|

ඒකාබද්ධයේ විභේදනය – සී. ජේ. අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂයේ අළුයට තිබූ ගිනි මතුවෙන්ට පටන්ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තම බල ව්‍යාපෘතියේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් සමඟය. එම අදියරේදී කරන්නට හදන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමයි. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ තම සගයකු වන බන්ධුල ගුණවර්ධන ලවා ප්‍රකාශ කළේ එම සැලැස්මයි. බන්ධුල ගුණවර්ධන මහතා කීවේ එක් කොන්දේසියක් යටතේ එයට සහය දෙන බවයි. එම කොන්දේසිය නම් සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නයි. මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුමකින් තොරව ගුණවර්ධන මහතා මෙවැන්නක් නොකියන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය නම් මුට්ටිය දමා බැලීමකි.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන ප්‍රසන්න රණතුංග මහතාද කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාද එකඟ බවයි. එම යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත්කොට සම්මත කරගන්නා බව රණතුංග මහතා කීවේය. මේ ප්‍රශ්නය ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහනුවරදී මහින්ද රාජපක්ෂ මහතා ද කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න තමාගේ ද මතය බවයි.

මුට්ටිය දමා බැලීම

මහින්දගේ මුට්ටිය දමා බැලීම මේ වනවිත ඒකාබද්ධයේ දෙබරයට ගල් ගැසීමක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. ඒකාබද්ධ විපක්ෂය තුළම ප්‍රබල පිරිසක් මෙම මතයට එරෙහිව ප්‍රහාරය පටන්ගෙන තිබේ. මුලින්ම සටනට බැස්සේ ජාතික නිදහස් පෙරමුණේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ජාතික සංවිධාන එකමුතුවේ පිරිසයි. එහි නායකයින් වන වෛද්‍ය වසන්ත බණ්ඩාර වෛද්‍ය ගුණදාස අමරසේකර හා මොහාන් සමරනායක මහත්වරුන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඊළම්වාදීන්ට උඩගෙඩි දීමක් බවයි. මෙය රට බෙදීමට පාර කැපීමක් බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද වහාම නිවේදනයක් නිකුත් කළේ ඉහත අදහසම සනාථ කරමිනි. එමගින් කීවේ මේ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කතා කිරීම ද්‍රෝහී ක්‍රියාවක් බවයි.

පිවිතුරු හෙළ උරුමයද පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඉහත අදහසම සනාථ කළේය. එක්සත් වාමාංශික පෙරමුණේ රැස්වීමකදී වාසුදේව නානායක්කාර මහතාද කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණු ඉටුකිරීමක් බවයි. එයට තමන්ගේ ඡන්දය නොලැබෙන බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ දැඩි ස්වරයෙනි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ආදීන් මෙලෙස අවි අමෝරාගෙන සිටින්නේ කාට එරෙහිව ද යන්න ඒ මහත්වරුන් නොදන්නවා විය නොහැකිය. මේ මොහොතේ මේ සටන තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ඇතු‍ෙළ් ය. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ආදින්ට එරෙහිවය. මහින්ද රාජපක්ෂ මහතාට මේ වනවිට විරෝධය හොඳින්ම දැනී ඇති බව පැහැදිලිය. “තවමත් තීරණයක් ගෙන නෑ. ඒකාබද්ධ විපක්ෂයේ විවිධ අය විවිධ මත දරණවා. වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවෙයි කියා කවුරුත් බියවිය යුතු නැතැ’යි රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඒ නිසා විය හැකිය.

මේ ගැන අද හෙට තිබෙන සාකච්ඡාවල ප්‍රතිඵල කුමක් වුවත් ප්‍රශ්නය ඉක්මනින් විසඳී අවසන් නොවන බව නම් පැහැදිලිය. මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවූ ආකාරය හා මෙහෙය වන ආකාරය දෙස හොඳින් බලා සිටින ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේ ඔහු තම සිතැඟි ඉටුකර ගැනීමට සියුම් ලෙස ක්‍රියාකිරීමේ දක්ෂයකු බවයි. එමෙන්ම බලයේ සිටියදී මෙන්ම විපක්ෂයේ සිටියදී ද වෙනත් මත යටපත් කිරීමට ක්‍රියා කරන්නෙකු ද වන බවයි.

2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයවී මැදමුලනට ගිය පසුව ‘මහින්ද සමඟ නැඟිටිමු’ වැඩ සටහනට උරදෙමින් නැවත හිස ඔසවන්නට පෙරමුණගත් පිරිස අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ආදීහු ඉදිරියෙන්ම වූහ. කෙසේ වෙතත් කල්යනවිට ඔවුන් බලයට පැමිණීමට වෙනත් මාවත් සෙවීම මහින්දගේ සතුටට හේතු නොවූ බව පෙනෙන්නට තිබිණි. එහිදී විශේෂයෙන් කැපීපෙනුණු කාරණයක් වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වයට ගෙන ඒමට කළ සැලසුම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ නොසතුටයි.

ගෝඨාභයට මහින්ගේ ප්‍රතිචාරය

මෙයට කුමන මැතිවරණ තිබුණ ද වඩාත් වැදගත් වන්නේ ආණ්ඩු බලය වෙනස් කළ හැකි මැතිවරණයක්ය යන්න කවුරුත් දන්නා කාරණයකි. එහිදී වැදගත් මැතිවරණ වන්නේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණයයි. දැන් තිබෙන ව්‍යවස්ථාමය පරිසරය තුළ එයින් පළමුවෙන් එළඹෙන මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයයි. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය. ඒ ඔහු මීට පෙර දෙවරක් ජනාධිපති ධුරය දරා ඇති නිසාය.

‘මහින්ද සමඟ නැගිටිමු’ කී පිරිස මෙම ප්‍රශ්නයට පිළිතුරක් සොයාගත්තේය. ඒ ගෝඨාභය රාජපක්ෂයි. මහින්ද සමඟ නැගිට්ටාට මහින්දට බලය ගන්න බැරිය. එයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට ගැනීම මෙම පිරිසේ සැලසුම බව පෙනෙන්නට තිබුණි. මෙම අදහසෙහි ප්‍රබල ප්‍රකාශකයකු වූයේ ආචාර්ය දයාන් ජයතිලක මහතාය. මෙලෙස මහින්ද පිල ඇතුළේ තවත් පිලක් නිර්මාණය විය. ඒ ගෝඨාභය පිලයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට දමාගෙන රට වටා සම්මන්ත්‍රණ කළේ මෙම කණ්ඩායමේ පිරිසකි. එයට මහින්දගෙන් ලැබුණේ ඇල්මැරුණු සහයෝගයකි.

තම කණ්ඩායමේ ඊළඟ නායකත්වයට ගෝඨාභය නම්කරන්නැයි මෙම කණ්ඩායම වරෙක මහින්ද වෙත ඉල්ලීම් ඉදිරිපත් ක‍ළේය. ඔවුන් කීවේ කල්තබාම එම නායකත්වය තහවුරු කරගතහොත් ජයග්‍රහණය පහසු බවයි. එයට මහින්දගේ ප්‍රතිචාරය වූයේ ‘මිනිස්සු ඉල්ලන්නේ මාවයි’ යන්නයි. ගෝඨාභය තම අනුප්‍රාප්තිකයා කර නොගන්නා බව මහින්ද තම සගයන්ට දැනුම් දුන්නේ ඒ ආකාරයෙනි. ඉන්පසුව එම ඉල්ලීමද ටික කලෙකට හෝ යටපත්වීය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවෙන් ගෙන්වාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගනවිට ද ඒකාබද්ධ විපක්ෂය ලෙස ගොනුවී සිටින මහින්දවාදීන්ගෙන් එයට එල්ලවුයේ විරෝධයකි. මහින්ද කළේ එය තමන්ගේ වැඩක් නොවෙයි වගේ පෙන්වමින් බැසිල් ලවා පක්ෂය ගොඩනැගීමයි. අන්තිමේදී එය මහින්දගේ අලුත් පක්ෂය බවට පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේදී සියලු පක්ෂවල උදවියට සිදුවූයේ එම පක්ෂයෙන් තරග කරන්නටය. තම අනන්‍යතාව කියාගන්නට ඇතැම් පක්ෂ උත්සාහ දැරුවද එයට ඉඩ ලැබුණේ නැත. මහින්ද වැඩ කරන්නේ එහෙමය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට තම සහය දෙන බව බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පෙරේදා කීවද මහින්දගේ සැලසුම තුළ එය කලෙකට පෙර සිට තිබූ බව හොඳින් කරුණු සලකා බැලීමේදී පෙනීයයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය එකඟවීය. ඇතැම් කමිටුවල නායකත්වය ද දරමින් ඔවුහු යෝජනා සකස් කළහ. තමන්ගේම කට්ටිය රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව රටපුරා උද්ඝෝෂණ කරද්දී ඒවාටද සහභාගී වෙමින් ව්‍යවස්ථාව සැදීමට ද හවුල්වූහ. මෙම පිරිස හාවුන් එක්ක දුවන ගමන් බල්ලන් සමඟ දඩයමේද ගියේ ඒ ආකාරයෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන ජනාධිපතිවරණය මගහැර මහමැතිවරණයකට මුහුණදීමේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සැලසුම විමල් වීරවංශලා නොදැන සිටියාද විය නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉවත්විය යුතු බවට වීරවංශ කණ්ඩායම බලක‍ෙළ් ඒ නිසාය. මහින්ද හෝ ඒකාබද්ධ විපක්ෂය හෝ එම අදහස නොපිළිගත්විට වීරවංශ මහතා තම මන්ත්‍රීන් කිහිපදෙනා සමඟ එයින් ඉවත් වන බව ප්‍රකාශ කළේය. ඒ කිහිපදෙනා ඉවත්වුවද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ක්‍රියාත්මකව තිබෙන්නෙත් මහින්දගේ අනෙක් ‍ගෝල බාලයින් සියලුදෙනා එයට සහභාගී වෙමින් සිටියේ තම යටි අරමුණ සිත්හි තබාගෙන විය යුතුය.

මේ කරුණු සියල්ල ගලපා බැලූවිට දැන් පෙනෙන්නේ මහින්දගේ සැලස්මේ ඉතිරි කොටස ක්‍රියාවට නැගීමට දැන් කාලය එළඹ ඇති බවයි. බන්දුලලා, රණතුංගලා ලවා මහින්ද මුට්ටිය දමා බැලුවේ ඒකටයි. විමල්ගේ, ගම්මන්පිලගේ, වාසුදේවගේ ප්‍රහාරය එල්ලවූයේ එයටය. දැන් ඉතින් මේ ප්‍රශ්නය විසඳාගත යුතුය. තම සගයන්ගේ හඬට කන් දෙන්නට මහින්දට ඇතැම්විට සිදුවනු ඇත. නැතහොත් ඔහු තම අරමුණට ඒකාබද්ධය මෙහෙයවනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම හැසිරීම ගැන ඇතැමුන් කියන්නේ ඔහු තම පුත් නාමල්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි. ගෝඨාභය ජනාධිපති කරනවාට වඩා නාමල් ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කිරීමෙන් සෑහීමට පත්වීමට ඔහු සූදානම් බවය. කෙසේ වෙතත් ඒ සියල්ල උපකල්පිත ය. පැහැදිලිව පෙනෙන දෙය නම් ජනාධිපතිවරණයට මුහුණ නොදිය යුතු බව මහින්ද පිලේ ප්‍රධාන කණ්ඩායමේ අදහස බවයි.

ඇතැම්විට මෙම අදහසට හේතුව දේශපාලන ගණන් බැලීම් විය හැකිය. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය තුළදී පෙනෙන්නේ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට පනහේ මැජික් ඉලක්කම ඉක්මවා යන්නට මෙරට සුළුතර ජනවර්ගවල සහය නොමැතිව බැරි බවයි. මේ වනවිට එම ඡන්ද මහින්දලා සමඟ නැත. එම ඡන්දවලට වැඩියෙන්ම ආමන්ත්‍රණය කළහැකි නායකයා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඉතින් ඡන්දයෙන් පසුව එක් පසෙකින් උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ මහතා තරගයෙන් ඉවත් කරන්නටය. එය සාර්ථක වූයේ නම් කතන්දරය වෙනස්ය. දැන් මහින්දලාට වෙනත් මාවත් සොයන්නට වී ඇත්තේ ඒ නිසාය. ජනාධිපතිවරණය මගහැරීම සඳහා ක්‍රම සොයන්නේ ඒකටය. එම ක්‍රමය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දී මහ මැතිවරණයක් ලබාගැනීමය.

නාමල්ගේ අනාගතය

ජනාධිපතිවරණයකදී ඡන්ද බෙදෙන්නේ ප්‍රධාන දෙපාර්ශවයකටය. ඇතැම්විට ප්‍රබල තෙවැන්නෙක් සිටිය හැකිය. එහිදී කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළත් මහින්දලාට දිනන්න බැරි දිස්ත්‍රික්ක ගණනාවක් ඇත. යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රිකුණාමලය, කොළඹ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, පුත්තලම වැනි දිස්ත්‍රික්ක එලෙස හඳුනාගත හැකිය. අනෙක් දිස්ත්‍රික්ක සියල්ල ජයගත්ත ද සියයට පනහේ ඉලක්කම පසුකර යෑම පහසු වන්නේ නැත.

මෙහිදී 2005දී මෙන් උතුරු, නැ‍ඟෙනහිර ඡන්ද වර්ජනය කරවා මහින්ද දිනවන්නට ප්‍රභාකරන් කෙනෙකු අද නැත. 2010දී මෙන් යුද්ධය ජයගත් උණුසුම හා ප්‍රීතිය හෝ රාජ්‍ය බලය, මාධ්‍ය බලය, හමුදා බලය, මැරබලය ආදී කිසිවක් අද මහින්ද සතුව නැත. ජනාධිපතිවරණයට මහින්දට තරග කරන්නද බැරිය. ගෝඨාභය ගෙනාවාට ඔහුට තිබෙන චෝදනා කන්දකි. පැත්තකට වී සිටින ගෝඨාභයට මෙන් නොව මැතිවරණයකට එන ගෝඨාභයට මේවාට මුහුණ දෙන්න වෙන්නේ බරපතළ ලෙසිනි. මහින්ද රාජපක්ෂ මහතා මේ සියල්ල ගණන් බලනවා විය හැකිය.

විමල් වීරවංශලාට, උදය ගම්මන්පිලලාට, වාසුදේව නානායක්කාරලාට මහින්දගේ මේ ගණන් බැලීම් නොතේරෙනවා විය හැකිය. ඔවුන් හිතන්නේ ජාතිවාදය අවුළුවා කෙසේ හෝ ගොඩ යන්නටය. එසේ වුවද රට දැන් බොහෝ වෙනස්වී අවසන්ය. මොවුන් එම පාඩම් ඉගෙනගන්නට තව කල් ගතවනු ඇත.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *