රනිල් සහ මෛත්‍ර ; ශ්‍රී ලං. නි. ප. සහ එ. ජා. ප. – සම්පත් අමරසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබු විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ තිලංක සුමතිපාල මහතාට සහ ශ්‍රී ල නි ප ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, ඩබ්ලියු. ඩී. ජේ.  සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුනට එරෙහිව විශ්වාස භංග යෝජනා හතක් කතානායකවරයාට බාරදුන් බව මුජිබර් රහුමාන් මහතා කියා තිබුණි. ඒ අතරම ප්‍රකාශවූයේ එම යෝජනා ඉල්ලා අස්කර ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රි කණ්ඩායමට උපදෙස් දී ඇති බවයි.  හේතුව වශයෙන් සඳහන් වූයේ එම විශ්වාස භංග යෝජනා බාර දීම පක්ෂයේ තීරණයක් අනුව සිදු වූ දෙයක් නොවීමය.

කවර තත්ත්වයක් යටතේ වුව එසේ විශ්වාස භංග යෝජනා ඉල්ලා අන්කරගන්නැයි කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේත් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රජාතන්ත්‍රවාදී මහත්මා දේශපාලනය පෙන්නුම් කරන බවයි.

ඒ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසා තිබුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද්දක් නොවේ. එසේම එම යෝජනාවට සහය දෙන්නේ ද නොදෙන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි ස්ථාවරයකට එන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවසාන මොහොත දක්වා හැකිවූයේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නියෝජනය වන ආණ්ඩුවේ අගමැතිට එරෙහිව ඉදිරිපත් වූ එකී විශ්වාසභංගයේ දී ආණ්ඩුවක් වශයෙන් එකමුතු වී ඊට මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යුතුකමක් සහ වගකීමක් තිබුණි. එහෙත් ඒ යුතුකම හෝ වගවීම ඉටුකරන්නට තරමට සාමුහිකත්වයක් ඇති බවක් ශ්‍රි ලං. නි. ප. යෙන් පෙනුනේ නැත. ඊට හේතුව වශයෙන් දුමින්ද දිසානායක මහතා පවසා තිබුණේ පක්ෂයක් ලෙස බහුතර මතයට මෙන්ම සුළුතර මතයට ද ගරු කරන බවකි. සුළුතරය නියෝජනය කළ පිරිස වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු නැතැයි ද දුමින්ද දිසානායක මහතා කියා තිබුණි. එහි අරුත වන්නේ දැන් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කවරකුට වුව ඕනෑම පිස්සුවක් නටන්නට ඉඩකඩ පවතින බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායක්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ තරමට දියාරු වී තිබුණා වුව එම පක්ෂයේ අතීතය එසේ නැත. විශේෂයෙන්ම 1977 න් පසුව එම පක්ෂය මුහුණ දුන් දරුණුතම දේශපාලන වටපිටාව තුළ පවා එහි නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිණිය පක්ෂ විනය අකුරටම ක්‍රියාත්මක කරවන්නට වගබලාගත්තාය. තමාගේ දියණිය චන්ද්‍රිකාට, බෑනා විජය කුමාරතුංගට මෙන්ම පුතණු අනුර බණ්ඩාරනායකට පවා පක්ෂ විනය කැඩුවේ නම් දඬුවම් විඳින්නට සිදු විය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව දේශපාලනයක නිරතවන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පියවරක් ගැනීමට තරම් ශක්තියක් මෛත්‍රිට දුමින්දට ඇත්තේ නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කැපී පෙනෙන්නේ ඒ නිසාය.

ආණ්ඩුවේ තනතුරු වගකීම් වරප්‍රසාද ලබමින් ආණ්ඩුවටම එරෙහිව යෑම සම්බන්ධව ශ්‍රී ලං. නි.ප. පිරිසට සමාව දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව තිබේ නම් එම පක්ෂය කරන්නේ අන් කිසිවක් නොව ලක්ෂ හැට දෙකකගේ අපේක්ෂා සුනු විසුනු කරදමන්නට ජයග්‍රහණයෙන් පසුව යහපාලන ආණ්ඩුවට රිංගාගත් මහින්දවාදීන් කිහිප දෙනෙකුට උඩගෙඩි දීමයි.

පළාත් පාලන මැතිවරණ සමයේත් ඊට පෙරත් ඩිලාන් පෙරේරා වැනි පිං රාජ්‍ය ඇමතිවරු අතින් නිරන්තරයෙන් සිදු වූ සම්මුතිවාදයට අකුල්හෙලීම් කිසිවකට ශ්‍රී ලං.නි.ප. මුනිවත රැක්කා මිස ඉන් එහා යමක් කළේ නැත. අවසානයේ පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සම්මුතිවාදය චිරස්චින ලෙස ඝාතනය කරන තැනැත්තා බවට පත්වූයේ ජනාධිපති මෛත්‍රිපාලය.

විවේචනය කළයුතු දුර්වලතා ආණ්ඩුවේ තිබුණු බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් ඒ දුර්වලතා එකක්වත් හුදෙක් තනිව එක්සත් ජාතික පක්ෂය විසින්ම ඇති කළ ඒවා හෝ ඔවුන් පමණක් වගකිවයුතු ඒවා නොවේ. ආණ්ඩුවක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කළේ නම්, එහි දී සිදු වූ වැරදි අඩුපාඩු සියල්ලම පක්ෂ දෙකම එක සමානව වගකිය යුතුය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපතිවරයාත් හැසිරුණේ කතා කළේ සියල්ල ඔවුන් ආණ්ඩුවේ නොසිටි කාලයක එක්සත් ජාතික පක්ෂය තනිව කළ කී දේ සේ ය. එකී හැසිරීමේ වාසිය අවසානයේ දිනාගනු ලැබුවේ මහින්ද රාජපක්ෂවාදීන් විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාත් එක්සත් ජාතික පක්ෂයත් ව්‍යාංගාර්ථයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරාත්මක මැතිවරණ ව්‍යාපාරයක නියැලුණු වටපිටාවක්මත වුවද එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතා හෝ පෙරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනාධිපති මෛත්‍රීට ප්‍රහාරාත්මක දේශපාලන පියවරකට එළැඹෙන්නට උත්සාහ කළේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතා හැම විටම උත්සාහ කළේ ජනවාරි අට ජයග්‍රහණය සහ ජනවාරි අට මැතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වූ සම්මුති වාදී පොරොන්දුව ආරක්ෂාකරමින් ඒවා උල්ලංඝනය නොකර ඒ තුළ රැඳී සිටීමට ය.

තමාට විරුද්ධව විරුද්ධවාදීන් සමග එකතු වී විශ්වාසභංගයට සහයෝගය පළ කළ මැති ඇමතිවරුනට එරෙහිව තම පක්ෂයේ පිරිසක් ඉදිරිපත් කළ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට උපදෙස්දීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමා අනුගමනය කරන දියුණු ලිබරල් දේශපාලන පිළිවෙත යළිත් වතාවක් ජනතාව හමුවේ මැනවින් ඔප්පුකර තිබේ. තමා ආගම්වාදියකු ජාතිවාදියකු පමණක් නොව පක්ෂයට පමණක් සීමා වූ පක්ෂවාදියකු ද නොවන බව වික්‍රමසිංහ මහතා ඒ එරහා පෙන්වා දී තිබේ.

රාවය සති අන්ත පුවත්පතට 2018.04.08 දින ලිපියක් ලියමින් ආචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මෙසේ සඳහන් කරයි. ‘දෙවැනි සාධනීය ගති ලක්ෂණය නම් රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් ලිබරල්වාදියකු වීමයි. ලිබරල්වාදය පැත්තෙන් බලන විට රනිල් පැරණි ගුරුකුලයේ දේශපාලඥයකි. එවැනි අය දැන් පාර්ලිමේන්තුවේ ඇත්තේ දෙතුන් දෙනෙකි. ද්‍රවිඩ ජාතික සංධානයේ ආර්. සම්බන්ධන්, රනිල් වික්‍රමසිංහ ද අයත් වන පැරණි සම්ප්‍රදායේ ලිබරල් දේශපාලඥයෙකි. ලංකාවේ දේශපාලනයේ දැනට තිබෙන අවාසානාවන්ත තත්ත්වය වන්නේ දේශපාලඥයන්ගෙන් අති බහුතරය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයිවත් නොදන්නා අය වීමයි.

ආචාර්ය ජයදේව උයන්ගොඩ පවසන දේ නිවැරදිය. මෛත්‍රි, දුමින්ද, ඩිලාන්, සුසිල් මේ සියල්ලන් දිගින් දිගටම ඔප්පු කරමින් සිටින්නේ තමන්ගේ ලිබරල් නොවීමේ නොහැකියාවයි. එපමණක් නොව ඔවුන්ගේ පක්ෂයවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඒ තත්ත්වයට හෝ ඊටත් පහත් තත්ත්වයකට ඇද වැටී තිබේ. නැතහොත් ඔවුන් විසින්ම අද දමා තිබේ. විශ්වාස භංග ඡන්ද විමසීමේ දී ඔවුන් ඒ බව ඉතාමත් පැහැදිලිව ඔප්පුකර තිබේ. තමා පරාජය කරන්නට උත්සාහ ගත් පිරිසට එරෙහිව තම පක්ෂය තුළින්ම ඉදිරිපත් වුණු විශ්වාස භංගවලට ඉදිරියට යාමට ඉඩ දී දේශපාලන වෛරයක් පිරිමසාගන්නට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ නැත. ඔහු ඒ තීරණාත්මක මොහොතෙත් කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සම්මුතිවාදීව කටයුතු කරන්නට ජනවාරි අට දුන් පොරොන්දුව ආරක්ෂා කරන්නටය. දැන් ඇත්තේ ඊ‍ට පිළිතුරු දීම සඳහා මෛත්‍රි, දුමින්ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මුතිවාදී පාර්ශ්වයේ වාරයයි. කැබිනට් මණ්ඩලයේත් ආණ්ඩුවේත් සාමුහික වගකීම කඩාබිඳ දමමින් පොදු සතුරා සමග එක්ව දේශපාලන මිතුරාට එරෙහිව හිටගත් පිරිසට මෛත්‍රි, දුමින්ද මෛත්‍රි පිල අනුගමනය කරන ක්‍රියාපිළිවෙත කුමක්දැයි යහපාලන අපේක්ෂාවෙන් යුතු සියල්ලන් එකවර ප්‍රශ්න කළ යුතුය. එකී පිරිසට තව දුරටත් යහපාලන ආණ්ඩුවේ තනතුරු දරන්නට ඉඩ ලබාදෙන්නේ ද ඒ සඳහා කිසිවකුට සදාචාරාත්මක අයිතියක් තිබේද?යි අපි බලා සිටිමු.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *