නව ලිබරල් ආර්ථිකය හා වැඩවසම් දේශපාලන දෘෂ්ටිවාදය : බරපතළ ව්‍යසනය කුමක්ද ? – තාරක වරාපිටිය

ඉහත දේශපාලන සංරචක දෙකෙන් පොදු සමාජයට සිදුවන හෝ සිදුවිය හැකි හානියෙන් වඩා බරපතළ කිනම් සාධකයද යන්න තීරණය කිරීම වත්මන් ලාංකීය සන්දර්භයට අදාළව වැදගත් වේ. හුදු වාමාංශික විග්‍රහය මේ ද්විත්වශ පරෙස්සමෙන් සලකා බලා ඇත්ද යන්න අපැහැදිලිය.

මේ වනවිට දේශපාලන පිටිය සමන්විත වන්නේ පෙර මෙන් සංවිධානාත්මක දේශපාලන පක්ෂ, ව්‍යාපාරවලින් නොවේ. දේශපාලන පක්ෂ ‘සීරියස්’ මාතෘකා ඔස්සේ ජනතාව සමග දේශපාලනය කරන්නේ නැත. අනෙක් අතට සමාජයේ දේශපාලනිකව සක්‍රීය වී ඇත්තේ ලුම්පන් හෝ සමාජ සාමූහිකත්වයෙන් වියෝ වූ නන්නත්තාර පිරිස්ය. සමාජය කළඹන්නේ මෙවැනි වගකීම් විරහිත ‘ක්ෂේනෆොබියා’ (මුළු ලෝකයම අපව,ශ්‍රී ලංකාව,සිංහලයාව ගිලගන්නට කුමන්ත්‍රණය කරනවාය යන මෝඩ බිය තුළින් ඇතිවන හිටීරියා රෝගයේ) ගොදුරු බවට පත් වූ, දේශපාලන සාක්ෂරතාව නැති පිරිස් විසිනි. ඔවුන් සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට පාලනය කළ හැකි පිරිස් ද නොවේ. ඇත්තෙන්ම ඔවුන් ජන්දය ප්‍රකාශ කරන දේශපාලන පක්ෂයේ නායකයින් දරන අදහසට වඩා ආන්තික, විනාශකාරී මදාවියෙකුට, ඔවුන්ව වීථි සටන් වලට හෝ දේපොළ ගිනිතැබීමේ ප්‍රචණ්ඩකාරී දේවලට මෙහෙයවිය හැකිය.

මීට දශක දෙකකට එපිට පැවති සමාජ බන්ධුතාවය ලිහීගොස් ඇති නිසා අදවනවිට ඇත්තේ විසිරුණු ලිහුණු සමාජයකි . සමාජය විසිරුවා හැර හුදකලා වූ පුද්ගලයන් ඉතිරි වී ඇත. දැන් අපට සමාජයක් නැත; ජනගහනයක් පමණක් ඇත. (සමාජයක් යනු හරපද්ධතීන් සහිත සජීවී,සක්‍රීය පුරවැසි සමූහයකි. එසේ මානවීය වටිනාකම්වලින් වියුක්ත වූ හුදෙකලා පුද්ගල ගහනයක් හුදෙක් ජනගහනයක් පමණි.) සමාජීය ජීව ගුණයන් නැත. මේ පුද්ගලයින්ට සිටින්නේ හිතවත් මනුෂ්‍ය සගයින් නොව තරගකරුවන්ය; පරාජය කළ යුතු හෝ අභිබවා යායුතු අනෙකෙක්ය. මේ විගලිත වූ ජනගහනය තුළ සිටින පරපීඩක අදහස් ඇති, මානසිකව අසමතුලිත කුඩා පිරිස්වලට පවා රටක් අරාජිකත්වයක් කරා ගෙනයා හැකිය; සමාජයක් අනතුරේ හෙළන්නට හැකිය. මක්නිසාද අද සමාජයේ බහුතරය නිශ්චිත අදහසක් හෝ නිරවුල් දැනුමක් නැති නිෂ්ක්‍රීය නරඹන්නන් පිරිසක් බවට පත්වී ඇති බැවිනි. අනෙක් අතට සමාජයේ සිටින අගතිගාමී අන්තවාදීන් මෙල්ල කිරීමට අවශ්‍ය දැනුමක්, අධිෂ්ඨානයක් හා සංවිධාන ශක්තියක් නැති දුර්මුඛ උගතුන් ස්වල්පය ඇත්තෙන්ම අසරණය.

එනිසා සමාජය වසා පැතිර තිබෙන ජාතිවාදය, ආගම්වාදය, මිථ්‍යාව ආදිය විසින් රට අරාජිකකොට අප දරන කුඩා උත්සාහයන් පවා සමතලා කරන ව්‍යසනයක් තෙක් වර්ධනය වීම වළක්වා ගැනීම පළමු අභියෝගය වී ඇත. මතුපිට පෙනෙන තත්වයට වඩා යටිබිම් ගතව ඇති නරුම මුග්ධ සමාජ මනෝභාවය විසින් සුළු පිපිරීමකින් පවා මහා ගින්නකට උත්ප්‍රේරණය සපයනු ඇත. ඒ වග වටහා ගැනීම (වැඩි තක්සේරුවක් වුවත් ) අපතේ යන පෙර-සූදානමක් නොවේ. එනිසා නව ලිබරල්වාදය විසින් ජනිත කරන්නා වූ සමාජ අසමානතාවයන්ට වඩා වැඩි අවදානමක් මේ වියරුව විසින් රටට හා අනාගතයට උදා කරන බැව් සිහි තබා ගැනීම වටී. සමහර වාමාංශික කණ්ඩායම් දුර ඈත ඉලක්කයක් වෙනුවෙන් වෙහෙසෙනවා මිස දොරකඩ අභියස තිබෙන ආසන්න අවදානම එතරම් බැරෑරුම් ලෙස සැලකිල්ලට නොගනී. සමාජ පසුගාමිත්වයට එරෙහිව තීරණාත්මක යමක් කළ හැකි මේ වාමාංශික කණ්ඩායම් සතු දැනුම හා හැකියාව මේ ආසන්න අනතුර පැරදවීමට යොදාගත යුතුය.

වාර්ගික යුද සමයේ ජ.වි.පෙ. තෝරාගත් වර්ගවාදී දේශපාලන ආස්ථානය විසින් ඔවුන්ට අද දවසේ උරුම වූ,ඉතිරි වූ දේශපාලන මුඩු-පිටිය පසුගාමී, අව-මානුෂික මිනිස් ගහනයක් බවට එනම් ; සමාජ ප්‍රගමනය වෙනුවෙන් සාමූහික උත්සාහයක් දැරීමට කාඩරයක් නැති දේශපාලන ව්‍යාපාරයක් බවට පිරිහෙළනු ලැබ ඇත. තමන් විසින් වපුරන ලද දේශපාලන විසබීජවල අස්වැන්න අද ඔවුනට පමණක් නොව සමාජයටම පිළිලයක් වී ඇත. එවැනි පාඩම් යළි යළිත් ඉගෙනීමට අවශ්‍ය නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *