විශ්වාස භංගෙයන් අගමැතිවරයා‍ගෙ විශ්වාසය තහවුරු වුණා : ඒකාබද්ධ විපක්ෂයෙ විශ්වාසය භංග වුණා – ගාමිණි වියන්ගොඩ

අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් නැහැයි කියල ගෙනාව විශ්වාස භංගෙයන් අගමැතිවරයා පිළිබද පාර්ලිමේන්තුවෙ විශ්වාසය තියනව කියල විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔප්පු වුණා. අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් නැහැයි කියල ඒකාබද්ධය ගෙනාපු විස්වාස භංගය නිසා ඒකාබද්ධ විපක්ෂය කෙරේ තිබුණ විශ්වාසය මුලුමනින්ම භංග වුණා. ඒ අර්ථයෙන් ගත්තාම මේ විශ්වාස භංගය ඒක ගෙනාපු අයගෙ විශ්වාස භංගයක් බවට අද පත්වෙලා තියෙනව.

දේශපාලඥයන් සාමාන්‍ය තීරණ ගත යුත්තේ තමන් අත්කරගත් ජයග්‍රහණයන් ආරක්ෂා කරගනිමින් තව තවත් ජයග්‍රහණයන් අත්පත්කර ගැනීමටයි. එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නෙ දේශපාලනිකව. නමුත් අපේ රටේ තියන ඒකාබද්ධ විපක්ෂය ඇතුලු මේ ආණ්ඩුවට කෙණෙහිලිකම් කරන්නට හැම වෙලාවෙම බලාගෙන ඉන්න දේශපාලඥයින්ට ඒක කරගන්නටත් පුලුවන් කමක් නැහැ. ඒක හොඳට පේනවා පෙබරවාරි 10 වෙනිදා, අද මේ විශ්වාස භංගය ගෙනාපු මිනිසුන් ලබපු යම්කිසි ජයග්‍රහණයක් තිබුණද ඒ ජයග්‍රහණයත් සම්පූර්ණෙයන්ම මස්තබාල්දු කරගත්තා මේ විශ්වාස භංගය ගෙනල්ලා පරාජයට පත්වීමෙන්.

දැන් පැහැදිලියි පාර්ලිමමේන්තුවෙ මහජන නියෝජිතයන් අතරින් අති විශාල බහුතරයක් මේ ආණ්ඩුව කෙරහි විශ්වාසය තියනවයි කියන කාරණය. දැන් මේකෙදි ආණ්ඩුව හැටියට ගත යුතු ක්‍රියා මාර්ග මොනවද කියන ඒක අපි සාකච්ඡාවට ගතයුතුයි. ඒ වගේම අපි බලන්න ඕන මේ විශ්වාස භංගය ආවෙ ‍කොහොමද කියල. අපි කතාවට කිව්වට, මේ විශ්වාස භංගය ආවේ ඒකාබද්ධ විපක්ෂයෙන් කියල, මගේ අදහස වෙන්නෙ මේ විශ්වභංගය ගෙනාවේ ඒකාබද්ධ විපක්ෂ නොවෙයි, ජනාධිපතිවරයා කියල.

මේ රටේ ජනාධිපතිවරයා තමන්ගෙ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් උසි ගැන් වූ ආකාරය දැන් තමුන්නාසේලාට ආපසු හැරිල බැලුවොත් පෙනේවී. විශ්වාස භංගය එන්නේ කවදායින් පසුවද කියල. මේ විශ්වාස භංගයේ මූලික තේමාව වන්නේ මහ බැංකුවෙ ඇති වෙච්ච ඒ මහ හොරකම. ඒ පිළිබදව අගමැතිවරයාගෙ සම්බන්ධයක් තියනව, අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් වගකිවයුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන තමයි මේ විශ්වාස භංගය ගේන්නේ.

ඒතෙකාට, මේ මහ බැංකු වංචාව සිද්ධවෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. මේ අවුරුදු තුනක කාලයක් තිස්සෙ කිසිකෙනක් හිතුවෙ නැහැ ඒක මුල්කරගෙන අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ආ යුතුයි කියල. ඒ වෙනුවට කවුරුත් ඉල්ලුවෙ මේ හොරකම ගැන පරීක්ෂණ පවත්වන්න, ඒ හොරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියල. ඒක මේ ආණ්ඩුව කෙරුවා. මේ ආණ්ඩුව කොමිෂන් සභා පත්කරලා තියනව. අගමැතිවරයා මේ පිළිබඳව කමිටුවක් පත්කෙරුවා. ඒකෙ වාර්තාවත් ලැබුණා. ඊට පස්සෙ ජනාධිපතිවරයා මේක පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කෙරුවා. ඒකෙ වාර්ථාවත් ලැබුණා. ඊටත් පෙර කෝප් කමිටු වාර්තා දෙකක්ම තියනවා. ඩිව් ගුණසේකර මහත්තයාගෙ සභාපතිත්වය යටතෙත්, සුනිල් හඳුන්නෙත්ති මහත්තයගෙ සභාපතිත්වය යටතෙත්. එතකොට මේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙ නිකම් ඉදලා නැහැ මේ කියන වංචාව සම්බන්ධයෙන්. ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අරන් තියනවා විතරක් නෙමයි ඒ ක්‍රියාමාර්ගය ගැනීමේ දී එයට සම්න්ධ බවට කරුණු හෙළිදරව් වෙච්ච ඇමති වරුන්ට ඉල්ලා අස්වෙන්නටත් තත්ත්වයක් පාදල තියනවා.

රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා ඉල්ලා අස්වෙන්නෙ මෙයට අදාල යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන්. මීට ඉස්සර ඉතිහාසයේ කිසි දවසක අපේ දේශපාලඥයො යම්කිසි හොර වැඩකට සහභාගි වුණාය යන චෝදනාව යටතෙ කිසි දවසක ඉල්ලා අස්වෙලා නැහැ. ඒක පළවෙනි වතාවට සිද්ධ වෙන්නෙ මේ යහපාලන ආණ්ඩුව යටතෙ. ඒ විතරක් නෙමයි ඊළගට මේ දේශපාලඥයන්ගෙන් පිටස්තරව හොරකමට කෙළින්ම සම්බන්ධ බවට කරුණු හෙළිදරව් වෙච්ච පර්පචුවෙල් ටෙසරිස් සමාගමේ හිමිකරුවා වන හිටපු මහ බැංකු අධිපතිගෙ බෑනනුවන්  වෙන ඒ පුද්ගලයාව අද වෙනෙකාට හිර බාරයට අරගෙන තියෙනව. ඔහුගෙ ප්‍රධාන විධායක නිලධාරියත් මේ වෙනකොට හිරබාරයට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ‍සියලු දේපළ, වත්කම්, බැංකු ගිණුම් සියලුම දේවල් අද වෙනකොට තහනම් කරල තියෙනව. දැන් මොකක්ද දැන් යහපාලන ආණ්ඩුවෙන් කළ යුතුව තියෙන්නෙ? දැන් කළ යුතුව තියෙන්නෙ අධිකරණයක් ඉදිරියට මේ අය පමුණුවල දඬුවමකට ලක්කිරීමයි. මෙහෙම තියෙද්දි තමයි මේ විස්වාස භංගය ගේ‍න්නේ. මම ඉස්සරවෙලා කිව්වා අවුරුදු තුනක් වෙනවා කියලා මේ බංකු වංචාවට. මේ කාලය තුළ මේ පිළිබදව විශ්වාස භංගයක් ගේන්න ඕන කියල කිසි කෙනෙක් යෝජනා කරල නැහැ.

මේ විශ්වාසභංග යෝජනාව පළවෙනි වතාවට එන්නෙ පෙරවාරි 10 වෙනිදායින් පස්සෙ. හොඳට හොයල බලන්න අගමැතිවරයාට විරුද්ධව කිසි යෝජනාවක් තියෙනවද කියල පෙබරවාරි 10 වෙනිදාට කලින්. පෙබරවාරි 10 වෙනිදාට පස්සෙ තමයි මේ යෝජනාව ඒන්නෙ. මේ අදහස කලින්ම ඒන්නෙ කාගෙන්ද? මේ අදහස කලින්ම එන්නෙ ජනාධිපතිවරයාගෙන්. පෙබරවාරි 12 වෙනිදා ජනාධිපතිවරයා අගමැතිවරයාව ගෙන්නලා ඔහුගෙන් ඉල්ලා සිටිනවා ඉල්ලා අස්වෙන්න කියල. අගමැතිවරයා ප්‍රතික්ෂේප කරනවා. මොකද කිසි පදනමක් නැති ඉල්ලීමක් ඒක. මොන කාරණයක් උඩද, මොන තර්කයක් උඩද අගමැතිවරයා ඉල්ලා අස්විය යුත්තෙ? පරාජය උඩ නම් අගමැතිවරයා ඉල්ලා අස්විය යුත්තෙ, ඊට කලින් ඉල්ලා අස්විය යුතුයි ඊට වඩා පරාජයකට මුහුණ දුන් ජනාධිපතිවරයා. ඒක නිසා අගමැතිවරයා ඒක ප්‍රතික්ෂේප කෙරුවා.

19 වන ව්‍යවස්ථා සංසෝධනය යටතෙ ජනාධිපතිවරයාට පුලුවන් කමක් නෑ අගමැතිවරයාව තමන්ගෙ අභිමතය පරිදි පහකරන්න. දැන් අගමැතිවරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවට පස්සෙ ජනාධිපතිවරයාට තව ඉතුරු වුණේ තව ඒක මාර්ගයයි. තමන්ගෙ හෙන්චයියන්ට කතා කරලා, මේකට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා ඒකෙන් ජය අරගෙන මේ අගමැතිවරයාව ඉවත් කළ යුතුයි කියන ඒක. ඔන්න ඕකයි මේ විශ්වාස භංගයේ උප්පත්ති කතාව. විශ්වාස භංගයෙ තිඹිරිගෙය තියෙන්නෙ ජනාධිපති ගෙදර ඇතුළෙ.

ඒතකොට මේ විශ්වාස භංගය පරාජය වීම මේ ජනාධිපතිවරයා අවුරුදු තුනක් ඇතුළත ලබපු තුන්වෙනි පරාජය. පළවෙනි පරාජය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපත්ත්වය භාර අරගෙන සමස්ත ශ්‍රී ලංකා නිදහස්පක්ෂයම තමන් යටතට ගන්න පුලුවන් කියල වටේ ඉන්න මෝඩ රැලක් දුන්න උපදෙස් උඩ ගිහිල්ලා හොට බිම ඇනගැනීම. ඊළගට මේක තවදුරටත් ගෙනියමින් පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයකටත් යනවා මේක ටෙස්ට් කරලා බලන්න. ගිහිල්ලා කිසි දවසක නැති විදිහෙ පරාජයක් එදා අත්කරගත්තා ඒ දෙවෙනි පරාජය. දැන් විශ්වාස භංගය ගෙනැල්ලා තුන්වෙනි පරාජයත් අත්කර ගත්තා. අවුරුදු තුනක් අතුළත මේ ජනාධිපති වරයා මේ රට හා ජනතාව ඉදිරියෙ තෙවරක් පරාජයට පත් වෙලා තියෙනවා වැරදි දේශපාලනික ලයින් ඒකක් උඩ ගිය නිසා. වැරදි දේශපාලනික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා. ඒක නිසා අපි මේක දකින්නෙ ජනාධිපතිවරයාගේ පරාජයක් විදිහටයි.

දැන් බලන්න මේ විශ්වාස භංගය ගෙනා වෙලාවෙ ජනාධිපතිවරයාගෙ පාර්ශ්වය හැසිරිච්චච විදිහ හා ජනාධිපතිවරයා හැසිරිච්ච විදිහ. ජනාධිපතිවරයා මේකට දවස් දෙකක් තියෙද්දි අගමැතිවරයාගෙ ආමාත්‍යංශවල තිබුණු විෂයන් ඔහුගෙන් ඉවත් කරලා. මහ බැංකුව ඔහුගෙන් ඉවත් කරලා මුදල් අමාත්‍යාංශයට දෙනවා. අපි කියන්නෙ නැහැ ඒවා වැරදියි කියලා. අපි විශ්වාස කරනවා මහ බැංකුව තිබිය යුත්තෙ මුදල් අමාත්‍යාංශය යටතෙ තමයි කියල. හැබැයි ඒක මෙතැනදි කරන්නෙ මේ රටේ ආර්ථිකය ගැන හිතල නෙමෙයි. දේශපාලනය ගැන හිතල සංඥාවක් නිකුත් කරන්න ඕනැ කළා ජනාධිපතිවරයට මේ අත ළග තියෙන විශ්වාස භංගය ඉදිරියෙ මේ අගමැතිවරයා පිළිබද යම්කිසි අප්‍රසාදයක් ඇති කරන්න. ඊළගට විශ්වාස භංගය ‍ගෙනඑන දවස දක්වාම මේ ජනාධිපතිවරයා කිසි දෙයක් කියන්නෙ නෑ විශ්වාසභංගය පිළිබදව. හරි නම් ජනාධිපතිවරයා ඉදිරියට ඒන්න ඕනැ. මොකද හේතුව, අගමැතිවරයාට විතරක් විරුද්ධව විශ්වාස භංගයක් ගේන්නට බැහැ. මේ විශ්වාස භංගයෙම ඒක ලියැවිලා තියෙනව. අගමැතිවරයාට සහ ආණ්ඩුවට විරුද්ධව ගේන විශ්වාස භංගයක් කියල. මේ ආණ්ඩුවෙ ප්‍රධානිය කවුද ජනාධිපතිවරයා. ජනාධිපතිවරයට යුතුකමක් හා වගකීමක් තිබුණ කියන්න මේ විශ්වාස භංගය අපි පරාජය කළ යුතුයි කියල. ඒත් කිව්වෙ නැහැ. මොකද ඒක තමන්ගෙ විශ්වාස භංගයක් නිසා.

දැන්මේ විදිහට අපිට පෙනවා 2015 ජනවාරි පොරොන්දු ආපස්සට හැරවීමේ දේශපාලනික වැඩපිළිවෙලක් මේ ජනාධිපතිවරයාගෙ නායකත්වය යටතෙ ක්‍රියාත්මක වෙමින් තියනවා කියන ඒක. මේක අපි අද නෙවෙයි දැන ගත්තෙ. මේක අපි දැනගෙන සෑහෙන කාලයක් වෙනව. නමුත් අපි මේක රටට කිව්වෙ නෑ. මොකද හේතුව අපි විශ්වාස කළා මේ ජනාධිපතිවරයාත් සමග මේ අගමැතිවරයාත් සමග සහයෝගයෙන් යහපාලන ආණ්ඩුව සහ ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න පුලුවන් වේවිය කියල.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *