|

යහපාලනයේ හෙට දවස – සී. ජේ. අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව අවසන් වූයේ අගමැතිතුමන්ට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. එමෙන්ම එය ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රාහී මානසිකත්වය අවසන් කරන්නටද ‍ෙහ්තුවිය. ඒ පිළිබඳව එම කණ්ඩායම තුළ මතභේද ඇතිවී තිබෙන බවද වාර්තා විය. මේ වනවිට ජයග්‍රාහී මානසිකත්වයේ සිටින්නේ එජාපයයි. එසේ වූවද රටේ ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත.

මේ වනවිට ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබෙන්නේ ශ්‍රීලනිපයේ පිරිසක් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙනි. එම කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනා දිගටම තනතුරු දැරීම ගැන එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වූ අතර එම ඇමැතිවරුන්ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේත් ශ්‍රීලනිප සෙසු නායකයන්ගේත් අවධානය යොමුවී ඇති බරපතළ ප්‍රශ්නය නම් එජාපය සමඟ සහජීවන ආණ්ඩුවේ අනාගතය කෙබඳු විය යුතුද යන්නයි.

වාසියට ගත් තීන්දුවක්

ශ්‍රීලනිප ඇමැති පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම පෙනීයන්නේ ඔවුන්ගේ දේශපාලන තීන්දුවක් වශයෙනි. එම තීන්දුව නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වීමට මඟපාදා ගැනීමයි. එය රට වෙනුවෙන්ගත් තීන්දුවක් නොව ඔවුන්ගේ දේශපාලන අනාගතය රැකගැනීම සඳහා ගත් තීන්දුවකි. පෙබරවාරි 10 දා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසුව මෙම කණ්ඩායම එම දේශපාලන තීන්දුව ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේද එම තත්ත්වය තේරුම්ගත් නිසාය.

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන්ද පසුගිය දිනවල ප්‍රකාශයට පත්වුයේ තරමක් අන්තවාදී අදහසකි. එනම් තනි එජාප ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමයි. ඔවුන් එසේ කීවේ පසුගිය වසර තුනක හවුල් ආණ්ඩු පාලනය තුළ තමන්ට තම පාක්ෂිකයන්ට සැලකීමට නොහැකි වූ බව කියමිනි. අඩුතරමින් පසුගිය කාලයේ දේශපාලන පළිගැනිම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීමටවත් නොහැකිවී තිබිණි. රජයේ ආයතන බොහොමයක පාලනය වෙනස් වූයේ යන්තමිනි. ඒවායේ පරිපාලන යන්ත්‍රය අල්ලාගෙන සිටියේ පැරණි පාලනය ය‍ටතේ ඒ තනතුරුවලට පත්වූ තැනැත්තන් විසිනි. එජාප පාක්ෂිකයාට සිදුව තිබුණේ ආණ්ඩුවක් වෙනස් නොවූ ආකාරයෙන් ඔහේ බලා සිටීමටය.

පසුගිය කාලයේ මෙරට ආණ්ඩු මාරුවලදී පැවැති සම්ප්‍රදායක් වී තිබුණේ බලයට පත්වන ආණ්ඩු තම පාක්ෂිකයන්ට සැලකීමයි. රක්ෂා හා උසස්වීම් ලබාදීමයි. වෙනත් වරප්‍රසාද ලබාදීමයි. යහපාලනයේ හවුල් ආණ්ඩුව තුළ එජාප පාක්ෂිකයාට ඒ කිසිවක් ලැබුණේ නැත. එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන් ප්‍රකාශයට පත්වූයේ එයින් පාක්ෂිකයා තුළ ඇති වූ විරෝධයයි. පෙබරවාරි 10 ඡන්ද ප්‍රතිඵලයෙන් ප්‍රකාශ වූයේද එයයි. එය පක්ෂය ලෙස මුහුණදෙන අර්බුදයයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී එජාප මන්ත්‍රීන් එකාවන්ව සිට එය පරාජය කළේ තමන්ගේ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය. එමෙන්ම ජයග්‍රහණයෙන් පසුව එම කණ්ඩායම විශ්වාස භංගයට පක්ෂ වූ ඇමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් කළේය. ඒ ඔවුන් ඉවත් කරගෙන තම ආණ්ඩුව ශක්තිමත් කරගන්නටය.

ශ්‍රීලනිප – එජනිස කණ්ඩායමට හා ජනාධිපතිතුමාට මෙය දැනෙන්නේ වෙනත් ආකාරයකට බව පැහැදිලිය. එනම් මෙමගින් ආණ්ඩුව තුළ ශ්‍රීලනිප බලය දුර්වල වන බවයි. එම ඇමැති පිරිසට ඉවත්වීමට ඉඩ නොදෙන පසුබිමක් නිර්මාණය වන්නේ එම හේතුවෙනි. එසේ වුවද ප්‍රායෝගිකව ඔවුන්ට තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම දුෂ්කරය. ඊටත් වඩා ඔවුන්ගේ ඒකායන අරමුණද ආණ්ඩුවෙන් ඉවත්වීමයි. එසේ නැතහොත් අඩුතරමින් තමන් එජාප ආණ්ඩුවේ ක්‍රියා නොපිළිගත්ත බව පෙන්වීමයි. විරුද්ධ පක්ෂයක් ලෙස පෙනී සිටීමයි. ඔවුන්ම කියන්නේ එසේ නොකර තමන්ට ගමට යන්න බැරි බවයි. එසේ වුවද ඒ අතරින් සමහරුන්ට තම ඇමැතිකම් අතහැරීමද අපහසුය. එවිට ඔවුන් නිකම්ම සොක්කන් වන නිසාය. කේක් ගෙඩිය කන්නත් තියාගන්නත් හැදුවේ එම දෙගිඩියාව නිසාය.

කෙසේ වෙතත් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මෙම ප්‍රශ්නය සලකා බලන්නට සිදුව තිබෙන්නේ හු‍ෙදක් තම තමන්ගේ පක්ෂවල ප්‍රශ්න ගැන සලකා නොවේ. රටේ දේශපාලනයේ තමන් භාරගත් වගකීම් ඉටුකිරීමේ බැඳීමට මේ දෙදෙනාම යටත්ය. ඔවුන් බලයට ආවේ මේ රටේ ඇතිවූ මහජන පෙළගැස්මත් සමඟය. එයට විවිධ දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ කණ්ඩායම්ද සම්බන්ධය. ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේ මහජනයා පැවැරූ කාර්යභාරයක් ඉටුකිරීමටය. එම කාර්යභාරය තවමත් අවසන් නැත. ඉතිරිව ඇති ඉදිරි වසර දෙකක කාලයේදී එම කටයුතු අවසන් කළ යුතුව ඇත.

එකට බැඳී පවතින ඉරණම

අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ නවවන සංශෝධනය අනුව මේ දෙදෙනාගේ ඉරණම එකට බැඳී පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය තවත් වසර එකහමාරකට වැඩි කලක් පවතියි. ඒ කාලය තුළ එතුමා ඉවත්කිරීමේ හැකියාවක් නැත. එකම හැකියාව ඉල්ලා අස්වීමයි. එවැන්නක් කිසිවකු බලාපොරොත්තු වන්නේ නැත. එවැනි තීරණයකින් සිදුවන්නේ තවත් අවිනිශ්චිතතාවක් නිර්මාණයවීමකි. එබැවින් අඩු තරමින් ලබන වසරේ අග දක්වා මෙම ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට සිදුවන අතර 2015 ජනවාරි 08 භාරගත් වගකීම සම්පූර්ණ කිරීම එම කාලයේ සිදුකළ යුතුව ඇත.

අගමැතිවරයාගේ නිලය 2020 දක්වා වෙනස් කළ නොහැකිය. මෙම පාර්ලිමේන්තුවේ ේනිල කාලය 2020 අ‍ගෝස්තු දක්වා පවතියි. පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට නීතිමය වශයෙන් ඉඩ ලැබෙන්නේ 2020 පෙබරවාරි මාසයෙන් පසුවය. ඊට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවෙයි. ඒ වර්තමානයේ පවතින ව්‍යවස්ථානුකූල තත්ත්වයයි.

කෙසේ වෙතත් මහජනයා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ මේ තත්ත්වයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාම නොවේ. යහපාලන ආණ්ඩුව මහජනයා විසින් බලයට පත්කරනු ලබන්නේ වගකීම් සමුදායක් සමඟය. එයින් ඉටුවු කරණා බොහෝමයක් ඇත. ආණ්ඩුවේ වගකීම වන්නේ මෙතෙක් ඉටුනොවූ කාරණා ඉදිරි වසර එකහමාරේදී ඉටුකිරීමයි.

ජනතාවට වගකීම

ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහස ඉදිරියට ගෙන එන්නේ සිවිල් සමාජ ව්‍යාපාර විසිනි. මාදුළුවාවේ සෝභිත හිමියෝ ඒ සඳහා පෙරමුණ ගත්හ. එහිමියන් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ආවේ එක් ප්‍රධාන අරමුණක් ඇතිවය. එය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. එහි දෙවන අරමුණ ලෙස නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සැලකිය හැකිය. මේ ප්‍රධාන කරුණු දෙකම තවමත් ඉටුවී නැත. දැන් තිබෙන්නේ එම කාරණා ඉටුකිරීමේ අවස්ථාවකි. එය එසේ සිදුවුවහොත් ලබන වසර අග වනවිට පවතින්නේ වෙනත් තත්ත්වයකි. එවිට ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන්නට ඉඩ ඇත. නාමික නැතහොත් සීමිත විධායක බලයක් සහිත ජනාධිපතිවරයකු පත්වනු ඇත. එම ජනාධිපතිට සුපිරි බලයක් හිමි නොවනු ඇත. විධායක බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට වගකියන අගමැතිට විය හැකිය. ඒ අගමැති තෝරාගන්නේ මහ මැතිවරණයකිනි. එයින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ වෙනත් අයකු හෝ ජයගත හැකිය. වික්‍රමසිංහ මහතාට ඒ සඳහා වැඩි ඉඩකඩක් හිමිවන්නේ ඔහු ඒ වනවිට මහජන අභිලාෂයන් ඉටුකර තිබුණහොත්ය.

මෙම නායකයින් දෙදෙනා තම වගකීම් ඉටුනොකර ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදෙන්නේ නම් ඔවුන්ට මහජනයා ඉදිරියට යන්නට සිදුවන්නේ පොරොන්දු කඩ කළ උදවිය ලෙස බව මතක තබාගත යුතුය. එය විශේෂයෙන්ම ජනාධිපතිවරයාට වලංගුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රධාන සටන්පාඨය ඉදිරිපත් වූයේ ජනාධිපතිවරණයේදීය. ජනාධිපතිතුමාගේ ජනවරම ලැබුණේ ඒකටය. විධායක බලය සීමා කළ දහනවවන සංශෝධනය ඉදිරිපත් කර සම්මත කරගත්තේ තාවකාලික පියවරක් වශයෙනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පරිපූර්ණ විසඳුමක් ක්‍රියාත්මක කරන තෙක්ය.

අතීතය අමතක වීමක්

කනගාටුවට කරුණක් ලෙස පෙනෙන්නේ මෙරට ඇතැම් දේශපාලනඥයන්ට අතීතය අමතක වූ බවක් පෙනීයාමයි. දේශපාලන බලය සොයා යන ඔවුන්ට 2015 ජනවාරි 8 ජනවරම අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණ පසෙක තබා ඔවුන් දැන් ඇතැම්විට මැසිවිලි නගන්නේ 19 වන සංශෝධනයෙන් විධායක බලය සීමාකොට තිබීම ගැනය. එවැනි කතා අසනවිට සිතෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අදහස සම්පූර්ණයෙන් අතහැර දමා ඇති බවකි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සහජීවන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම අවශ්‍ය වන්නේ ඉහත කී ජනතා අභිලාෂයන් ඉටුකිරීම සඳහාය. එසේ නැත්නම් මේ ආණ්ඩුව මෙලෙස පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නැත. එසේ නම් එක්කෝ එජාපයට තනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඉඩ දිය යුතුය. එය සුළුතර ආණ්ඩුවක් වුවද කවුරුන් හෝ එය ප්‍රශ්නයක් කරගත යුතු නැත. බහුතරය හදාගන්නේ නම් එයට ඉඩ දිය යුතුය. එසේ නැතිනම් ශ්‍රීලනිපයට ආණ්ඩුවක් හදා ගැනීමට උත්සාහ කළ හැකිය. වරක් එය අසාර්ථක වුවද තවත් උත්සාහ කළ හැකිය. එසේ වූවද රට අරාජික නොවන්නටද වග බලාගැනීම අවශ්‍යය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරනවිට බොහෝ දෙනා කියන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පවත්වාගෙන යාම අවශ්‍ය බවයි. සමහරු දැන් කියන්න හදන්නේ තුනෙන් දෙකේ බලයක් නැති නිසා නව ව්‍යවස්ථාවක් හැදීම හෝ සම්මත කිරීම ප්‍රායෝගික නොවන බවයි. ඒකාබද්ධ විපක්ෂයේ සමහරු පාරම් බා තිබුණේ තමන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ උත්සාහය ව්‍යර්ථ කළ බවටය.

තුනෙන් දෙකේ ප්‍රශ්නයක් නැහැ

තුනෙන් දෙකේ බලය පිළිබඳ මෙම අදහස ඉදිරියට දමන්නේ එක්කෝ මෙය පක්ෂයක් දෙකක් එක්ව කරන වැඩක්ය යන අදහස ඇතිවය. එසේ නැත්නම් එය මෙම උත්සාහය අත්හරින්නට ඉදිරිපත් කරන නිදහසට කරුණකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු‍ෙව් තුනෙන් දෙකක බලය අවශ්‍ය බව ඇත්තකි. එසේ වුවද එයට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් තිබීම අත්‍යවශ්‍ය නැත. මෙරටේ අතීත අත්දැකිම් වන්නේ තුනෙන් දෙකේ බලය තිබූ තනි ආණ්ඩු ඉදිරිපත් කර සම්මත කරගත් ව්‍යවස්ථා අසාර්ථක වූ බවයි. 1972 ව්‍යවස්ථාව ගැන මෙන්ම 1978 ව්‍යවස්ථාව ගැනද ඇත්ත කතාව ඒකය. අද අලුත් ව්‍යවස්ථාවක් හදන්න සිදුව ඇත්තේ ඒ නිසාය.

මෙවර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ක්‍රියාකරමිනි. විමල් වීරවංශ මහතාගේ පක්ෂය හැර විපක්ෂයේ සියලුදෙනාද එයට සම්බන්ධය. ඇතැම්විට විපක්ෂය මෙහි සිටින්නේ නව ව්‍යවස්ථාවකින් ඔවුන්ට හා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාටද නව අවස්ථා විවර වන නිසා විය හැකිය. ආණ්ඩුවට කරන්නට තිබෙන්නේ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමය.

පෙබරවාරි 10 දා මෙරට ජනයා ආණ්ඩුවට තම විරෝධය ප්‍රකාශ කළේ තමන් භාරදුන් කටයුතු ඉටුකිරීමට අපොහොසත් වීම නිසා බව පැහැදිලි කාරණයකි. ආණ්ඩුවේ නායකයින් එම තත්ත්වය තේරුම්ගත යුතුව ඇත. එබැවින් ඔවුන් දැන් කළ යුතු වන්නේ බලය රැකගැනීමේ ගේම් නවතා මහජනයා භාරදුන් වගකීම් ඉටුකිරීමයි. යහපාලන ආණ්ඩුවේ සුජාතභාවය පවත්වාගත හැක්කේ එබඳු ක්‍රියාවලියකින් පමණකි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *