|

ඒකාබද්ධයට කවන්න හදන ලණුව විමල් වීරවංශ හෙළි කරයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වෙත උපහාර පිදීමේ උලෙළක් පසුගිය මැයි 1 දා පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අබියසයි. එයට ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා කථානායක කරු ජයසූරිය මහතාද සජිත් ප්‍රේමදාස මහතා හා හේමා ප්‍රේමදාස මහත්මිය ද ප්‍රේමදාස පවුලේ ඥාතීහු මෙන්ම දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියා. ගුණ සමරු උලෙළ අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ප්‍රේමදාස මහතා රටේ පොදු ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළ නායකයකු බවයි.

ප්‍රේමදාස ජනාධිපතිරයාගේ සමයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ තමා හා එතුමා අතර හොඳ සුහද සබඳතාවක් පැවැති බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අද සිටින බොහෝ දේශපාලනඥයන් තමන්ගේ පෞද්ගලික සිහින සැබෑ කර ගැනීමට කටයුතු කරන බවත්, එසේ වුවද ප්‍රේමදාස ජනාධිපතිතුමා කටයුතු කළේ මේ රටේ දුක්විඳින ජනයාගේ සිහින සැබෑ කිරීම සඳහා බවත් ජනාධිපතිතුමා එහි දී කීවා.

වෙසක් දිනය ආසන්නයේ මැයි දිනය යෙදී තිබීම නිසා මැයි දින සැමරුම් එදින කොළඹ දී පැවැත්වුණේ නැහැ. කුඩා පක්ෂ කිහිපයක් තැන් තැන්වල රැස්වීම් පැවැත්වූවා. මැයි දිනය නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ සිට අමරණීය සේවයක් කළ කම්කරු නායකයන් සැමරීම සඳහා රැස්වීමක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූවා. හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, ටී.බී. ඉලංගරත්න, ආනන්ද දසනායක, හර්බට් වික්‍රමසිංහ, ඩී.සී.වීරසේකර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු හිටපු කම්කරු නායකයන්ට උපහාර පිදීම මෙහි දී සිදුවුණා. ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට දේශපාලනඥයන් විශාල පිරිසක් එක්ව සිටියා. ආණ්ඩුවේ ඇමැති ධුර දරන අය මෙන්ම ඉන් ඉවත් වූ දේශපාලනඥයෝද මේ අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

නොකිළිටි පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් තුළ දූෂණය, වංචාව පිටුදකිමින් ජනතා දේපොළ පෞද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි නොකළ ආදර්ශවත් දේශපාලන නායකයන්ගේ චරිතවලට වටිනාකමක් දෙමින් ගුණ සැමරිය හැකි බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. අලෙවි මව්ලානා ආණ්ඩුකාර ධුරය දරද් දී බොහෝ දෙනා කතා කළේ ආණ්ඩුකාර සහෝදරයා කියා බවත්, වෘත්තීය සමිති ව්‍යාපාරයට ජීවය දුන් ටී.බී.ඉලංගරත්න නොකිලිටි නායකයෙක් බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවා.

හෙළයේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමගුල් උලෙළට සහභාගි වෙමින් ජනාධිපතිතුමා කී කතාවද බොහෝ දෙනාගේ සිත් ගත්තා. සිනමා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර විද්වතුන් ප්‍රබුද්ධයන් හඳුනාගැනීමට අපට අවස්ථාව ලැබුණේ ලෙස්ටර්ගේ උසස් සිනමා භාවිතය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ලෙස්ටර් දේශීය සිනමාව ජාත්‍යන්තර තලයට ගෙනයාමට කටයුතු කළ බවත් එවැන්නකුගේ සමුගැනීම ජාතියටම ශෝකයක් බවත් ජනාධිපතිතුමා කීවා.

එජාප ප්‍රතිසංස්කරණ, නව ඇමැති මාරුව හා රටේ ආර්ථිකය හැසිරවීම ඇතුළු කරුණු රැසක් ඉටු කරන අතරේ අගමැතිවරයා වෙසක් පුන් පොහොය නිමිත්තෙන් අරලිය ගහ මැදුරේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් හා පහන් කූඩු ප්‍රදර්ශනයක්ද සංවිධානය කළ අතර එය විවෘත වූයේද අගමැති හා බිරිය මහාචාර්ය මෛත්‍රී අතින්. දින 05 ක් පුරා පැවැති එම ප්‍රදර්ශනය සඳහා ලක්ෂ ගණනක පිරිසක් පැමිණියා.

“අරලියගහ මන්දිරයට ආපු ගොඩක් අය ධාතු වදින්න, වෙසක් කූඩු බලන්න වගේම මන්දිරේ බලන්නත් ලොකු උනන්දුවක් තිබුණා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිවරයාටයි.

“අධි ආරක්ෂිත කලාප හැරෙන්න අනිත් හැම තැනම මිනිස්සුන්ට විවෘත කරන්න මම උපදෙස් දුන්නා.” අගමැති කීවා.

“වෙසක් බලන්න ආපු අයට ඇතුලෙ පොඩි දන්සැලකුත් තිබුණා නම් තමයි හොද.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදයි.

“ඇතුලෙ නොතිබුණාට ඒ අවට කෑම බීම අයිස්ක්‍රීම් කඩල දන්සැල් හුඟක් තිබුණා.මගේ රිය පෙළටත් කඩල වගයක් බෙදුවා මමත් කඩල දන්සැලෙන් කාල මේ ඉන්නේ.” අගමැති කී විට සියලු දෙනාම ඊට දැඩි සතුට පළ කළා.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා සුපුරුදු ලෙස අරලියගහ මැදුරට පැමිණියේ රාජකාරි සඳහායි. ධාතු ප්‍රදර්ශනය හා වෙසක් කූඩු ප්‍රදර්ශනය නිමාවීමෙන් පසුව පරීශ්‍රය පවිත්‍ර කිරීමේ කටයුතුද ඔහු අධීක්ෂණය කළා.

“ඉස්සර වගේ අපේ මිනිස්සු තැනකට ආවාම ඒතැන දැන් කිළිටි කරනවා අඩුයි. ඒක හොඳ ප්‍රවණතාවක්” අගමැතිවරයා කිව්වා.

“එජාප ප්‍රතිසංස්කරණ හා ඇමැති මාරුව ගැන එජාප දෙතුන් දෙනෙක් ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ දීල තිබුණා. ඇතැම් ජනමාධ්‍ය ඒවා විකෘති කරලා පළ කරන බව පේනවා” දයා ගමගේ කිව්වා..

“පසුපෙළ මැති ඇමතිවරු කියන ඇතැම් දේවල් ජනමාධ්‍ය විකෘති කරල අවශ්‍ය කෑල්ල විතරක් පෙන්නලා ප්‍රශ්න ඇතිකරන බව ප්‍රකාශ දීපු අයම අපට පැහැදිලි කරල තියෙනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

“විකෘති කරන ප්‍රකාශවලට පිළිතුරු දීමේ ක්‍රමවේදයක් එජාපය කඩිනමින් සූදානම් කරනවා. ඒවා ටී.වී. රේඩියෝ, පත්තර විතරක් නෙවෙයි සමාජ ජාලා හා ෆේස්බුක් අතරත් පැතිරවීමට තීන්දු කළා” මහලේකම් අකිල විරාජ් කාරියවසම් කිව්වා.

“ඇමැති මාරුව ගැනත් එජාප සුළු පිරිසකගේ යම් විරෝධාකල්ප තියෙනවා. ඒවාත් මේ දිනවල ජනමාධ්‍යවල යනවා. ඔවුන්ගේ අදහස් ගැනත් පක්ෂය අවධානය දැක්වීම අවශ්‍යයි” නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළා.

“එජාපය ඉල්ලුවත් අපේ පැත්තට අලුත් තනතුරු ලැබුණෙ නැහැ. ඒත් අගමැතිතුමා හෝ නොදැන අපේ අලි සයිඩ්ට නියෝජ්‍ය එකක් දීලා. ශ්‍රීලනිපයේ 03 දෙනෙකුත් ඒ නිසා අවුල් වෙලාලු” ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

“අපේ එජාප පසුපෙළත් මේ තත්ත්වය නිසා වැරදි අවබෝධයකට ගිහින් ඇති. මම ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලි කළා. එජාපයට ඉක්මනින් සාධාරණය ඉටුවිය යුතු බව අපේ ස්ථාවරයයි” අගමැතිවරයා පැහැදිලි කළා.

“රංගෙ බණ්ඩාරට කැබිනට් එකක් පොරොන්දු වුණත් දුන්නෙ නැහැ කියල එතුමා චෝදනා කළා” චමින්ද විජේසිරි කිව්වා.

“එතුමාට කවුරුවත් එහෙම පොරොන්දුවක් දීල හෝ කවුරුවත් එතුමා වෙනුවෙන් එහෙම ඉල්ලීමක් කරලවත් නැහැ. ඇත්ත ඒකයි” එහි සිටි නීති අංශ නිලධාරියෙක් කිව්වා.

“අකිල නව මහා ලේකම් තුමාට අධ්‍යාපන ඇමතිකම විතරයි ඉතිරි කළේ. සංස්කෘතික ගලවල විජේදාස ඇමතිතුමාට දුන්නා. ඒක එක අතකට මහ ලේකම්කමේ වැඩ කරන්න පහසුවක්” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා එකහෙලා අනුමත කළා.

” මහා ලේකම්කම “පුල්ටයිම්” කරල එජාපය කරකවල උඩට ගන්නවා” අකිල විරාජ් කී විට සියලු දෙනා ඔහුට සුබ පැතුවා.

“මට බුද්ධ ශාසන තිබුණු කාලෙ ලොකු සේවයක් කරන්න ලැබුණා. දැන් සංස්කෘතික දීපු නිසා ඊටත් ලොකු දෙයක් මට කළ හැකියි. මහින්ද රාජපක්ෂලා මේ රටට පටවපු සයිටම් අර්බුදයත් ඉක්මනින් විසඳන්න ඕනෑ” විජේදාස රාජපක්ෂ කී දේට අගමැතිවරයාද එකඟත්වය පළ කලා.

“ඇමැති මාරුව විද්‍යාත්මකද කියල විපක්ෂය හා සමහර ජනමාධ්‍ය ප්‍රශ්න කරනවා. සමහරු ඒ ගැන උසුළු විසුළුත් කරනවා” සජිත් ප්‍රේමදාස කිව්වා.

“මහින්දගෙ කාලෙට වඩා නම් දැන් මේ ඇමැති මාරුව ඉතා විද්‍යානුකූලයි.විෂයන් බෙදුවාම විද්‍යානුකූල බව තවත් තහවුරු වේවි.” ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

“එජාප විකල්ප නායකයා කවුද කියල කියන්නැයි එජාප පසුපෙල ඉල්ලනවා නේද” දයා ගමගේ කීව්වා.

“නායකත්වයට ඉදිරිපත් වෙන්නත් කෙනෙක් ආවේ නෑ. විකල්ප නායකයො එලිවෙනවාටත් ඒ සමහරු කැමති නෑ.එහෙම නම් එජාප පසුපෙල විකල්ප නායකයන්ගේ නම් අහන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ.” අගමැති කිව්වා.

“විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීල අනාථ වූ ශ්‍රීලනිප 16 දෙනා මල්වතු අස්ගිරි හාමුදුරුවරු හමුවෙලා මීඩියා සංදර්ශන දාන්න ගිහින් තවත් අනාථ වුනා.”ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදයි.

“පොහොට්ටුවේ ඇතුලෙ කල්ලි 03, 04 ක් මරා ගන්නවා. ගෝඨා-බැසිල්-මහින්ද-නාමල් කල්ලියි විකල්ප කල්ලියි එකාට එකා නෑ.2019 ජනාධිපති අපේක්ෂකකම් බෙදා ගන්න මුහුදට හත් ගව්වක් තියල අමුඩ ගහන්න ගිහිල්ලයි කට්ටිය නාන්නේ” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළේ උස් හඬින් සිනාසෙමින්.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ 25 වැනි ගුණ සමරුව වෙනුවෙන් පැවැති ගුණ සමරු වැඩසටහන්වල කූටප්‍රාප්තිය වූයේ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියස දී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ගුණසමරු උත්සවයයි. විශාල ජනකායක් සහභාගී වූ මෙවර ගුණ සමරු උත්සවයේ දී ඔස්ට්‍රේලියාවේ පැවැති 2018 – පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රහණ අත්පත් කරගත් ඉන්දික චතුරංග දිසානායක, අනූෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු, දිනූෂා හංසනී ගෝමස්, තිවංක සඳරුවන් රණසිංහ, ඉෂාන් රංජීව සෙනෙවිරත්න බණ්ඩාර සහ චතුරංග ලක්මාල් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනාට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් මොරටුව, අඟුලාන ‘සයුරුපුර’ මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස 6ක් පිරිනැමීම විශේෂ සිද්ධියක් වුණා. “මේක බොහොම හොඳ වැඩක්.

ක්‍රීඩාවට ලොකු හයියක්” ජනාධිපතිවරයා කියද් දී අගමැතිවරයාද එය අනුමත කරමින් කීවේ ‘බොහොම හොඳයි සජිත් මේක අගය කළ යුතු වැඩක්” කියායි. උත්සවයේ දී සින්නක්කර ඔප්පු, බදු ඔප්පු, හිමිකම් පත්‍ර, විකුණුම් ගිවිසුම් හා “සොඳුරු පියස” ණය ආධාර 2, 654 දෙනකු වෙත ලබා දුන් අතර දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 81 දෙනෙකුට සහන ලබා දුන්නා. සජිත් අගමැතිවරයාට කීවේ “දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇති අයට සහන සැලසීම අතින් අපේ අමාත්‍යාංශය ඉන්නේ පළමු වැනි ස්ථානයේ” කියා යි. එයද අගමැතිවරයාගේ ප්‍රසාදයට හේතු වුණා.

ඇමැති වජිර අබේවර්ධන සෙනසුරාදා සවස කුරුණෑගල ගියේ නිල සෙවණ කාර්යාල කිහිපයක් විවෘත කිරීමටත් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කිරීමේත් අපේක්ෂාවෙන්.

මේ සඳහා බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත්වරු ද එක්ව සිටියා.

දේවගිරි විහාරයේ දී වෙසක් උත්සවය වෙනුවෙන් ඇමැති වජිර ඇතුළු පිරිස පහන් සිළු දල්වමින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය සනිටුහන් කළා. මේ වනවිට ඇතැම් මාධ්‍ය මගින් වෙසක් දිනය අප්‍රේල් මාසයට යෙදී තිබීම සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ කරමින් තිබීම හේතුවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන රැස්ව සිටි මහා සංඝරත්නයත්, ජනතාවත් අමතා ඒ ගැන පැහැදිලි විස්තරයක් කළා.

”වෙසක් ඇතුළු පොහොය දින තීරණය කරන්නේ චන්ද්‍රයාගේ ගමන් මග අනුව. හඳ පායන දවස හඳ මෝරණ දවස අමාවක දවස අපිට තීරණය කරන්න බැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. පොහොය යොදා ගන්නේ ඒ විදියට. ඉස්සර කාලේ ලංකාවේ තිබුණේ චන්ද්‍ර මාස ක්‍රමයක්. ඒ මාස තමයි බක්, වෙසක්, පොසොන්, ඇසළ වගේ නම්වලින් හඳුන්වන්නේ. නමුත් අපි දැන් හඳ පායන විදියට හදපු පොහොය දිනය යුරෝපයෙන් අපිට ලැබුණු ග්‍රෙගිරියානු කැලැන්ඩරයට දාලා බලනවා. මේ දෙක එකකට එකක් ගැළපෙන්නේ නැහැ.

පොහොය තීරණය කරන්නේ මහා සංඝරත්නයත් ඉන්න, තාරකා විද්‍යාව, නක්ෂත්‍ර විද්‍යාව, ගැන දන්නා විද්වත් කමිටුවක් මගින්. 2018 වර්ෂය කියන්නේ පොහොය 13ක් තියෙන අවුරුද්දක්. මේ අවුරුද්දේ මාර්තු මාසයට පොහොය දෙකක් තිබුණා. පෙරවාරි මාසයට එක පෝයක්වත් නැහැ. මේ නිසා චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගණනය කිරීමේ දී වෙසක් පොහොය යෙදී තිබෙන්නේ යුරෝපයෙන් අපිට දීපු කැලැන්ඩරයේ අප්‍රේල් 29 දා. ඉතින් මේක ගැන නිවැරදිව අධ්‍යයනය නොකර හරියට විස්තර නොදැන ඇතැම් අය කතා කරනවා. මෙකේ ඇති ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමය නිවැරදියි. පොහොය කමිටුව ලබාදෙන නිර්දේශය තමයි අපි ගැසට් කරන්නේ. මේක රජයේ වැඩක් නෙවෙයි විද්වතුන් තමයි පොහොය තීරණය කරන්නේ.”

ඇමැති වජිර වෙසක් දා කරන්දෙණියේ හිපන්කන්ද මාර්ගයක් විවෘත කරන්නට ගියා. ඒ හිපන්කන්ද ශ්‍රී පාද විහාරස්ථානයට යන මාර්ගය ලක්ෂ 11ක වියදමින් සාදා නිම කිරීමෙන් අනතුරුවයි.ඉන් පසු ගාල්ල නගරය හා ඒ අවට විහාරස්ථාන ගණනාවකට ගිය වජිර ඇමතිවරයා දන්සැල් කිහිපයකට ගොස් ඒවායේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් සිටිය දී ඉතා දුක්ඛදායක ආරංචියක් ලැබුණා.

ඇමතිවරයාගේ කාර්යමණ්ඩලයෙන් දුරකථනයට පැමිණි ඇමතුමෙන් කීවේ සුළු වේලාවකට පෙර මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මියගිය බවයි.

”ඉහළම ගෞරව ඇතිව එතුමාගේ ආදාහන කටයුතු කරන්න වෙනවා.” ඇමතිවරයා කීවා.

මොහොතකින් වජිර ඇමතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමතුම් ලැබුණා. ඉන් උපදෙස් ලැබුණේ මහා සිනමාකරුවාගේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කළ යුතු බවයි. මහ රාත්‍රියේ කොළඹ පැමිණි වජිර ඇමතිවරයා සිය කාර්ය මණ්ඩලයටත් අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් උපදෙස් දුන්නේ ලෙස්ටර්ගේ ආදාහනය සඳහා සඳුදා සවස තුනට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගීවන ලෙසයි. ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සඳුදා නිවාඩු දිනයක් වූයේ නැහැ.

සඳුදා උදෑසනම ඇමැති වජිර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සමඟ ලෙස්ටර්ගේ ගෙදරට ගියා. ඒ වනවිට ලෙස්ටර්ගේ දේහය නිවසට ගෙනවිත් නොතිබුණු අතර ලෙස්ටර්ගේ පවුලේ ඥාතියකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද කලාකරුවන් විශාල පිරිසක් ද නිවසට පැමිණ සිටියා. ඔවුන් සමඟ අවශ්‍ය ඉදිරිකටයුතු සාකච්ඡා කළ අගමැතිවරයා රාජ්‍ය ගෞරව සහිතව ලෙස්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉටුකිරීමේ වගකීම වජිරට පැවරුවා.

මෙවර මැයි දින සැමරුම් වෙසක් සතිය හේතුවෙන් 07වෙනිදාට කල්දැමීමට ආණ්ඩුව තීරණය කළා. කොළඹ මැයි රැලි පැවැත්වීමේ ප්‍රායෝගික අපහසුව නිසා ජනතා විමුක්ති පෙරමුණ මැයි පළමුවෙනිදා යාපනයේ දී මැයි දින සැමරුමක් සංවිධානය කළා.එහි තේමාව වුණේ ”ජාතික සමගිය සමාජ සාධාරණත්වය ගොඩනගන ජනතාවාදී පාලනයක්” යන්නයි. ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් යාපනය රක්කා පාරේ චුණ්ඩික්කුලි ක්‍රීඩාපිටියෙන් පෙළපාළිය ආරම්භ කළ අතර මැයි දින රැලිය යාපනය නගර සභා පිටියේ දී පැවැත්වුණා. පෙළපාලිය ආරම්භ කර සුළු මොහොතකින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ජවිපෙ මැයි පෙළපාලියට එක්වුණා. ඔහු දෙමළ ජාතික සන්ධානයේ මැයි දින සැමරුමට යමින් සිටි අතර ජවිපෙ පෙළපාලිය දැක සිය වාහනය නතර කොට ජවිපෙ නායක අනුර දිසානායක සමඟ පෙළපාලියේ ටික දුරක් ගමන් කොට මැයි දින සැමරුමට සුබපතා පිටත්ව ගියා.

යාපනයේ දී පැවැත්වූ ජවිපෙ මැයි දින සැමරුම සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වුණේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) මධ්‍යම කාරක සභික සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති ඒ.සවුන්දර් රාජන්ය. මීට අමතරව යාපනය හස්ත කර්මාන්ත සංගමයේ සභාපතිවරයා, සුළු ජාතික දෙමළ සංගමයේ ලේකම්, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාමිනාදන් විමල් ඇතුළු ධීවර සමිති නායකයින් වෘත්තීය සමිති නායකයින්, ගොවි සමිති නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා. යාපනයේ පැවැති එකම මැයි දින පෙළපාළිය වූයේ ජවිපෙ විසින් සංවිධානය කළ මැයි දින පෙළපාලිය වීම විශේෂත්වයක්. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ඒ සවුන්දර් රාජන් ජවිපෙ මැයි දින පෙළපාළිය හා රැලිය පිළිබඳව ඉතා ප්‍රශංසනාත්මකව කතා කළා. ඔහු කියා සිටියේ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ජවිපෙට පමණක් බවයි.

මේ අතර ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් රූපවාහිනි සංවාදයක දී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට ජවිපෙ යාපනය මැයි දින සැමරුමක් පැවැත්වීම පිළිබඳව ජවිපෙට ස්තූතිය පළ කළා. ”ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජවිපෙ ගත්ත එම ක්‍රියාමාර්ගය ගැන අපි සතුටු වෙනවා” ඇමතිවරයා රූපවාහිනී සංවාදය තුළද ඒ පිළිබඳව මතක් කළා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගියදා පැවැති හමුවක දී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.මෙහි දී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සංශෝධනය සහ 20 වැනි සංශෝධනය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනා පිළිබඳව අවධානයට ලක්වුණා. ”රටේ ජනතාවට ජනාධිපතිවරයා එක එක වෙලාවේ එක එක දේවල් කියනවා. කැබිනට් එක විද්‍යාත්මකව හදනවා කියලත් ජනාධිපතිවරාම කිවුවා. ඒත් දැන් වෙලා තියෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයි. දුමින්දගේ ඇමතිකම මහින්ද අමරවීරට දීලා. අමරවීරගෙ ඇමතිකම සොයිසට දීලා. සොයිසගෙ ඇමතිකම දුමින්දට දීලා. මේක කොහොමද විද්‍යාත්මක වෙන්නේ.” විජිත හේරත් කීවා. ”මොන විද්‍යාවක්ද? මෛත්‍රී කණ්ඩායමේ කට්ටිය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ඇමතිකම් ටික කාට කාට හරි දෙන්න කැබිනට් සංශෝධනයක් ඕන වුණා. ඒකට විවිධ කතා කිවුවා. අන්තිමේ දී කැබිනට් එකෙන් අයින් කරපු අයටත් ඇමතිකම් දීලා. දෙන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ.” සුනිල් හඳුන්නෙත්ති කීවා.

මේ අතර ජවිපෙ විසින් ගෙන ඒමට නියමිත 20වැනි සංශෝධනය පිළිබඳව මේ වනවිට විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ලවීමට පටන්ගෙන තිබෙනවා.ඇතැම් අය 20 ගැන කලබල වෙලා තියෙන්නේ ඒ සංශෝධනයේ කරුණු දැකලත් නැතුවයි. ඒ අයගේ ඔළුවේ තිබුණ බල ව්‍යාපෘතිය අවුල් වෙන නිසා 20 ගැන බොරු භීතියක් හදන්න උත්සහ කරනවා. මේ කට්ටියම තමයි ව්‍යවස්ථා කෙටුම්පත ගැන බොරු බේගල් කිවුවේ.” අනුර දිසානායක කියා සිටියා. ”රට බෙදෙන එක ගැන විධායක අගමැති ධුරයක් හදන එක ගැන, එජාපයේ කොන්ත්‍රාත් කරන එකක් ගැන ඒකාබද්ධයේ ඇතැම් පක්ෂවල අය කතා කරනවා. 20 වැනි සංශෝධනයේ කරුණු දැක්කාම ඒ අයටම තමන් කියපු කතා අකුල ගන්න සිදුවෙනවා. 13 වැනි සංශෝධනයට බලපාන බලතල කිසිවක් ජනාධිපතිවරයාගෙන් ඉවත් වෙන්නේ නැහැ. අනෙක ජනාධිපතිවරයාගේ බලතල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට සහ ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන නිසා විධායක අගමැති කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා දැන දැනත් ඇතැම් අය වැරදි මත හදනවා.” බිමල් රත්නායක කීවා.

”මේ කෙටුම්පත ගැන අනෙක් පක්ෂ එක්ක සාකච්ඡා කරනකොට මේ ගැටලූ බොහොමයක් විසඳෙනවා. කෙටුම්පතේ තියෙන කරුණු රටට හෙළි කළාම ගොඩක් අයට බොරු ප්‍රචාර නවත්වාගන්න වෙයි. තමන්ගේ දේශපාලන ගේම් එක අවුල් වෙන නිසා තමයි ගොඩක් අය මේකට විරුද්ධ වෙන්නේ.” ටිල්වින් සිල්වා කීවා.

වෙසක් සතිය හේතුවෙන් කල් දැමීමට සිදු වූ මැයි දින සැමරුම ජවිපෙ විසින් 07වෙනිදා පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ‘සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන, ජනතාවාදී පාලනයක්’ යන්න මෙවර තේමාවයි. ජවිපෙ මැයි දින පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියෙන් 07වෙනිදා පස්වරු 1.00ට ආරම්භ කෙරෙන අතර බීආර්සී පිටියේ දී සවස 4.00ට රැලිය ආරම්භ කිරීමට නියමිතයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කිරීමට යන යෝජනාවට සහාය දීමට මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් බහුතරය ගෙන ඇති තීරණය නිසා එම කණ්ඩායමේ බරපතළ මත ගැටුමක් හටගෙන තිබෙනවා. එහි දී එම යෝජනාවට විරුද්ධ විය යුතු බව දැඩි ලෙසම පවසන්නේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණයි.

ජාතික නිදහස් පෙරමුණෙන් තරගකොට පළාත් පාලන ආයතනවලට පත් වූ නියෝජිතයන්ගේ රැස්වීමක් අඟහරුවාදා පැවැත්වුණේ කඩුවෙල මහ නගර සභා රැස්වීම් ශාලාවේදීයි. එහි දී කතා කළ විමල් වීරවංශ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට දැඩි ලෙස පහර ගැසුවා. ඔහු එය හඳුන්වන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයට කවන්නට යන ලණුවක් වශයෙන් .මෙය පෙබරවාරි 10 දා ආණ්ඩුවට පක්ෂව හා ආණ්ඩුවට විපක්ෂව ලෙස ඇඳුණු බෙදුම් රේඛාව වෙනස් කිරීමක් බව වීරවංශ මහතා කීවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක් පවත්වන විට රනිල් වික්‍රමසිංහ මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් එකට සිට එයට සහාය දීමට සිදුවන බව ඔහු කීවා. අනුර කුමාර දිසානායක, ආර්.සම්බන්දන්, හකීම්, රිෂාඩ් බදියුදීන් ආදි සියලු දෙනාට එකට සිටීමට වන බව කී වීරවංශ මහතා ආණ්ඩුවට පක්ෂව හා විපක්ෂව ලෙස තිබෙන බෙදුම් රේඛාව මැකී යන බවත් කීවා. මෙය උගුලක් බවත් විපක්ෂයට කවන්නට යන ලණුවක් බවත් ඔහු කියා සිටියා.

මේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට මෑතක් වනතුරු විරුද්ධව සිටි වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට වෙනත් මතයක් ප්‍රකාශ කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයක් මගින් කියන්නේ 2019 අග ජනාධිපතිවරණය එනතුරු සිට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කොට ජයගැනීමට පිරිසක් කල්පනා කළත් එතෙක් කල් ඉවසා සිටීම භයානක බවයි. අධිරාජ්‍යවාදී බලවේග අවතක්සේරු නොකළ යුතු බවත් ආණ්ඩු විරෝධය ගිනියම් වී ඇති මේ මොහොතේම මැතිවරණයක් ලබාගත යුතු බවත් වාසුදේව මහතා කියනවා.

එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙ ගෙන එන යෝජනාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද අඩංගු කළ යුතු බවත්, එසේ වුවද විධායකය අහෝසි විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමෙන් පසුව බවත් ඔහු කියනවා. රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැර මෛත්‍රී ජනාධිපති යටතේ මහමැතිවරණයක් ලබාගෙන බලය ගැනීම වාසුදේව මහතා යෝජනා කරන උපාය මාර්ගයයි. ඒකාබද්ධ විපක්ෂයේ මත ගැටුම ප්‍රසිද්ධියේම සිදුවන තත්ත්වයට පත්ව තිබෙන්නේ මේ ආකාරයෙන්.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *