රනිල් දිනුම් දැන්? – අනුර සූරියබණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානයේ පිරිසකගේ ද ආශිර්වාදය සහ සහයෝගය මත ඉදිරිපත් කරන්න යෙදුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. ඒ පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 122ක් ලබාගනිමිනි. මැති ඇමතිවරුන් 26ක් ඡන්දය දීමට පැමිණ සිටියේ නැත. එසේ නොපැමිණි පිරිසට මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ, විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මනූෂ නානායක්කාර, දුමින්ද දිසානායක, ආරුමුගම් තොන්ඩමන්, අතුරලියේ රතන යන අය අයත්ව සිටියහ. අන් අයගේ නොපැමිණීම වටහා ගත හැකි වුවද අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන්නැයි පෙත්සමක් බාර දුන් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දීමට ඉදිරිපත් නොවීම වටහා ගත යුත්තේ කවර න්‍යායකට අනුවද යන්න පැහැදිලි නැත.

විශ්වාස භංග ඡන්ද විමසීමට පෙර ම ඒකාබද්ධ විපක්ෂය පවසා තිබුණේ ඉන් දිනුව ද පැරදුන ද තමන් ජයග්‍රහණය කරන බවය. ඔවුන්ගේ ඒ කියුම සාර්ථකය. දැන් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී තිබේ. එනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරයට පක්ෂ සහ විපක්ෂ වශයෙනි. තවත් අර්ථයකින් කියන්නේ නම් මෙතෙක් මෛත්‍රි පිලේ නියෝජනය වූ කිහිප දෙනෙකු හෝ ඉන් ඉවත් කොට නාමිකව හෝ පොහොට්ටුවේ ගොඩට එකතුකර ගන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබී තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එනම් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ එසේම දැනට ආණ්ඩුවේ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ධුර දරන පිරිසක් ද සිටිති. එකී පිරිස තවදුරටත් අග්‍රාමාත්‍ය වරයා සමඟ හෝ යහපාලන ආණ්ඩුවේ නිලතල දරන්නට කොයි තරමට සදාචාරාත්මක අයිතියක් ‍තිබේද යනු ගැටලුවකි. එක්කෝ දැන් ඔවුන් ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔවුන් එකී ධුර වලින් ඉවත් කළ යුතුය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂය දිනාගත නොහැකි වී ඇති බව ප්‍රකාශමාන වූයේ පසුගිය පළාත්පාලන මැතිවරණයෙනි. ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පමණක් නොව ඔහුට පක්ෂයේ සාමාජිකත්වයේ කැමැත්තද නැති බව එහි දී ඔප්පු විය. විශ්වාස භංගය අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ තමන් සමඟ සිටින පිරිසට පවා නිසි නායකත්වයක් සපයන්නට මෛත්‍රිපාල සිරිසේන මහතාට නොහැකි වී ඇති බවය. ඔහු සමග බලය බෙදාගන්නා ආණ්ඩුවට හවුල් වූ පිරිසත් වචනයෙන් හෝ විශ්වාස භංගයට සහයෝගය පළකිරීමෙන් ගම්‍යවන්නේ එයයි. එකී පිරිස අතරින් බොහොමය පසුගිය මහ මැතිවරණයෙන් පරාජිතව ජාතික ලැයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට රිංගාගෙන තනතුරු වරදාන ලබාගත් පිරිස බව (ඔවුනට ගෞරව පිණිස) සඳහන් කළ යුතුය. ආණ්ඩුවේ යහපාලන ගමනට මුල සිටම විරුද්ධව කටයුතු කළෝද ඔවුහු ය. ඔවුන් පාර්ලිමේන්තුවට කැඳවා ගැනීමෙන් සහ ඇමැති නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති තනතුරු දීමෙන් සිදු වූ‍යේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් යහපාලන අපේක්ෂාවෙන් යුතු ලක්ෂ ගණනක් ජනතාවගේ බලාපොරොත්තු පස්සට යාම පමණි.

ඩිලාන් පෙරේරා වැන්නන් බලා සිටින්නේ නල්ලතන්නියේ දී මහින්ද රාජපක්ෂ මහතා එක්ව පැරණි පාරෙන්ම ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්නට බව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට වැටහුණේ නැතිද යන්න ප්‍රශ්නයක් වුව රටේ පොදු ජනතාවට නම් එය සක්සුදකටත් වඩා හොඳින් අවබෝධ වී තිබුණේ ය. එකී ජනතාව අතරින් කෙනකු සතියකට හෝ ජනපති ධුරයට නිදහස් පක්ෂයේ සභාපති තනතුරට පත්වූයේ නම් වහා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක්කේ ජාතික ලැයිස්තුවෙන් පැමිණ යහපාලනයට වින කටින ඔවුන් වහා ඉවත්කර අලුත් පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පත්කර යහපාලන ගමන ශක්තිමත් කිරීමයි. එනම් ජනවාරි අට ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන තත්ත්වයකට ආණ්ඩුව ශක්තිමත් කිරීමයි. නමුත් මෛත්‍රි කළේ ඔවුනට නටන්නට ඉඩහැර නිහඬව බලා සිටීමයි.

විශ්වාස භංගය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරාජය කිරීමෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය ඊට ලබා ගැනීමට හැකිවීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමාට මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා හොඳ දේශපාලන පෞර්ෂයක් සහ නායකත්ව ගුණාංග පවතින බව මැනවින් ඔප්පුකර තිබේ. එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රි අතුරලියේ රතන හිමි පවසා තිබුණේ තමා විසින් විශ්වාස භංග ඡන්දය වර්ජනය කරන බවයි. මුලින් රතන හිමියන් හැසිරුණු ආකාරය අනුව ජනතාව හිතුවේ රතන හිමියන්ගේ ඡන්දය ඒකාබද්ධයට පක්ෂ ලැබෙනු ඇතැයි කියාය. රතන හිමිගේ ඡන්දය වලක්වා ගැනීම පවා එක් අයුරක ජයග්‍රහණයකි. අනෙක් කරුණ වන්නේ විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය පාවිච්චි කර තිබීමයි. රනිල් වික්‍රමසිංහ මහතා සමග ආසන්නම ගැටුම ඇතිකරගත් පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු 27ක් විස්වාස භංග ඡන්ද විමසුමට පෙරම කියා ති‍බුණේ තමන් අග්‍රාමාත්‍ය වරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බවයි. එය එක්සත් ජාතික පක්ෂය සිය නායකයාට දක්වන පක්ෂපාතිත්වය හෙළිකළ සාධකයකි.

විශ්වාස භංග පරාජය තමන්ගේ ජයග්‍රහණයකට හරවා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට පොටක් පෑදෙනු ඇත්තේ සුළුජාතික පක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීම හේතුවෙනි. ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසුවත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ගෙනගියේ දෙමළ ඡන්දවලින් දිනුවාය යන අදහසයි. රට කැඩීම,  බුද්ධාගමට තැන නැති කිරීම වැනි අදහස් පෝෂණයට ඔවුහු ඒ මතය යොදාගත්හ. එනම් ජාතිවාදී ආගම්වාදී කණ්ඩායම් තමන්වෙත රඳවාගන්නට ඒකාබද්ධය ඒ මතය උපයෝගි කර ගත්තේය. තවත් අතෙකින් ජනතාව අතර භීතිකාවක් ද ව්‍යාප්ත කළේය. සුලු ජාතින්ගේ සහයෝගය අවියක් කර ගැනීමට ඒකාබද්ධයට ඉඩ නොදීමට එනම් ඔවුන්ගේ මතවාදය සිංහල බහුතරය තුළ පරාජයට පත්කරන්නට ආණ්ඩුව මින් ඉදිරියට කටයුතු කළ යුතුය.  එසේම, සුළුජාතිකයන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් ආණ්ඩුවේත් වගකීම වනු ඇත.

විශ්වාස භංගයෙන් දරුණුම පරාජය හිමිකර ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව පැහැදිලිය. ආණ්ඩුවේ ප්‍රශ්නය ආණ්ඩුව තුළත් එකාබද්ධයත් ආණ්ඩුවත් අතර ප්‍රශ්නය ඒ දෙපිරිසටත් බේරාගැනීමට ඉඩ හරිනු වෙනුවට ජනතා විමුක්ති පෙරමු‍ණ කළේ ඒකාබද්ධයේ මල් වට්ටියට අතගැසීමය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට කීවේ තම පක්ෂය විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි. පැරණි රෙජිමයට පක්ෂපාත වීමෙන් තමන් රටට උදාකරන්නට අපේක්ෂා කළ සෙත කුමක්ද යන්න ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට පැහැදිලි කළ යුතුය. එසේම පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගය ජයග්‍රහණය කරවිය නොහැකි බවට සරල ගණිතය තේරුම් ගැනීමට ජවිපෙ අසමත් වීම ඔවුන්ගේ දේශපාලන විඥානය පිළිබඳ හොඳ හෙළිකරව් වීමකි.

පක්ෂ ප්‍රතිසංවිධාන පොරොන්දුව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට බලපෑ සාධකයක් බව ඒ මහතා තේරුම් ගත යුතුය. එසේම එය මගහැර නොයාමට ද ඒ මහතා වගබලාගත යුතුය. පාලිත රංගෙ බණ්ඩාර වැන්නවුන්ගේ සහයෝගයත් හොඳ හිතත් තවදුරටත් පවත්වාගත හැකි වනු ඇත්තේ එමඟිනි.

එක්සත් ජාතික පක්ෂයේත් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ඉදිරිපිට ඇති ‍අනෙක් අභියෝගය වන්නේ කල් යාමට ඉඩ නොදී ජනතාවගේ යහපාලන අපේක්ෂා මුදුන්පත් කරන්නට කටයුතු කිරීමයි. විශ්වාස භංගයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පිණිස ඉදිරිපත් වූ සිවිල් සංවිධාන ආදියෙහි සහයෝගය ඉදිරියටත් පවත්වා ගත හැක්කේ එමඟිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *