රියර් අද්මිරාල් ගේ පිස්සු නාටකය – අනුර සූරියබණ්ඩාර

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එල්ල වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීම සඳහා දෙමළ සන්ධානයේ සම්බන්ධන් මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ කොන්දේසි දහයක් ඉටුකිරීමට කැමැත්ත දී ඇතැයි ඒකාබද්ධය හෙවත් මහින්ද රාජපක්ෂවාදය නියෝජනය කරන මුග්ධ ජාතිවාදියකු මෙන්ම යුදවාදියකු ද වන සරත් වීරසේකර නමැත්තා ‘දිවයින’ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ගිනිලෑමට නිතර සැදී පැහැදී සිටින පුවත්පත් සමාගමක සති අන්ත සිංහල පුවත් පතකට ලිපියක් ලියමින් කියා තිබුණි.

ජනවාරි 08 පරාජයෙන් පසුවද ඒකාබද්ධය මතු කළ තර්කය වූයේ යහපාලන පිල ජයග්‍රහණය කළේ සුළු ජාතින්ගේ එනම් දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්දය අනුව බවයි. යම් මැතිවරණයක් පැවැත්වෙන්නේ සිංහල මුස්ලිම් දෙමළ සියලු ජාතින්ට පොදුවේ නම් ඔවුන්ගේ ඡන්දය හෝ සහයෝගය ලැබ යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කිරීම වරදක් වන්නේ කෙසේදැයි වැටහෙන්නේ නැත. දෙමළ ජාතිකයන්ගේ හෝ මුස්ලිම් ජාතිකයන්ගේ එකී ජාතික කණ්ඩායම් දෙකෙහිම හෝ සහයෝගය අනුව යමෙක් හෝ යම් පක්ෂයක් මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම වරදක් නම්, එය නොසිදුවිය යුත්තක් නම් එකී ජන කොට්ඨාසවලට ඡන්ද බලය ලබාදීමේ තෙරුමක්ද නැත. එවිට සිදුවනු ඇත්තේ දකුණු අප්‍රිකාවේ කලකට පෙර සිදුවුණු ආකාරයට එක් ජනවර්ගයකට පමණක් ඡන්ද බලය හිමිවන පාලනයකට යාමය. එනම් මෙරට ඡන්ද බලය හිමි එකම ජන කොට්ඨාසය සිංහල බෞද්ධයන් පමණි. ඡන්දයෙන් තෝරා ගැනෙනු ඇත්තේ රටේම ජනාධිපති හෝ රටේම පාර්ලිමේන්තුව නොව සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරයකු හෝ පාර්ලිමේන්තුවකි.

තවත් ආකාරයකින් ගත් කල්හි මහින්ද රාජපක්ෂ එකල මැතිවරණ ජයග්‍රහණය කරනු පිනිස දෙමළ ජනතාව ඡන්දය දීමෙන් වලකාලීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට අල්ලස් දී ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව මැතිවරණයෙන් ඈත් කිරීම යනු පැහැදිලි ලෙසම ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුත්තකි. මහින්ද රාජපක්ෂලා ප්‍රමුඛ සරත් වීරසේකර වැන්නන් කූඨ ප්‍රජාතන්ත්‍රවාදීන් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන් නොවේ. සරත් වීරසේකර ගේ මුග්ධ රාජපක්ෂවාදී වහල්බව කුමක්වුව ඔවුන්ගේ කෙලතොලු නරිවාදම් හේතුවෙන් මෙරට බුද්ධිමත් නොවන ජනතාව නොමග යෑම වලක්වාලීම සඳහා ඔහුගේ මතවාද වලට පිළිතුරු සැපයීම ‍සමාජ යුතුකමක් බැවින් ‍මෙසේ ලියන්නට අදහස් කළෙමි.

විශ්වාසභංග විවා‍දයේ දී ඒකාබද්ධයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා උත්සහ කළේ ද ද්‍රවි‍ඩ ජාතික සංධානයට කොන්දේසි ඉටුකිරීමේ අල්ලසක් දීමෙන් ඉන් ජයග්‍රහණය කරන්නට එජාපය සූදානම් බව සමාජගත කරන්නටය. එකී විවාදයේ දී සුමන්තිරන් මන්ත්‍රිවරයා දෝශාභියෝගය වෙනුවෙන් තම පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොමැතිබව පැහැදිලිව පවසා තිබියදීත් සරත් වීරසේකර වැන්නන් තම පරාජයේ හෙළුව වසාගැනීමට ජාතිවාදී බොරු අදහස් වැපිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බව නොකියා සිටිය නොහැකිය.

ඊළඟ කාරණය එකී ජාතිවාදියා කියන ආකාරයට විශ්වාසය දිනාගැනීමට ආණ්ඩුව නැතහොත් එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉටුකරන්නට පොරොන්දු වූ කොන්දේසි මොනවාද යන්නය. ඔහු කියන ආකාරයට ඒ මේවාය.

(අ) උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීම.

(ආ) මීළඟ මැතිවරණයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම.

(ඇ) ආරක්ෂක අංශ බා‍රයේ පවතින උතුරු නැගෙනහිර සියලුම ඉඩම් හිමිකරුවන්ට නැවත දීම.

(ඈ) දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කිරීම.

(ඉ) යුද සමයේ අතුරුදන් වූ අය සොයාබලා සාධාරණය ඉටු කිරීම.

(ඊ) උතුරු නැගෙනහිර අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.

(එ) උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියා ගැටලුව විසඳීම.

(ඒ) උතුරු නැගෙනහිර රැකියා ලබාදීමේ දී එම පළාත්වල ජනතාවට ප්‍රමුඛතාව ලබාදීම.

(උ) උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් ලේකම්වරු පත්කිරීමේ දී දෙමළ ජාතිකයන් පත් කිරීම.

(ඌ) පළාත් සංවර්ධන කාර්යන්හි දී පළාත්සභා මතයට ගරු කිරීම.

ඉහත කොන්දේසිවලට ආණ්ඩුව හෝ එක්සත් ජාතික පක්ෂය එකඟ වූවා නම් එහි වරදක් තිබේද? අපි ‍කොන්දේසි එකින් එක ගෙන විමසා බලමු;

අ – උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදීම

උතුරු නැගෙනහිර ප්‍රශ්නය යනු නිදහසින් පසුව මෙරට සංවර්ධනයටත් සාමයටත් නරක ලෙස බෙහෙවින් බලපෑ කාරණයක් ය යන්න බොරුවක් නොවේ. එහි අවසන් පුපුරා යෑම ලෙස අප හඳුනාගත යුත්තේ ඊළාම් යුද්ධයයි. සරත් වීරසේකර ම පවසන ආකාරයට හමුදා සොල්දාදුවන් (ඔහුගේ වචනවලින් ‘අපේ රණවි‍රුවෝ’) 29000ක් ජීවිත පරිත්‍යාග කර 14500ක් ඊළාම් යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වී ඇත. නැවත වතාවක් රණවිරුවන් 29000ක් මිය යනු දැකීමට රණවිරුවන් 14500ක් අබාධිත තත්ත්වයකට පත්වනු දැකීමට අකමැති අයෙක් වෙත්නම් ඉක්මනින්ම කළයුතු කටයුත්තක් වන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබා දීමය. උතුරු නැගෙනහිර යනු මේ රටේ කොටසක් නම් එහි ගැටලුවක් ඇතිවිට එයට විසඳුම් ලබාදීම ආණ්ඩුවේ වගකීමක් වේ. එම වගකීම ඉටුකිරීමට ආණ්ඩුවලට කවුරුවත් කොන්දේසි පනවනතුරු හෝ ඉල්ලීම් කරනතුරු ඉන්නට යුතුකමක් නැත. නමුත් වසර 70ක් තිස්සේ ආණ්ඩු කළේ, උතුරු නැගෙනහිර ප්‍රශ්නය මුහුකුරා යන්නට ඉඩ හැරීමය.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය මේ රටේ ප්‍රශ්නයක් නම් ජාතික සන්ධානය පමණක් නොව අනෙකුත් සියලු දේශපාලන පක්ෂ ද එය විසඳීමට ආණ්ඩුවට බලපෑම් කළ යුතුය. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් දීම හෝ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් දෙන ලෙස ඉල්ලා සිටීම වරදක්ය කියන්නේ නම් ඒ ජාතිවාදියා ගේ මොළයේ තරම පිරික්සන්නට වෙනත් පරීක්ෂණ ඕනෑ නැත.

ආ – මීළඟ මැතිවරණයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම :-

සරත් වීරසේකරගේ නායකයා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් නොවන සියල්ලන්ම ඉතිහාසයේ එක් වරක් හෝ 1978 ජේ.ආර්. ජයවර්ධන ගේ ව්‍යවස්ථාව වන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වී තිබේ. (සරත් වීරසේකර ඊට විරුද්ධ වී ඇත්දැයි අපට කිව නොහැක්කේ හමුදාවක කාර්යභාරය වන්නේ තියෙන ව්‍යවස්ථාව මොක වුව රටේ නායකයා කවර තැනැත්තෙකු වුව එය සහ ඔහු ආරක්ෂාකිරීමට ප්‍රශ්න කිරීමකින් තොරව පක්ෂපාතීවීම නිසාය.) පවතින ව්‍යවස්ථාව 1978 සිට මේ දක්වා 19වතාවක් සංශෝධනය කිරීමට සිදු‍වූයේ, එකී ව්‍යවස්ථාවෙ දුර්වලතා නිසාය. සරත් වීරසේකරගේ ලොක්කා මහින්ද රාජපක්ෂට අල්ලසින් දූෂණයෙන් තුනෙන් දෙකේ බලය ගොඩනගා ගත හැකිවූයේ පවතින ව්‍යවස්ථාවේ සිදුරු නිසාය. සරත් වීර‍සේකරගේ ලොක්කා මහින්ද රාජපක්ෂට මරණ මංචකය දක්වා මහරජා වශයෙන් ඉන්නට 18 වැනි වරට සංශෝධනය කරගත හැකි වූයේ පවතින ව්‍යවස්ථාවේ දුර්වලතාව සහ රාජපක්ෂ ආණ්ඩුවේ බත්බැල මැති ඇමැතිවරුන්ගේ කොන්ද පණ නැති කම නිසාය. එවකට විපක්ෂයේ නිද්‍රාශීලී බව නිසාය.

ඈ – ආරක්ෂ අංශ භාරයේ තිබෙන උතුරු නැගෙනහිර සියලුම ඉඩම් හිමිකරුවන්ට නැවත ලබාදීම :-

සිවිල් ජනතාව සතු ඉඩම් අත්පත්කරගෙන ඉන්නට ආරක්ෂක හමුදාවලට සදාචාරාත්මක අයිතියක් තිබේද?  යුද වතාවරණයක හදිසි තත්ත්වයක් ය‍ටතේ හමුදාව යම් ඉඩමක් අත්පත්කර ගත්තා වුව දැන් යුද්ධයක් ඇත්තේ නැත. ජාතික ආරක්ෂාව සැලසීම යනු සිවිල් ජනතාවගේ ඉඩම්වල බලහත්කාරයෙන් හමුදාව රැඳී සිටීම ‍නොවේ. එහෙයින් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් සිංහල කවරකුගේ ඉඩමක හමුදාව කඳවුරු ලා ගෙන සිටියා වුව දැන් ඔවුන් ඒ තැන්වලින් ඉවත් විය යුතුය. එසේ ඉවත්විය නොහැකි නම් ආරක්ෂක මර්මස්ථානයක් ඇතොත් අයිතිකරුවන් සමඟ සාකච්ඡාකර වන්දි ගෙවීමක් කුලී ගෙවීමක් වටිනාකම ගෙවා අත්පත් කර ගැනීමක් කළ යුතුය. එවැනි දෙයකට විරුද්ධවන්නේ නම් ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුය.

ඈ – දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කිරීම-:-

දේශපානල සිරකරුවන් යනු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවන් හෝ මරණ දණ්ඩනය නියම වූවන් නොවේ. ඔවුන් වරදක් කර ඇත්නම්, නඩු විභාගකර දඬුවම් පැමිණවිය යුතුය. චෝදනා නැති අය සිටීනම් ඔවුන් නිදහස් කළ යුතුය. අවශ්‍ය නම් පුනරුත්තාපනය වැනි ක්‍රියාමාර්ගයකට යායුතුය. මහින්ද රාජපක්ෂ යුගයේත් තෝරාගත් එල්.ටී.ටී.ඊ පිරිසකට සහනදායීව කටයුතු කළ බව සරත් වීරසේකර රියර් අද්මිරාල්තැනට අමතක වී තිබීම ජාතියේ අවාසනාවය.

ඉ – යුද සමයේ අතුරුදන් වූ අය සොයාබලා සාධාරණය ඉටුකිරීම :-

පසුගිය ඊළාම් යුද සමයේ පමණක් නොව 1971,1988’89 කාලවල දී පවා අතුරුදන් වූවන් මෙන්ම බලහත්කාරයෙන් සිය කැමැත්තෙන් තොරව අතුරුදන් කළ වූවන්ද සිටිති. ඔවුන් හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල අය මුහුණ දෙන ගැටලු ද තිබේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් නොවී සිටීම යනු මිනිස් අයිතිවාසිකමකි. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලා සාධාරණය ඉටුකිරීම කිසිවකුට බැහැර කළ හැකි නොවේ. එපමණක් නොව ඉදිරියේ දී මෙරට කිසිවකු බලහත්කාරයෙන් අතුරුදන් කළ නොහැකි වන පරිදි නීති ශක්තිමත් කළ යුතුව තිබේ. අතුරුදන් වූවන්ට සහන සැලසීමට විරුද්ධ විය හැක්කේ අතීතයේ අතුරුදන් කිරීම්වලට සම්බන්ධ වූ, ඒවාට අනුබල දුන්, ඉදිරියේදී අතුරුදන් කිරීම් කරන්නට බලාපොරොත්තුවන පිරිසට පමණි. සරත් වීරසේකර අයත් වන්නේ ඔවුන් අතරින් කවර පිරිසටද?

ඊ – උතුරු නැගෙනහිර අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම :-

දිවයිනේ කවර හෝ ජනකොටසකගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වරදක් නොවේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යත්තේ කිසිවකු සතුටු කරන්නට හෝ කිසිවකුට අල්ලස් දීමට ද නොවේ. ජනතාවගේ අතිවාසිකම් පුරක්ෂිත කරන්නට ආණ්ඩුවක් නීතියෙන් බැඳී සිටී.

එ – උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියා ගැටලුව විසඳීම :-

එය වරදක් ද? උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳිය යුතු නැද්ද? රැකියාවක් කිරීම අයිතියකි. උතුරු නැගෙනහිර පමණක් නොව රටේ සියලුම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවේ වගකීමය. වසර තිස් ගණනක් තිස්සේ උතුරු නැගෙනහිර තරුණ තරුණියන් ගේ රැකියා ප්‍රශ්නය ඊලාම් යුද්ධය හේතුවෙන් වැඩි වර්ධනය වී තිබේ. එය විසඳුවේ නැතිනම් එම ප්‍රදේශවල තරුණ අසනය වැඩි වී නැවතත් බරපතල තත්ත්වයකට රට පත්වීමට වුවද ඉඩ තිබේ.

ඒ – උතුරු නැගෙනහිර රැකියා ලබාදීමේ දී එම පළාත්වල ජනතාවට පුමුඛතාව ලබාදීම :-

සියයට සීයක් සාධාරණ ඉල්ලීමක් නොවූව ද උතුරු නැගෙනහිර පවතින තත්ත්වය අනුව එවැන්නකට ඉඩ දීම අසාධාරණ නැත. විශේෂයෙන්ම දකුණේ තැනැත්තන් ගේ භාෂා දැනුම ආදිය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සේවය කිරීමට දකුණේ පිරිසගේ කැමැත්ත අකැමැත්ත අනුව එවැනි කොන්දේසියක් පිළිබඳ කල්පනා කළ යුතුය. සරත් වීරසේකර උත්සාහ කරන්නේ සාධනීයව ඒ ගැන කල්පනා කිරීමට නොව නිශේධනීයව එම ඉල්ලීම පිළිකෙව් කරන්නටය.

උ – උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් ලේකම්වරු පත්කිරීමේ දී දෙමළ ජාතිකයන් පත්කිරීම :-

උතුරු නැගෙනහිර පමණක් නොව මධ්‍යම පළාතේ පවා දෙමළ බස කතාකරන පිරිස් බහුලව වෙසෙන ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින්ගේ දෙමළ භාෂා දැනුම මද වීම පොදු ජනතාවට සිය රාජකාරි ඉටුකරවා ගැනීමට යාමේ දී ගැටලුවක් බවට පත්ව තිබේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පමණක් නොව දෙමළ බස වැඩියෙන් කතා කරන ජනතාවක් වෙසෙන ප්‍රදේශවලට දෙමළ බස හැසිරවිය හැකි රාජ්‍ය නිලධාරින් පත් කරගැනීමට එම ජනතාවට අයිතියක් තිබේ.

ඌ – පළාත් සංවර්ධන කාර්යයන්හි දී පළාත් සභා මතයට ගරු කිරීම :-

යම් ප්‍රදේශයකට සංවර්ධනය උඩින් අතහරිනු වෙනු‍වට පළාතේ පරිපාලන ඒකකය වන පළාත් සභාව සමඟ සංහිඳියාවෙන් කටයුතු කිරීමෙහි හෝ එසේ කරන්නැයි ඉල්ලා සිටීමෙහි වරදක් තිබේද? උතුරු නැගෙනහිර පළාත් සභා යනු මධ්‍යම ආණ්ඩුවේ නීති රීති වලට යටත්ව එම පළාත් වල ජනතාව විසින් පත්කර ගත් පරිපාලන ඒකකයයි. එතැන නියෝජනය වන්නේ පළාතේ ජනතාවගේ මතයයි. පළාත් සංවර්ධනයේ දී එම පළාතේ නියෝජිතයන්ගේ ඉල්ලීම් සාධනීය වේ නම් ඒවාට ඇහුම්කන් දීමෙහි වරදක් ඇත්තේ නැත.

ඒකාබද්ධයට විශ්වාස භංගයෙන් අත් වූ පරාජය ඓතිහාසිකය. පුංචි ඡන්දය දිනුවේ යැයි උදම් අනමින් සිටි ඒකාබද්ධය විශ්වාස භංගයේ දී කුජීතු විය. විශ්වාසභංගයේ දී මහින්ද වාදීන්ට හිමි වූයේ ඡන්ද 76ක් පමණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වලය පළකළ සංඛ්‍යාව 122කි කොන්දේසිවලට යටත්ව දෙමළ සන්ධානයෙන් ලබාගත්තාය පොහොට්ටුවාදීන් කියන ඡන්ද 16නොමැතිව වුවද රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 106ක් හිමි වන බව පැහැදිලිය. එය ඒකාබද්ධය ලැබූ ඡන්ද 76ට වඩා ඡන්ද 30ක වැඩියෙකි. එහි අර්ථය දෙමළ සන්ධානයේ සහය නැතිව වුව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි ඡන්ද 30 කින් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ හැකියාව තිබුණු බවයි.

ඉහත කරුණ අනුව පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමෙන් පෙන්වා ඇත්තේ මෙර සුළු ජාතිකයනට මහින්දට වඩා රනිල් විශ්වාස බවයි. ජාතික කැටලුව නිරාකරණය කර රටට සාමය, සංවර්ධනය උදා කළ හැකි වන්නේත්, උතුරේත් නැගෙනහිරත්, දකුණේත් ජනතාවගේ විශ්වාසය එකසේ දිනා ගන්නා නායකයකුට පමණි. ඒ සුදුසුකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව විශ්වාභංගයෙන් තහවුරු විය. දැන් ඒ මහතාට බලකළ යුත්තේ දෙමළ සන්ධානයට පොරොන්දු වූ යේ යැයි සරත් වීරසේකර කියන කොන්දේසි ඉටුකිරීමට වහා පියවර ගන්නා ලෙසය. ලක්ෂ හැට දෙකක ජනතාව පසුගිය මැතිවරණයේ දී මෛත්‍රි – රනිල් දෙදෙනාට බලය ලබා දුන්නේ ඒ සඳහාය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *