක් වන අතර ඒ සම්බන්ධයෙන් නායකයාට පමණක් ඇඟිල්ල දිගුකොට නායකයා පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම බාර ගතයුතුයැයි චෝදනා කිරීම කිසිසේත්ම සාධාරණ සහ යුක්ති සහගත නොවේ. හේතුව දේශපාලන පක්‍ෂයක් ඉදිරියට යාම හෝ පසුබෑම හුදෙක් තනි පුද්ගලයකු මත රඳා නොපවතින දෙයක් වීමය.

එසේනම් පක්‍ෂයේ මැතිවරණ පසුබෑමට සෘජුවම වගකිව යුතු කණ්ඩායම් දෙකක් තිබේ. ඒ වූ කලී පක්‍ෂ නායකත්වය සහ නායකත්වය ළඟට සිටින ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිකයින්ය. මැතිවරණ පරාජයේ වගකීම මෙම කණ්ඩායම් දෙක විසින්ම එක සමානව බාරගත යුතු අතර එසේ වගකීම බාර ගන්නවා නම් නායකයාට අමතරව ක්‍රියාකාරීන් සියලූ දෙනාම, එසේ කළ නොහැකි නම් අඩුම වශයෙන් සභාපති, නියෝජ්‍ය නායක, උප නායක, ලේකම්, නියෝජ්‍ය ලේකම්, භාණ්ඩාගාරික, ජාතික සංවිධායක වශයෙන් නායකයා ළඟට සිටින දෙවන පෙල නායකයින් ටික දෙනාවත් තමන් දරන තනතුරුවලින් සහ වගකීම්වලින් ඉල්ලා අස්විය යුතු වේ.

එසේ නොමැතිව සිදු වී තිබෙන වරදට තමන්ද කොටස්කරුවන් වන බව සහ තමන්ද එයට වගකිව යුතු බව දැන දැනම එය සාහසික ලෙස අමතක කරමින් නායකයා මත සම්පුර්ණ වැරැද්ද පටවා තමන් සුදනන් බව පෙන්වීමට කටයුතු කිරීමට අනෙක් නායකයින් කටයුතු කරනවා නම් එය බරපතළ දේශපාලන කුහකකමක් සහ වංචාවක් වන අතර එම නිසා පක්ෂ නායකයා පමණක් ඉවත් විය යුතුය යන ඉල්ලීම සාධාරණ සහ යුක්ති සහගත යැයි සැළකිය නොහැකිය. අද එක්සත් ජාතික පක්‍ෂය තුළ උද්ගතව තිබෙන අර්බුදය පෙන්නුම් කරන්නේ මෙම යථාර්ථයයි.

මෙම තත්ත්වය තුළ ඇයි මම පමණක් අයින් වෙන්නේ ඇයි උඹලාත් අයින් නොවන්නේ ? යන ප්‍රශ්නය ඇසීමට රනිල් වික්‍රමසිංහ නායකයාට සර්ව සාධාරණ අයිතියක් තිබෙන අතර එම අයිතියට අභියෝග කිරීමට කිසිවකුට කිසිදු ආකාර අයිතියක් නොමැති බව ද සඳහන් කළයුතු ය. අනෙක් අතට ප්‍රතිසංස්කරණවාදීන් ඉල්ලා සිටින ආකාරයට රනිල් වික්‍රමසිංහ පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වුවහොත් ඒ සඳහා තිබෙන විකල්පය කුමක්ද? මේ සම්බන්ධයෙන් විවෘතව කෙළින් අදහසක් ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ශක්තියක් තිබෙන අයෙක් පක්‍ෂය තුළ සිටින බවක්ද දක්නට නැත. එවැනි විකල්පයක් රනිල් වික්‍රමසිංහට විරුද්ධව කථා කරන කිසිවෙක් මේ දක්වා ඉදිරිපත් කර නැත.

මෙයින් පෙනී යන්නේ කුමන අඩුපාඩු තිබුණද රනිල් වික්‍රමසිංහට සම කළ හැකි විකල්ප නායකත්වයක් මේ වනවිට පක්‍ෂය තුළ නොපවතින බවය. කොතරම් තිත්ත වූවද සත්‍ය කොයි කවුරුත් පිළිගත යුතුය. එනම් බුද්ධිය, දැනුම, ප්‍රඥාවන්තභාවය, විචක්ෂණභාවය, උපක්‍රමශීලීභාවය, පෞරුෂත්වය, ස්ථානෝචිත ප්‍රඥාව, කේවල් කිරීමේ හැකියාව යනා දී නායකත්ව කුසලතා සහිතව මෙන්ම දශක හතරකට ආසන්න කාලයක් වෘත්තීමය දේශපාලනඥයෙක් වශයෙන් ප්‍රායෝගික දේශපාලනයේ යෙදීමෙන් අයත් කරගෙන තිබෙන දේශපාලන අත්දැකීම් සම්භාරය යනාදිය සමඟ සළකා බලනවිට රනිල් වික්‍රමසිංහට සමාන කළහැකි වෙනත් දේශපාලනඥයෙක් එක්සත් ජාතික පක්‍ෂය තුළ නොමැති බවය.

එසේනම් මෙයින් එක් දෙයක් තේරුම් ගත යුතුය. එනම් රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කිරීම එක්සත් ජාතික පක්‍ෂය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති අර්බුදයට තිබෙන විසඳුම නොවන බවය. සමහරවිට එසේ කිරීම හේතුවෙන් පක්‍ෂය මුහුණ දී ඇති අර්බුදය විසඳෙනවාට වඩා තව තවත් වර්ධනය වී පක්‍ෂය නොසිතූ සහ අපේක්ෂා නොකළ විනාශයක් කරා යාමට තිබෙන හැකියාවද මෙහි දී අමතක නොකළ යුතුය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *