ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී , දැව සංස්ථා සභාපති කෝටි 2ක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කන්තලේ සීනි කර්මාන්තශාලාවේ කොටස් මිලටගෙන රජයට වැඩි කොටසක් පවරා එය දියුණු කර ප්‍රමිතියෙන් ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉදිරිපත් වූ ඉන්දීය ජාතික ආයෝජකයකුට එම කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි පනස්හයක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ඊයේ (03) ලබාගන්නා අවස්ථාවේදී ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ දැනට ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එම්. කුසුම්දාස මහතා හා දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ඔහු සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය යටතේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආයතන ප්‍රධානීන්ට නිරතුරුවම ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විනිසුරු මඬුල්ල සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම පුද්ගලයාට අදාළ පැමිණිල්ල බාරගෙන සිය වැටලීම් කටයුතු ක්‍රියාත්මක කිරීමට අල්ලස් විමර්ශන අංශයට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව කොළඹ තරුපහේ හෝටලයක රථගාලයේදී එම මුදල් සැකකරු විසින්ම ඉන්දියන් ජාතික ආයෝජකයාගෙන් ලබාගන්නා අවස්ථාවේ අල්ලස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටින අවස්ථාවේ එනම් මීට සති කිහිපයකට පෙර ඉන්දියන් ජාතික ආයෝජකයා කන්තලේ සීනි කම්හල ආයෝජනය කිරීමේ කර්තව්‍යයට ඉදිරිපත් වී තිබිණි.

ඒ අවස්ථාවේදී එම කටයුතු නිසියාකාරව සිදුකර එම ආයෝජකයාටම එය ලබාදීම සඳහා ප්‍රථමයෙන්ම රුපියල් කෝටි පනස්හයක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.

එම මුදල වැඩි බව පවසා එය අඩුකිරීමට දෙදෙනා අතර සිදුවූ කතාබහක් සමඟ සති දෙක තුනක කාලයක් ගතවී තිබිණි.

ඉන්දියන් ජාතිකයාගේ දැඩි ඉල්ලීම මත කෝටි පනස්හයේ අල්ලස් මුදල කෝටි දහය දක්වා අඩුකර තිබේ. එම මුදල ලබාදීමට දෙදෙනා අතර එකඟත්වයකට පැමිණි පසු ඉන්දීය ජාතිකයා විසින් අදාළ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.

අනතුරුව එම කෝටි දහයේ මුදලින් කෝටි දෙකක මුදල ඊයේ (03) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථගාලයේදී හුවමාරු වන අවස්ථාවේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත. අනතුරුව සැකකරු අද දින කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් කුරුඳුවත්ත පොලිසියේ රඳවා ඇත.

විජයානි එදිරිසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *