සංගායනාවකට කාලයයි මේ – නිශාන්ත කමලදාස

 බුදු දහම ගැන අර්ථකථනයන් බොහෝ ය. එක් ධර්ම දේශනාවකට සවන් දුන් කෙනෙකු ඊළග ධර්ම දේශනාවට සවන් දීමේ දී අර්බුදයකට ලක් වෙන තරමට එකම සංකල්පය සම්බන්ධයෙන් දෙන අර්ථකථනයන් වෙනස් ය. ඇතැම් තැනක ඒවා අහසට පොළොව මෙන් පරස්පර ය.

මෙය බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ ආගම් සම්බන්ධයෙන් ද සත්‍යය ය. විවිධ අර්ථදැක්වීම් අතරින් නිවැරදි දේ කුමක් දැයි තීරණය කිරීමට සමත් ආගමික ශාස්තෘවරු කිසිවෙකුත් ජිවතුන් අතර නොසිටින නිසා හගිස්සවා ගන්නට කෙනෙකු නැතිකම මීට හේතුව විය හැකි ය.

මෙවැනි තත්වයන් අතීතයේ ඇති වූ කල භික්ෂූන් වහන්සේලා කළේ සංඝායනාවක් පවත්වා මේ කරුණු පැහැදිලි කර ගැනීම ය. නිවැරදි අර්ථකථනය කුමක් දැයි සංවාද කොට නිශ්චය කිරීම ය. එසේ නොවන තාක් මිනිසුන් අවුලට පත් කිරීමට මේ ප්‍රතිවිරෝධී කතා හේතු වනු ඇත.

ඒ ධර්මය අසන්නට පමණක් නොව භාවිතයේ යොදන්නට ද මිනිස්සු කල්පනා කරන්නේ නම් පමණ ය. බණ අසන්නේ අවසානයේ සාදු කියා පින් අනුමෝදන් කිරීමට පමණක් නම් මෙහෙම ගැටලු ඇති වන්නේ නැත. එහෙත් මෑතක ඇති වී ඇති දහම් ප්‍රබෝධය ඊට එහා ගිය එකක් වුණොත් තත්වය බරපතළය.

අප මේ විමසන්නට යන්නේ එසේ සිදු වෙතැයි යන උපකල්පනය පෙරදැරි කරගෙන ය.

ඉපදීම දුකක් ද?

ඉපදීම දුකක් බව බුදු දහමේ කියැවේ. සමහර භික්ෂූන් වහන්සේලාට අනුව මෙතැන අදහස් කරන්නේ සංස්කාරයන්ගේ උපත ය. සිතෙහි ඇතිවන සිතුවිලි හා සංකල්ප එයින් අදහස් වේ. තෘෂ්ණාව හටගන්නේ ඒ සංස්කාරයන් නිසා ය. එයින් නිරෝධ වීමෙන් නිදහස් වීමෙන් නිවන ඇති වන බව ඒ මතයට අනුව කියවේ.

ඇතැම් භික්ෂූන් වහන්සේට අනුව ඉපදීම දුකක් බව කියන විට එයින් අදහස් කරන්නේ මිනිසුන් ද සතුන් ද ඇතුළු සියලු ප්‍රාණීන්ගේ උත්පත්තිය දුකක් බව ය.දෙවැනි අර්ථකථනයට අනුව නිවන තියෙන්නේ මේ ඉපදීම නැති කිරීම හරහා ය. එසේ නම් තුරන් කළ යුත්තේ අපේ උත්පත්තියට ඇති ඉඩකඩ ය.නතර කළ යුත්තේ සංසාර ගමන ය.නිවන් දැකීමෙන් අදහස් කරන්නේ එයට තිතක් තැබීම ය.

ධර්මය තියෙන්නේ ජීවිතයට යොදා ගැනීමට ය.භාවිතයට ය.අසා අවසන් කිරීමට හෝ ඇසීමෙන් පින් ලබා ගැනීමට හෝ නොවේ. ඉතින් දෙවැනි අර්ථ දැක්වීම භාවිතයට ගන්නේ නම් කළ යුත්තේ උත්පත්තිය දුකක් හෙයින් දරුවන් නො හදා සිටීම ය.

දැන් අපට අලුත් ප්‍රශ්නයක් තිබේ.ඒ මේ භාවිතය ප්‍රචලිත වුවහොත් බෞද්ධ ජනගහණයේ ක්ෂණික අඩුවීමක් සිදු විය හැකි වීම ය. එවැන්නක් වෙන එකක් නැතැයි කියා හිත හදා ගන්නට පුළුවන් වන්නේ එකම කාරණයක් නිසා ය. වැඩි දෙනෙක් බණ ඇසුව ද එය ගණන් නො ගන්නේය, භාවිතයේ නො යෙදෙන්නේය, ඒ නිසා මේ කිසිවක් ගණන් ගත යුතු නැතැයි කියන කාරණය ය. එහෙත් මෑතක දී ඇති ව තිබෙන දහම් පුනරුදය නිසා බණ අසා නොසිට ක්‍රියාත්මක කරන්නට ගත්තොත් නම් වැඩේ හබක් ය.

මෙය මග හිටියොත් තෝ නසි, ගෙදර ගියොත් අඹු නසී ගණයේ කතාවකි. ඒ කියන්නේ නිවන් යන්නට හරියට තැත් කළොත් බෞද්ධ ජනගහණය නැත්තටම නැති වී යෑමේ අනතුරට මුහුණ දීමට සිදු වන බව ය. බෞද්ධ ජනගහණය තබා ගැනීමට හෝ වැඩි කිරීමට තැත් කළොත් නිවන් මගට යන්නට හැකි භාවිතාවෙන් අයින් වන්නට සිදු වන බව ය.

මින් ගැලවිය හැක්කේ බුදු දහමේ ඉපදිම දුකක් යන්නෙන් අදහස් කළේ සංස්කාරයන්ගේ උපත මිස ප්‍රාණීන්ගේ උපත නොවන බව තහවුරු කොට කීමෙනි. ප්‍රශ්නය එතැනින් කෙළවර නොවේ.

ඉපදීම පමණක් නොව ජීවිතයම දුකක් බව ඇතැම් ධර්ම දේශනාවල කියවේ. ඒ දුක් සහිත ජීවිතය කෙළවර කිරීමට කෙනෙකුට සිතුවොත් ඒ ගැන ඔහුට වරදක් කීමට නොහැකි වෙයි. මේ දර්ශනය, සිය දිවි නසා ගැනීම එක්තරා දුරකට යුක්ති යුක්ත කරයි. එය වළකා ඇත්තේ සිය දිවි නසා ගැනීම පවක් ලෙස දක්වා ය. එහෙත් ජීවිතය දුකක් ලෙස දෛනිකව හා නිරන්තරයෙන් දැකීම හරහා එන කලකිරීම, එවැනි වාක්‍යයකින්, තනි තහංචියකින්, සමහන් කළ හැකි ද යන්න ගැටලුවකි.

ජීවිතය දුකක් යැයි දිගින් දිගටම කියනවා වෙනුවට, ජීවිතය දුකක් කරගෙන ඇතැයි කීමට ධර්ම දේශකයන් විසින් කටයුතු කරන්නේ නම් ඒ අවුලෙන් ද අපට මිදිය හැකි ය. එසේ දුකක් කරගෙන ඇත්තේ බොහෝ දේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ඇලීමත් ගැටීමත් නිසා යැයි කියන්නේ නම් මිනිසුන්ට ඒ සඳහා කළ හැකි ප්‍රායෝගික යමක් ද සැපයෙන්නේ ය. ඒ මගින් ජීවිතය ගැන කලකිරුණු අයට යම් ධනාත්මක මග පෙන්වීමක් කිරීමට බුද්ධාගමට හැකි වනු ඇත. එසේ නොකොට ජීවිතය දුකක් යයි නිතර කීම නම් භයානක ය.

බුදු දහමට එරෙහි එක් චෝදනාවක් නම් එය ධනාත්මක දහමක් නොවේය යන්න ය. ඇතැම් අය එයිනුත් නො නැවතී කියන්නේ එය ඍණාත්මක දර්ශනයක් ඉදිරිපත් කරන බව කියන්නේ මේ නිසා ය. එම චෝදනාවෙන් මිදීමට ද මේ වෙනස උදව් වෙනු ඇත.

දියුණු වීමට තැත් කිරීමත් මග හැරිය යුතු තණ්හාවක් ද?

ඊළගට ජාම බේරගන්නට තිබෙන්නේ තෘෂ්ණාව සමග ය. එයින් අදහස් කරන්නේ කිසි දෙකට ආශා නොකළ යුතු බව ද එසේ නැතිනම් කිසි දෙයක් කෙරෙහි නො ඇලිය යුතු බව ද යන්න පැහැදිලි නැත. මක් නිසා ද යත් මේ අදහස් දෙකම ඉදිරිපත් වන නිසා ය.

කිසි දෙයකට ආශා නො කරන්නෙකුට ජීවිතය ගැන ඉලක්කයක් නැත. එවිට සිදු වන්නේ ජීවිතය තුළ ඒ තැනැත්තා හසරක් නොදැක අතරමං වීම ය. යමකට නො ඇලිය යුතු බව කියන විට එසේ නොවේ. එතැන යමක් ලබා නොගත යුතු යන්න නොකියවේ. ඒ ලබා ගත් දේ පිළිබඳව නොඇලිය යුතු බව පමණක් ඉන් කියවේ.

ප්‍රශ්නය ඇත්තේ යමක් ලබා ගැනීම ගැන නොව ඒ සඳහා කරන කප්පරක් වැරදි තුළ ය. ඒ ලබා ගැනීම සඳහා වෙනත් බොහෝ දේ පරදුවට තබන්නට උනන්දු වීම තුළ ය. ඒ සඳහා අන් අයට රිදවන්නට සිදු වීම තුළ ය. ඊට අමතරව එය නැතිව ගිය විට සිහිය එලවා ගන්නට නොහැකි වීම තුළ ය.

තමන් සතුව කිසි දු දෙයක් නැති කෙනෙකුට මේ ප්‍රශ්න එකක්වත් අදාළ වන්නේ ම නැත. නො ඇලිය යුතු යන්න වඩාත් අදාළ වන්නේ තියෙන අයට නිසා ය. නැති කෙනකුට ඇලෙන්නට දෙයක් නැත.

තිබෙන දේ ගැන නොඇලිය යුතු යැයි කියනවා වෙනුවට කිසිවක් අයත් කර ගැනීමට උත්සුක නොවිය යුතු යැයි කියන විට ව්‍යාපාරයක් කරන්නට, දියුණු වන්නට, නවෝත්පාදනයක් කරන්නට අවසර නැත. වරම් නැත. මේ තුළ සිදු වන්නේ බෞද්ධයන් මෙවැනි කටයුතුවලින් අධෛර්යය කිරීම ය.

තමන් විසින් ධාර්මිකව කරනු ලබන කිසියම් ව්‍යවාසයකින් කෙනෙකුට ලාභයක් ලැබිය හැකි ය. අලාභයක් ද ලැබිය හැකි ය. ඒ වෙත නො ඇලුණු තැනැත්තේ ඒ දෙකින් එකකින්වත් කම්පා නො වන්නේ ය. තමන් කරන යම් කටයුත්තක් ඉතා හොඳින් ඉටු කිරිම නිසා කෙනෙකුට කීර්තිය ලැබිය හැකි ය. ප්‍රශංසා ලැබිය හැකි ය. ඒ හා සමානව එය ඉවසා දරා ගන්නට බැරි අය විසින් කරන නින්දා ද ලැබිය හැකි ය. උන්ගේ අවලාදවලට මුහුණ දීමට සිදු විය හැකි ය. නො ඇලුණු තැනැත්තේ ඒ දෙකින් එකකින්වත් කම්පා නො වන්නේ ය. මෙසේ නොඇලුනු තැනැත්තේ අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන්නේ ය. ලෝක ස්වභාවය එය බව දැන ජීවත් වන්නේ ය.

එහෙත්,කිසි දෙයක් හඹා නොයන, ඉලක්කයක් නැතිව, ඉන්නවාට ඉන්නා, මිනිසුන්ට නම් මෙය කොහොමටත් ප්‍රශ්නයක් නො වන්නේ ය. අදාළ නො වන්නේ ය. අමුතු උත්සාහයක් නැතිවම ඔවුන්ට ජීවත් විය හැකි ය. අලාභයක්වත් ලාභයක්වත්

ඔවුන්ට ඇති නොවන නිසා ය. කීර්තියක් හෝ නින්දාවක් ලබන්නට ප්‍රස්තුතයක්, හේතු කාරණයක්, ඔවුන් සම්බන්ධයෙන් ඇති නොවන නිසා ය.

පැදුරෙ ඉන්නාවුන් බිමට වැටෙන්නේ නැත. ඒ කොහොමටත් ඉන්නේ බිම නිසා ය. බුදු දහම තුළ තණ්හාව පිටු දකින්නට දරණ වෑයම තුළ සියළු දේ අත්හරින උදවිය කරන්නේ පැදුරේ ඉන්නට ඉටා ගැනීම ය. ලාභයක් පතන්නේ නැති කොට අලාභයක් ඇති වන්නට විදිහක් නැත.

ඇලීම දුරු කොට ගැටීම අල්ලා ගැනීම

අවසානයේ සිදු වන්නේ සෙසු ආගමිකයන් එවැනි බාධක නැතිව මුළු හිතින් ඉදිරියට යන විට බෞද්ධයින් උන්ට ඉරිසියා කිරීමට පෙළඹීම ය. බත් හට්ටියේ වඳ කළ හැකි යැයි තමන් විශ්වාස කරන පකිස්ථාන් ප්ලාස්ටික් හාල් දැකීම ය. රොට්යේ පිටිගුලි වඳ පෙති බවට පෙරලී රටක් පෙරලන්නට ඩෙඟා නැටීම ය. නැවක සුක්කානම සටහන් කෙරුණු සෙරෙප්පු ඇතුළත ධර්ම චක්‍ර පෙනීම ය. ඉන් පරල වීම ය. අඳින ඇඳුම්වල වඳ ජෙල් ඇතැයි දැනීම ය. එයින් භ්‍රාන්ත වීම ය.

ඇලීම නැති වූවාට ගැටීම වැඩි ආයාසයකින් බදා ගැනීම ය. ඇලීම ගැන කප්පරයක් බණ කියන සංඝයා වහන්සේලා පවා මේ ගැටීම ගැන එක්කෝ ඇස් වසා ගෙන සිටීම තුළ පෙන්වන්නේ අප මුහුණ දී තිබෙන මේ අකරතැබ්බය ය. ඇස්වසා ගෙන පමණක් සිටී නම් එකක් ය. ඇතැම් අය ගැටීම ඇවිලවීමට පිදුරු දැමීමට ද ඉදිරිපත් වන්නෝ ය. ඇතැම් අවස්ථාවල තවත් ඉදිරියට ගොස් ගැටීමේ මෙහෙයවන්නන් බවට ද පත් වන්නෝ ය.

ඇලීම, ගැටීම එක්වුණු නිකාය

මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව, මියන්මාරයේ සිට පැමිණි සොච්චමක් වූ රොහින්ගියා මුස්ලිම් සරණාගතයන්ට ද එරෙහිව හිංසනය භාවිතා කිරීමට පවා ඇතැම් සංඝයා යොමු වීම මේ පිළිබඳ දිය හැකි මෑතක සාක්කි ය. පොලීසිය සමග ද රජය සමග ද වෙනත් විවිධ පාර්ශ්ව සමග ද ගැටුම් ඇති කර ගැනීමේ ඉතිහාසය ඊටත් වඩා දිග ය. සාමය වෙනුවට යුද්ධය ඉල්ලා තිස් වසරක යුද්ධය පුරා ගෙන ගිය ඇතැම් ශාසනික කටයුතු ද මීට අයත් ය. යුද්ධයට රජය පෙළඹවීම පිළිබඳ මැදිහත් වීමේ ගෞරවය ලබා ගැනීම සඳහා එකිනෙකා සමග තරග වැදීම තුළ ද පෙන්නුම් කරන්නේ ගැටීම සම්බන්ධයෙන් හිරිකිතයක් නැති බව ය.

ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගෙන එක් භික්ෂූවක් මිය ගියේ ය. මිය යන්නට සූදානම් නැතත් ගව ඝාතනයට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට සැදී පැහැදී සිටින භික්ෂූන් වහන්සේලා බොහෝ ය. මේ තුළ ප්‍රදර්ශනයේ කරන්නේ කුමක් ද? ගැටීම ය. ගැටීමෙන් වෙන් වෙන්නට නොහැකිකම ය.

බුදුන් වහන්සේ හොඳ නරක කියා දුන්නා මිසක නරක නවත්වන්නට පෙළපාලි ගියේ නැත. සත්ත්ව ඝාතනයෙන් වැළකෙන්නට උපදෙස් දුන්නා මිසක සත්ත්ව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා රජ්ජුරුවන් ගලග්‍රහණයට ගත්තේ නැත. ඒ ඇලීම තරමට ම ගැටීම ද පිටුදැක්ක නිසා ය.

ඉරිදා ටියුෂන් පන්ති වැනි දේ තහනම් කරන්නට කරන බලපෑම්වල ද හලාල් අරබයා කරන ලද මැදිහත් වීම්වල ද දක්නට ඇත්තේ මේ ගැටීම ය. ගැටෙන්නට ඇති නොසංසිඳෙන පිපාසය ය. ආසාව ය. ගැටීමට ඇති ඇලීම ය.

නිකාය බේදය ද ඇලීම මෙන්ම ගැටීම ද නිරූපණය කරන සාක්කි ය. ඒ ගැටීම වෙනත් ජාතිකයින් සම්බන්ධව නොවේ. වෙනත් ආගමිකයන් සම්බන්ධව නොවේ. තමන්ගේම අය ගැන ය. කුලයෙන් වෙන් කරනු ලැබ ඇති තමන්ගේම අය ගැන ය. පත්තිරිප්පුවේ පැවති උත්සවයකට ආරාධනා ලැබ එහි ගිය සියම් නිකායට අයත් නොවන භික්ෂූන්ට එයට ඇතුළු වන්නට නොහැකි ව පල්ලම් බසින්නට සිදු වුනේ ද ඒ ගැටුමේ ප්‍රතිඵල හැටියට ය. එයින් පෙන්වන්නේ භික්ෂූ ශාසනය තුළ තම සහෝදර භික්ෂූන් පවා වැට කොටු ගසා පිටමං කිරීම තරමට ඔඩු දුවා ඇති ගැටීම පිළිබඳ කතාව ය.

සාමය සහජීවනය දේශනා කළ ධර්මයක පූජකවරුන් ගැටුමක කර්තෘවරුන් වන්නේ ඇලීම දුරු කිරීම ගැන කතා කළේ වුව ද ගැටීම ගැන නිහඩ වූ නිසා විය හැකි ය. මේ නිසා ඇලීම තරමට ම ගැටීම ද අත් හල යුතු දෙයක් ලෙස සැලකීමට කටයුතු කළ යුතු ය.

අවවාදයට වඩා ආදර්ශය උතුම් ය. බුදුන් වහන්සේ තමා දෙසූ දහම තුළ ජීවත් වූහ. කියන දේ කළ අතර කරන දේ කියා සිටියේ ය. එහෙත් අවාසනාවට ඇලීම ගැටීම අත්හරින්නට උපදෙස් දෙන භික්ෂූන් වහන්සේලා ගිහියන්ටත් වඩා තදින් ඇලෙනු ද ගැටෙනු ද අපි දකිමු. බෞද්ධයන්ට නිසි මග පෙන්විය හැක්කේ නිදා සිටින මිනිසුන්ට කරදරයක් වන ලෙස බණ බලෙන් ඇස්සවීමෙන් නොවේ. තමන් ඒ ධර්මය තුළ ජිවත් වීමෙන් මිනිසුන්ට ආදර්ශයක් වීමෙනි.

විනය පිටකයේ නව සංස්කරණයක් අවශ්‍ය තරමට භික්ෂූ චර්යාව පිරීහී තිබීම ශෝක ජනක ය.

සිවුර සහ වෛරි බව

ධර්මය පිළිබඳ නව අර්ථ කථනයක්, රටක් ලෙස දියුණු වීම සඳහා ද අනවශ්‍ය ආරවුල්වලින් රට නිදහස් වීම සඳහා ද අවශ්‍ය ය. බුද්ධ ශාසනය තුළ මේ වෙනස්කම් සිදු වීම, රටේ වෙසෙන ජනයාගේ දියුණුව සඳහා ද ඔවුන් අතර සහජීවනය සඳහා ද අවශ්‍ය ය. එසේ නොකළහොත් සිදු වන්නේ බෞද්ධයින් ද දුර්වල වීම ය. නැතහොත් මේ දෙසුම්වල හිස් බව දැන උන් සිය ආගමෙන් ද ඈත් වීම ය. ඒ තුළ බෞද්ධ ගහණය කොහොමටත් අඩු වීම ය.

විවිධාකාර ධර්ම දේශකයන් විසින් විවිධ අර්ථ කථන සපයමින් කරන කතිකාවන් නිසා පමණක් නොව භික්ෂූන්ගේ වත්මන් චර්යාවන් නිසා ද මේ කථිකාව අවශ්‍ය ය.

නැත්නම් සිදු වන්නේ බෞද්ධයින් දිගින් දිගට වෙනත් ජාතිකයන්ට ඉරිසියා කරමින් ඔවුන් හා ගැටෙමින් හැම ගේ ජීවිත අඳුරු කිරීම ය.

පවත්වන සංඝායනාවක දී ධර්මය පමණක්, සූත්‍ර පිටකය පමණක්, සාකච්ඡා කිරීමෙන් පලක් නැත. විනය පිටකය ද කතිකාවට ඇතුළු කළ යුතු ය. බුදුන්ගේ කල ඇති නොවූ විසූක දස්සන දැන් තිබෙන නිසා ම විනය සම්බන්ධයෙන් නව පටිපාටියක් පැනවිය යුතු ව තිබේ. නැතිනම් මේ යන විදිහට සිවුර සන්සුන් බවේ සංකේතයක් හැටියට නොවී වෛර භාෂිතයේ සංකේතයක් හැටියට සමාජ ගත වන්නට ඉඩ තිබේ.

බුද්ධ ශාසනය තුළ වරින් වර සංඝායනාවන් සිදු කර තිබේ. ඒ නිසා තවත් සංඝායනාවක් කිරීම නොකළ හැකි දෙයක් නොවේ. එහෙත් නිකාය ගණනාවකට බෙදී ඇති සංඝයා එක් වහලක් යටට එක් කිරීම නම් අභියෝගයක්ම වනු ඇත. එසේ එක් කල ද ඔවුන් අතර සම්මුතියක් ඇති කර ගැනීම ඊටත් වඩා අපහසු වනු ඇත. සම්මුතියක් ඇති නොවුන ද සංවාදයක් හැම විටම දුර්මත ඉවත් කර ගැනීමට දිරියක් සපයනු ඇත්තේ ය.

කොතෙක් අභියෝග ඇතත් මේ කටයුත්තට ඉදිරිපත් ව එහි සාර්ථක අවසානයක් දැකීමට සෑම බෞද්ධයෙකුම අධිෂ්ඨාන කර ගත්තොත් හොඳ ය. ඒ සඳහා දැනුම් තේරුම් ඇති සිල්වත් භික්ෂූන්ගේ ආශීර්වාදය අතවශ්‍ය ය. බුද්ධ ශාසනය වෛරී හා ඍණාත්මක භාෂිතයේ යෙදෙන වැඩිමනත් වූ සංඝයා වහන්සේලාට පමණක් බාර දී සිටියොත් එය අනතුරේ බව සටහන් කරමින් ලිපිය අවසන් කරමි…

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *