හඟුරන්කෙතයා ගේ ඒක පුද්ගල ආදායම

 

පොහොට්ටුවත් එක්ක අත උස්සපු අතේ සැට් එක පවත්තපු මාධ්‍ය සාකච්ඡාවේ දී හඟුරන්කෙත බණ්ඩා ඒක පුද්ගල ආදායම එක තැන පල්වෙනවාය කියනු අසා ක‍ඩේ මුදලාලි ඉස්කොල මහත්තයාගෙන්, එක තැන පල්වෙනවාය කියා හඟුරන්කෙතයා කියන්නේ කාගේ ඒක පුද්ගල ආදායම දැ’ යි ඇසූ කල ඉස්කෝල මහත්තයා කීවේ එකත් එකටම ඔය කියන්නේ, එයාගෙම ඒක පුද්ගල ආදායම ගැන වෙන්නට ඕනෑය කියාය. සැටලයිට් නෝනා ගේ කාලයේ හදපු මාළිගාව වගේ එකක් හදාගන්න තරමට මේ ආණ්ඩුව යටතේ ඒක පුද්ගල ආදායම ඉහළ නංවා ගන්නට බැරීවීම ගැන හඟුරන්කෙත බණ්ඩාට කනගාටුවක් තියෙන බව පෙනෙනවා යැයි ඉස්කෝල මහත්තයා කීවේය.

බලාපොරොත්තු වුණු තරමට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්න බැරි වුණා කියල හඟුරන්කෙත බණ්ඩා කියන්නේ ඇයි කියා මුදලාලි ඇසුවේ නොදන්නා කමටය.

ඒ සෙට් එක ඔය වගේ කියන්නේ සාටක රජා යටතේ තිබුණු මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියල වෙන්න ඇති යැයි කී ඉස්කෝල මහත්තයා, සාටක රජා ට මැරෙනකම් සිංහාසනේ ඉන්න ව්‍යවස්ථාව සංසෝධනය කරපු ජාතියෙ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් කීත් නොයාර් ලසන්ත පෝද්දල ජයන්ත වගේ අයට දුන්න මාධ්‍ය නිදහසවත්, කටුණායක, මීගමුව, රතුපස්වල දී දුන්නු උද්ඝෝෂණය කිරීමේ නිදහසවත් යහපාලන ආණ්ඩුව යටතේ ලැබුණෙ නැහැ කියල හඟුරන්කෙත බණ්ඩා කීවත් නැතත් පිළිගන්න සිද්ධ වෙනවා යැයි කීවේය.

එය අසා සිටි කඩේ බඩු කිරන කොලු‍වා කීවේ, කොළඹ කොටුවේ වෘත්තිය සමිති පෙළපාලි යනකොට පොලීසිය දමලා පාර හරස් කරලා ස්වයං රැකියා මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදි කණ්ඩායම වෘත්තිය සමිතිවලට විරුද්ධව පෙළපාලි යාමේ පූර්ණ නිදහස ලබා දී තිබුණ ආකාරය කඩේට බඩු ගෙන එන්න ගිය දවසක ඇස්දෙකෙන්ම දැක්කා කියාය.

පළාත් පාලන ඡන්දයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂයේ භාගයක්ම, අගමැතිත් එක්ක වැඩකරන්න බැහැ කියා කීව කියල හඟුරන්කෙත බණ්ඩා කියනවා. ‘එක්සත් ජාතික පක්ෂයේ බාගයක් රනිල් එක්ක වැඩ කරන්න අකමැති නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ චන්ද ගෙඩිපිටින්ම අගමැතිට පක්ෂව ලැබීම පුදුමයක් නේද?’ කියා කඩේ කොලුවා කීවේය.

එවිට කඩේ මුදලාලි කීවේ, ඔය කතන්දර කියන අතරේ හඟුරන්කෙතයාගේ රෙද්ද පල්ලෙන් මොකුත් බේරෙනවා ටීවී කමරාවලට අහුවෙලා ති‍බුණේ නැද්ද කියාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එකට යන්න ඕනය එක්සත් ජාතික පක්ෂයේ කකුලක් තියාන ඉන්න අයට සාදාචාරාත්මක අයිතියක් නැහැ කියලා කරනම් දයාසිරි කියද්දී මට දෙකොනින් හිනාගියා කියා මුදලාලි කී විට ඉස්කෝලේ මහත්තයා, හිනාවට හේතුව කුමක්දැයි කියා ඇසුවේය.

‘ඇයි ඉස්කොල මහත්තයෝ ඔය හාදයා සිරිකොතේ කිරි බීල හැදිල සිරිකොතටම ගල් ගහපු එකා නේදැ’යි මුදලාලි කීවේය. වරායේ ගලක් ගැන කිය කියා ඉඳලා රෙද්දකුත් ඇඳගෙන සාටක හරහා ගිහින් මහ ඇමති කටු ලෙවකාලා, ඡන්දෙදි පුලතිසිට බැණ බැණ ඇවිදලා, අන්තිමට සාටකයා පාරද වුණාට පස්සෙ ලජ්ජා නැතිව ආණ්ඩුවට රිංගලා ආයෙත් ඇමති කටු ලෙවකාලා දැන් සදාචාරෙ ගැන කතා කරනවා. අනුන්ගෙ සදාචාරෙ ගැන කතා කරන්න කලින් කරණම් දයාසිරි තමන්ගෙ දුරාචාරය ගැන බලාගත්තා නම් හොඳයි නේද?’ කියා මුදලාලි ඇසුවේ කෙන්තිය සඟවා ගන්නට කිසිදු උත්සාහයකින් තොරවය.

‘අප්පා කළ දේ පුතා නොකළොත් නොට්ටිගෙ පුතා කියනවා, අප්පා නොකළ පුතා කළොත් ඒකත් නොට්ටිගෙ පුතාම ද?’ කියා කඩේ බඩු කිරන කොලුවා ඉස්කෝල මහත්තයාගෙන් ඇසුවේ, ඒ මහතා සිංහල ගැනත් යමක් කමක් දන්න බව විශ්වාස කරන නිසාය.

්මේ කතන්දර අස්සේ කඩේ ළමයාට නොට්ටිගෙ පුතෙක් මතක් වුණේ කුමක් නිසාදැ’යි එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය.

්ඇයි ඉස්කොලෙ මහත්තයෝ අප්පා සබරගමුවෙන් දකුණට මාරුවෙද්දි නොට්ටිගෙ පුතා යහපාලනයෙන් යම පාලනයට මාරු වුණා. ඒක නොට්ටිගෙ පුතාගෙම වැඩක්නේද?’ කියා කොලුවා කීවේය.

‘විශ්වාස භංගය අගමැතිට ආශිර්වාදයක් වුණා කියල නොට්ටිගෙ පෙරේරා කියල තිබුණා තමයි. දැන්නම් කොණ්ඩෙට යටින් එයාට ‍මොළයකුත් තියෙන බව ටිකක් පෙනෙනවා’ යයි මුදලාලි කීවේය.

‘නොට්ටිගෙ ඩිලාන් සාටක රජ්ජුරුවො එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවලු. කතා කරන්නේ මොනව ගැන ද කියලත් කියලත් කියන්නෙ නැහැ.’ මුදලාලි කීවේය.

‘රට විරුවො වගේ ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්න ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඡන්දෙන් කුජීත වුණාම නැෂනල් ලිස්ට් එකට ගන්න පුළුවන් ද කියල සාකච්ඡා කරනවා වෙන්නත් පුළුවන්. නැෂනල් ලිස්ට් එකෙන් නම මකල දැම්මොත් කොයි දෙයියන්ගෙ පිහිට ද ඉතුරු නේනෙ කියල සාටකගෙන් අහල දැනගන්න බලාපොරොත්තු වෙනව වෙන්නත් පුළුවන්’ කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

‘සැටලයිට් නෝනා එයාගෙ ගුරුතුමිය කියලත් නොට්ටිගෙ පෙරේරා කියල තිබුණ ‍නේද ඉස්කෝලෙ මහත්තයෝ? එච්චර වැදගත් නෝනා කෙනෙක්ගෙන්ගෙන් මේ යකා වැදගම්මකට ඇති දෙයක් ඉගෙනගෙන තියෙන බවක් මට නම් පෙනෙන්නේ නැහැ. එහෙම ඉගෙන ගත්තනම් හොරුන්ට දූෂිතයන්ට මිනීමරුවන්ට තැන දෙන්න එපා කියල සැටලයිට් නෝනා උදේ හවහා කියද්දි නොට්ටිගෙ පෙරේරා, සාටකයත් එක්ක සිරිපාදෙ නඟින්න නල්ලතන්නියට වෙලා බලා ඉඳියි ද?’ කඩේ කොලුවා කීවේය.

නොට්ටිගෙ පෙරේරා අයිති වෙන්නේ මූසිල පරම්පරාවට වෙන්න පුළුවනි. මුසිලත් ගුත්තිලගෙන් ඉගෙනගෙන අන්තිමට ගුරුතුමාටත් ඇන්නනෙ. මෙයාත් එල්ලාවලලගෙන් පටන්ගෙන ඇනගෙන ඇනගෙන ඇවිත් දැන් පිං ඇමතිකම දුන්නු සිරිකොතටත් අනිනවා. උගේ කතා අහල සැටලයිට් ‍නෝනට ගුත්තිලේ කවියක් මතක් වෙනව ඇති. ඉස්කෝලේ මහත්තයා කීවේය.

හැබෑටම මහත්තයෝ මොකක් ද ඒ කවිය?

මුදලාලි අසුවේය.

දියෙහි යන දණ්ඩ ට

පිහිටක් වෙතත් පෙර සිට‍

දුදනන් හට පිහිට‍

නොවවු යන වග සැබෑ කළෙ මට

ඉස්කොලෙ මහත්තයා කීවේය.

ඒ කවිය නම් හඟුරන්කෙතටයි කරණම් දයාටයි විතරක් නෙමෙයි පොහොට්ටුවට අත උස්සපු අතේ සැට් එකේ ඔක්කොට ම හැට දෙලක්ෂයක් ජනතාව ආයත් ආයෙත් කියන්න වටිනවා. කඩේ කොලුවා කීවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *