සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් රටට හානියක් නෑ

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අස්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම අදාළ පාර්ශ්වකරුවන් දැනුවත් නොකර හොර රහසේ අස්සන් කරන ලද්දක් බවට ඇතැමුන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා අවධානය කරයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට දැනුවත් කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් ව්‍යාජ ලේඛන සකස් කොට අස්සන් කරන ලද්දක් බව පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරන බවද නීතිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අස්සන් කර තිබෙන බවද සඳහන් කරයි.

ඇමැතිවරයා ඒ බව සඳහන් කළේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ දී ඊයේ (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ මේ ගිවිසුම විශේෂයෙන්ම ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට හා දේශීය කර්මාන්තකරුවන්ට අතිශයින්ම හානිදායක බවට ප්‍රකාශ කළ ද දේශපාලන වාසි සඳහා ජනතාව නොමඟ යවමින් ඇතැමුන් විවිධ ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශ පදනම් විරහිත, අසත්‍ය හා වගකීමෙන් තොර ප්‍රකාශ බවත්ය. මෙම ගිවිසුමෙන් නිදහස් කර ඇත්තේ තෙවැනි මාදිලියට අනුකූලව ආයෝජන හා සෘජු ලෙස බැඳුණු විශේෂ හා ඉහළ විධායක ශ්‍රේණිවල සීමිත වෘත්තිකයන් සඳහා පමණක් වන අතර මේ හරහා විදේශීය ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේ නව ඉඩ ප්‍රස්ථා උදා කර තිබෙන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක කේ.ජේ වීරසිංහ මහතා පෙන්වා දුන්නේ මේ මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වන බවත් දෙරට අතර සිදු කෙරෙන භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් ඒ හරහා කරුණු ඇතුළත් කර තිබෙන බවත්ය. තීරු බදු රේඛා ප්‍රමාණය 7,438ක් පමණ වන නමුත් එයින් සියයට 80ක ප්‍රමාණයක් සඳහා තීරු බදු හිමි වන බව පෙවන්වා දුන් ඒ මහතා මෙය යම්කිසි කාලපරිච්ඡේදයක් සඳහා සිදු වන බවද එය වසර 12ත් 15ත් අතර කාලයක් සඳහා වන බවද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මේ තීරු බදු සහනයට අදාළ නොවන භාණ්ඩ හා සේවා වශයෙන් සියයට 20ක් ප්‍රමාණයක් වන අතර මෙය තීරුබදු අඩු කිරීමට යටත් නොවන නිසා රජයට හිමි වන ආදායම අහිමි වී නොයන බවද සඳහන් කළ ඒ මහතා මේ හරහා දේශීය කර්මාන්තවලට හෝ රජයේ ආදායමට කිසිදු බලපෑමක් එල්ල නොවන බවද පැවසීය. මෙය කාලපරිච්ඡේදයක් තුළ සිදු වීම හේතුවෙන් රටට ආදායම අහිමි වීමක් කිසිසේත් සිදු නොවන බවද වසරකට සිංප්පූරුවෙන් සිදු කරන ආනායනවල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 1.2 ක් බවද එයින් ඩොලර් මිලියන 750ක් බොර තෙල් ආයනයනය සඳහා වැය වූ බවද සිහිපත් කළේය.

කෙසේ වුවද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ අපේ රටට ආදායම අහිමි වීමේ අවදානමක් පවතින බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශයන්හි කිසිදු පදනමක් නොමැති බව පෙන්වා දුන් වීරසිංහ මහතා මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවද මෙරටට පැමිණෙන භාණ්ඩ වෙනුවෙන් සියයට 35ක වටිනාකමක් එකතු විය යුතු බවද එම අගය එකතු නොවන්නේ නම් අදාළ තීරුබදු සහනය හිමි නොවන බවද පෙන්වා දුන්නේය. ආසියාවේ ඕනෑම රටකින් අමුද්‍රව්‍ය මිලට ගෙන ශ්‍රී ලංකාවට භාණ්ඩ එවිය නොහැකි වන අතර විද්‍යුත් උපකරණ, ආහාර නිෂ්පාදන හා තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර සහ සඳුන් රමේෂ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *