|

එජාප, ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන : පොහොට්ටුවේ මත ගැටුම්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපතිතුමා පෙරළා පැමිණීමට ‍ප්‍රථම ඉකුත් 21 දා ලන්ඩන් නුවර පැවැති අලුත් අවුරුදු උළෙලට සහභාගි වුණා. මෙම උළෙල ලන්ඩන් නුවරදී පැවැත්වුණේ අඛණ්ඩව 28 වැනි වතාවටයි. ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නායක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම උළෙල පැවතියේ ලන්ඩන් නුවර හැරෝ ලේසර් මධ්‍යස්ථානයේදීයි. ශ්‍රී ලාංකිකයන් හාරදහසක් පමණ සහභාගි වූ මෙම අලුත් අවුරුදු උළෙලට ජන ක්‍රීඩාද එකතු කර තිබුණා. සංස්කෘතික උළෙලකින්ද එය වර්ණවත් වුණා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ජනාධිපතිතුමා තම සුබපැතුම් එක්කළා. රටක නීතියකට වඩා එරට සිරිත් විරිත් බලවත් බව කී ජනාධිපතිතුමා හෙළ සිරිත් අනුව අවුරුදු උළෙල සංවිධානය කොට තිබීම අගය කළා.

බ්‍රිතාන්‍යයේ කළ සාර්ථක සංචාරයෙන් පසුව ජනාධිපතිතුමා ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන්පසු කාලය ජනාධිපතිතුමාට අතිශයින් කාර්යබහුල කාලයක් වූයේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමට සිදුව තිබූ නිසයි. එමෙන්ම සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමද අඟහරුවාදාට යෙදී තිබුණා. සුපුරුදු පරිදි පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සුහදව සියලු ප්‍රශ්න සාකච්ඡාකොට වැදගත් තීන්දු රාශියක් ගැනීමට ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලයට හැකියාව ලැබුණා.

කැබිනට් මණ්ඩලයේ රැස්වීමෙන් පසුව ජනාධිපතිතුමා තමා සමඟ සිටින හා ආණ්ඩුවේ දිගටම රැඳී සිටින්නට කැමැත්ත ප්‍රකාශකොට ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසිතුන්දෙනා හමු වී පවතින තත්ත්වය සාකච්ඡා කළා. එදිනම සවස එතුමා හමුවූයේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් හිටපු ඇමැතිවරුන් දහසය දෙනාගේ කණ්ඩායමයි. දිගටම තමන් සමඟ රැඳෙමින් සහාය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා. පසුව ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම එකට රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තීරණයක් ගැනීම පක්ෂයේ විධායක සභාවේදී සිදුකරන බවට දහසය දෙනාගේ කණ්ඩායම ප්‍රකාශකොට තිබුණත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා රාත්‍රියේ පැවැති විධායක සභා රැස්වීමේදී එබඳු තීරණ ගැනීමක් සිදුවූයේ නැහැ. එහිදී තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකළ යුතු බවටයි. පක්ෂයේ මැයි දින සමරු රැලිය 7 වැනිදා මඩකළපුවේදී පැවැත්වීමටද තීරණය වුණා. එයට රටේ සෑම ප්‍රදේශයකින්ම පක්ෂයේ ක්‍රියාකාරීන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ගත යුතු පියවරද සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් දීමට ජනාධිපතිතුමා කටයුතු කළා.

ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව නිමා කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණියේ ඉකුත් ඉරිදා යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ හමුව ඊට පසු දින පැවැත්වුණා. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවේදී විශේෂ අවධානය යොමු කෙරුණේ සිදුකිරීමට නියමිත කැබිනට් ‍සංශෝධනය ගැනයි.

අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව ගෙනා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයෙන් පසුව කෙරෙන කැබිනට් සංශෝධනය ගැන ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය එහිදී යොමු වුණා.

ඒ සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී කතා කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙම හමුවේදී පෙන්වා දුන්නා. අගමැතිවරයාගේ අදහස වුණේ කල් නොයවාම කැබිනට් සංශෝධනය කළ යුතු බවයි. මන්ද පළාත් පාලන ඡන්දය අවසන් වී මාස තුනක් ගතව ඇති අතර මේ හේතුව නිසා රාජ්‍ය අංශයේ කටයුතු මන්දගාමී වී ඇති බව අගමැතිවරයා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළා.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ගත වූ කාල සීමාවේ දී අගමැතිවරයාගේ පූර්ණ අවධානයට ලක්වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැනයි. පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ හා තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා ලබාගනිමින් කාලය ගත කළ අගමැතිවරයාගේ දෛනික කටයුතු අවසන් වන විට බොහෝ දිනවල මධ්‍යම රාත්‍රියද අවසන්ව තිබුණා.

කෙතරම් කාර්යබහුල වුවත් අගමැතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත ගියේ තීරණාත්මක පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගීවීම සඳහායි. අග්‍රාමාත්‍යවරයා පස්වන පටුමගේ සිය නිවසින් පිටත්වන අවස්ථාවේදී තම රථයට හිතවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුද නංවා ගත්තේ වත්මන් තත්ත්වය පිළිබඳව දල අවබෝධයක් ගැනීමේද අදහස ඇතිවයි.

ඊට පෙර දිනයේ (බදාදා) රාත්‍රියේ අභිනවයෙන් පිහිටුවන ලද දේශපාලන මණ්ඩලයේ තීරණාත්මක සාකච්ඡාව අරලියගහ මන්දිරයේ පැවැත්වුණා. එහිදී පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට කරන පත්වීම් දේශපාලන මණ්ඩල සභිකයන් විසින් අනුමත කළා.

විශේෂයෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක ඇතුළු පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලටම බෙදීමකින් ‍තොරව ඒකමතිකව සුදුස්සන් පත් කරගැනීමට හැකිවීම සෑම දෙනාගේම සතුටට හේතුවක් වී තිබුණා.

දේශපාලන මණ්ඩලයේදී ප්‍රධාන තනතුරුවලට පත් කිරීම ගැන එකඟතාවක් ඇති වුවත් අදහස් පළ කිරීමේදී ප්‍රතිවිරුද්ධ අදහස් පළ කිරීමක්ද සිදු වුණා. විශේෂයෙන්ම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා යන මහත්වරුන් දේශපාලන මණ්ඩලයේදී දැක් වූ අදහස් ඇතැම් විට දේශපාලන මණ්ඩලය උණුසුම් කිරීමට ද හේතු වී තිබුණා.

පක්ෂයේ උප නායක තනතුර ඉල්ලා සිටින ලෙස අමාත්‍ය නවීන් දිසානායකට කළ බලපෑම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මෙසේ ප්‍රධාන තනතුරු සඳහා බෙදීමකින් තොරව සුදුස්සන් පත් කිරීමට වාතාවරණය හැදීමට ප්‍රධාන හේතුවක් වුණා.

දේශපාලන මණ්ඩලයෙන් පසුව අගමැතිවරයා පසුවුණේ ඉතාමත් සැහැල්ලු ආකාරයෙන්. ඒ නිසාම මැතිඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අගමැතිවරයා වෙත පැමිණ කතා බහේ යෙදීමටද විශේෂ උනන්දුවක් දැක්වූවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා සමඟ සංවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ “පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පරාජය කරන කතාවක් ඇතැම් මාධ්‍ය පතුරවනවා… මේ මොන පිස්සු කතාවක්ද එහෙම එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවවත් කරන්න බැහැ…” යනුවෙන්.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි… ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්දය ඉල්ලන්න බැහැ… විපක්ෂය විවාදයක් ඉල්ලනවා නම් දින දෙකක් ‍නොවේ දින තුනක් වුණත් ඒ විවාදය දීලා දමන්නැයි අගමැතිවරයා කීවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල දෙස බලමින්

“ඩොලරය දවසින් දවස ඉහළ යන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියාගෙන යනවා. ඔහුගේ කතාවට රූපවාහිනි නාලිකා දෙකක් උස්සලා ප්‍රචාරය දෙනවා අපේ පැත්තෙනුත් කරුණු කිව්වොත් හොඳයි නේද අමාත්‍ය නවීන් දිසානායක අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළා.

තෙල්මිල වැඩිවීම ඩොලරයේ අගය ඉහළයාමට හේතු වුණා. අනෙක් කාරණය වන්නේ ජාත්‍යන්තරව රටට එල්ල වන ඇතැම් ආකාරයේ බලපෑම්..‍. අගමැතිවරයා කීවේ ගැඹුරු ස්වරූපයක් ආරූඪ කර ගනිමින්…

“සර්… මම එක දෙයක් හොයා ගත්තා” බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැදට පැන්නා. ඩොලරයේ අගය වැඩිවීම පටන් ගත්තේ ජනාධිපතිවරයා ආර්ථිකය හසුරුවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශය කරපු දිනයේ සිටයි. ඒක ඔප්පු කරන්න එකතු කරපු පත්තර කෑලි පවා මා ළඟ තිබෙන බවට චමින්ද විජේසිරි දැමූ බෝම්බය අගමැතිවරයා නිරීක්ෂණයට ලක් කළේ නළල රැළි ගන්වමින්

ජනාධිපතිතුමාට තිබුණේ ගිය ඇමැතිවරු පස්සේ යන්නේ නැතුව අඩුව පුරවන්න රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් කැබිනට් එකට පත් කරන එකයි. දිගටම මේක ඇදි ඇදි යන එක හොඳ නැහැ. ඉක්මනින්ම ඇමැති සංශෝධන කතාව අවසන් කළ යුතුයි. අමාත්‍ය වජිර අබේවර්ධනගේ දීර්ග කරුණු දැක්වීමට හැම දෙනාගේම එකඟත්වය පළ වුණා.

එජාප දේශපාලන මණ්ඩලය ගත්ත තීරණත් ඇතැම් අය විවේචනය කරනවා නේද? ඒ ප්‍රශ්නය යොමුවුණේ දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගෙන්. මෙවර කරපු ප්‍රතිසංවිධාන යටතේ ජ්‍යෙෂ්ඨයන් රැසක් තනතුරුවලින් ඉවත් වුණා. අනෙක් ප්‍රධාන තනතුරු ඔක්කොටම පත් වුණේ අලුත් අයයි.

සජිත්ට රවිට අකිලට නවීන්ට ඉදිරියේදී ඒ ඒ අංශවලින් වැඩි වැඩකොටසක් පැවරෙනවා. හරීන් ප්‍රනාන්දු තවත් පැත්තකින් පක්ෂය වෙනුවෙන් කාර්යභාරයක් කරනවා. භාණ්ඩාගාරික ධුරය මෙතෙක් කල් දේශපාලන වශයෙන් ක්‍රියාත්මක නොවුණත් හර්ෂට තනතුරේ වගකීම අරගෙන නැගලා එන්න පුළුවන්.

සහකාර මහලේකම් හැටියට රුවන් විජයවර්ධන තව පැත්තකින් වැඩ කොටසක් කළ යුතුයි. අජිත් පී.පෙරේරාට පක්ෂයේ වෘත්තිය සමිති ජාලයේ වැඩ කොටසක් පැවරෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ගැන පැහැදිලි කරද්දී පක්ෂ මැති ඇමැතිවරු ඊට සවන් දුන්නේ මීයට පිම්බාක් මෙන්.

වෙසක් පෝය අප්‍රේල් මාසයට යොදා ගැනීම රජයේ වැඩකොටසක් හැටියට පෙන්වීමට පිරිසක් උත්සාහ ගන්නවා යැයි අමාත්‍ය දයා ගමගේ මතක් කළේ තම වියදමින් වසර ගණනාවක් පුරා ඉදිකෙරෙන තොරණ විවෘත කරන අවස්ථාවට සහභාගි වන්නැයි අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කරමින්. දයාගේ ප්‍රශ්නයට පිළිතුරුදීමට පැමිණියේ දළදා සමිඳු වැඩසිටින ප්‍රදේශය නියෝජනය කරන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලයි. “වෙසක් පොහොය මේ මාසයට ගේන්න තීරණය ගත්තේ පොහොය කමිටුව විසිනුයි. ඒකට ආණ්ඩුව සම්බන්ධ නැහැ. මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් ලේඛකාධිකාරි හිමිවරුන් මේ කමිටුවට සම්බන්ධ වෙනවා. ඔවුන් ලබාදෙන පොහොය ලිත අනුව තමයි රජය දින දර්ශනයට පොහොය දින නම් කරන්නේ. ඒ නිසා මේක වැරදි මතයක් යයි කියද්දී සියලු දෙනා එය අනුමත කළා.

වසර ගණනාවකට පසුව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී බඩු මිල අඩුවුණු බව හැම ප්‍රදේශයෙන්ම අසන්න ලැබුණා. රාජ්‍ය මාධ්‍ය ඒවා ගැන වචනයක්වත් කිව්වේ නැහැ. ඒ ප්‍රබල චෝදනාව එල්ල වුණේ රංජන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන්

රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරීත්වය ගැන දිනපතාම මට පැමිණිලි ලැබෙනවා. ඇතැම් ආයතන ප්‍රධානීන් මාධ්‍ය ආයතනයේ සිදුවන දේවල්වත් දන්නේ නැති බව මා කළ සොයා බැලීම්වලදී හෙළි වුණා. පක්ෂ ප්‍රතිසංවිධාන ඉවරවුණ ගමන්ම මා අතගහන්නේ රජයට අයිති මාධ්‍ය ආයතනවලටයි අගමැතිවරයා දැඩි ස්වරූපයෙන් දුන් පිළිතුරෙන් පසුව කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කරුණු කියන්න ගියේ නැහැ.

54 වැනි උදා ගම්මානය ලෙස ‘සියනෙතුගම’ ජනතා අයිතියට පත් කිරීමට දින ළංවෙමින් පවතිද්දී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කල්පනා කළේ මේ ගම්මානයත් තමන් තනිවම ගොස් විවෘත කර එනවාද, නොඑසේ නම් ඊට විශේෂ අමුත්තකු සහභාගී කර ගන්නවාද කියායි. අවසානයේදී නිගමනය වූයේ යුද මෙහෙයුමේදී දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වුණු රණවිරුවකු විශේෂ ආරාධිතයකු ලෙස සහාභාගී කර ගනිමින් මෙම උත්සවය පැවැත්වීමටයි. මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ උපත ලබා තෙළුල්ල කනිටු විදුහලේ ඉගැනුම ලැබීමෙන් පසු යුද හමුදාවේ 10 වැනි ගජබා රෙජිමේන්තුවට බැඳුණු ජේ.ඩී.පී.රවින්ද්‍ර නැමති තරුණයකුට ඇරයුම් කිරීමට සජිත් තීරණය කළා. එම තරුණයා 2009 මැයි මස 05 වැනිදා පුදුකුඩිඉරිප්පු හි ක්‍රියාන්විත රාජකාරිවල නිරතව සිටියදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් වූ අයෙක්. සජිත් මේ සම්බන්ධව යුද හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණා. තවමත් හමුදා සේවයේ නිරතව සිටින සැරයන් ජේ.ඩී.පී.රවින්ද්‍ර මෙරට සහ එතෙර දස්කම් පෑ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් උත්සව වේදිකාවේ ඇමතිවරයා අසලින්ම හිඳ පිළිසඳරක යෙදී සිටි රවින්ද්‍ර කීවේ පහසු නවාතැනක් නොමැතිකම නිසා ක්‍රීඩා කටයුතුවල නිරත වීම ඉතා අසීරු කරුණක් වන බවයි. “මම ඒ ප්‍රශ්නය දවස් 7ක් ඇතුළත විසඳලා දෙන්නම්’ සජිත් කීවා. ඒ අනුව සැරයන් ජේ.ඩී.පී.රවින්ද්‍ර රණවිරුවා සඳහා මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස සංකීර්ණයේ නිවසක් වහා වෙන් කෙරුණා. නිවසේ යතුරු භාරදීම වෙනුවෙන් පැවති චාම් උත්සවයේදී රණවිරුවා සජිත්ගේ දෑත් අල්ලාගෙන මෙසේ කීවා. “වැඩේ කියපු විදියටම, කියපු වෙලාවට වුණා. මට සර් ගැන බොහොම සතුටුයි!”

ඉරිදා ඇමති වජිර අබේවර්ධන ගාල්ලට ගියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සව රැසකට සහභාගී වීමේ අපේක්ෂාවෙන්. මේ අතර ගාල්ලේ බන්ධනාගාරයේ නේවාසික රැඳවියන් සඳහා සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වීමට ද ඇමති වජිර අබේවර්ධන අමතක කළේ නැහැ.

එහි ගිය ඇමතිවරයා මෙසේ කීවා.

”වරදක් කරපු කෙනෙක් එක්ක කතා කරන්න, එයාව යහ මගට ගන්න බය වෙන්න ඕන නැහැ. හිරේ වැටුණු අය පාතාලේ කියලා මිනිසුන්ගෙන් කොන් වුණු අය මාත් එක්ක කතා කරලා තියෙනාව. මම මහජන නියෝජිතයෙක් විදියට හොඳ අය වගේම මේ වැරදිවලට යොමු වූ අය ගැනත් බලන්න ඕනෑ. හිරකරුවොත් මනුෂ්‍යයන් කියන එක අපි හොඳින් මතක තියාගන්න ඕනෑ. අපේ රටේ හිරගෙවල්වල තත්ත්වය ඉතාමත් නරකයි. හිරගෙවල් අපි නවීකරණය කරගෙන යනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට මේ හිරගෙවල් සියල්ල සකස් කළ යුතුයි. ඇතැම් රටවල හිර‍ගෙදරකට යන අයට ආපහු එන්න හිතෙන්නේ නෑ. ඒවා ඒ තරමට හොඳයි. මොනවා හරි ලෙඩක් දාගෙන ඇතුලට යන්න හිතෙන්න පුළුවන්. ඒත් මේ විදියට මිනිස්සු කොටසක් සමාජයෙන් කොන් කරලා තියන්න අපි සූදානම් නැහැ. අපේ රටේ මිනිස්සු හිරේට ගිය මනුෂ්‍යයන් දිහා බලන්නේ හැම තිස්සේ ම වැරදි විදියට. ලොකු ඇලජික් එකක් වෙලා වගේ. මේ ක්‍රමය වැරදියි. මේක වෙනස් වෙන්න ඕනෑ.

පසුදින ගාල්ල මර්චන්ට් බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ඇමති වජිර අබේවර්ධන කියා සිටියේ මෙරට මහ බැංකුව සම්බන්ධ සිද්ධියේ දී ව්‍යාපාරිකයන් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් නීතියේ හිල්වලින් රිංගා ඇති බවයි. ව්‍යාපාරිකයන් එවැනි දේ කරන බවත් මේ හිල් වසා දමන්නේ නැතිව මහ බැංකුව කොල්ල කෑවා යැයි කෑ ගසා වැඩක් නැතැයි ද ඇමතිවරයා කීවා.

එදින සවස ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී සර්වඥ ධාතු වැඩමවීමේ උත්සවය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට වජිර ඇමතිවරයා සහභාගී වූණා. ජාතික වෙසක් උත්සවය වෙනුවේන් පකිස්ථානයේ සිට මෙරටට වැඩමකරවනු ලබන සර්වඥධාතූන් වහන්සේලා මේ විහාරස්ථානයේ දිනක් වැඩහිඳුවා මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. මේ වනවිට එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිටියත් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සභා වාරය කල් තැබීම නිසා එය මදක් කල් ‍ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එය මැයි මාසයේ ස්ථිරවම ඉදිරිපත් කිරීමට ජවිපෙ සූදානම් වනවා. ඒ පිළිබඳ රටේ වඩාත් අවධානයට ලක්වීමට හේතුවූයේ එයට සහාය දෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක්ද ප්‍රකාශ කිරීමත් සමඟයි. ඒ සමඟම එයට එරෙහිවද අවලාද නගන්නට තවත් පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.

මේ සියල්ලට පිළිතුරුදීම සඳහා පුවත්පත් සාකච්ඡාවක් පසුගිය බදාදා ජවිපෙ විසින් කැඳවා තිබුණා. පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්වරුන් එයට එක්ව සිටියා.

එහිදී අනුර කුමාර දිසානායක මහතා කීවේ මෙම යෝජනාව මඟින් ජනාධිපති සතු විධායක බලය සීමා කරනවා විනා එම තනතුර අහෝසි කිරීමක් සිදුනොවන බවයි. තම යෝජනාව වන්නේ පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා හා සේනාධි නායකයාද වන බවයි. පළාත් සභාවල ආණ්ඩුකාරවරයා පත්කිරීමේ බලයද ජනාධිපතිවරයා සතුවන බව ඔහු පෙන්වා දුන්නා.

ජවිපෙ ඉදිරිපත් කරන යෝජනාව අනුව විධායක ජනාධිපති ධුරය අවසන් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි. 2020 දී මහ මැතිවරණයක්ද පැවැත්වීමට නියමිතයි. ජවිපෙ නායකයින් පෙන්වා දෙන්නේ මෙයින් මහින්ද රාජපක්ෂ මහතාටද නැවත බලයට ඒමට අවස්ථාවක් ලැබෙන බවයි. කුමන අරමුණින් වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දීමට එකඟවීම ගැන ජවිපෙ නායකයන් මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති කළා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි සහිතව සහයෝගය දෙන බවට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයත් සමඟ එම කණ්ඩායම තුළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. විමල් වීරවංශ මහතා එයට එරෙහිව නිවේදනයක් නිකුත් කළ අතර උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළඋරුමය පුවත්පත් සාකච්ඡාවක් පවත්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරෝධය ප්‍රකාශ කළා. විමල් වීරවංශ මහතාගේ පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් වන ජාතික සංවිධාන එකමුතුව මුලින්ම පුවත්පත් සාකච්ඡාවක් තබමින් හැඳින්වූයේ මෙය රට කඩන ව්‍යාපාරයක් බවයි. දොස්තර වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර හා මොහාන් සමරනායක එයට එක්ව සිටියා.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත්කොට සම්මත කරගන්නා බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ මෙම ප්‍රශ්න ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු ආකාරයන් ගැන තීරණ ගැනීම සඳහායි. කෙසේවෙතත් එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රශ්නය පිළිබඳව ඇතිවූයේ උණුසුම් විවාදයක්, එම ප්‍රශ්නය ගැන තීරණයක් නොගෙන තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වුණා. වැඩිවන බදු බර සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාව එහිදී අනුමත වුණා.

එක්සත් සමාජවාදී පෙරමුණේ විධායක සභාව පසුගිය දිනක රැස්වුණේ එළඹෙන මැයි දින සැමරුම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ඩිව් ගුණසේකර හා රාජා කොල්ලුරේ මහත්වරුනුත්, සමසමාජ පක්ෂය වෙනුවෙන් තිස්ස විතාරණ මහතාත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් වාසුදේව නානායක්කාර මහතාත් එයට සහභාගී වුණා.

එහිදී කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ඩිව් ගුණසේකර මහතා කීවේ වෘත්තීය සමිති මැයි දිනයක් ලෙස නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී සමරුව පැවැත්වීමට තම පක්ෂය සූදානම් බවයි. එයට අනෙක් පක්ෂ සහභාගී වනවානම් එයට අවස්ථාව ඇති බවත්, එසේ වුවද ආණ්ඩු විරෝධී සටන්පාඨ මිස එයට මහින්ද පාලනයක් ගෙන ඒමේ සටන්පාඨ ඉදිරිපත් කිරීමට ඉඩදිය නොහැකි බවත් ය. සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා එම තත්ත්වය යටතේ මැයි රැලියට එකතුවීමට කැමැත්ත ප්‍රකාශ කළා.

එහිදී වාසුදේව නානායක්කාර මහතා කීවේ තම පක්ෂය සහභාගී වනවානම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ පක්ෂවලට ද අවස්ථාව දිය යුතු බවයි. ඩිව් ගුණසේකර මහතා එයට ප්‍රතිචාර දැක්වූයේ තරමක කේන්තියෙන්. වාසුට පිස්සු ද? වමේ මැයි දිනයට ජාතිවාදින්ට එන්න කියන්නේ’යි ඩිව් තදින් ප්‍රතිචාර දැක්වූවා. පක්ෂයේ මහින්ද පිල මෙහෙයවන රාජා කොල්ලුරේ මහතාද ඩිව්ගේ අදහස අනුමත කරමින් කතා කළා. ඒ අනුව වාසුගේ පක්ෂය නැතිව සමසමාජ කොමියුනිස්ට් පක්ෂ දෙක මැයි රැලිය 1 වැනිදා පවත්වන්නේ රජයෙන් මැයි දිනය කල් දමා තිබීම නොතකමින්.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *