අලුත් පරම්පරාවට පක්ෂය බාරයි – භාතිය බරුකන්ද

“සේනානාකවරු, ප්‍රේමදාස මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා මේ රටට දැවැන්ත සේවයක් කළ අය. රට, ජාතිය, ආගම විතරක් නෙමෙයි දුප්පත් මිනිස්සු, ගොවියෝ, නාගරික දුප්පතුන් වෙනුවෙන් දැවැන්තම සේවයක් කළ නායකයෝ. අද පොළොව ඉඹ ඉඹ දේශපාලන දහංගැට දාන ඔය එක නායකයෙක්ටවත් සජිත් – නවීන් – වසන්ත සේනානායකලා එක්ක හැරෙන්න බැහැ. ඒත් ජාතියේ අවාසනාවට දැං උඩ පනින්නේ මේ රට වෙනුවෙන් අබ ඇටයක දෙයක් නොකළ විමල්ලා, ගම්මන්පිලලා.

ආණ්ඩුව දෙකට කඩන්න, ජනාධිපති – අගමැති විරසක කරන්න රාජපක්ෂ කුමන්ත්‍රණය අවුරුදු තුනකුත් මාස තුනක් ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අගමැතිට විපක්ෂව ඡන්දය දුන්නේ රාජපක්ෂ කුමන්ත්‍රණයේ එක් අංගයක් අනුවයි. ඒ ක්‍රියාත්මක කෙරුවේ රාජපක්ෂලාගේ ඒජන්තවරුන් විසිනුයි”

මේ හෙළිදරව්ව කරන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ප්‍රමුඛම භූමිකාවක් නිරූපණය කළ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසිනුයි. පසුගියදා අත්තනගල්ලේ පැවැති අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගි වූ හිටපු ජනාධිපතිනිය මාධ්‍ය හමුවේ මේ හෙළිදරව්ව කළා. එහිදී හිටපු ජනාධිපතිනිය අවධාරණාත්මකව කියා සිටියේ පක්ෂ රැසක් සමඟ සන්ධානගතව පවතින වත්මන් ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙක තුළත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවයි. එජාපයේ නායකත්ව අර්බුද, ආණ්ඩුව සමඟ එක්ව සිටි ශ්‍රීලනිපයේ 16 දෙනකු ඇමැති පදවිවලින් ඉවත්වීම හා පාර්ලිමේන්තුව වරාවසාන කිරීම ජනාධිපතිවරයා ගත් ක්ෂණික තීන්දුව ආදි සිදුවීම් රැසක් මැද ගෙවී ගිය පසුගිය කාලය තුළ ලංකාවේ දේශපාලන ආතතිය තවදුරටත් ඉහළ ගියා. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ජවිපෙ යෝජනාවට සහාය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් යළිත් අවස්ථාවාදී දේශපාලන කුණාටුවක් නිර්මාණය කිරීමට තැත් කරන ආකාරයක් අපි දැක්කා. ඒත් අවසානයේ එය පාරාවළල්ලක් බවට පත්ව අද පොහොට්ටුවේ කල්ලි ගැටුමක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව එජාපයේ අභ්‍යන්තර ගැටුම ඉක්මවා ගිය දැවැන්ත බල අරගලයක් හා කල්ලි ගැටුමක් පොහොට්ටුව තුළ නිර්මාණය වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව උගුල් අටවමින් කාලය ගත කරනු වෙනුවට තම අභ්‍යන්තර කල්ලි ගැටුම කළමනාකරණය කරගෙන එය පිටත යා නොදී ආරක්ෂා කර ගැනීමට අද පොහොට්ටු නායකයන්ට සිදුව තිබෙනවා. මේ තත්ත්වය තුළ එජාපයේ, ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද රටට පෙන්වා දේශපාලන වාසි ලබාගෙන යළි බලය අල්ලා ගැනීමට සිහින දුටු පොහොට්ටු කල්ලියට ඉදිරි කාලය තීරණාත්මක එකක් වන බව නම් පැහැදිලියි. එය ඉදිරි මැතිවරණවලදී මෙන්ම රටේ එදිනෙදා දේශපාලන ක්‍රියාකාරීත්වය තුළදී ද පසුගිය කාලය පුරාම පොහොට්ටු කල්ලිය ඇති කළ පීඩනය අවම කිරීමට හේතුවක් වනු ඇති බවක් දැකිය හැකියි. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට ද අනවශ්‍ය කලබලයකින් තොරව තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා ගැනීමට පරිසරයක් නිර්මාණය කරාවි කියා අපට විශ්වාස කළ හැකියි.

එජාපය නව මඟකට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව තුළ දැඩි දේශපාලන ආතතියක් නිර්මාණය වුණේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ (තරුණයන්) විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මත ප්‍රකාශ වීම සමඟයි. එහිදී පසුපෙළ මගින් ප්‍රකාශයට පත් වූ ප්‍රධාන ඉල්ලීම වුණේ ඉදිරි මැතිවරණවලින් ජයග්‍රහණය ලැබීම සඳහා පක්ෂය තුළ ප්‍රබල, වර්ණවත් වෙනසක් සිදුවිය යුතු බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එජාපය හැරගොස් සිටින හෝ පක්ෂය ගැන කලකිරි සිටින පිරිස නැවත ඡන්දපොළට ගෙන්වා ගත හැකි වනු ඇතැයි ඔවුන් කියා සිටියා. ඒ අතර පක්ෂය තුළ සිදුවන රැඩිකල් වෙනස හරහා මැතිවරණයකදී තීරණාත්මක “පාවෙන ඡන්දදායකයන්” ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුන් පක්ෂ නායකත්වයට පෙන්වා දුන්නා. මේ සමඟ එජාප ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක පක්ෂයේ සන්නිවේදන යාන්ත්‍රණය තුළ පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව පෙන්වාදීමට ද ඔවුන් අමතක කළේ නැහැ.

එජාපය සහ ආණ්ඩුව කෙරෙහි තීරණාත්මක මේ අර්බුදය ප්‍රශස්ත ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට එජාප නායකත්වය හා පසුපෙළ සමත්වීම සමඟ එජාපය තුළ සේම ආණ්ඩුව තුළ නව ප්‍රබෝධයක් සේම විශ්වාසනීයත්වයක් වර්ධනය වීම ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු වීමට ප්‍රබල හේතුවක් වේවි. විශේෂයෙන් එජාපයේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් දැඩි පීඩනයට පත්ව සිටි පාක්ෂිකයන්ට මේ තත්ත්වය දැඩි සහනයක් වන බව පැහැදිලියි. එජාපය තම අභ්‍යන්තර ගැටුම කළමනාකරණය කර ගැනීම පොහොට්ටු කල්ලියේ දේශපාලන උපාය මාර්ග ආපසු හැරවීමක් වශයෙන් ද අපට හඳුනාගත හැකියි. එජාපය තුළ අඛණ්ඩව සිදුවන නායකත්ව අර්බුදය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය කාලය පුරාම තම දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා භාවිත කළ ආකාරය මෙහිදී අපගේ මතකයට නගා ගත යුතුයි.

එජාප අර්බුදය නිරාකරණය කර ගැනීම පිළිබඳ තෘප්තිමත් හැඟීමෙන් කතා කළ බොහෝ දෙනෙක් මේ ලියුම්කරු සමඟ ද ප්‍රකාශ කළේ අර්බුදය විසඳා ගත් පමණින් හෝ තනතුරු බෙදා ගත් පමණින් තෘප්තියට පත් නොවී තම උපරිම දායකත්වය පක්ෂයේ හා ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් යෙදවීමට නව නායකයන් කඩිනම් පියවර ගත යුතු බවයි. තනතුරු ඔටුන්නක් වනු වෙනුවට එය වැඩ කිරීමට පහසුවක් ලබාගත හැකි, නිදහසක් හා බලයක් ලබාගත හැකි උපකරණයක් කර ගත යුතු යැයි ඔවුන් අවවාදාත්මකව ප්‍රකාශ කළා. එහිදී ඔවුන්ගේ පොදු අදහස වුණේ 1977 මහ මැතිවරණය සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළ ආකාරයේ වර්ණවත් කණ්ඩායමක් වත්මන් එජාප නායකත්වය වටා නිර්මාණය කළ යුතු බවයි. එහිදී එජාපයේ වර්ණවත් හා ජනප්‍රිය චරිත වන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට ද ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කිරීමේ අවස්ථාව හිමිවන බව ඔවුන් ප්‍රකාශ කළා.

මේ අතර එජාපයේ යළි පිබිදීම ගැන වඩා වෙනස් මානවලින් බලන එජාප ප්‍රබල ක්‍රියාකාරීන් ද සිටිනවා. ඔවුන් කියන්නේ ලංකාවේ දේශපාලන කරළිය තුළ වඩාත්ම වර්ණවත් (ජනප්‍රිය) හා ප්‍රබල දේශපාලන පසුබිමක් හා පදනමක් ඇති චරිත ත්‍රිත්වය හිමි එජාපය ඒ ගැන සංවේදී නොවීම සහ එහි අගය වටහා නොගැනීම පුදුමයට කරුණක් බවයි. ඔවුන්ට අනුව මේ රටේ පොඩි මිනිසුන්ගේ උපරිම ගෞරවාදරයට ලක් වූ ආර්. ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතා සේම එජාප පාක්ෂිකයන් පමණක් නොව සුළු ජාතීන්ගේ ද, පොදුවේ සියලු ජන කොටස්වල ද ගෞරවයට පාත්‍ර වූ ගාමිණි දිසානායක මතාගේ පුත් නවීන් දිසානායක සේම මේ රටේ ගොවිජනතාව දේවත්වයෙන් සලකන සේනානායක පරපුරේ උරුමය ගෙන යන වසන්ත සේනානායක වැනි නිකලැල් දේශපාලන චරිත ජාතික දේශපාලනයේ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කිරීමට කාලය මේ වන උදාවෙලා තිබෙනවා. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ සජිත් – නවීන් – වසන්ත ත්‍රිත්වයට අලගු තැබීමට පවා රාජපක්ෂ පවුලට නොහැකි බවයි.

“සේනානාකවරු, ප්‍රේමදාස මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා මේ රටට දැවැන්ත සේවයක් කළ අය. රට, ජාතිය, ආගම විතරක් නෙමෙයි දුප්පත් මිනිස්සු, ගොවියෝ, නාගරික දුප්පතුන් වෙනුවෙන් දැවැන්තම සේවයක් කළ නායකයෝ. අද පොළොව ඉඹ ඉඹ දේශපාලන දහංගැට දාන ඔය එක නායකයෙක්ටවත් සජිත් – නවීන් – වසන්ත සේනානායකලා එක්ක හැරෙන්න බැහැ. ඒත් ජාතියේ අවාසනාවට දැං උඩ පනින්නේ මේ රට වෙනුවෙන් අබ ඇටයක දෙයක් නොකළ විමල්ලා, ගම්මන්පිලලා. ඒ නිසා අපි කියන්නේ මේ තුන් දෙනා තමන්ගේ දිස්ත්‍රික්කවල වැට පනින්න ඕනෑ. 77 දී ප්‍රේමදාස මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා ජේ.ආර් මහත්තයා එක්ක රට වටේ ගිහින් ජනතාව සංවිධාන කළා වාගේ මේ තුන් දෙනත් එජාපයේ බර කරට ගන්න ඕනෑ. රනිල් මහත්තයා උඩ ඉඳන් සේරම බලා කියා ගනී. ඒත් රැස්වීම්වල මයික් එක මේ තුන් දෙනා අතට යන්න ඕනෑ. අපි දැක්කනේ 77 දී ප්‍රේමදාස මහත්තයා කතා කළ හැටි. දැං අපිට පුංචි ප්‍රේමදාස මහත්තයාගේ වැඩ බලන්න ඕනෑ. එහෙම නැතිම තනතුරුවලින් විතරක් බැබළෙන්න, රටේ බලය අල්ලන්න බැහැ. වැඩවලින් විතරයි ඒක කරන්න පුළුවන්”

දේශපාලන සංහිඳියාව උදාවීම

මේ අද එජාපයේ යළි පිබිදීමෙන් තෘප්තියට පත් එජාපයේ පැරණිම ක්‍රියාකාරීන් කියන කතාවල පොදු අදහසයි. එහිදී ඔවුන් යළි යළිත් අවධාරණය කරන්නේ 77 දී මෙන් දැවැන්ත විප්ලවයක් 2020දී සිදුවන බවත් 1944 සිට ජේ.ආර්. ජයවර්ධන මහතා බැට කෑ ආකාරයෙන් 1994 සිට අඛණ්ඩව අභියෝගවලට මුහුණ දී පක්ෂය රැකගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ විධායක ජනාධිපති වී රට අලුත් මඟකට යොමුකරනු ඇති බව තමන්ගේ දැඩි විශ්වාසය බවයි.

“ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 56දී කැලණිය ආසනෙත් පරාදයි. ඒත් අල්ලගෙන හිටියා. ඩඩ්ලි එක්ක මොන තරම් ගැටුම් තිබුණත් පක්ෂය රැකගෙන ඒක දියුණු කළා. ඒකාලේ වාමාංශිකයෝ කිව්වේ ජේ.ආර්ට නම් බලය දෙන්න එපා කියලා. ඒත් අන්තිමට මොකද වුණේ ? 77දී මේ රටේ මිනිස්සු ගෙඩිය පිටින්ම ජේ.ආර්ට දුන්න. ජේ.ආර්ට බලය දෙන්න එපා කිව්ව වාමාංශික නාකයින්ට ඇපත් නැහැ. ජේ.ආර් මහත්තයා ප්‍රේමදාස මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා, ලලිත් මහත්තයා වාගේ නායකයෝ එක්ක රට හැදුවේ නැද්ද ? පෝලිම් යුගය අවසන් කළේ නැද්ද ? කළා. ඒ නිසා අපේ විශ්වාසය තමයි රනිල් මහත්තයත් ජේ.ආර් මහත්තයා ගිය ගමනම යනවා. ඒක නතර කරන්න සක්කරයටත් බැහැ. ජේ.ආර් මහත්තයා ළඟ හිටිය ප්‍රේමදාස මහත්තයා වාගේ රනිල් මහත්තයා ළඟ සජිත් මහත්තයා ඉන්නවා, ගාමිණි මහත්තයා වාගේ නවීන් මහත්තයා ඉන්නවා. ඉතිං තව මොනවද අඩු. අපි කියන්නේ මේ අවුරුදු දෙක ඇති වැඩ කරලා පෙන්වන්න. ජේ.ආර් මහත්තයා ඒක කළේ 75දී වාමාංශිකයෝ ආණ්ඩුවෙන් ගියාට පස්සේ කියලයි අපි හිතන්නේ. ඒ නිසා අපි කියන්නේ අන්ධයා කොරාව කරේ තියාගෙන ගමන ගියා වාගේ දැං ගමන පටන් ගන්න. අපිට ඕනෑ 77දී වාගේ ආණ්ඩුවක්. අපි 94 ඉඳන් පක්ෂය රැක ගත්තා. දැං අලුත් පරම්පරාවට පක්ෂය භාරයි”

මේ 1977 දී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බියගම ආසනයේ දේශපාලනය කළ අදත් එජාපය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන වයෝවෘද්ධ එජාප පාක්ෂිකයෙක්ගේ සිහිනයයි. අපගේ ද පොදු අදහස වන්නේ එජාපයේ යළි පිබිදීම හුදු තනතුරු මාරුවක් නොවී යථාර්ථවාදී වෙනසක් විය යුතු බවයි

එජාපයේ සංහිඳියාව සමඟ ආණ්ඩුව තුළත් දේශපාලන සංහිඳියාවක් නිර්මාණය වීම අපි පසුගිය සතියේ දැක්කා. අද ආණ්ඩුව වැටෙයි, මෛත්‍රී – රනිල් විරසක වෙයි කියලා සිහින දැක්ක පොහොට්ටු කල්ලියේ සියලු සැලසුම් එජාප – ශ්‍රීලනිප සංහිඳියාව සමඟ යළි හකුලා ගන්නට සිදුවීම ජනවාරි 08 වෙනස ගැන තව දුරටත් විශ්වාසය තබා සිටින ජනතාවගේ සිතට සහනයක් සේම බලාපොරොත්තු අලුත් කිරීමක් වශයෙන් සැලකිය හැකියි. මන්ද එජාප – ශ්‍රීලනිප දේශපාලන සංහිඳියාව යම් ආකාරයකින් බිඳ වැටීමකට ලක් වූවානම් එය ජනාධිපතිවරයාට සේම අගමැතිවරයාට ද දැඩි දේශපාලන පීඩනයක් එල්ල කිරීමක් වෙනවා. එම පීඩනය එළියට ප්‍රකාශවීම තුළ ආණ්ඩුව දේශීය වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන් ද හානිකර වෙනවා.

සිංහල අලුත් අවුරුදු සමයේ උදාවත් සමඟ හදිසියේම පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර ආණ්ඩුව තුළ සේම මුළු රට තුළත් තිගැස්මක් ඇති කිරීමට සමත් වුණා. ඒ සමඟ රාජපක්ෂවාදී මාධ්‍ය මාෆියාව විවිධාකාරයේ කතා මවමින් දේශපාලන කුණාටුවක් නිර්මාණය කිරීමට තැත් කරන ආකාරය අපි දැක්කා. එහිදී ද මේ මාධ්‍ය මාෆියාව බලාපොරොත්තු වුණේ පසුගිය තෙවසර පුරාම අඛණ්ඩව ගෙන ගිය “ආණ්ඩුව අස්ථාවරයි, මෛත්‍රී – රනිල් දීගය ඉවරයි” යන බොරුව සමාජගත කිරීමටයි. මේ අතර මේ මාධ්‍ය මාෆියාව ඉතාමත් සැලසුම් සහගතව තවත් කතාවක් නිර්මාණය කරනු අපි දැක්කා. ඒ ජනාධිපතිවරයා යළි පාර්ලිමේන්තුව කැඳවමින් රාජාසන කතාවක් ඉදිරිපත් කරන බවත් එය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරමින් සිටින බවත් හෙළි කරමිනුයි. පසුගිය විශ්වාසභංගයෙන් හතරගාතේ ඇඳ වැටුණු ඊනියා ඒකාබද්ධ විපක්ෂයට මෙවැනි කිසිදු ශක්තියක් නොමැති බව දැන දැනත් මේ මාධ්‍ය මාෆියාව ගෙන ගිය ප්‍රචාරය හමුවේ රාජ්‍ය මාධ්‍ය ශක්තිමත්ව නැඟී සිටීම පැසසුම් කටයුතුයි. රාජ්‍ය මාධ්‍ය එවැනි ශක්තිමත් භාවිතයකට නොගියේ නම් මැයි 08 වැනිදා වනතුරු තවත් මාධ්‍ය සුනාමියකට ගොදුරු වීමට ජනතාවට සිදුවෙනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව තුළ යළි දේශපාලන සංහිඳියාවක් නිර්මාණය කර ගැනීම සඳහා කාලය ලබා ගැනීමට පාර්ලිමේන්තුව වාරාවසාන කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර ගැන මේ මොහොත වන විට බොහෝ දෙනෙක් තුළ පවතින්නේ ප්‍රසාදයක්.

කැප කිරීම්වලට ප්‍රතිලාභ දෙන්න

මේ ආකාරයෙන් දේශපාලන අර්බුද හා කුණාටු නිර්මාණය වන විට තවත් වැදගත් කරුණක් ගැන ජනතාවගෙන්, විශේෂයෙන් එජාප පාක්ෂිකයන්ගෙන් බලවත් ඉල්ලීමක් තිබෙනවා. ඒ පසුගිය තෙවසර තුළ ජනතාව කළ කැපකිරීම්වලට ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුව කඩිනම් අවධානය යොමු කළ යුතු බවයි. මෙහිදී අවධාරණාත්මක ප්‍රකාශය එජාප පාක්ෂිකයන් වෙතින් සේම ආණ්ඩුව බලයට පත් කිරීමට, ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැප වූ සුළුජනතාව තුළින් ද ඉදිරිපත් වෙනවා.

මෙහිදී එජාප පාක්ෂිකයන්ගේ අදහස වන්නේ පක්ෂය වෙනුවෙන් අපමණ කැප කිරීම් කළ එජාප පාක්ෂිකයන් විශාල පිරිසකට පසුගිය ආණ්ඩු යටතේ සිදු වූ අසාධාරණකම්වලට නිසි පියවර ගැනීමක් මේ දක්වා සිදුව නැති බවයි. ඔවුන් දේශපාලන පළිගැනීම්වලට කඩිනම් සහනයක් අපේක්ෂා කරනවා.

මේ අතර තවත් හානිකර තත්ත්වයකට එජාප ක්‍රියාකාරීන් පිරිසක් මුහුණ දී සිටිනවා. ඒ රාජ්‍ය අංශය තුළ විවිධ තනතුරු දරන, එජාපය වෙනුවෙන් පසුගිය කාලය පුරා දැඩි කැපකිරීමක් කරමින් ජීවිත අවදානමක් පවා ගත් පිරිසකුයි. ඔවුන් අතර පවතින ප්‍රබල මැසිවිල්ලක් වන්නේ එජාපයේ ඇමැතිවරුන්ට ම අයත් ආණ්ඩුවේ ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ හිතාමතා සිදුවන කොන් කිරීම් හා පළිගැනීම්වලට අඛණ්ඩව ලක්වීමට තමන්ට සිදුව ඇති බවයි. දේශපාලනික නොවන තරඟකාරී ක්‍රමවේද මගින් අසීරුවෙන් ලබාගත් තම රැකියාව මේ දේශපාලන පත්වීම්ධාරීන්ගේ හැසිරීම් නිසා අවදානමට ලක්වීම ගැන ඔවුන් තුළ ප්‍රබල මැසිවිල්ලක් පවතිනවා. මේ ගැන කඩිනම් අවධානයක් ආණ්ඩුව විසින් යොමු නොකළහොත් එය පක්ෂයට සේම ආණ්ඩුව ද හානිකර බවයි ඔවුන්ගේ අදහස වන්නේ. ආණ්ඩුව පසුගිය තෙවසර තුළ සකසුරුවම් වෙමින් ඉතිරි කළායැයි කියන සංවර්ධන ප්‍රතිලාභ, විශේෂයෙන් රජයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රබල මැසිවිල්ලක් පවතින බවක් අපට පැහැදිලිව දැකිය හැකියි. ඔවුන් කියන්නේ රජයේ රැකියා ලබා නොදී 2001 දෙසැම්බර් 05 ආණ්ඩුව විසින් කළා සේ අනුවණ පියවරක් මේ අවස්ථාවේදී ද ආණ්ඩුව විසින් නොගත යුතු බවයි. ඒ සුළු ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වන ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළු උතුරු – නැඟෙනහිර ජනතාව මුහුණ පාන ගැටලු, මුස්ලිම් ජනතාව ඇතුළු බෞද්ධ නොවන ජනතාව මුහුණ පාට ගැටලුවලට ද ඉදිරි කාලය තුළ දී හෝ කඩිනම් ඵලදායී විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර ගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. ඔවුන් පොදුවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යහපාලන ආණ්ඩුව විසින් වැපිරූ බීජවල අස්වැන්න නිසි කලට නෙළා ගෙන ඒවා ජනතාවට හිමිකර දී 2020 තීරණාත්මක සටන සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නා ලෙසයි.

සටහන –

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *