පුංචි ඡන්දය ග්ලයිෆොසෙට් සහ පාසල් නිල ඇඳුම් – සම්පත් අමරසිංහ

මස්කෙළිය ප්‍රාදේශීය සභාවට සභාපති උපසභාපති තෝරා ගැනුණේ ගල්මුගුරු ගුටි කෙළි මධ්‍යයේය. තවත් සමහර තැනෙක සභාපති උප සභාපති තෝරා ගැනුණේ කුසපත් ඇදීමෙනි. බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපති තෝරාගෙන තිබුණේ ජයග්‍රාහී කූපනය හිමිකරගත් මන්ත්‍රීවරියන් දෙදෙ‍නකු ගේ කැමැත්තට අනුව පුද්ගලයන් දෙදෙනෙකු නම්කිරීමෙනි.

පෙබරවාරි මස 10 දා පැවැත් වුණු පළාත් පාලන ආයතන 340 කට නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්දයෙන් ආයතන 239ක ජය හිමිවූයේ පොහොට්ටුව ලකුණින් තරඟ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටය. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ආයතන ගණන 41කි. ආයතන 10ක ජය ශ්‍රී ලංකා නිදහස් සන්ධානයට ද, ආසන 34ක ජය දෙමළ ජාතික සන්ධානයට ද, කම්කරු කොන්ග්‍රසයට ආසන 05ක් සහ මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 03ක් ද හිමිවිය. එහිදී මතුවූ මූලික කරුණක් වූයේ නව ඡන්ද ක්‍රමය අනුව සමානුපාතික ලැයිස්තුවෙන් පත්වන නියෝජිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් සභිකයන් සංඛ්‍යාව 8325 දක්වා නැගීමය. ඊට අමතරව තවත් ආසන 200ක් පමණ ඇතුළත් වනු ඇත. එවිට මුළු සභිකයන් සංඛ්‍යාව 8500 ඉක්මවා යනු ඇතිය යනුවෙන් පවසේ.

මැතිවරණ නීතිය අනුව සිදුවිය යුතුව ඇත්තේ ආයතනයක සමස්ත සභික සංඛ්‍යාවෙන්  50%ක් හෝ ඊට වැඩි ගණනක් පත්වන පක්ෂයක් හෝ කණ්ඩයමක් වෙත්නම් එකී සියෝජිත පිරිස අතරින් සභාපති, උප සභාපති, නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති නම් කිරීම වුව ඇතැම් තැනක එකී සභාපති උපසභාපති නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති අඩු ආසන සංඛ්‍යාවක් දිනූ පිරිස අතරින් ද පත් වී තිබේ.

 

ඊළඟ අර්බුදය මතු වූයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙනි. එකී හේතුව නිසාවෙන් සභා පිහිටුවීමේ දිනය කල් තබන්නට සිදු විය. ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරී‍ම් කෙරෙහි ද ඊට පෙර මේ නව ඡන්දක්‍රමයෙන් බලපෑම් එල්ල එල්ල වී තිබුණි. තවත් තැනක කිසිම දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ආයතනයේ බලය පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබා ගැනීමට හැකි වූයේ නැත එවැනි ආසන සංඛ්‍යාස 167කි.

තවත් තැනක දී ජයග්‍රාහී දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමකට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පරාජිත දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් වලට ලැබිණ. නියමිත ඡන්ද ප්‍රමාණය නොලැබ ඇපය අවලංගු වූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට ද මන්ත්‍රිධුර හිමි වී තිබේ. මෙය එක් අතකින් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස ද ගතහැකිය. හේතුව නියමිත ඡන්ද සංඛාව ලබා ගත නොහැකි සුළු කණ්ඩායම් වලට ද නියෝජනයක් එමගින් ලැබෙන බැවිනි. කෙසේ වෙතත් මේ තත්ත්වය සමාජගත වී ඇත්තේ පවතින මැතිවරණ ක්‍රමයේ දුර්වලතාවක් ‍වශයෙනි. පළාත් පාලන ආයතනවල නියෝජිතයන් සංඛ්‍යාව ඉහළ යාමට ද එවැනි කරුණු බලපා තිබේ. නිදසුනක් වශයෙන් ලිඳුල නගර සභාව පොදු ජන පෙරමුණට වඩා ඡන්ද 40ක් ලංකා කම්කරු කොංග්‍රසය ලබා තිබුණ නමුත් ජයග්‍රාහී ලංකා කම්කරු කොන්ග්‍රසයට වඩා එක් ආසනයක් දෙවැනි තැනට ඡන්ද ලබාගත් පොදුජන පෙරමුණට හිමි වී තිබේ. පෑලියගොඩ නගර සභාවේ ද ඇත්තේ එවැනි තත්ත්වයකි.

පසුගිය දා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබුණේ අටදහසක් වන පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාව හාරදහස දක්වා අඩුකිරීමට කටයුතු කරන බවයි. ඉන් අදහස් වන්නේ පළාත් පාලන පනත නැවතවරක් සංශෝධනය වනු ඇති බවයි. මෙවර පළාත් පාලන මැතිවරණ ක්‍රමය හදුන්වා දෙනු ලැබුවේ විශාල කාලයක් මෙන්ම ශ්‍රමයක් ද වැය කරමිනි. සීමා නීර්ණ දෝශ ආදිය නිසාය කියමින් පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුණේ ද බොහෝ ප්‍රමාදවීමෙන් අනතුරුවය. දැන් කන්දක් විලි ලා මීයකු වැදුවා වැනි තත්ත්වයකට පළාත් පාලන මැතිවරණ ක්‍රමය ලක් වී තිබේ.

පළාත් සභා සීමා නීරණය ද මේ වන විට අවසන්ව ඇතැයි පැවසේ. ආණ්ඩුව හමුවේ මේ මොහොතේ අභියෝග දෙකකි. පළමු වැන්න පැවති සමානුපාතික මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු මඟහරවා අලුත් මැතිවරණ ක්‍රමයක් පළාත් සභා සඳහා හඳුන්වා දීමයි. එහි දී දිස්ත්‍රික් මානාපක්‍රමය සංශෝධනය අනිවාර්යෙන්ම කළ යුතු ‍වන්නේ, එය ප්‍රදේශයකට හෙවත් මැතිවරණ ආසනයට එනම් ඡන්ද කොට්ඨාශයට වගකියන මන්ත්‍රිවරයකු සහිත මැතිවරණ ක්‍රමයකට යාම යහපාලනයේ පොරොන්දුවක් මෙන්ම යහපාලනයට සහය පළකළ ජනතාවගේ ද බලාපොරොත්තුවක් බැවිනි.

දෙවැනි අභියෝගය වන්නේ සුළු ජාතික පක්ෂවලට මෙන්ම කුඩා පක්ෂවලට ද පාලිත ආයතනවල නියෝජනය තරවුරු කෙරෙන අතර පළාත් සභාවලට පළාත් පාල අයතනවලට පාර්ලිමේතුව ට දරාගත නොහැකි තරමට නියෝජිතයන් සංඛ්‍යාව ඉහළ නංවා නොගෙන පවත්වාගෙන යාමය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හා ඒ ආශ්‍රයෙන් මතුව ඇති ගැටලු මෙන්ම ආණ්ඩුවේ බලතුලනය ආදි ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත් වීමට ආණ්ඩුව පෙළඹෙනු ඇතිය යන මතයක් පොදු ජනතාව අතර පවතී. හේතුව පළාත් පාලන ඡන්දය ආසන ක්‍රමය සහ සමානුපාත ක්‍රමයේ සංකලනයක් තුළ පැවැත්වීම හේතුවෙන් ඇති වූ ආණ්ඩුවට අවාසිදායක තත්ත්වයයි. එසේ වුව ඡන්ද ක්‍රමයේ වෙනසකට දී ඇති පොරොන්දුව මගහැරයාමට ආණ්ඩුවට අයිතියක් ඇත්තේ නැත.

පසුගිය කාලයේ දකින්නට ලැබුණේ ආණ්ඩුව හොඳ දේ කරන්නට යාමෙන් ජනතා දෝෂදර්ශනයට  ලක්වීමය. සයිටම් අවුල ගත්තද එවැන්නකි. හම්බන්තොට වරාය තවත් එකකි. බැඳුම්කර ප්‍රශ්නය වුව එතෙක් පැවති බෙදාහදා ගැනීමේ වෙනුවට වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම ඔස්සේ මතු වූ දෙයකි. වෙන්දේසි ක්‍රමය හඳුන්වා නොදුන්නේ නම් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පර්පචුවෙල් සමාගමට බැඳුම්කර සියල්ල වුවත් විකුණා අත පිසදාගන්නට අවස්ථාව ලැබෙනවා ඇත.  පළාත් පාලන ඡන්ද අවුලද ගත හැක්කේ එවැන්නක් වශයෙනි. එතැනදී ආණ්ඩුව කළේ යහපත් ක්‍රියාවක් වුව අවසන් ප්‍රතිඵලය ගැටලු සහගත විය.

තවත් තැනක දී ආණ්ඩුව නොකළයුතු වෙනස්කම් කරන්නට යාමෙන් ජනතාව සමග අර්බුද ගොඩනගාගත් බවක් පෙනේ. එක් නිදර්ශනයක් පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දීමයි. එහි ප්‍රතිඵලය වූයේ ගොවීන් අතර ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමයි. දැන් නැවතත් පොහොර සහනාධාරයේ දී සිටි තැනටම යාමට ආණ්ඩුවට සිදු වීමෙන් වරද පැහැදිලි වේ. නමුත් වරද නිවැරදි කරගන්නා විට ආණ්ඩුවේ අතපය තුවාල වී අවසන්ය. ගලයිෆොසෙට් තහනම තවත් එකකි. එය තේ කර්මාන්තයට පමණක් නොව සමස්ත කෘෂි කාර්මාතයටම බල පෑ කරුණක් බව ගොවීන්ගේ අදහස් අනුව පැහැදිලි වේ. මිනිසුන් යොදවා වල් නැසීම සඳහා ගොවීනට ග්ලයිෆොසෙට් භාවිතයට මෙන් තුන් හතර ගුණයක වියදමක් දරන්නට සිදු වූ බව කියති. එය ගොවි‍යාගේ නිෂ්පාදන වියදම ඉහළ යාමට හේතුවනවා මෙන්ම කෘෂිකර්මාන්තයේ ලාභයට ද බලපායි. ඉන් සිදුවන්නේ ගොවියාට ගොවිතැන එපා වීමයි. පෞද්ගලික කතා බහේදී අඹිලිපිටිය ගොවි මහතකු පැවසුවේ එම ප්‍රදේශවල ගොවීන් ගොවිතැන අතහැර අධිවේගී මාර්ගයේ දවස් කුලියට රැකියාවට යොමුව ඇති බවයි.

දෙවැනි කරුණ ග්ලයිෆොසෙට් තහනම් කළා වුවද පැවතුණු මිලට වඩා ඉතා අධික මිලගණන්වලට වෙළෙද පොළෙහි හොරට අලෙවි කිරීමයි. ඉහත කී ගොවියා කියූ කරුණු අනුව ආණ්ඩුවේ ග්ලයිෆොසෙට් තහනම හුදු ඇස්බැන්දුමක් පමණි. ආණ්ඩුවේ ග්ලයිෆොසෙටි තහනමට මුවා වී වෙළෙදන් ගොවීන් සූරාකෑ බව ඔවුන්ගේ අදහසයි.

පාසැල් නිල ඇඳුම් සඳහා වවුචර් නිකුතුවද ආණ්ඩුව නැති කරදරයක් හිසමත දාගත් අවස්ථාවකි. එකී තීරණයද නැවත ආපසු හරවන්නට සූදානම් වන බව පැවසේ. හකුලා ගැනීම සඳහා වැරදි තීරණ ගන්නේ කුමකට ද එකී තීරණ ගන්නෝ කවරහුද යන්න සොයා බලා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවක් ද පෙනෙන්නට නැත. ආණ්ඩුව පිළිබඳ මිනිසුන්ගේ කලකිරීම සාධාරණ වන්නේ එහෙයිනි.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *