එජාප තනි ආණ්ඩුවක් හදන්නයි පුරවැසි සංවිධාන ඉල්ලයි

ආණ්ඩුව විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් කුමන හේතුවක් නිසාවත් හවුල් ආණ්ඩුවකට නොයා අද මධ්‍යම රාත්‍රියෙන් පසු එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පුරවැසි සංවිධාන එකතුව පවසයි.

මරදාන සාමයික හා සමාජය කේන්ද්‍රයේදී පුරවැසි සංවිධාන එකතුව විසින් පවත්වන ලද මාධ්‍ය හමු­ෙව්දී මේ  බව ඊයේ පැවසීය.

එහිදී දඹර අමිල හිමියෝ මෙසේ පැවසූහ.

ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් ජනවාරී 8 වැනිදා ලද ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා ඉතිරි වසර දෙකහමාරක කාලය තුළ කඩිනමින් හොරු ඇල්ලීමේ මෙහෙයුමක් දිවා රාත්‍රීයේ ක්‍රියාත්මක කැර ජනතාව නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස කරන ලද ඉල්ලීම ඉටු කිරීමේ වැඩපිළිවෙළක් සෘජුව ආරම්භ කළ යුතු බව ද දඹර අමිල හිමියෝ ආණ්ඩුවට අවධාරණය කරති.

තවත් කාලය අපතේ නොයවා මෙතැන් පටන් ජනවාරී 8 වැඩපිළිවෙළ නැවත අලුත් කරමින් ඇමැති මණ්ඩලය 30 දෙනකුට සීමා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් ජනතාව වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව ද උන්වහන්සේ කීහ.

ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ සත පහක් හෝ වැය නොකර ප්‍රතිලාභ ලැබිය හැකි ව්‍යපෘතියක් ලෙස හොරු ඇල්ලීමේ ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි බවත් ඒ සඳහා අධිකරණ සංවිධාන පනත කඩිනම් කර හොරු අල්ලා ඔවුන් නියමිත තැන්වලට යැවීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී උන්වහන්සේ කීහ.

මේ විශ්වාසභංගයේදී පටු දේශපාලන අදහස් වලින් තොරව කල්ලි නොගැසි තම පක්ෂය හා රට බේරා ගැනීමේ චේතනාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කටයුතු කළ යුතු යැයි ද පැවසුහ.

මේ ක්‍රියාමාර්ග විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමෙන් පසුව දා සිටම ක්‍රියාත්මක කළ යුතු බවත් යම් හෙයකින් ආණ්ඩුව මෙම විශ්වාසභංගය පරාජයට පත් වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකත්වයකින් ආණ්ඩු පිහිටුවන්නට නොයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ හැරිය යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

සමන්මලී ප්‍රියශාන්ති

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *