මේක ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් – රටේ ප්‍රජාතන්ත්‍රවාය ස්ථාපිත කිරීමට ශ්‍රීලනිපය ශිෂ්ඨ නායකත්වයක් අතට පත්කළ යුතු ය.

Lal imageමෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමත්, සමඟ එක්සත් ජාතික පක්ෂය මෙන්ම පුරවැසි සංවිධාන සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ අවම වශයෙන් වසර 2ක් වත් එම පක්ෂ දෙක එක්ව රට පාලනය කළයුතු බව සඳහන් ය. රට තුළ අද සාකච්ඡාව කෙරෙන ජාතික ආණ්ඩුව පිළිබඳ මාතෘකාව පිළිබඳව ප්‍රථමයෙන් අපි පැහැදිළි කරගත යුතු ය. ආරම්භයේ සිට ම පසමිතුරු වූ රටේ ප්‍රධානතම පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවීම හේතුකොට ගෙන එය ජාතික ආණ්ඩුවක් ලෙස නාමකරණය වී ඇති නමුත් මෙය ජාතික ආණ්ඩුවක් නොවේ. කුඩා පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් කිසියම් වැඩපිළිවෙලක් වෙනුවෙන් බලය ලබාගෙන කටයුතු කිරීම අපි හඳන්වන්නේ සභාග ආණ්ඩුවක් ලෙසට ය. එජාපය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ද එවැනි එකඟතාවයක් මත දැන් සභාග ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබේ. ජාතික ආණ්ඩුවක් ලෙස මෙය අර්ථකථනය වන්නේ සමස්ථ දකුණට අමතරව ඉතා සුළුවෙන් නමුත් උත.ුරු නැගෙනහිර ද විහිදුණු විශාලම පක්ෂ දෙකක් එක්වීම නිසාය. පවතින තත්ත්වය තුළ ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන්නට නම් අවම වශයෙන් එම ආණ්ඩුව තුළ දෙමළ සන්ධනයවත් නියෝජනය විය යුතු ය. ඒ නිසා දැන් ඇති වී තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් බව ප්‍රථමයෙන්ම අප තේරුම් ගතයුතු ය.
මී ලඟ වැදගත් ප්‍රශ්නය වන්නේ ආරම්භයේ පටන්ම පසමිතුරු වූ පක්ෂ දෙකක් මේ ආකාරයට සභාග ආණ්ඩුවකට එක්වූයේ ඇයි ද යන්න විමසා බැලීම ය. මා ඉහතින් සඳහන් කළ පරිදි ජනවාරි 08 වෙනිදාට පෙර සිටම මේ සභාගයට අත්තිවාරම වැටී තිබුණි. විශේෂයෙන්ම රාජපක්ෂ ජනාධිපතිවරයා රට වර්ගවාදි අධිකාරිවාදයකට යටත් කළා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඒ දෙසට මෙහෙයවා තිබුණී. විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු වර්ගවාදී නඩය රාජපක්ෂගේ රැකවරණය මත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සුක්කානම හැසිර වූ හ.
මෙහි ප්‍රතිඵලයක් ලෙෂ පසුගිය කාලයේ මේ රට ජාවාරම්කරුවන් විසින් මෙහෙය වෙන ආණ්ඩුවක් බවට පත්වූවා පමණක් නොව රාජ්‍යය ද වර්ගවාදි ස්වරූපයක් ගත්තේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවලට මීට පෙර තිබුණු ජාත්‍යන්තර පිළිගැනීම ක්‍රමානුකූලව අහිමි වී ගියේ ය. එපමණක් ද නොව රට ජාතිය රැකීම යන්න කිසියම් පවුලක් රැකීමේ තැනට ලඝු වූ අතර රාජපක්ෂ පවුල නොනිල රජ පවුලක් ලෙස රූපාන්තරණය විය. දූෂණ පමනක් නොව ඇතැම් මිණිමැරුම් වලට පවා එම පවුලේ අයගේ නම් සම්බන්ධ වී තිබේ. සංස්කෘතික පසුගාමිත්වය හේතුකොටගෙන එයට කිසියම් ජන අනුමැතියක් ලැබුණු බව සත්‍යයක් නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන නාගරික මැදපන්තිය ආරම්භයේ සිටම එම රාජපක්ෂ රෙජීමය විවේචනයට බඳුන් කළ හ.
මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වන්නේම ගැටුම් වලින් තොරව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ම මේ වර්ගවාදි පාලක රෙජීමය ඉවත්කර ගැනීමට ය. ජනවාරි 8වෙනිදා රෙජීමයේ නායකයා ඉවත්කර ඔහුට අධිකාරිබලයක් ගොඩනගා ගැනීමට උපකාර වූ ව්‍යවස්ථාව ද කිසියම් ප්‍රමාණයකට වෙනස්කර ගැනීමට ද අපිට හැකි විය. එහෙත් පක්ෂය තුළ සිටි මහින්දවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මහතාට අවනත කරගැනීමට නොහැකි විය. සන්ධානයේ ජාතිවාදි නඩයේ ද උදව් උපකාරය ඇතිව රාජපක්ෂ ද පෙරටුකරගෙන පාර්ලිමේන්තුවේ බලය ගැනීමට ඊ ලගට ඔවුහු සැරසුන හ. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද එම වර්ගවාදී බලවේගය පරාජය කරගැනීමට හැකි වූ නමුත් එජාප පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීමට හැකිවූයේ නැත. කෙසේ නමුත් බහුතරයක් දිනාගත් පක්ෂය ලෙස එක්සත් ජාතික පෙරමුණට බරපතල දූෂණයන්ට හසුනොවු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එක්කරගෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අපහසුතාවයක් නැත. එසේ කළහොත් විපක්ෂයේ සිට නැවතත් සන්ධානයේ වර්ගවාදි පක්ෂවලද සහාය ඇතිව ශ්‍රිලනිපයේ ජාතිවාදි බලවේගය පක්ෂය තුළ මෙන්ම රටතුළ ද බලවත් වනු ඇත.
රාජපක්ෂ මේ රට ගෙනගොස් ඇති අගාධයෙන් ගොඩගන්නට නම් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ජාතිවාදි නායක කවයෙන් ගලවාගත යුතු ය. රට පමණක් නොව පක්ෂය ද ජාතිවාදයෙන් ගලවා නොගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රභල ලෙෂ ස්ථාපිත කළ නොහැක. වසර දහයකට වැඩි කාලයක් පුරාවට ක්‍රමක්‍රමයෙන් අහෝසි වී ගිය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ දී ජාතිවාදියැයි කිවනොහැකි නමුත් ජාතිවාදය පිටුපස ගමන්කළ පිරිස් එයින් ගලවාගතයුතු ව ඇත. මේ සභාග ආණ්ඩුව ඇතිකර ගන්නේ ප්‍රජාතන්ත්‍රිකරණය සඳහා අත්‍යවශ්‍යම වන මෙවලමක් ලෙසට ය. සහාග ආණ්ඩු එකගතාවයන් නිසා දැන් ජාතිවාදි පිරිස් අතර ඇති දේශපාලන සම්බන්ධතාවයන් ඉරිතලා යමින් තිබේ. අවලා ද සහ පාවාදීමේ චෝදනාවන්ට ද මේ වන විට සන්ධාන මහා ලේකම්වරයාට මුහුණ දෙන්නට සිදු වී ඇත. ජාතිවාදය පසුබැස ඇති නමුත් සභාග ආණ්ඩුවේ ඇමතිවරුන් පත්කර ගැනීමේ ප්‍රමාදයෙන් ද පෙනෙන්නේ ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ ජාතිවාදි බලවේග මැදිහත්වන බව ය. මේ සන්ධානය අවුල්කර කඩාබිඳ දැමීමට අසාර්ථක උත්සාහයක නිරතවන බව ය. කෙසේ නමුත් සභාග ආණ්ඩුව ක්‍රියාත්මක වනවිට මේ ජාතිවාදින් තවතවත් දුර්වල වනු ඇත එවිට ලිබරල් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු පැරණි හා නවක පිරිස් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වළල්ලට ඇතුල්වීමට හැකිවනු ඇත.
පසුගිය මාස කිහිපය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරණතුංග එක්ව රට ප්‍රජාතන්ත්‍රිකරණයට ලක්කිරීමට දරණ උත්සාහයට ජාත්‍යන්තරයේ ද මේ වන විට ප්‍රසංශාව හිමිව තිබේ. පසුගිය මාස කිහිපය තුළ දී කිසියම් ප්‍රමාණයකට යහපත් ජාත්‍යාන්තර සබඳතාවයක් ගොඩනගා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුධ අපරාධ චෝදනාවලට ලක්වූවන් පිළිබඳව දේශිය යාන්ත්‍රණයක් තුළින් කටයුතු කිරීමට තරම් තත්ත්වය ලිහිල් කරගැනීමට හැකි වී ඇත. ජාත්‍යන්තර වශයෙන් රට පත් වී තිබුණු තත්ත්වයට අමතරව මහින්ද රෙජීමය විසින් සමාජය ඇතිකෙරුණු ජාතිවාදි උමතුව සහ අධිකාරිවාදයට ලබාගෙන තිබූ අනුකූලතාවය සමාජයෙන් මාස කිහිපයකින් ඉවත් කළ නොහැක. එයට සාධාරණ කාලයක් අවශ්‍ය ය ලිබරල් රාමුව තුළ ඒ පරිවර්තනය කිරීමට නම් ප්‍රධාන පක්ෂ දෙක අතර මෙවැනි සභාගයක් අත්‍යවශ්‍ය ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *