මෙතැනින් කොතැනටද ?

යළිත් තහවුරු වූ ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමට ජනාධිපතිවරයා තවදුරටත් සූදානම් නම් රාජපක්ෂ රෙජිමය සමඟ සිටගත් කල්ලිය පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට සිදුවන බව නම් පැහැදිලියි. මන්ද මේ වන විටත් මේ කල්ලිය සම්බන්ධයෙන් එජාපයේ මන්ත්‍රීවරුන් අතරින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන පසුබිමක, විශේෂයෙන් විශ්වාසභංගයට ඡන්දය දුන් කැබිනට් ඇමැතිවරුන් සමග සාමුහික වගකීමකින් බැඳී තවදුරටත් ආණ්ඩුවක් වශයෙන් කටයුතු කළ හැකි දැයි ජනාධිපතිවරයා විසින්ම තීරණයක් ගත යුතුයි. එසේ නොවුණහොත් මේ කල්ලිය තීරණාත්මක අවස්ථාවකදී ජනාධිපතිවරයාට වුවද අභියෝගයක් වීමේ හැකියාව කිසිවෙකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊනියා ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තීරණාත්මකව පරාජය කරමින් එජාපය ප්‍රමුඛ යහපාලන බලවේග ලැබූ ජයග්‍රහණයට සුබපතමින් ලිපිය ආරම්භ කිරීමට ලැබීම දැඩි සතුටක්. මන්ද ලංකාව යළිත් අදුරු මර්දනකාරී යුගයකට ගමන් කිරීමට තිබූ තීරණාත්මක අවස්ථාව මේ ජයග්‍රහණය සමඟ පරාජයට පත් වූ නිසයි.ඒ නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට පාර්ලිමේන්තුවේදී තම ඡන්දය භාවිත කළ සියලු ම මන්ත්‍රීවරුන්ට සේම පසුගිය කාලය පුරා අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇපකැපව ක්‍රියාකළ සිවිල් සමාජ සංවිධාන, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. ඔවුන්ගේ මේ කැපවීම නොවුණා නම් අපට මේ වන විට දකින්නට ලැබෙන්නේ 2010 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ රෙජිමය විසින් එහි ජයග්‍රහණය සැමරූ මිලේච්ඡ ආකාරයටත් වඩා ඔබ්බට ගිය දේශපාලන මිලෙච්ඡත්වයක් බව අවධාරණය කළ යුතුයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව දේශපාලනයෙන් භංග කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී විශ්වාසභංගය භංගවීම දේශපාලන හා සමාජයීය යථාර්ථයක් බව මේ ලියුම්කරු පසුගිය සතියේ මේ කොලම මගින් අවධාරණාත්මකව පවසා සිටියා. එහිදී ලියුම්කරු වැඩි අවධානයක් යොමු කළේ පරාජය කරන බව පැහැදිලි ,විශ්වාසභංගයෙන් පසු උද්ගත විය හැකි දේශපාලන ප්‍රවණතා පිළිබඳවයි.

සැබෑ අරමුණ ලත්තැනම ලොප් වීම

විශ්වාසභංගයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්වභාවය අනුව අප්‍රේල් 5 වැනිදා සිට පෙළ ගැසිය හැකි දේශපාලන හා සමාජ ප්‍රවණතා ගැන අප දැඩි අවධානය යොමු කළ යුතුයි. ඊට හේතුව වන්නේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමෙන් එජාපය ලැබූ ජයග්‍රාහී මානසිකත්වය හා සමාජ අවධානය එජාපයේ සේම යහපාලන ආණ්ඩුවේ ද ඉදිරි දේශපාලන දැක්ම හා ගමන්මඟ ශක්තිමත් කිරීම සඳහා භාවිත කළ හැකි නිසයි.

විශ්වාසභංගයෙන් පරාජයට පත්වීම සමඟ ගම්මන්පිල හා විමල් වීරවංශ සුපුරුදු ලෙස කළ පාරම්බෑම සේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද කළ ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී ඉතාම වැදගත්. එහිදී මහින්ද, විමල් හා ගම්මන්පිලගේ ප්‍රකාශයේ පොදු හරය වුණේ ඔවුන්ට මේ විශ්වාසභංගය හරහා ආණ්ඩුවට හිමිව තිබූ 3/2ක බලය අහිමි කිරීමට අවස්ථාව ලැබුණු බවයි. ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ 3/2ක බලයෙන් සම්මත විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සේම විශේෂ අධිකරණයක් පිහිටුවීමේ පනත ද සම්මත කර ගැනීමට සිහිනයක් වනු ඇතැයි ගම්මන්පිල අවධාරණාත්මකව ප්‍රකාශ කළා. ගම්මන්පිල – විමල් කතාවේ පිටපත අනුව යමින් මහින්ද රාජපක්ෂ මහතා ද පරාජයෙන් පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ “දැන් අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුගේ සහාය තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ 3/2 ක බලය දැන් ඉවරයි” යනුවෙනුයි.

විශ්වාසභංග පරාජයෙන් පසු “කබරගොයි – තලගොයි න්‍යාය” අනුව යමින් රාජපක්ෂ කල්ලිය විසින් ඉදිරිපත් කරන මේ තර්කයට කිසිදු පදනමක් නැති බව පමණක් ආරම්භයේදී ම අවධාරණය කළ යුතුයි. ඒ විශ්වාසභංගයට පක්ෂව තම ඡන්ද ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනා මේ අවස්ථාවේදී හැර ඉදිරියේදී අන් කිසිදු අවස්ථාවක යළි රාජපක්ෂ රෙජිමය සමඟ එකට සිටගනු ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැකි නිසයි. විශ්වාසභංගයේ වත්මන් දේශපාලන ප්‍රතිඵලය අනුව ද රාජපක්ෂ කල්ලියට හිමිවනු ඇත්තේ පසුගිය කාලය පුරාම තමන් සමඟ සිටි මන්ත්‍රීවරුන් 54 දෙනා සහ විශ්වාසභංගයේදී ඒකාබද්ධ විපක්ෂය සමඟ ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ද ඇතුළත් 70 දෙනකුගේ සහායක් පමණක් බව අවධාරණය කළ යුතුයි.ඒ නිසා මේ විශ්වාසභංගය හරහා ආණ්ඩුවේ 3/2ක බලය අහිමි කළායැයි පාරම්බාන රාජපක්ෂ රෙජිමය වටහාගත යුත්තේ කඩිනමින් ඉදිරිපත් වීමට නියමිත විශේෂ මහාධිකරණ ත්‍රිත්වයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 3/2ක බලයෙන් සම්මත කර ගැනීම කිසිසේත් ආණ්ඩුවට අභියෝගයක් නොවන බවයි. ඒ නිසා මහ බැංකු බැඳුම්කර කොමිෂම දඩමීමා කරගෙන ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් රාජපක්ෂ යුගයේ අපරාධ හා සොරකම් යටගසා නීතියෙන් ගැලවීම සඳහා රාජපක්ෂ කල්ලිය ගත් උත්සාහය, එසේ නැතිනම් විශ්වාසභංගයේ සැබෑ අරමුණ පසුගිය 04 වැනිදා ලත්තැනම ලොප් වූ බව අප මෙහිදී වටහා ගත යුතුයි.

මහින්දගේ විශ්වාසයත් භංගවේ

මේ විශ්වාසභංගය හරහා මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පැවැති විශ්වාසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවැති භීතිය ද භංග වූ බව අපට පැහැදිලිව දැකිය හැකියි. විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතබමින් කට්ටි පැන්න මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදය අතරතුර ද කට්ටි පැනීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි කණස්සල්ලට පත්ව සිටින ආකාරයක් එදින පාර්ලිමේන්තු ලොබියේදී මනාව පැහැදිලි වුණා. ඔවුන් තම හිතවත් මාධ්‍යවේදීන් සමඟ කියා සිටියේ සම්මුතිවාදී ආණ්ඩුවට එරෙහිව තමන් විසින් එල්ල කළ තීරණාත්මක ප්‍රහාරයේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපේක්ෂා කළ මට්ටමේ ධෛර්යයක් හා අනුබලයක් නොලැබුණු බවයි. මේ තත්ත්වය තුළ තවදුරටත් රාජපක්ෂ මහතාව විශ්වාස කරමින් දේශපාලන අවදානමක් ගැනීම අවදානම් සහගත යැයි ඔවුන් කියා සිටියා.

“අපි පැරදුණත් දිනුම්” යැයි ද ශ්‍රීලනිපයේ බෙදීමක් ඇති කළා යැයි ද කියමින් පාරම්බාන රාජපක්ෂ මහතා එහිදී වටහා නොගත් තවත් කරුණක් ද තිබෙනවා. ඒ පසුගිය තෙවසරක කාලය පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය තුළ රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තිබූ අධි තක්සේරුව හා භීතිය ද මේ විශ්වාසභංගය සමඟ භංග වූ බවයි. ඒ බව මනාව පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුවේ සිටියත් රාජපක්ෂ මහතාගේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් පසුගිය කාලය පුරාම ප්‍රසිද්ධියේ පෙනී සිටි සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ආදී ශ්‍රීලනිපයේ 16 දෙනකුගේ සහාය හැර මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම ආදී ශ්‍රීලනිපයේ ප්‍රබලයන් 26 දෙනාගේ සහාය ලබා ගැනීමට නොහැකිවීමයි. මේ තත්ත්වය තුළ ශ්‍රීලනිපයේ බෙදීම පැහැදිලි සහ යථාර්ථයක් බවට පත්වුවත් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය යැයි පැහැදිලිව සැලකිය හැකි මේ 26 දෙනාගෙන් සහායක් ලැබෙනු ඇති බව පැහැදිලියි. එමෙන්ම තීරණාත්මක අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාට යළි අභියෝග කරමින්, පිටුපාමින් ශ්‍රීලනිපයේ ප්‍රබලයන් බහුතරය දැක් වූ දේශපාලන ධෛර්යය ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට සේම 2020න් පසු ගමන් මඟට ද තීරණාත්මක සංඥාවක් නිකුත් කරන බව පැහැදිලියි. මේ තත්ත්වය තවත් කෝණයකින් පැහැදිලි කරන්නේ නම් ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන පාර්ශ්වය තවදුරටත් මහින්ද රාජපක්ෂ භීතියකින් තොරව ස්වාධීන දේශපාලන ගමනක් ආරම්භ කරන බව පැහැදිලියි.

සුළු ජාතීන්ට මහින්ද ගැන විශ්වාසයක් නැහැ

මේ විශ්වාසභංග යෝජනාව හරහා ආණ්ඩුවට හිමි සුළුජන සහාය යළිත් තහවුරු වූ බවක් අපට පැහැදිලිව දැකිය හැකි වුණා. විශේෂයෙන් පළාත් පාලන ආයතනවල ආසන බෙදා ගැනීම සම්බන්ධයෙන් හා පසුගිය දා මහනුවර ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ යම් කිසි ගැටුමක සිටි බව කියන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රමුඛ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු (යෝජනාවට අත්සන් කළ ශ්‍රීලනිප මුස්ලිම් මන්ත්‍රීවරයා සහ ෆවුසි ඇමැතිවරයා පවා) අගමැතිවරයා ආරක්ෂා කිරීම සඳහා තම පූර්ණ සහාය ලබාදීම ආණ්ඩුව, විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය හා ගරුත්වය යළිත් තහවුරු කිරීමක් වුණා.

දමිළ ජාතික සන්ධානය, ඊපීආර්එල්එෆ් නායක ඩග්ලස් දේවානන්දා ඇතුළු දමිළ ජාතික මන්ත්‍රීවරුන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කරමින් ද අරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු වතුකරයේ දමිළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්දය භාවිත කිරීමට නොපැමිණීමෙන් ද යළිත් තහවුරු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි, විශේෂයෙන් අගමැතිවරයා කෙරෙහි ඔවුන් තුළ තවදුරටත් පවතින දැඩි විශ්වාසයයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම සුළුජන මන්ත්‍රීවරුන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසය පළ කළ මේ තත්ත්වය තුළ අගමැතිවරයාට සේම මහින්ද රාජපක්ෂ මහතාට ද පැහැදිලි දේශපාලන පණිවිඩයක් නිකුත් කරනවා. එහිදී වඩාත් අවධාරණාත්මකව ප්‍රකාශ වන්නේ මෙරට සුළුජාතීන්ගේ අවම සහාය හෝ දිනාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා අසමත් බවයි. එමෙන්ම මොන තරම් ගැටලු හමුවේ වුවත් අඛණ්ඩව අගමැතිවරයා සමඟ රැඳී සිටීමට මෙරට සුළුජාතීන් සූදානම් බවයි. මෙය වත්මන් පාර්මේන්තුව තුළ සේම ඉදිරි ජනාධිපතිවරණයේ දී ද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කල්ලියේ බල ව්‍යාපෘතියට එරෙහි තීරණාත්මක බලවේගය වන බව පැහැදිලියි.

ශ්‍රීලනිපය මෙතැනින් කොතැනටද ?

අපේක්ෂා කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් ඇති වූ බවත් එහිදී පක්ෂයේ බහුතර පිරිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සිටින බවත් විශ්වාසභංගය විසින් හෙළිකළ දේශපාලන යථාර්ථයයි. මේ තත්ත්වය කාලයක් පුරා ශ්‍රීලනිපය තුළ පැවැති දේශපාලන යථාර්ථය බව ද අප විසින් වටහා ගත යුතුයි. විශ්වාසභංගය හරහා සිදු වුණේ එය එළිපිට කරළියට පිවිසීමයි, එසේ නැතහොත් සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, දසාසිරි ජයසේකර හා ඩිලාන් පෙරේරා හා ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන කල්ලිය පසුගිය කාලය පුරා ජනාධිපතිවරයාට මුවා වී හැංගි හැංගි බැන්ද රාජපක්ෂ මුහුණ සමඟ එළිපිට කරළියට පිවිසීම පමණයි.

දෝෂාභියෝගය සමඟ ශ්‍රීලනිපය තුළ ඇති වූ මේ බෙදීම ජනාධිපතිවරයා විසින් කෙසේ කළමනාකරණය කර ගනීද යන්න ගැන තවම පැහැදිලි අදහසක් ඉදිරිපත් කළ නොහැකි වුවත් යළිත් තහවුරු වූ ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමට ජනාධිපතිවරයා තවදුරටත් සූදානම් නම් රාජපක්ෂ රෙජිමය සමඟ සිටගත් කල්ලිය පිළිබඳ පැහැදිලි තීරණයක් ගැනීමට සිදුවන බව නම් පැහැදිලියි. මන්ද මේ වන විටත් මේ කල්ලිය සම්බන්ධයෙන් එජාපයේ මන්ත්‍රීවරුන් අතරින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන පසුබිමක, විශේෂයෙන් විශ්වාසභංගයට ඡන්දය දුන් කැබිනට් ඇමැතිවරුන් සමග සාමුහික වගකීමකින් බැඳී තවදුරටත් ආණ්ඩුවක් වශයෙන් කටයුතු කළ හැකි දැයි ජනාධිපතිවරයා විසින්ම තීරණයක් ගත යුතුයි. එසේ නොවුණහොත් මේ කල්ලිය තීරණාත්මක අවස්ථාවකදී ජනාධිපතිවරයාට වුවද අභියෝගයක් වීමේ (පිටුපස සිට පිහියෙන් ඇනීමක් වැනි) හැකියාව කිසිවෙකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි.

මේ තත්ත්වය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් වැදගත් කරුණක් ගැන ද අවධානය යොමු කළ යුතුයි. ඒ පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්ව (රාජපක්ෂ කල්ලිය විසින් පරාජයට පත් කරනු ලැබූ ) ශ්‍රීලනිප ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසි (ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, එස්.බී. දිසානායක, මහින්ද යාපා අබ්වර්ධන වැනි පිරිසක් ආරක්ෂා කිරීම තව දුරටත් ශ්‍රීලනිපයේ දේශපාලන සෞඛ්‍යට සේම ජනාධිපතිවරයා විසින් නායකත්වය දුන් ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රයට කොතරම් වැදගත් ද යන්නයි. මේ සියලු දේශපාලන හා සමාජයීය ජයග්‍රහණයන්ට පදනම වූ 2015 ජනවාරි 08 දේශපාලන විප්ලවයේ නියමුවා ද වගකිව යුත්තා ද ආරක්ෂකයා ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාසභංගයේදී යහපාලන බලවේගවල විශ්වාසය භංග කළ මේ කල්ලිය ගැන ගන්නා දේශපාලන තීන්දුව ජනාධිපතිවරයා සහ එජාපය අතර ඉදිරි සම්බන්ධතා විෂයෙහි දී ද තීරණාත්මක වන බව අප විසින් කිසිසේත් අමතක නොකළ යුතුයි.

එජාපය මෙතැනින් කොතැනටද ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා මන්ත්‍රීධූර 54ක් සහිත ඒකාබද්ධ විපක්ෂයට දේශපාලන ධෛර්යය ලැබුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම සමඟ එජාපය තුළ වර්ධනය වූ අභ්‍යන්තර නොසන්සුන්තා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (විශේෂයෙන් ජනාධිපතිවරයා) අතර ඇති වූ මතභේද හා නොරිස්සුම නිසා බව පැහැදිලියි. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 95 දෙනාගෙන් අති බහුතරයකගේ සහාය සහ එජාපය තුළින් මන්ත්‍රීවරුන් 26 දෙනකුගේ සහාය සහිතව බහුතර බලයක් ඒකාබද්ධයේ සැලසුම වූ බවයි අපට වටහා ගත හැකි වන්නේ. ඒ අතර කුප්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ සැලසුම ද ඒකාබද්ධ විපක්ෂය විසින් බැහැර නොකළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එජාපයේ බෙදීමෙන් ලත් උත්තේජනය සුපුරුදු දේශපාලන උපාය මාර්ග අනුව තම වාසිය සඳහා කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි මහින්ද රාජපක්ෂ කල්ලිය අප්‍රේල් 03 වැනිදා දක්වා උපකල්පනය කළ බව සත්‍යයක්. ඒත් ඒ සියලු සැලසුම් අතේ පත්තු වුණේ එක්සත් ජාතික පෙරමුණ තම සම්පූර්ණ විශ්වාසය අගමැතිවරයා වෙත තැබීමට ගත් ඓතිහාසික පියවර සමඟයි. ඒ අනුව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පහසුවෙන් ජයගැනීමට එජාප නායකත්වය සමත් වුවත් පක්ෂ ප්‍රතිසංස්කරණ ගැන වන අවශ්‍යතාව තවදුරටත් තම අංක එකේ ප්‍රමුඛතාව බව පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක ඇතුළු වෙනසක් ඉල්ලා සිටින පිරිස ප්‍රකාශ කළා. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දට පෙර එජාපයේ විප්ලවකාරී ප්‍රතිසංස්කරණයක් සිදුවනු ඇතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කර තිබෙනවා.

ඒත් එජාපය තුළ සිදුවිය යුත්තේ කුමනාකාරයේ ප්‍රතිසංස්කරණයක් ද යන්න විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදුන් පාර්ශ්ව හරහා මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හරහා ද පැහැදිලි වෙනවා. මෙහිදී මේ ලේඛකයාගේ අදහස වන්නේ එජාපය තුළ සිදුවන ප්‍රතිසංස්කරණ මහින්ද රාජපක්ෂ මහතාගේ සිංහල බෞද්ධ (වර්ගවාදී) ග්‍රාමීය ඡන්ද පදනම ඉලක්ක කරගත් (ගමේ ඡන්ද දිනා ගන්නා) එකක් පමණක් වුවහොත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රයත්නයක් වනු ඇති බවයි. (මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම දිනා ගැනීමට යාම) මහින්ද රාජපක්ෂ මහතාට හිමි සියයට 40ක් පමණ වන සිංහල බෞද්ධ ඡන්ද පදනම (මෙය සමස්ත සිංහල බෞද්ධ ජන සංඛ්‍යාව වන සියයට 61න් 50ක පමණ අගයක් බව උපකල්පනය කළත්) දිනාගැනීමට තම දේශපාලන දැක්ම කැප කිරීමේ ආදීනව අපට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වූ ඉරණම සමඟ මනාව පැහැදිලි වුණා. ඒ නිසා එජාපය තම අලුත් සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ මහින්ද රාජපක්ෂ පන්නයේ අන්ත පසුගාමී රාජ්‍යයක් වෙත නොව තම පූර්ණ සහාය හිමිවන සුළුජාතීන්ගේ ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ප්‍රාර්ථනා කරන නූතනවාදීන් ද ඉලක්ක කරගෙන බව මේ ලේඛකයාගේ අදහසයි. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නින්දගමක් වන හම්බන්තොටට තව තවත් රාජ්‍ය අරමුදල් යොදවමින් දැවැන්ත සුබසාධන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම අවශ්‍ය ලෙස සම්පත් හා ශ්‍රමය අපතේ යැවීමක් බවයි මේ ලේඛකයාගේ අදහස වන්නේ. ඒ නිසා නූතන පක්ෂයක් නිර්මාණය වෙත එජාපයේ අවධානය යොමුවිය යුතුයි.

අවසාන වශයෙන් එජාපයේ දේශපාලන අනුග්‍රහය මත මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවල තවමත් වැජඹෙන ඇතැම් දේශපාලන පත්වීම්ලාභීන්ගෙන් එජාපය වෙනුවෙන්, යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පසුගිය කාලය පුරා ඇපකැප වූ, දේශපාලන අවදානම් ගත් පිරිස් වෙත දිගින් දිගටම සිදුවන කෙණහිළිකම් හා පළිගැනීම් ගැන එජාප නායකත්වයේ සහ ආණ්ඩුවේ කඩිනම් අවධානය යොමු විය යුතුයි. මන්ද යහපාලන ආණ්ඩුව, එජාපය වෙනුවෙන් ඇපකැපව කිසිඳු දේශපාලන අනුග්‍රහයක් අපේක්ෂා නොකරන මේ පිරිස මේ ආකාරයෙන් දඩයමට ලක්වීම අවාසනාවන්ත තත්ත්වයක් සේම එජාපයේ හා ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් ද හානිකර තත්ත්වයක් වන නිසයි.

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *