සීත කඳුකරයේ අඳුරු වලා – නිශාන්ත කමලදාස

 නුවරඑලිය, බොහෝ දෙනා ග්‍රීස්මය ගත කරන්නට, සූර්යයා මුදුන් වන අවුරුදු නිවාඩු කාලය ගත කරන්නට, තෝරාගන්නා තැනකි. ඒ සඳහා නොවුනත් මේ ග්‍රීස්මයේ එහි යෑමට අවස්ථාවක් මට ද ලැබිණි. ඒ එසේ නිවාඩු ගත කරන්නට යන කණ්ඩායමක ආරාධිතයෙකු ලෙස ය.

අපේ ගමනාන්තය වූයේ අඹේවෙල ය. ගමන වඩාත් ප්‍රසන්න දෙයක් කර ගැනීම සඳහා වාහනය ලෙස අප තෝරා ගත්තේ දුම්රිය ය. ඒ සුව පහසුව හිඳගන්නටත් එහා මෙහා යන්නටත් පහසු කම නිසා පමණක් නොවේ. අවට පරිසරයේ සුන්දරත්වය කඳුකර මිහිරියාව වඩාත් හොඳින් විඳ ගත හැක්කේ ඒ මගින් නිසා ය. ගත වන අමතර කාලය ගමනේ සුන්දරත්වයට හිලව් වන නිසා ම තෝරා ගැනීම නරක නැත.

පොඩි මැණිකේ දුම්රියේ ඇති පහසුකම් ප්‍රමාණවත් නැතැයි කිව නොහැකි ය. ආපන ශාලාවක් නැතත් ජංගම ආපන ශාලාවක් මගින් කුඩා බඩගින්නට අවශ්‍ය දේත් උණුසුම් කෝපිත් ලබා ගත හැකි විය. ජංගම යැයි කීවේ මිනිසුන් දෙදෙනෙකු විසින් ඒ සියල්ල කරේ ගෙන ඒම නිසා ය. ඒත් පැද්දෙන පැද්දිල්ලට තේ කෝපි බීම එකම අභියෝගයක් වූ බව නම් සටහන් කළ යුතු ය. වැරැද්ද පාරේද නැතිනම් පෙට්ටියේ ෂොක්ඇබ්සෝබර් වල ද යයි මම නොදනිමි.

ඉල්ලුම වැඩිය – සැපයුම ටිකයි

එහෙත් මේ වරප්‍රසාද සියල්ල ලබා ගැනීම සඳහා එළඹුම නම් පහසු කටයුත්තක් නොවේ. ඇත්තටම කිව්වොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන සගයෙකු නොහිටින්නට එය අපට කොහෙත්ම පහසු වන්නේ නැත. මක් නිසා ද යත් ගමනට මාසයකට පොරොතුව විවෘත වන මේ ඔන්ලයින් ප්‍රවේශපත්‍ර කවුන්ටරයට එන ඉල්ලුම නිසා සියලු ප්‍රවේශපත්‍ර විනාඩි කීපයක් ඇතුළත විකිණී අවසන් වන නිසා ය. ඒ ප්‍රවේශපත්‍රයක් රුපියල් දහසක් ව තිබියදී ය. ඒ කියන්නේ චාරිකාවේ යෙදෙන ජනතාවගේ ඉල්ලුම මුළුමණින් ඉටුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අසමත් ව ඇති බව ය. මෙය පුද්ගලික අංශයේ ආයතනයක් විනි නම් මේ ඉල්ලුම යොදා ගෙන ලාභය වැඩි කර ගන්නා අතරේ සේවා ලාභීන්ගේ වුවමනාවන් ඉටු කිරීමට ද ඔවුන් උත්සුක වනවා ඇත. එහෙත් ආණ්ඩුවේ ආයතනයකට එහෙම උණක් නැත. එහෙම උණක් තිබිය නොහැකි ය.

එහෙම කල්පනා කරමින් යන අතරේ අපි ලස්සණ මල් වගාවන් සහිත අතිශය අපූරු දුම්රිය ස්ථානයන් ද පසු කළෙමු. එයින් පෙනුනේ රජයේ ආයතන තුළ ද තමන්ට හැකි පමණින් ඒවා නඩත්තු කර පවත්වා ගෙන යන්නට කැප වුනු මිනිසුන් සිටින බව ය. එහෙත් මල් වැවීම වැනි රාජකාරියක් මෙන් නොව අධිකාරී බලය අවශ්‍ය කටයුතු නම් ඔවුන්ගේ අත පොවන මායිමට ඔබ්බෙන් ඇති බව ය. අඩුව තිබෙන්නේ, කැප වීම අඩු කමකට එහා, යමක බව ය.

ඒ කල්පනාව මා රැගෙන ගියේ මීට මාසයකට දෙකකට උඩ දී මා ඇසූ කතාවකට ය. කථිකයා කලක් දුම්රිය සාමාන්‍යධිකාරී ධුරය දැරූ ලසිත ගුණරුවන් මහතා ය.

තටු බිඳ පියාඹන්නට කියන දුම්රියේ කතාව

සාමන්‍යධිකාරී තනතුරේ ඉංග්‍රීසි නාමය ජී ඇම් ආර් ය. ඒ ජෙනරල් මැනේජර් ඔෆ් රේල්වේ කියන වචන වල මුලකුරු ය. ඔහු කතාවේ දී කීවේ මේ තනතුරු නාමය ජී සී ආර් ලෙස වෙනස් කළ යුතු බව ය. ඒ කියන්නේ ග්ලෝරිෆයිඩ් ක්ලාර්ක් ඔෆ් රේල්වේ ලෙස ය.

එයට හේතුව කිසිම පුරප්පාඩුවක් පිරවීමටවත් බලයක් සාමාන්‍යධිකාරිවරයාට නොමැති නිසා ය. ඒ වෙනුවට ඔහුට කළ හැක්කේ පුරප්පාඩු මේ යැයි ලියා දන්වා ලිපියක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යැවීම ය. ඒ අමාත්‍යංශය ඒ ගැන යමක් කළොත් හොඳ ය. නොකළොත් දුක්ගැනවිල්ල දෙවියන්ට කියනවා හැරෙන්නට වෙන කරන්නට කිසිවක් නැත. ලොකුවට පුම්බා දමා ඇති ලිපිකාර තනතුරකට වැඩි මනත් යමක් සාමාන්‍යධිකාරී තනතුරේ නොවී යැයි ඔහු කීවේ මේ නිසා ය.

ඔහු විසින් කරන ලද සෑම නව දෙයක්ම නවෝත්පාදනයක්ම විගණන විමසුමකට පාදක වූ හැටි ඔහු කීවේ ය. එහෙම තත්වයක් යටතේ දුම්රිය සේවය මේ මට්ටමින් වත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවට ණය ගැති විය යුතු ය.

අඹේවෙලට අප පැමිණෙන විට මහා වැසි වැටෙමින් තිබුනේ මුළු පරිසරයම මූසල අඳුරකටත් පට්ට සිතලකටත් යටත් කරවමිනි. හවස් වරුවේ වැඩ සටහන හිතෙන් අතු ගා දමා අපි රිසි සේ විවේක ගත්තෙමු. මේ දිනවල නුවරඑලියට වැටෙමින් තිබුනේ වරු වැසි ය. ඒ කියන්නේ උදයේ පායන ඉර හවස වැස්සට ඉඩ දී සැඟවෙන බව ය.

හොර්ටන් තැන්න

අපේ සැලැස්මේ එක් අංගයක් තිබුනේ හොර්ටන් තැන්න බැලීම ය. ඒ සමගම ලෝකාන්තයට යෑම ය. හවස වැස්සට පෙර ඒ ගමන නිමා කිරිම සඳහා පසුදා අපි පාන්දරින් ම පිටත් විමු.

හොර්ටන් තැන්න සුන්දර ය. එයට යන මාවත පවා තැන්න වෙත යෑමට අප කැන්දන සුළු ය. අවසානයේ ප්‍රවේශපත්‍ර මිල දී ගෙන අපි දොරටුව වෙත ගියෙමු. එහි දී අපේ බෑග් පරීක්ෂාවට ලක් විය. ප්ලාස්ටික් වතුර බොතල් රඳවා ගනු ලැබූ අතර පොලීතින් වලින් ආවරණය කෙරුණු බිස්කට් පැකට් ගලවා ඔවුන් සතුව තිබූ බ්‍රවුන් කඩදාසි බෑග් වලට ඒවා දමා නැවත දෙනු ලැබී ය. ඒ රාජකාරිය නම් අග්‍ර ය. අපේ මෝඩ අයියලා විසින් විසිකරනු ලබන, එවැනි අපද්‍රව්‍ය වලින් ස්වභාව ධර්මය වැනසීමට, එරෙහිව කරන ඒ වෑයම අගය කළ යුතු ය.

එකම දුර්වල කම තිබුනේ ඒ වැඩය හරියට කරතත් තව කළ යුතු බොහෝ වැඩ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අතපසු වී තිබීම ය. ඊට ඔවුන්ට කළ හැකි වැඩ ද එක් වූ කල අප සිහියට නගා ගන්නට උත්සහ කළේ මේ කටයුත්ත ම පුද්ගලික අංශය විසින් කළේ නම් ඔවුන් කවර කවර විදිහට මේ කටයුතු කරන්නට ඉඩ තිබුනේ ද යන්න ය.

ලෝකාන්තය වෙත යෑමට මාර්ග දෙකක් තිබුනේ ය. එකක් කුඩා ලෝකාන්තය හරහා ය. අනික බේකර් ඇල්ල හරහා ය. ඒ මාර්ග දෙකම එකම දුරින් යුක්ත ය. ඒ කියන්නේ වඩාත් නුවණක්කාර වැඩේ එක් පාරකින් ගොස් අනෙත් පාරින් ආපසු ගමන කිරීම බව ය. එවිට සියල්ල බලා ගත හැකි ය.

එහෙත් මේ මාර්ග දෙක එකිනෙකට හාත් පසින් වෙනස් ය. කුඩා ලෝකාන්තය හරහා වැටී ඇති මාර්ගය තරමක් දුෂ්කර ය. එහෙත් එහි බොහෝ තැන්වල වනයේ අසිරිය දැක ගත හැකි ය. බේකර් ඇල්ල පැත්තෙන් යන මාවත සාපේක්ෂව පහසු ය. එය වැටී ඇත්තේ තැන්න හරහා ය. විවෘත තණ බිම් හරහා ය. මේ තොරතුරු ගමන සැලසුම් කිරීමට පෙර දැනගන්නට ක්‍රමයක් තිබුනේ නැත. අප ඒ බව දැනගත්තේ මාර්ග දෙකේම ගිය පසු ය. ඒ එක් පැත්තකින් ගොස් අනෙත් පැත්තෙන් ආ නිසා ය.

හොර්ටන් තැන්නේ අසිරිය

එ දින පරිසරය තරමක සිසිල් ස්වභාවයක් ඉසිලූ අතර ඒ නිසා ම හිරු රැස් හිරිහැරයක් වුයේ නැත. වැහි වලාකුළු විසින් ද ඉර මුවා කර තිබුණු නිසා හිරු රැස් ප්‍රශ්නයක් වූයේ ම නැත.

හිරු රැස් දැඩිව තිබුනේ නම් දෙවැනි මාවත ගමන පහසු වුව ද යම් අපහසුතාවයක් ඇති කරන්නට ඉඩ තිබුනේ ය. විවේකය සඳහා මඳක් රැඳී හිඳින්නට, හිරුගෙන් මුවා වූ ආවරණයක් ඒ මාවතේ පැත්ත පළාතක තිබුනේ නැත. දැඩි වැස්සක් වැටුනොත් වැස්ස තුරල් වන තුරු රැඳෙන්නට කිසිදු හව් හරණක් ද එ මග තිබුනේ නැත. පරිසරය සමග නොගැටෙන ස්වභාවික දසුනක් සේ දිස්වෙන කුටි කීපයක් ඉදිකිරීමෙන් හොර්ටන් තැන්නට අමතර සුන්දරත්වයක් විනා හානියක් සිදු වෙන්නට ඉඩක් නැත. එහෙත් එහෙම කල්පනා කළ බවක් පෙනුනේ නැත.

ඇල පාරවලින් එගොඩ වන්නට තනා තිබූ පාලම් ස්වභාව ධර්මයේ ම කොටසක් ලෙස නිමා කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වග බලා ගෙන තිබුනේ ය. ඒ උපායම අනුගමනය කරමින් විඩා හරින්නට පැලක් අටවා ගන්නට බාධාවක් ඇතැයි අපට පෙනුනේ නැත. එහෙත් ඔවුන් එසේ කර තිබුනේ නැත.

තීරණාත්මක තැනක දෙකක හැර මාර්ග සළකුණු වැඩි යමක් අපට කීවේ නැත. ඒවා කළ හැකි දේ ය.

අපේ වාසනාවට අප නැවත හැරී එනතුරු වැස්සේ නැත. දිගින් දිගටම කළුවලා අප වෙත තර්ජනය කරමින් සිටියේ ය. වැසි වැටුනේ නම් තෙමෙනවා හැරෙන්නට කළ හැකි දෙයක් නොවිණි. පුද්ගලික අංශය විසින් මේ කටයුතු සංවිධානය කළේ නම් ඔවුන් කුඩයක් කුලියට දීමට ක්‍රමයක් හදනවා ඇත. ඉන් අමතර ආදායමක් ද උපයා ගෙන සේවාලාභීන්ට සෙතකුත් කරනවා ඇත. එහෙත් වනය රකින්නට මිස එය නරඹන්නට එන අය රකින්නට එහෙමට අදහසක් රාජ්‍ය දෙපාර්තමේන්තුවකට දැනෙන්නේ නැතිවා විය හැකි ය. එය ඇතැම් විට ඔවුන්ගේ මෙහෙවර ප්‍රකාශයේ නැතිවා විය හැකි ය.

හවස අප ගිය හක්ගල උද්‍යානයේ වත් එහෙම වැඩ පිළිවෙලක් තිබුනේ නැත. ඒ නිසා අපි නොසෑහෙන්නට වැස්සේ තෙමුනෙමු. කුඩයක් කුලියට දීම කළ යුතු වැඩක් නොවේ. එහෙත් එය කළ හැකි වැඩකි. තැන්පතුවක් තියා ගෙන දුන්නහම පාඩුවක් වන්නට විදිහක් නැත. සුපර් මාකට් වල එහෙම නැතිවත් කුඩය අල්ලා මෝටර් රියට ගොඩ කරන්නට පේවුනු මිනිස්සු සිටිති. එහෙත් හක්ගල උයනවත් හොර්ටන් තැන්නවත් ලාභ අපේක්ෂාවෙන් මිනිසුන් ගෙන්නා ගන්නට දත කන සුපර් මාකර්ට් නොවේ.

ඒත් හක්ගල උද්‍යානය ලස්සණ ය. එවැන්නක් නෙත ගැටීම වුව එහි යන්නට සෑහේ. එතරම් මනරම්ව උද්‍යායනය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් වගකිව යුතු අයට නොමඳ ප්‍රශංසා හිමි විය යුතු ය.

හොර්ටන් තැන්නටත් හක්ගලටත් ඇතුළු වන ප්‍රවේශ පත්‍ර මිල කර ඇත්තේ සාධාරණ ගණනකට ය. ඇතැම් විට පුද්ගලික අංශය මේ සේවය සැලසුවා නම් මීට වඩා අධික මිලක් උන් අය කරනු ඇත්තේ ය. හැම වලාවක ම රිදී රේඛාවක් ද තිබේ.

කන්දේඇල ජලාශය

පසු දින කන්දේඇල අවට අපි ඇවිද්දෙමු. කන්දේඇල ජලාශයේ බෝට්ටු තිබේ. ඒවා කණ්ඩායමකට යන්නට හැකි ලෙස ප්‍රාදේශීයව නිපදවා ගත් අපූරු නිර්මාණයන් ය. ඒ බෝට්ටු පෞද්ගලික අංශයේ ය. එම බෝට්ටු සේවය කන්දේඇල ජලාශය අයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලයෙන් අවසරය ගෙන පවත්වා ගෙන යන සුළු පරිමාණයේ ව්‍යාපාරයකි. ජලාශය අපිරිසිදු වන නිසා අවසර ඇත්තේ හබලෙන් පැදවිමට පමණ ය. ඒ නිසා ඒවාට මෝටර් එන්ජින් තිබුනේ නැත.

අපි එකකට නැග ගත්තෙමු. සද්ද බද්දයක් නැතිවම හබල් පාරට කීකරු වුනු බෝට්ටුව වතුරේ හෙමින් සීරුවේ ඇදී ගියේ පසුබිමේ තිබූ මනස්කාන්ත දර්ශනයෙන් අප ව වශී කරවමිනි. ඒ හා අප ඒකාත්මික කරවමිනි.

අප ගිය බෝට්ටුව හබල් දෙකකින් පදවන ලද්දේ ය. එහි සේවකයන් අප හා කීවේ සවුදි අරාබියෙන් එන සංචාරකයින් මේ බෝට්ටුවේ පැය 6 ක පමණ වේලා රැ‍ඳෙමින් වැවේ සංචාරයේ යෙදෙමින් කා බී ප්‍රීති වීමට පුරුදුව ඇති බව ය. බාබකියු උපකරණයක් ද එහි සවිකර තිබුනේ එවැනි සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා ය. සවුදි අරාබියෙන් එන සංචාරකයින් ගවුඩා කෝපි වලට ප්‍රිය බැවින් ඔවුන්ට ඒවායින් සංග්‍රහ කිරීමට ද මේ දක්ෂ ව්‍යාපාරිකයෝ සූදානම් විී සිටියහ. ඒ ලාභය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික අංශයේ වැඩ ය. කළ යුතු නොවුනත් ඔවුන්ට කළ හැකි යයි ඔවුන් කල්පනා කළ වැඩ ය.

ඔවුන් හා කළ කතා බහේදී තේරුම් ගියේ අවට පරිසරය කුණුවලින් තොරව පවත්වා ගෙන යෑමට ඔවුන් වෙහෙසෙන බව ය. ඒ මේ ව්‍යාපාරයට සංචාරකයින් ආකර්ෂණය වන්නේ පරිසරයේ සුන්දරත්වය නිසා බැවිනි. එය රැක ගැනීමට ඔවුන් වියදම් ද කරති. ඒ කුණු එකතු කොට තමන්ගේ වියදමින් ඉවත් කිරීම සඳහා ය. ඒ ද පුද්ගලික අංශයේ වැඩ ය. කළ යුතු ම වැඩ නොව වඩා ප්‍රසන්න පරිසරයක් සඳහා කළ හැකිව තිබෙන ඔවුන් විසින් කරන වැඩ ය.

පැය භාගයක ගමනකට ගෙවිය යුතු මිල එක් මගියෙකුට රු 200 කි. හබල් ගාන්නට ගන්නා වෙහෙස දකින විට ද එම භූමිය පිවිතුරුව තියා ගැනීමට ඔවුන් ගන්නා උත්සහය දකින විට ද එය වැඩි යයි කිව නොහැකි ය.

ආපසු ගමන

අපට නැවත පැමිණීමට වේලාව පැමිණියේ ය. ආපසු ගමන බදුල්ලෙන් පෙරවරු 11ට කොළඹ බලා ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රියෙනි. අප ආපසු ගමන සඳහා වෙන්කරවා ගෙන තිබුනේ නැරඹුම් මැදිරියේ ආසන ය.

නැරඹුම් මැදිරියට නැග නොබෝ වේලාවකින් හුරු පුරුදු ගතියක් දැනිණි. මගේ මතකය දිව ගියේ වසර 25 ක් පැරණි අතීතයට ය. මේ නැරඹුම් මැදිරියේ ම මීට අවුරුදු 25 ට පෙර මා ගමන් ගෙන ඇත. කාලය දිව ගිය ද දුම්රියට එය එතරම් ම දැනී නැත. සුද්දා හැදූ රේල් පාර දික් නොවුනා පමණක් නොව පෙර කාලයේ පැවති කොච්චි පෙට්ටි ද අලුත් නොවී ම දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවයේ යෙදී සිටින්නේ ය.

එහි අසුන් කීපයක් ම වාඩි විය නොහැකි ලෙස කැඩී තිබිණි. කෙනෙකු අසුන් ගත් විට ඒවා පිටුපසට ඇල වී පසු පස මගීන්ට හිරිහැරයක් වෙයි.

කෝච්චිය පැද්දෙන්නේ කොමලියකගේ උකුළ වගේ හරහට ය. පිටි හලන්නට නම් ඒ පැද්දීම මරු ය. ඒ නිසා ම දුම්රියේ යද්දී මුත්‍රා කරන්නට ගියොත් අමාරුවේ ය. එල්ලය බලා පෝච්චියට විදින්නට බැරි ය. පැද්දිම නිසා ජල ධාරාව දස අතේ යයි. ඒ නිසා දුර්ගන්ධය ද නැගෙයි. වැසිකිළියත් මැදිරියත් අතර දොර වසන්නට බැරි ය. ඒ නිසා වැසිකිළිය ඇරෙන වාරයක් පාසා දුගඳ හමන්නේ ය. කවරෙකු හෝ වැසිකිළියේ දොර නොවැසුවහොත් මැදිරිය තුළ ඉන්නට අමාරු ය. මක්නිසා ද යත් මැද දොර වසන්නට බැරි නිසා ය. ඒ නිසා එවැනි අතපසුවක් වුනොත් ළග ඉන්නා අයට ගොස් දොර වසන්නට සිදු වෙයි.

මේ විදෙස් සංචාරකයන් යන මැදිරියකි. සංචාරක කර්මාන්තය බාරව ආයතන පමණක් දුසිමක් තිබේ. එහෙත් මේවා ගැන බලන්නට කෙනෙකු නැත. ඒ නිසා සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දී තිබේ. මැද දොර යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ලොක් එකකුත් එය සවිකළ හැකි වඩුවෙකුත් පමණ ය. පැද්දීම අඩු කරන්නට බැරි නම් අඩු වශයෙන් මැදිරියේ දොරවත් යථා තත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුව තිබිණි.

සංචාරක කර්මාන්තය

කම්මලේ බල්ලාට හෙණ ගැහැව්වත් දැනෙන්නේ නැත. ඒ හා සමානව නිතර මේ අත්දැකීම විඳින ගාඩ් මහත්තුරු මේ තත්වයට මේ වන විට පදම් වි සිටිනවා විය හැකි ය. කවුරුන් හෝ බාහිරින් මේ සියල්ල දෙස බැලිය යුත්තේ ඒ නිසා ය.

මේ දුම්රියේ ජංගම ආපන ශාලාවක් තිබුනේ නැත. එහෙත් වඩේ විකුණන වෙළෙන්දන් හා මයිලෝ පැකට් විකුණන වෙළෙන්දන් විසින් ඒ අඩුව පුරවා තිබිණි. එක අතකට උණු තේ නුදුන් එක හොඳ ය. නැතිනම් පැද්දෙන පැද්දිල්ලට තේ බොන්නට සිදු වන්නේ අපට නොව කෝචිච්යට ය. බටයකින් බොන්නට හැකි මයිලෝ පැකැට්ටුව ඒ අතින් මෙතැනට වඩාත් ගැලපේ.

පොඩි මැණිකේ දුම්රිය බදුල්ලට ගියේ නුවරට ද සේන්දු වෙමිනි. එහෙත් බදුල්ලේ සිට එන සීග්‍රගාමී දුම්රිය නුවර යන්නේ නැතිවම කොළඹ පැමිණියේ ය. නුවරින් බැසීමට පැමිණි සංචාරකයින් ඒ නිසා පේරාදෙණිය දුම්රියෙන් බැස ඊළග දුම්රියෙන් නුවර යා යුතුව තිබුණේ ය. එහෙත් ඔවුන් ඒ බවක් දැන සිටියේ නැත. කිසිවෙකු ඔවුන්ට ඒ බවක් කීවේ ද නැත. අවසානයේ කඩුගන්නාවෙන් බැස වෙන යම් ප්‍රවාහන මාදිලියකින් නුවරට යෑමට හිත හදා ගන්නට ඔවුන්ට සිදු විය. ගාඩ් පැමිණ කරුණු පැහැදිලි කරන විට පේරාදෙනියෙන් දුම්රිය පිටත් ව තිබීම මේ අකරතැබ්බයට හේතුව විය. ඉස්තාලය වහන විට අශ්වයා පැන ගොස් හමාර ය.

අප ගිය බොහෝ රටවල ඩිජිටල් පුවරු මගින් ද නිවේදනයන් මගින් ද ඊළගට දුම්රිය නවත්වන ස්ථානය ප්‍රකාශයට පත් කරනු අපි දැක ඇත්තෙමු. ඒ නිසා බසින තැන සොයා ගැනීම අපට එවැනි රටක කිසි විටෙක කරදරයක් නොවී ය. එහෙත් ලංකාවේ සංචාරකයින් තවමත් ඒ තරමට වාසනාවන්ත නැත.

අප බැස ගත්තේ මරදාන දුම්රිය ස්ථානයේ ඉදිකරමින් පවතින පදික වේදිකාවකට ය. තව ටිකක් එහා මෙහා වුනා නම් අපට පා තබන්නට වෙන්නේ ඒ ඉදිකිරිම් වලින සෑදුනු වතුර පිරුණු වලකට ය. නැතිනම් මඩ ගොහොරුවකට ය.

උඩරට දුම්රිය මාර්ගය ලංකාවේ ඇති සුන්දර ම මාර්ගය ය. එහි දර්ශනයන්ගෙන් වශී නොවන කෙනෙකු නැත. එහෙත් ඒ සියල්ල මත පැතිරෙන මේ අඳුරු වලාවන් පහ කිරීමට නොහැකි වන තාක් මේ අත්දැකීම සංචාරකයින්ට මුළුමණින් මිහිරි වන එකක් නැත.

ඒ සියල්ල මැද්දේ ද දිවයිනේ ලස්සණ දැක බලා ගෙන සතුටු වීමට අපට හැකි විය. ඒ සඳහා අවස්ථාව දුන් සැමට ස්තුති කළ යුතු ය. එයට පුද්ගලික අංශයේ මෙන්ම රජයේ ද කරදර මැද වැඩ කරන මිනිසුන් ඇතුළත් ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *