ලෙස්ටර් ජේම්ස් පීරිස් නැත්නම් මේ වර්තමාන චිත්‍රපට කලාව ලංකාවෙ නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ලේස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා මට අන්තිම වතාවට මුණගැහුනෙ එතුමාගෙ උපන්දිනෙන් පස්සෙ. උපන්දිනය දා එතුමා අසනීපෙන් සිටිය නිසා උපන්දිනයට සහභාගි වෙන්න බැරි වුණා. ඊට පසුසෙ මමත් මගෙ භාර්යාවත් එතුමව මුණගැහුණා. එතුමා කාරණා ගණනාවක් ගැන මා සමඟ කතා කෙරුවා. එතුමගෙ මතකය ගැන මම පුදුම වුණා. ඉංග්‍රිසි කවියක් එතුමා කිව්වා. ඒක ප්‍රසිද්ධ එකකුත් නෙමේ. අපි දීර්ඝ වශයෙන් කතා කෙරුවා. අපි ආපහු එන්න හදනකොට අයිවන් පීරිස් මැතිතුමාගෙ චිත්‍රයකුත් මට ලබල දුන්නා. මම හිතුවා තව මාස කිහිපයකින් ඇවිල්ලා එතුමා මුණ ගැහැන්න ඕනැ කියල. මගේ දෙමාපියන්ගෙ පරම්පරාවේ ජීවත් වෙච්ච අන්තිම පුද්ගලයා හැටියට එතුමගෙ මතකය ගැන පුදුම වුණා.

මම එතුමා පළමුවෙන් මුණගැහුණෙ පාසල් ශිෂ්‍යයෙක් හැටියට සරසවි චිත්‍රපට උළෙලෙ ගම්පෙරළියට සම්මාන ලැබුණු අවස්ථාවේ දී මම මගෙ මව සමඟ ලෙස්ටර් ජේම්ස් පිරීස් අමතන්න මට අවස්ථාවක් ලැබුණා. එතුමගෙ චිත්‍රපට නැරඹීමට මම හැ‍ම වෙලාවෙම සම්බන්ධ වුණා. එතුමගෙ චිත්‍රපටයක් ගැන දැනුම් දුන්නම විශේෂයෙන් රීගල් සිනමාහලේ වෙන්න පුළුවන්, සැවෝයි සිනමාහලේ වෙන්න පුළුවන් අපි ගිහින් එය නරඹනවා.‍

ලෙස්ටර් මැතිතුමා ඇත්ත වශයෙන්ම චිත්‍රපට තුළින් සිංහල සමාජය නිරූපණය කෙරුවා. මෙතෙක් කල් හින්දි දකුණු ඉන්දියානු චිත්‍රපට අභාෂයෙන් අපේ චිත්‍රපට නිර්මාණය වුණේ. එතුමට ශක්තියක් තිබුණා ඒ සම්ප්‍රදායෙන් කැඩිල කිසිම බයක් නැතුව ඉදිරිපත් වෙලා රේඛාව අධ්‍යක්ෂණය කරන්න. එක තමයි එතුමගෙ ආරම්භය. එත් රේඛාව ප්‍රදර්ශයන කරපු අවස්ථාවෙදි බොහොම දෙනෙක් කිව්වෙ මේක මෙතනින් ඉවරයි කියල. ආපහු සම්ප්‍රදායික විදිහට තමයි අපිට චිත්‍රපට හදන්න වෙන්නෙ කියල. එත් ඒක එහෙම වුණේ නැහැ. එතුමත් එක්ක හොඳ පිරිසක් හිටිය. එතුමට සහයෝගය දෙන්න පිරිසක් හිටිය. හැටේ දශකයේ එතුමා චිත්‍රපට හයක් අධ්‍යක්ෂණය කළා. සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, අක්කර පහ ඒ චිත්‍රපටයි. 1960 – 1983 යි ඒ අතරතුර එතුමා චිතපට 14ක් අධ්‍යක්ෂණය කළා. එමගින් එතුමගෙ අදහස්, එතුමගෙ කලාව චිත්‍රපට තුළට ඇතුල් වුණා. එහෙම නොවුන නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්වත්, මේ වර්ථමාන චිත්‍රපට කලාවවත් ලංකාවෙ තිබෙන්නෙ නෑ. එහෙම නම් සිංහල කියල, ලාංකීය කියල චිත්‍රපට කලාවක් නොතිබෙන්න තිබුණ. ඒ නිසා අපි විශේෂයෙන්ම එතුමට ස්තූතිවන්ත වෙන්න ඕනැ එතුමා නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට නිසා.

ඒ විතරක් නෙමෙයි නවකතා චිත්‍රපටගත කිරීමේ ලෝක වාර්ථාවක් ලෙස්ටර් ජේම්ස් පීරිස් ට තියෙනව. එතුමා මාර්ටින් වික්‍රමසිංහගෙ නවකතා 4ක් එනම් ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, මඩොල්දූව ඒ වගේම කරුණාසේන ජයලත්ගෙ ගොළු හදවත ඒවගේම එතුමා ලෙනාඩ් වුල්ෆ්ගෙ විලේජ් ඉන් ද ජංගල් හෙවත් බැද්දෙගම ඒ වගේම ඇන්ටන් චෙකෝෆ්‍ ගෙ කතාවක් පදනම් කරගෙන වෑකන්ද වලව්ව ඒ වගේම රූපාවාහිනියට ගිරය නිෂ්පාදනය කළා. ඒක ලෝක වාර්ථාවක් හුඟදෙනෙක් චිත්‍රපට ගත කළේ එක නවකතාවක් පමණයි. ගෝඩ් වින් ද වින්ඩි වගේ දීර්ඝ ඒවා වෙන්න පුලුවන, කෙටි ඒවා වෙන්න පුළුවන් එකක් පමණයි. ඒත් ලෙස්ටර් තුන් ඈඳුතු නවකතා තුනක් චිත්‍රපට ගත කෙරුවා. ඉංග්‍රීසි භාෂාවේ ඒ විදිහට තියෙන්නෙ එක් නවකතාවක් පමණයි එකට එක සම්බන්ධ නවකතා වශයෙන්. එයින් එක චිත්‍රපටයයි චිත්‍රපට ගත කරල තියෙන්නෙ. සම්පූර්ණ නවකතා 3 රූපවාහිනියෙන් පමණයි ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නන්න පුළුවන් වුණේ. එතුමට දක්ෂකම තිබුණා ඒ චිත්‍රපට තුනම චිතුපට ගතකරන්න. ඒ විතරක් නෙමෙයි බැද්දෙගම දිහා බලපුවම ඒක ඉංග්‍රීසි පොතක් ලෙනාඩ් වුල්‍ෆ්ගෙ විලේජ් ඉන් ද ජංගල්. ඒ නවකතාවෙ හරය ආරක්ෂා කරල එතුමට පුළුවන් වුණා විශිෂ්ඨ චිත්‍රපටයක් නිර්මාණය කරන්න.

එතුම පටන් ගත්ත ගමන සුමිත්‍රා පීරිස් මැතිණිය ඉදිරියට ගෙනගියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට රෙජී සිරිවර්ධන, තිස්ස අබේසේකර ගී පද රචනයෙන් අරිසෙන් අහුබුදු වගේ කණ්ඩායම් හිටිය. ‍බොහෝ චිත්‍රපටවල සංගීත නිර්මාණය කෙරුවෙ සුප්‍රසිද්ධ නිමල් මෙන්ඩිස් මැතිතුමා.

අපි එතුමගෙ උරුමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනයන්න අවශ්‍යයි. නවක චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට ඒ චිත්‍රපට අභාෂයෙන් එතුමටත් වඩා ඉහළ තලයකට යන්න මඟ පෑදිය යුතුයි. එතුමා චිත්‍රපට කලාව ජාත්‍යන්තර තලයකට ගෙනිච්චා. නිදහසින් ප‍සසෙ වැඩිම බලපෑම් ඇති කළ දෙන්නා හැටියට සැලකෙන්නෙ එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාත්. ඒ දෙදෙනාගෙ බලපෑම තමයි 60 දශකයෙ අපිට බුක්ති විඳින්න ලැබුණෙ. ඒ පටන්ගත්ත පරිවර්තනය තුළින් අපිට ඉදිරියට යන්න තියෙනව. ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට වගේම එතුමාගේ සහෝදර අයිවන් පීරිස්ටත් දක්ෂකමක් තිබුණා. එතුමා ජෝර්ජ් කිට්, ජස්ටින් දැරණියගල, මංජු ශ්‍රී වගේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලයනල් වෙන්ට් තමයි ‍මේක ආරම්භ කළේ. ඒ වගේම ජෙෆ්රි බාවා වගේ අද අපි ඉන්න සමාජයේ කලාව නිර්මාණය කළ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කලාව නිර්මාණය කරපු පරම්පරාවෙ අන්තිම පුද්ගලයා වන අද සමුගෙන යන ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට මගේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම එතුමාට මම ආචාර කරනවා. මගේ කනගාටුව සුමිත්‍රා පීරිස් මැතිණියටත් පවුලේ සියලු දෙනාටත් මම ප්‍රකාශකරනවා. ලෙස්ටර් ජේම්ස් මැතිතුමාට නිවන් සැප ලැබේවා! කියා මම ප්‍රාර්ථනා කරනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දෙවියන්ගේ ආශිර්වාදයෙන් ස්වර්ගයේ සැතපේවා! කියා මා ප්‍රාර්ථනා කරනවා.

සටහන                                                                                                                                                        මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *