මහින්දගේ ගෝඨා බය – භාතිය බරුකන්ද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව හමුවේ එජාපය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද කිසියම් අර්බුදයකට ලක් වූ බව නොරහසක්. ඒ සමගම සම්මුතිවාදී ආණ්ඩුව ද අර්බුදයකට ගමන් කළා. මේ මොහොත දක්වා එජාපය, ශ‍්‍ර‍්‍රීලනිපය හා ආණ්ඩුව මේ අර්බුදය විසඳා ගැනීම සඳහා වෙහෙසෙන බවක් අපට දැකිය හැකියි.
එජාපය, ශ‍්‍රීලනිපය හා ආණ්ඩුව යන මේ මොහොතේ බල ත‍්‍රිත්වය අර්බුදයකට ලක් කිරීම ඒකාබද්ධ විපක්ෂය ඉතාමත් සැලසුම් සහගතව සිදුකළ තීක්ෂණ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් බව අපි පිළිගත යුතුයි. එය විපක්ෂය විසින් සිදුකළ යුතු දේශපාලනයක් / බල ව්‍යාපෘතියක් නිසා කිසිවෙක් මේ ගැන කම්පාවට හෝ කණස්සල්ලට පත් නොවිය යුතුයි. අනෙක් අතට මේ වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ආණ්ඩුව තුළ හා තම පක්ෂ තුළ වර්ධනය වූ මතභේදාත්මක තත්ත්වය කළමනාකරණය කර ගැනීම ගත් උත්සාහය සාර්ථක වූ බවක් ද දැකිය හැකියි.
එහෙත් මේ මොහොතේ කිසිවෙක් විසින් වැඩි අවධානයට නොගත් හෝ සාකච්ඡුා නොකරන සංකීර්ණ අර්බුදයක් (කුලල් කා ගැනීමක්* ඒකාබද්ධ විපක්ෂය තුළ වර්ධනය වෙමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරනවා. ඒ මහින්ද ප‍්‍රමුඛ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතරයි.
බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර බල අරගලය කාලයක් පුරා පැවැති බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. එහෙත් මෙම බල අරලගයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලැබෙන්නේ කාටද යනන් ගැන බොහෝ දෙනෙක් තුළ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් කාලයක් පුරා සැඟව තිබූ මහින්දගේ ගෝඨාභීතිය පසුගිය දා එළිපිට ප‍්‍රකාශයට පත් වුණා.
ශ‍්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සිදු වූ හමුවකදී ඩිව් ගුණසේකර මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබේදැයි’’ විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ගුණසේකර මහතාට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ* අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව’’යි. මෙහිදී ගෝඨාගේ නුසුදුසුභාවයට හේතු මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙළි නොකළත් රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අපට සැලකිය හැකිවන්නේ ‘‘බළලා මල්ලෙන් එළියට පැනීමක්’’ විදිහටයි.
2020 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපත් වීම මේ වන විට දේශපාලන යථාර්ථයක් බවට පත්ව අවසන්. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සමග ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ද මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වූ පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගත යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය පිළිබඳ සුජාතභාවය ද හිමිකර ගැනීමට මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබෙනවා. ඒ අනුව 1989 මහ මැතිවරණයෙන් පසු කිසිදු මැතිවරණයකට තනියෙන් ඉදිරිපත් නොවූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය පිළිබඳ ගැටලූවක් මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පවතින්නේ නැහැ. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් අති බහුතරයක් ද දීර්ඝ කාලයක් පුරා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව මැතිවරණවලට ඉදිරිපත් වූ සියලූම වාමාංශික පක්ෂ ද තව දුරටත් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින නිසයි.
එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් වර්ධනය වෙමින් පවතින දේශපාලන ප‍්‍රවණතා අනුව පක්ෂය තුළ දැවැන්ත ප‍්‍රතිසංස්කරණයක් සිදු වුවත් එහි නායකත්වයේ වෙනසක් සිදු වනු ඇතැයි සිතිය නොහැකියි. ඒ අතර ජාතික හෙළ උරුමය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය ද එක්සත් ජාතික පක්ෂය සමග යළි සන්ධානගත වනු ඇතැයි විශ්වාස කළ හැකි අතර මේ මොහොතේ ආණ්ඩුව සමග එක්ව සිටින සුළුජන පක්ෂ ද ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටිනු ඇතැයි විශ්වාස කළ හැකියි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ද සුළුජන පක්ෂවල පූර්ණ සහාය ලබන බලවත් පෙරමුණක් ලෙස ජනාධිපතිවරණය ඉදිරිපත්වීම අපේක්ෂා කළ හැකියි. මේ තත්ත්වය තුළ 2020 ජනාධිපතිවරණය ස්ථිර වශයෙන් ම එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිදුවන ජනාධිපතිවරණ සටනක් බවට පත්වීම දේශපාලන යථාර්ථයක්. (මෙහිදී වත්මන් ජනාධිපතිවරයාගේ අනාගත දේශපාලන සැලසුම් ගැන හෝ බැසිල් රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවතින අධිකරණමය ක‍්‍රියාවලිය ගැන සිතාමතාම අවධානය යොමු නොකරන බව සලකන්න*
මහින්ද – ශිරන්ති කුටුම්භයේ වුවමනාව
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට නෛතික හැකියාවක් නොමැති තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් මුහුණ දෙන දේශපාලන අභියෝගය වන්නේ සුළුජන ඡුන්දවල සහයෝගය ලබන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය සමග කරට කර තරඟයක් ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමයි. භූ දේශපාලන යථාර්ථය තුළ බැසිල් හා ගෝඨා අතරින් අයෙක් තෝරා ගැනීම පොහොට්ටුවේ නායකයින්ට අභියෝගයක් නොවුණත් (ඔවුන්ට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජනප‍්‍රියභාවය අලෙවි කිරීම පමණක් නිසා) බැසිල් ද ? ගෝඨාභය ද ? යන තීරණාත්මක අභියෝගයට මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දෙන්නේ මේ මීට වඩා සංකීර්ණ පසුබිමක් තුළ බව අපට පැහැදිලිව වටහා ගත හැකියි. එහිදී මහින්ද – ශිරන්ති කුටුම්භ ඒකකය සේම මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ කාලයක් තුළ වගා කරගත් දේශපාලන හා ව්‍යාපාරික සම්බන්ධතා ද තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන බව අපට පෙනෙනවා. මෙය බොහෝ දේශපාලන නිරීක්ෂකයින්ගේ අවධානය යොමු නොවූ කරුණක් වශයෙන් අපට සැලකිය හැකියි.
මහින්ද – ශිරන්ති කුටුම්භ ඒකකයේ උභතෝකෝටිකය දෙස අවධානය යොමු කළහොත් අපට ඉතාම පැහැදිලිව වැටහී යන කරුණ වන්නේ රාජපක්ෂ පවුලේ දේශපාලන ආධිපත්‍ය සේම වික‍්‍රමසිංහ පවුලේ අදිසි ආධිපත්‍යක් ද පසුගිය රාජපක්ෂ පාලනය තුළ ක‍්‍රියාත්මක වූ බවයි. උදාහරණයක් ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික‍්‍රමසිංහගේ භූමිකාව සැලකිය හැකියි. නිශාන්ත වික‍්‍රමසිංහ මෙන් වික‍්‍රමසිංහ පවුලේ තවත් බොහෝ දෙනකු පසුගිය රාජපක්ෂ පාලනය තුළ අදිසි භූමිකාවක් නිරූපණය කළ බව තතු දත් පුද්ගලයින් කියනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට ගැති /ණයගැති හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිරූපය හමුවේ අඟුටුමිට්ටෙකු නොවන රාජපක්ෂවරයෙක් වුවත් වික‍්‍රමසිංහ පවුලේ ප‍්‍රසාදයට හේතු නොවන බව අප වටහා ගත යුතුයි. අනෙක් කරුණ වන්නේ පසුගිය කාලය පුරාම දැඩිව සංවාදයට ලක්ව ඇති ‘‘නාමල් රාජපක්ෂට ඔටුනු පැළඳවීම’’ සඳහා වන වුවමනාවයි.
මෙය අති සංකීර්ණ පවුල් ප‍්‍රශ්නයක් බවට පත්වන්නේ මහින්ද – ශිරන්ති කුටුම්භයෙන් පිටතට බලය ගලා ගිය පසු තව දුරටත් නාමල් රාජපක්ෂ ‘‘ඔටුන්න හිමි කුමාරයෙක්’’ බවට පත් නොවීමයි. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් 2020 ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන පක්ෂය අනුව නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය තීරණය වෙනවා. (මේ ගැන වෙනම විග‍්‍රහයකට යා යුතුයි* ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා 2020 දී මුහුණ දෙන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ද විසඳන මැතිවරණයකට බව අප වටහා ගත යුතුයි.
බැසිල් – ගෝඨාභය ප‍්‍රතිරූප වර්ධනය වීම
මේ තත්ත්වය වටහා ගැනීමට අප බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වටා ගොනුව සිටින කණ්ඩායම් හා ඔවුන්ගේ බල වුවමනා එපාකම් හා ව්‍යාපෘති දෙස අවධානය යොමු කළ යුතුයි.
බැසිල් රාජපක්ෂ සේම ගෝඨාභය රාජපක්ෂත් ලංකාවේ දේශපාලන කරළියේ ප‍්‍රබලයින් බවට පත් වන්නේ කීර්තිමත් දේශපාලන, සිවිල් හෝ වෙනත් කාර්යභාරයක් ඉටුකරමින් ‘‘නමක් හදා ගත් පුද්ගලයින්’’ වශයෙන් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය හා සමපාත වෙනවා. කොටින්ම රටේ පුරවැසියන් පවා නොවුණ බැසිල් – ගෝඨාභය ආණ්ඩුවේ පමණක් නොව සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයේම බලකණු බවට පත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු බලය අත්පත් කොටගත් ආකාරය අනුවයි.
මෙය දේශපාලන විචාරකයින් සහ විපක්ෂය අර්ථ ගැන්වූ ආකාරයට ‘‘රාජපක්ෂ පවුල් පාලනය’’ ඉක්මවා ගිය දේශපාලන සංකීර්ණයක් බවට පත් වෙනවා. එහි දිශානතිය ආරම්භයේ දී ‘‘ ඕනෑම ආකාරයකින් යළි රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ’’ පොදු දේශපාලන න්‍යාය තුළ ක‍්‍රියාත්මක වුවත් අනපේක්ෂිත යුධ ජයග‍්‍රහණයෙන් පසු රාජපක්ෂ පවුල් පාලනය යොමු වන්නේ උතුරු කොරියානු පන්නයේ (කිං පවුලේ* ‘සදාකාලික රාජපක්ෂ පාලනයක්’ ඉලක්ක කර ගෙනයි. යුධ ජයග‍්‍රහණයෙන් ලැබූ දේශපාලන හා ජනබලය මෙහිදී කේන්ද්‍රිය සාධකය වුවත් එය සම්පූර්ණ වන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නෛතිකව ක‍්‍රියාවලියක් හරහා බව අප වටහා ගත යුතුයි.
නෛතිකව තහවුරු කරගත් රාජපක්ෂ පාලනය ඔටුන්න හිමි කුමරු බවට නාමල් රාජපක්ෂ අභිෂේක ලබන විට බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ ද මීට සමගාමීව තමන්ගේ ප‍්‍රතිරූපය ගොඩනගා ගන්නා ආකාරයක් අපට දැකගත හැකි වුණා. එහිදී ගෝඨාභය රාජපක්ෂ යුධ ජයග‍්‍රහණයේ මිලිටරි අයිතිය (ජෙනරාල් සරත් ෆොන්සේකා වේදිකාවෙන් ඉවත් කිරීම සමග* තමන් සතු කරගනිමින් මිලිටරි නායකයින් හා බෞද්ධ භික්ෂූන් සමඟ සිංහග බෞද්ධකම පදනම් කරගත් (නූතන දියසේන* ප‍්‍රතිරූපයක් ගොඩනගා ගනිද්දී බැසිල් රාජපක්ෂ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් හා තෘණමූල මට්ටමේ රාජ්‍ය නිලධර යාන්ත‍්‍රණයක් (සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළුව ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා නඩත්තු කළ* බිහිකර ගනිමින් වෙනත් දේශපාලන ගමනක් ආරම්භ කළා. ගෝඨාභය රාජපක්ෂ අන්තවාදී බෞද්ධ සංවිධාන හා භික්ෂූන් නඩත්තු කරමින් පෝෂණය කරද්දී බැසිල් රාජපක්ෂ විවිධ රාජ්‍ය ව්‍යාපෘති හරහා (ගම නැඟුම, මග නැඟුම, දිවි නැඟුම වැනි* ප‍්‍රාදේශීය දේශපාලනඥයින් නඩත්තු කළා. මේ තත්ත්වය තුළ 2010-2015 යුගයේදී අපි දැක්කේ ඉතාම පැහැදිලිව බැසිල් හා ගෝඨාභය විසින් රාජ්‍ය සම්පත් හා තම තනතුරු අසීමිතව භාවිත කරමින් තම තමන්ගේ පෞද්ගලික ප‍්‍රතිරූප වර්ධනය කරගනිමින් ස්වාධීන දේශපාලන පැවැත්මක් තහවුරු කර ගැනීමේ උත්සාහයක්.
තම බාප්පලා සමග දේශපාලන තරඟයක් ඇති වීමේ කිසිදු අවදානමක් නොදුටු නාමල් රාජපක්ෂ ‘තාරුණ්‍යට හෙටක්’’ වැනි ව්‍යාපෘති හරහා තම ස්වාධීන දේශපාලන ප‍්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට ප‍්‍රබල ප‍්‍රයත්නයක යෙදුණත් එය සාර්ථක වූ ආකාරයක් අපට දැකිය නොහැකියි. එහිදී නාමල්ගේ ප‍්‍රතිරූපය වැඩි දියුණු වීමට වඩා සිදු වුණේ හානියක් බව දැකිය හැකියි. (ශ‍්‍රී දළඳා මාළිඟාව ඉදිරිපිට කාර් රේස් පැදීම වැනි*
බැසිල් හා ගෝඨාභය තම තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූප වර්ධනය කර ගනිමින් ස්වාධීන ප‍්‍රතිරූපයක් නිර්මාණය කර ගනිද්දී මහින්ද – ශිරන්ති කුටුම්භය තුළ අර්බුද නිර්මාණය වුණත් එදා පැවැති මාධ්‍ය මර්ධනය හා මාධ්‍යවල ස්වයංවාරණය හමුවේ (ඇතැම් රූපවාහිනි නාලිකා ගෝඨාභය රාජපක්ෂගේ නම පවා සඳහන් කළේ නැත* මේ අර්බුදය එළියට නොපැමිණි අතර දිගින් දිගටම ලැබූ මැතිවරණ ජයග‍්‍රහණ තත්ත්වය යටපත් කරමින් තබා ගැනීමට සමත් වුණ ආකාරයක් අපි දැක්කා.
බැසිල් – ගෝඨාභය – නාමල් ත‍්‍රිත්වය විසින් ගෙනයන සියලූම දේශපාලන ව්‍යාපෘති අවසානයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප‍්‍රතිරූපය පුම්බන ඡුන්ද මැෂින් වනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළත් 2015 ජනවාරි 08 වැනිදා පැවැත් වූ ජනාධිපතිවරණය ඒ සියලූ ගණන් බැලීම් වගේම රාජපක්ෂ පවුලේ බල සැලසුම් ද අවුල් ජාලයක් බවට පත් කළ ආකාරයක් අපි දැක්කා. රාජපක්ෂ පවුලේ ඡුන්ද මැෂිම වනු ඇතැයි විශ්වාස කළ බැසිල් රාජපක්ෂට නැවත ඇමරිකාවට පළා යන්න සිදුවන්නෙත්, ගෝඨාභය රාජපක්ෂට අත්අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග ඉල්ලමින් දිනපතා අධිකරණය හමුවට යාමට සිදුවන්නේත් බැසිල් – ගෝඨාභය හා නාමල් ත‍්‍රිත්වය විසින් වැපිරූ අස්වන්න බොල් ව පැවැති නිසයි.
බැසිල් ද ? ගෝඨාභය ද ?
ජනාධිපතිවරණ පරාජයෙන් පසු බැසිල් රාජපක්ෂගේ හා ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සියුම්ව නිරීක්ෂණය කරන විට රාජපක්ෂ පවුලේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් වඩාත් ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටුකළේ කවුරුන්ද යන්න හඳුනාගත හැකියි. මෙහිදී මේ ලේඛකයාගේ අදහස වන්නේ පරාජයේ වගකීම භාරගෙන රට හැර ගිය බැසිල් රාජපක්ෂ වඩාත් වර්ණවත් වැඩ කොටසක් ඉටුකළ බවයි.
ජනවාරි 08 පරාජයෙන් පසු දිගින් දිගටම නඩුපිට නඩු පැවරුණක් බැසිල් රාජපක්ෂ තමන්ගේ දේශපාලන සංවිධාන හා යටිකූට්ටු හැකියාව පසුගිය තෙවසර තුළ මොනවට නිරූපණය කළා. තමන් විසින් කාලයක් පුරා නඩත්තු කළ තෘණමූල මට්ටමේ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් මේ අසීරු කාලය තුළ පවා නොවෙනස්ව තබා ගැනීමට බැසිල් සමත් වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මේ කණ්ඩාම සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ බව අපි දැක්කා. ඒ වගේම අද දේශපාලන බෝම්බයක් බවට පත්ව ඇති පොහොට්ටු පක්ෂය බැසිල්ගේ උත්සාහයෙන් ප‍්‍රතිඵලයක්.
ජනවාරි 08 පරාජයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ඉටු කරමින් සිටින භුමිකාව අද පොහොට්ටු කල්ලියට ද ප‍්‍රශ්නයක්ව පවතින බවක් දැකිය හැකියි. බැසිල් මුළු කාලයම දේශපාලනයේ යෙදෙද්දී ගෝඨාභය රාජපක්ෂ තම ස්වයං ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් පමණක් වෙහෙසුණු බවට චෝදනාවක් තිබෙනවා. බැසිල් රාජපක්ෂ තමන්ට එරෙහිව ඉදිරිපත් වූ සියලූම චෝදනාවලට පිළිතුරු බැඳීමට දිනපතා උසාවි ගානේ යන විට ගෝඨාභය රාජපක්ෂ කළේ යම් කිසි අදෘශ්‍යමාන ක‍්‍රියාවලියක් හරහා දිගින් දිගටම අධිකරණය මගහැර සිටීමයි. මේ තත්ත්වය ගෝඨාභයගේ කල්ලිය (ඇවන්ගාඞ් හිමිකරු, ටිරාන් අලස් ආදී* හරහා ද ප‍්‍රදර්ශනය වෙනවා. බැසිල් රාජපක්ෂ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා ඉහිරවමින් අලූත් දේශපාලන පක්ෂයක් හදද්දී ගෝඨභාය රාජපක්ෂ ‘‘එළිය’’ ‘‘විද්වත් කතිකාව’’ ආදි හුදු වැඩසහන් හරහා පරණ සුපුරුදු අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට චෝදනාවක් තිබෙනවා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ හරහා සුළුජන හා සුළු ආගමික ඡුන්දවලට ආමන්ත‍්‍රණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් ගන්නා උත්සාහයට දැඩි හානියක් වන බවට ප‍්‍රබල චෝදනාවක් ද තිබෙනවා. අන්තවාදී බෞද්ධ සංවිධාන හා භික්ෂූන් ඇතුළු කල්ලි සමග ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලය පුරා පවත්වන සම්බන්ධතා සුළුජාතීන් තව දුරටත් මහින්ද රාජපක්ෂගෙන් ඉවත් කිරීමට හේතු වෙලා තිබෙනවා. ඒ සමග ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සිංහල බෞද්ධ අන්තවාදීන් නොවන බහුතරයක් ජනතාව තුළ දැඩි භීතියක් සේම අවිශ්වාසයක් ද තිබෙනවා. විශේෂයෙන් කොළඹ නාගරික ජනතාව මේ අතර ප‍්‍රධාන තැනක් ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ තුළ ඇතැයි කියන දැඩි බවට මේ අන්තවාදීන් ප‍්‍රිය කළත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් අගයන සෙසු ජනතාව එවැනි මර්ධනකාරීත්වයක් ප‍්‍රිය නොකරන බව මහින්ද දන්නවා. මේ තත්ත්වය තුළ මුළු රටම එකම ඡුන්ද කොට්ඨාශයක් බවට පත්වන ජනාධිපතිවරණයකදී සුළුජන හා සුළු ආගමික පක්ෂවල බලය ගැන නිවැරදි තක්සේරුවක් ඇති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ගෝඨාභයට ඇති නුසුදුසුකම පිළිබඳ බියක් ඇතිකර ගැනීම ගැන අප පුදුම විය යුතු නැහැ.
‘‘සොරාකෑම’’ ගැන කොතරම් චෝදනා තිබුණත් ‘‘ඝාතකයා’’ / භීෂකයාට ට වඩා මෘදු ගති ඇති ‘‘සොරා’’ ඉදිරි මැතිවරණවලදී ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කරනු ඇතැයි පොළොවේ පය ගසා සිටින දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා කල්පනා කිරීම ගැන අප පුදුම විය යුතු නැහැ.
මහින්ද රාජපක්ෂ නම් මනුෂ්‍යා
ඉහත සඳහන් කළේ යළි බලය අල්ලා ගැනීමේ වුවමනාවෙන් පසුවන දේශපාලනඥයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිතන ආකාරය ගැනයි. එහෙත් මහචාර්ය ජයදේව උයන්ගොඩ මාර්තු 25 වැනිදා ‘‘රාවය’’ පුවත්පතේ තම දේශපාලන විග‍්‍රහයක් තුළ සඳහන් කර තිබූ ආකාරයට ‘‘මහින්ද රාජපක්ෂ යන මනුෂ්‍යයා’’ සිතන ආකාරය ගැනත් අපි අපේ අවධානය යොමු කළ යුතුයි.
පරාජිත ජනාධිපතිවරයෙක් ලෙස යළි රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා දක්වන උනන්දුව හා තීක්ෂණභාවය බොහෝ දෙනකු තුළ විස්මයක් සේම කළකිරීමක් ද ඇති කර තිබෙන බවක් දැකිය හැකියි. එහිදී බොහෝ දෙනෙක් විස්මයට පත්වන්නේ දෙවතාවක්ම ජනතාව විසින් තීරණාත්මකව පරාජයට පත් කළ ද එකී ජනතා තීන්දුවට අභියෝග කරමින් හෝ එය පිළිනොගනිමින් මහින්ද රාජපක්ෂ මහතා දින කිහිපයකින් යළි නැඟීසිටි ආකාරයයි. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පවරමින් මහින්ද රාජපක්ෂ ඇති කළ අවුල තුළ අදත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පැටලී සිටින ආකාරය දකින විට මහින්ද රාජපක්ෂ කොතරම් සූර දේශපාලනඥයෙක් ද කියා සිතා ගත හැකියි.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා තුළ තිබෙන බල තණ්හාම බොහෝ දෙනකුගේ පිළිකුළට සේම ප‍්‍රසාදයට හේතු වී තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ තනි අශ්වයෙකුගේ තරඟයක් විය හැකි ව තිබූ මැතිවරණ බලයේ සිටි ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් ලැබූ පළමු වැනි ෙඓතිහාසික පරාජය බවට පත් කිරීමට හැකියාව ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ මේ බල තණ්හාව නිසයි. මෙය ආණ්ඩුවට හා ආණ්ඩු පාක්ෂිකයින්ගේ නොසතුටට හේතු වුණත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඇතුළු පොහොට්ටු කල්ලියේ අමන්දානන්දයට හේතු වූ බව අප අමතක නොකළ යුතුයි. 2025 දක්වා තරඟයකින් තොරව බලයේ සිටීමට හැකියාව තිබූ යහපාලන ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකින් අර්බුදයට ගියේ මහින්ද රාජපක්ෂ මහතාගේ බල තණ්හාව නිසා බව අප අමතක නොකළ යුතුයි. එසේම මේ දක්වා 2005-15 කාලය තුළ සිදු වූ, යහපාලනයේ ප‍්‍රමුඛ මැතිවරණ පොරොන්දුව වූ ‘‘හොරු හා ඝාතකයින් ඇල්ලීම’’ තව දුරටත් දේශපාලන යථාර්ථයෙන් බොහෝ ඈත හුදු කතාවක් (කනගාටුවෙන් වුව සටහන් කරමි* බවට පත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ බල තණ්හාව විසින් ලත් උත්තේජනය නිසා බව අප අමතක නොකළ යුතුයි. මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ නම් මනුෂ්‍යයා (නාමල්ගේ පියා, ශිරන්ති වික‍්‍රමසිංහ මහත්මියගේ සැමියා* සිතනු ඇත්තේ කුමක් දැයි අප මොහොතකට උපකල්පනය කළ යුතුයි.
එහිදී මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ ආකාරයට මහින්ද – ශිරන්ති කුටුම්භය තුළ 2020 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම ගැන කිසිඳු ආකාරයක කැමැත්තක් නොමැති බව අපට උපකල්පනය කළ හැකියි. ඒ සඳහා පදනම් වන හේතු කිහිපයක් ඇති අතර,
1 තව දුරටත් රාජපක්ෂ පවුලට හෝ ඥාතීන්ට ආණ්ඩුවෙන් නෛතික තර්ජන සිදු නොවීම. (මහින්ද, ශිරන්ති හා ගෝඨාභයට හිමිව ඇති අරුම පුදුම මුක්තිය*
2 මහින්ද රාජපක්ෂගේ සමීපතමයින් නෛතික පීඩනයට ලක්වීමේ අවදානම අවම වීම.
3 සුළුජන ඡුන්ද අතික‍්‍රමණය කරමින් ජනාධිපතිවරණයක් දිනා ගැනීමට තරම් දකුණේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම පුළුල් නොවීම.
4 දකුණේ ජයග‍්‍රහණය සඳහා අතිෂයින් තීරණාත්මක බලපෑමක් කළ හැකි ජනතා විමුක්ති පෙරමුණේ සහාය තව දුරටත් හිමි නොවීම (2005 ජනාධිපතිවරණ ජයග‍්‍රහණයේදී ජවිපෙ ඡුන්ද ඉටුකළ භූමිකාව ගැන විමසා බලන්න*
5 බැසිල්, ගෝඨාභය කවුරුන් ජයග‍්‍රහණය කළ ද නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය අඳුරු වීම / සිහින බොඳ වීම.
6 ශිරන්ති වික‍්‍රමසිංහ පවුල තුළින් එල්ල වන පීඩනය
7 ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමින් හා බල මූලය වශයෙන් සිටින මිලිටරි නායකයින් හා අන්තවාදී බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තුළ පවතින අකමැත්ත. (මේ පාලනය පැහැදිලි ඒකාධිපතිවාදයක් විය හැකි බවට*
මෙහිදී අංක 1 හා 2 කරුණු ගැන මේ දක්වා පොදුවේ පවතින්නේ ආණ්ඩුවට එරෙහිව ඍණාත්මක ආකල්පයක් බව අප වටහා ගත යුතුයි. බලය ලබාගත් විගස, අවංකව හා කැපවීමෙන් කාර්යක්ෂමව දුන් පොරොන්දු (හොරු සහ ඝාතකයින් අල්ලන* ඉටු කළා නම් අද අප කිසිවෙකුට බැසිල් – ගෝඨාභය ගැන භීතියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක් නැහැ. එහෙත් මේ මොහොතේ භූමිය තුළ පවතින දේශපාලන යථාර්ථය අනුව ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකළ ද 2020 දැවැන්ත දේශපාලන අභියෝගයක් නොවන බව පැහැදිලියි. ඒ මහින්ද – ශිරන්ති කුටුම්භය කුමක් සිතුවද, මහින්ද තුළ කොතරම් ගෝඨා බියක් තිබුණ ද යහපාලන ආණ්ඩුව පළවා හැරීමට තරම් කිසිදු තාර්කික හේතුවක් ලංකාවේ දේශපාලන යථාර්ථය තුළ නොතිබීමයි. කොටින්ම දකුණේ සිංහල බෞද්ධ අන්තවාදයට පමණක් ජනාධිපතිවරණයක් මගින් රටේ පාලකයා තෝරා ගැනීමට ශක්තියක් නොමැතිවීමයි.
මේ තත්ත්වය තුළ තම පැවැත්ම තකා මහින්ද ගෝඨාභය – බැසිල් යන දෙදෙනාගෙන් කවුරුන් තෝරා ගත්ත ද අවසානයේ ජයග‍්‍රහණය හිමිවනු ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බහුත්වවාදය පිළිගන්නා, සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට ලක්වන නායකයෙක් පමණයි. අවධාරණයෙන් ලියා තැබිය යුත්තේ ලංකාවේ දෛවය තීරණය කරන්නා තමා යැයි මුලාවේ සිටින මහින්ද රාජපක්ෂ සහ මහින්දගේ තෝරා ගැනීම් තුළ ඉහත සඳහන් ධනාත්මක ලක්ෂණ ඇති කිසිවෙක් නොමැති බවයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *