තීරණාත්මක මොහොතක එජාප නායකයන්ට දේශබන්ධුගෙන් වචනයක්..!

 එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ තිබේ. ඇත්තෙන්ම මේ මොහොත ඉතිහාසය විසින් ඇති කරන ලද්දක් නොව එජාපය මත බලහත්කාරයෙන් පටවන ලද්දකි.

මේ මොහොතින් ගොඩ ඒමට නම් ප්‍රඥාවන්තව කල්පනා කළ යුතුය. හැඟීම් වලට වහල්වීම, නායකත්ව පොරය සහ කල්ලි වාදය විසින් ඇතිකළ හැක්කේ පක්ෂයේ නව පටන්ගැනීමක් නවෝදයක් නොව බෙදීමකි. විනාශයකි. එය සතුරාට ජයකි. සතුරා – එජාපයේ සතුරා පමණක් නොව ජාතියේම සතුරා – එනම් රට නොව තම පැවැත්මම, තම බලයම පතා සිටින 2015 ජනාවාරි 8 වැනිදා පලවා හැරිය නමුත් ‘මෛත්‍රී පාලන’ වේශයෙන් යලිත් පුනරුත්පත්තිය ලැබූ සතුරා, ජයග්‍රහණය කරනු ඇත.

එබැවින් තාර්කිකව කල්පනා කර කල්ලි වාදයෙන් මිදී එජාපය රැකගැනීමේ අභියෝගය සහ බරපතල වගකීම එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මත පැවරී තිබේ.

මෙම අභියෝගයට මුහුණ දීම සඳහා එජාපය සිය ඉතිහාසය අධ්‍යයනය කළ යුතුය. එජාපය අර්බුද නොතිබූ පක්ෂයක් නොවේ. එජාපය වූ කලී රටේ බුද්ධිමත්ම, උගත්ම, ලෝකය පිළිගත් නායකයන් සිටි පක්ෂයකි. එසේම සිය නම් පුවරු රට වටේ සවි නොකලත් රට වෙනුවෙන් අනුපමේය සේවාවක් කළ දේශපාලකයන්ගෙන් සැදී දේශමාමක පක්ෂයකි. රටේ විවිධ අභියෝගාත්මක යුග වලට මුහුණ දුන් පක්ෂයකි. එවැනි හැකියාවන් ගෙන් පිරුණු දේශපාලන නායකයන් සිටින පක්ෂයක් තුළ අර්බුද හටගනියි. එහෙත් ඉතිහාසයේ දී ඒවා විසඳා ගැනුනේ පක්ෂයට විනාශයක් සිදු නොවන ආකාරයෙනි. පක්ෂය වෙනුවට බලය හා කල්ලිවාදය ඉදිරියට ආ අවස්ථාවල පක්ෂය විනාශයට ගොදුරු වූයේය. බෙදුනේය. අද ද එම අතීතයේ එම අඳුරු සෙවනැලි පක්ෂය තුළ හොල්මන් කරයි.

එහෙත් අද පක්ෂය මුහුණ දෙන්නේ අලුත්ම අර්බුදයකටය. අද පක්ෂය මුහුණ දී සිටින්නේ එනම් පක්ෂයේ නායකයා කවුරුන් විය යුතුද යන්න එම පක්ෂ විසින් තීරණය කෙරෙන මොහොතකට නොව එම තීරණය පෙර කී සතුරා විසින් මෙම දැවැන්ත හස්ති රාජයා මත බලහත්කාරයෙන් පටවන ලද අවස්ථාවකටය. ඒ අතර “රනිල්ට බැහැ” යන්න ඇතැම් කොටස් වලින් ප්‍රචාරය කෙරෙන අවස්ථාවකට ය. පක්ෂයේ තවත් බෙදීමක් ඇති කර නොගෙන ඊට මුහුණ දිය යුත්තේ කෙසේද? යන්න පක්ෂ තරයේ විමර්ශනය කළ යුතුය.

මෙතැනදී එජාපය සිය ඉතිහාසය දෙස හැරී බැලීම වැදගති.

65- 70 ගණන්වල ඩඩ්ලි සේනානායක අගමැතිවරයා සහ ඔහුගේ දෙවැනියා වූ ජේ. ආර්. ජයවර්ධන අතර ද අර්බුදයක් හටගෙන තිබුණේය. එය කවරාකාරයෙන් ප්‍රකාශ වූවත් එහි සැබෑ හේතුව වූයේ සිය වයස ගෙවී යාමට පෙර නායකත්වය ගැනීමට ජේ ආර් තුළ වූ නොතිත් ආශාවය. තාත්තාගෙන් පුතාට යන රජ පවුල් දේශපාලනය අවසන් කිරීමට ද ඔහුට උවමනාවක් තිබිණි. එම ගැටුම තරමක් තදින් තිබුනත්, 1970 එජාප පරාජයෙන් පසුව ජේ ආර් ට විපක්ෂ නායකත්වය ලැබුනත් ඔහු පක්ෂ නායකත්වය නියම ලෙස අතට ගත්තේ ඩඩ්ලි සේනානායක ගේ අභාවයෙන් පසුවය. ජනහද බැඳගත් නායකයකු වූ ඩඩ්ලි ගේ මරණය නිසා යූඇන්පී කාරයන් තුළ ඇති වූ අනුකම්පාව මත පක්ෂය එක්සත් කොට ගෙන ශක්තිමත් පක්ෂයක් ගොඩනගා 1977 මැතිවරණයට මුහුණ දී ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාව ලැබුනේ ඔහු තුල වූ මෙම ඉවසීම නිසාය. ඇතැම් විට ඔහු කලබල වී ඩඩ්ලිට එරෙහිව කැරැල්ලක් ගැසුවා නම්, නැතහොත් පක්ෂය මාරු කලානම් යූඇන්පී යේ ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණි.

ජේආර් සහ ප්‍රේමදාස
—————————-
එජාපයේ මීළඟ ගැටුම දක්නට ලැබෙන්නේ නායක, ජනාධිපති ජේ ආර් සහ නියෝජ්‍ය නායක අගමැති රණසිංහ ප්‍රේමදාස අතරය. ජේ ආර් උගත්, බුද්ධිමත්, දුරදර්ශි, ලොව පිළිගත් දේශපාලකයා වුවද ජනහද බැඳගත් නායකයා වූයේ ප්‍රේමදාසය. ප්‍රේමදාස දේශප්‍රේමියා විය. දුප්පතාගේ හිතවතා විය. ජේ ආර් සාමාන්‍ය ජනයා කෝප කරන තීන්දු ගන්නා විට ජනතාව ප්‍රේමදාසට සමීප වූහ. විශේෂයෙන් ම උතුරේ අර්බුදයේදී ජේ ආර් සිටි ස්ථාවරය ජනතාව ඔහුගෙන් ඉවත් කිරීමටත් ප්‍රේමදාසට සමීප කිරීමටත් හේතු විය.

මෙහි උච්චස්ථානය පැමිණියේ ඉන්දු-ලංකා ගිවිසුම හෙවත් ජේ ආර් – රජීව් ගිවිසුම අත්සන් කල අවස්ථාවය. මෙම ගිවිසුම අත්සන් තැබීමට සියල්ල සූදානම් කරන ලද්දේ අගමැතිවරයා විදේශ සංචාරයක යෙදී සිටින මොහොතකය. මහා සංඝරත්නය පණිවිඩ යවා අගමැති වහාම රටට ගෙන්වා ගත්හ. බොහෝ දෙනා සිතුවේ ප්‍රේමදාස ගුවන්තොටේ දීම ජේආර් විරෝධී, ඉන්දු-ලංකා ගිවිසුම් විරෝධී ප්‍රකාශයක් කරනු ඇති බවය. කිසිවක් කතා නොකළ ප්‍රේමදාස සිය නිල රථයට නැග්ගේ ය. ප්‍රේමදාස සමග ඒ අවස්ථාවේ වාහනයට නැගි ඔහුගේ එවක නිල වෛද්‍යවරයා (දොස්තර ජයලත් ජයවර්ධන) ‘සර් දැන් අපි යන්නේ කොහේදැයි‘ විමසීය. ‘කොහේ යන්නද? කෙළින්ම ජනාධිපතිතුමාගේ ගෙදරට මිසක්‘ යි ප්‍රේමදාස කීවේ ය. සිදුවූයේ ගුවන් තොටින් බට ප්‍රේමදාස කිසිදු ප්‍රකාශයක් නොකර කෙළින්ම ජේආර් හමුවීම ය. හමුවී ජේආර්ට සහාය පළ කිරීම ය. එම ගිවිසුමට ජනතාව කෙතරම් විරෝධය දක්වීද යත් ප්‍රේමදාස එසැනින් ජේ ආර්ට විරෝධය පළකර අවශ්‍ය නම් පක්ෂය තුළ කැරැල්ලක් වුව ආරම්භ කරනු ඇතැයි බහුතරයක් සිතූහ. ඒ මොහොතේ ප්‍රේමදාස එජාපයෙන් ඉවත් වුවා නම් හෝ ඉන්දු ලංකා ගිවිසුම පදනම් කරගෙන කැරැල්ලක් ගැසුවා නම්, දැවැන්ත බලයක් සහිතව ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇතැයි ‘ජාතිවාදී’ ජනතාවගේ මතය වී තිබිණි.

එහෙත් එය එසේ සිදු වූයේ නැත. ප්‍රේමදාස සිය අවස්තාව එනතෙක් ඉවසිල්ලෙන් සිටියේය. පක්ෂ නොබෙදා තබාගෙන පක්ෂය සමග ජනාධිපතිවරණයට යාමට මේ නිසා ඔහුට හැකිවිය. එහෙත් එදා අභ්‍යන්තරයේ සිදු වූ දේ ඔහුට එරෙහිව දෝෂාභියෝගය එල්ල වූ පසුව ප්‍රේමදාස රටට හෙළි කළේය. ඉන්දු ලංකා ගිවිසුම පාදක කරගනිමින් පක්ෂයෙන් ඉවත් වී එලියට එන්නැයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ රටේ ප්‍රභූන් රැසක් තමාගෙන් ඉල්ලා සිටි බව ඔහු කීවේය. එසේ වුවහොත් තම පක්ෂයේ ද රටේ සියල්ලන් ගේ ද සහයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ඔහුට සහාය දෙන බවට මැතිනිය සහ එම ප්‍රභූන් ඉතා හිතවත්ව පොරොන්දු වූ බව ඔහු හෙළි කළේය. එහෙත් ප්‍රේමදාස රට ගැන සේ ම පක්ෂය ගැනද සිතුවේය. ඔහු සිතුවේ මේ මොහොතේ රට ශක්තිමත් කිරීමට නම්, සිය විරෝධය නායකයාට පෙන්වුවත් තමා පක්ෂය තුළ සිට පක්ෂයත් නායකයාත් ශක්තිමත් කළ යුතුය යන්නයි. මේ නිසා ඔහු ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වුනේ නැත. පක්ෂයෙන් ඉවත්වුනේ ද නැත. ඉන් පසුවද ඔහු ජේ ආර් ගේ තීරණ වෙනුවෙන් පෙනී සිටියේය.

ඊළඟ අර්බුදයට එජාපය මුහුණ දුන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති යුගයේදීය. ප්‍රේමදාස පක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා වීමෙන් පසුව පක්ෂයේ සිටි උගත් සහ බුද්ධිමත් පිරිසෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට ඔවුන් පසුපසට දමන ලද්දේය. ඔහු විසින් ගෙන යන ලද්දේ “වන් මෑන් ෂෝ” එකක් බවට එම නායකයෝ චෝදනා කළහ. අනෙක් පැත්තෙන්, ජේ ආර් සහ ප්‍රේමදාස කළා සේ තරමක් ඉවසිල්ලේ සිටීමට තරම් හැකියාවක් එම උගත් සහ බුද්ධිමත් නායකයනට තිබුනේ නැත. ඊට හේතුව ඔවුන් එතෙක් කලක් භාවිත කරමින් තිබු බලයත් කීර්තියත් යලිත් අත්පත් කරගැනීමට ඔවුන් තුළ තිබූ කඩිමුඩිය ය. මේ නිසා පක්ෂය ඇතුළතින් පුපුරා ගියේය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන නායකයන් ගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් කරලියට එන්නේ මේ පුපුරා යාම තුළය.

මෙම පුපුරා යාමෙන් පසුව එජාපයට අත්වූ ඛේදනීය ඉරණම ගැන කියන්නට හෝ ලියන්නට අවශ්‍ය නැත. එය ජනතා මතකයේ තිබෙන සිද්ධියකි. පක්ෂය කඩාගෙන ගිය ගාමිණි දිසානායකට ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කරනු ලැබීමෙන් පසුව අවසානයේ ආපසු යූඇන්පියේ සිය මහගෙදරට ම එන්නට සිදුවීම දෛවයේ සරදමකි. එහෙත් එදා බෙදුණු යූඇන්පිය යලි ගොඩගැනීම ඉතා දුෂ්කර වී තිබේ.

එජාපයේ වර්තමාන නායකයන් සහ පාර්ලිමේන්තුකණ්ඩායම සිය පක්ෂයේ අනාගතය දෙස බැලිය යුත්තේ මේ ඉතිහාසය ද සිහිපත් කරමිනි. එයින් පාඩම් ලබා ගනිමිනි.

කුපාඩි නායකයා සහ කුපාඩි ව්‍යාපාරිකයා
—————————-
වර්තමානයේ එජා පක්ෂය මුහුණ දී සිටින්නේ පක්ෂය තුළ ඇති වූ මත භේදයක් මත ඇති වූ අර්බුදයකට නොවේ. මෙය එජාපය මත පටවන ලද්දකි. මෙම අර්බුදය බලහත්කාරයෙන් ඇතිකර තිබෙන්නේ 2015 ජනවාරි 8 වැනිදා පක්ෂ නායක රනිල් ගේ පූර්ණ අනුග්‍රහයෙන් හා එජා පාක්ෂිකයන් 45 ලක්ෂයකගේ පමණ චන්දයෙන්, දහදියෙන් බලයට පත්කරන ලද කුපාඩි, කළගුණ නොදත්, පජාති නායකයා වන මෛත්‍රිපාල සිරිසේන නමැති රටගැන නොව තමා සහ තම කුටුම්බය ගැන සිතන ජනාධිපති වරයා විසිනි. එජාපයේ නායකත්වය වෙනස් කළ යුතු බව කියන්නේ ඔහුය. මෙහිදී ඔහු මේ සඳහා පොළඹවන කුපාඩි ව්‍යාපාරිකයෙක් ද සිටියි. එනම් රටේ සැබෑ ජනාධිපති තමා බව සිතා සිටින කිලී මහරාජාය. ඔහු ගේ අතකොලු ලෙස සිරිසේන ලඟම සිට ඔහු මෙහෙයවන චරිත කිහිපයක් ද සිටියි. ඒ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කැරලි ගසා එයින් ඉවත් කරන ලද මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක ඇතුළු නඩයය.

කිලී මහරාජා තුළ රනිල්ට එරෙහිව ඇත්තේ පෞද්ගලික වෛරයක් බව රනිල් විසින්ම හෙළි කරනු ලැබ තිබේ. ඔහුගේ ව්‍යාපාරයට අවශ්‍යවන ඉඩමක් අත යටින් ඔහුට ලබා දීම රනිල් ප්‍රතික්ෂේප කිරීම එක හේතුවකි. සුසිල් කිඳෙල්පිටිය සහ ශ්‍රී රංගා යන මහරාජා වහලුන් දෙදෙනාට එජාප ලැයිස්තුවෙන් මන්ත්‍රී කම් දීම රනිල් විසින් ප්‍රතික්ෂේප කිරීම තවත් හේතුවකි. මේ අතරින් කිඳෙල්පිටිය වූ කලී ගුවන් විදුලියේ සිටියදී සහ මහරාජාගේ අශුචි සිරසේදී රනිල්ට මඩ හදමින් පහර දුන් පුද්ගලයකු බව මාධ්‍ය වේදීන්ට රහසක් නොවේ. පැරණි එජා පාක්ෂිකයන් දෙවොලක් ලෙස සැලකු සිරිකොත මහදවල් කෙලෙසීම නිසා පක්ෂයෙන් පන්නා දමා නන්නත්තාර වී සිරසටත් දැන් සිරිසේනටත් ජැක් ගසන්නට සිදු වූ ලක්තිලකට සහ මෛත්‍රී ගුනරත්නටද අවශ්‍ය වන්නේ හබකෙන් නැති නම් කොක්කෙන් රනිල් පන්නා දමන්නටය. මේ වෛරක්කාරයන්ට ඉඩ දී සිය පක්ෂ විනාශ කරගන්නට එජාපාක්ෂිකයා සූදානම් ද? නැතිනම් එක්සත්ව පෙරලා පහර දී පක්ෂයත් නායකයාත් රැකගන්නවා ද?

එජාප නායකත්ව වෙනස හා අගමැති වෙනස ගැන බල කිරීම සම්පුර්ණයෙන් කරට ගෙන ඇත්තේ රාජ්‍ය නායක කුසලතා අතින්, දැනුමෙන්, බුද්ධියෙන්, දුරදර්ශි බවින් පමණක් නොව දැන් පෙනෙන ආකාරයට ඉවසීම, මෛත්‍රීය, උපේක්ෂාව, කරුණාව වැනි බෞද්ධ ගුණාංග අතින් පවා රනිල්ට අලගු තැබීමටවත් නොහැකි ජනාධිපති සිරිසේනය. ඔහු එසේ කරන්නේ හේතු කිහිපයක් නිසා බව එජා පාක්ෂිකයා තේරුම් ගත යුතුව තිබේ. ඉන් එකක් සිරිසේන කිසියම් හේතුවක් නිසා හෝ කිලී මහරාජා ගේ ජංගිය අස්සටම වැටී සිටීමය. රට නොදන්නා සිරිසේන ගේ “කුඩු කෑ කතාවක්” මහරාජා දැන සිටිනවා විය යුතුමය. නැතිනම් පූර්ණ බලැති රාජ්‍ය නායකයකු මෙතරම් ජඩ ව්‍යාපාරිකයකු ගේ වහලෙකු වන්නේ කෙසේද? කිලී ගේ ‘කිලි’ සොදන්නේ මන්ද? කිලී ට වහල් වී සිරිසේන තමන් ගේ පණ බේරු මිතුරෙකුට එරෙහිව කටයුතු කරයි නම්, ඉදිරියේ දී ඔහු මහරාජා ගේ ඉල්ලීමට මොනවා නොකරනු ඇතිද?

මුඛ වාමනයා..!
—————————-
සිරිසේන රනිල්ට එරෙහි වීමට ඇති දෙවැනි හේතුව ඔහුගේ හීනමානයයි. රනිල් වැනි රාජ්‍යතාන්ත්‍රික භාවයේ, දේශපාලන හා ආර්ථික දැනුමේ යෝධයෙකු හමුවේ සිරිසේන මුඛ වාමනයෙකි. අඟුටුමිට්ටෙකි. නිකමෙකි. සිරිසේන මෙය තේරුම් ගෙන තිබේ. රනිල්ගෙන් සියලු ආර්ථික වගකීම් ද පැහැරගෙන ඔහු පලවා හරින්නට සිරිසේන මේ දත කන්නේ ඒ නිසාය. තමාගේ නොහැකියාව නමැති හෙළුව දෑතින් වසාගෙන ජනාධිපති කම කිරීම සඳහා රනිල් පලවාහැරීමට ඔහුට අවශ්‍යවී තිබේ. ලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ඉහලයි කියා කියන්නේ ඒ නිසාය. ඉතින් සිරිසේන ගේ මේ ලජ්ජා නැති ආශාව වෙනුවෙන් සිය පක්ෂයත් නායකයාත් පාවා දීමට හස්තියා ලකුණ වන එජාපය සූදානම් ද?

එජාපයේ නායකත්වය ගැන ශුද්ධ අයිතිය ඇති එජාප පාක්ෂිකයා පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිර්භීතව සිරිසේන ගෙන් ප්‍රශ්න කළ යුතුව තිබේ. මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග යාමට හේතුව එජාපය ඔහුගෙන් නිරවුල් ප්‍රශ්න නොනැගීමයි. එසේ නැගිය යුතු ප්‍රශ්න කිහිපයක් මෙසේය:

නිර්පාක්ෂික වෙනවා යයි කී එකාට පක්ෂයක නායකයෙකු වෙනස් කිරීමට ඇති අයිතිය කුමක්ද?
—————————-
“එජාපයේ නායකත්ව ගැන කතා කරන්නට, නිර්පාක්ෂිකයකු ලෙස පැමිණ. නිර්පාක්ෂිකයකු වන බවට පොරොන්දු වී එජාපයේ බහුතර චන්ද වලින් බලයට පැමිණ වෙනත් පක්ෂයක් බදාගෙන රටටම බොරු කල ඔබට (ජනාධිපති සිරිසේනට ) ඇති අයිතිය කුමක්ද?

අපේ නායකයා අපට හොඳ නම්, අපේ විශ්වාසය ඔහුට ඇති නම්, ඔබට ඇති රුදාව කුමක්ද?

පක්ෂ නායකයා හෝ අගමැතිවරයා වෙනස් කිරීමට ඔබ නිර්නායකයක් කරගන්නේ පළාත් පාලන මැතිවරණය නම්, එයින් එජාපය ලබා ඇති පරාජය කුමක්ද? පැහැදිලිව පෙන්වා දෙන්න. එජාපයේ චන්ද ප්‍රතිශතයේ වෙනස සලකා බලන කල මෙම චන්දයේදී අන්ත පරාජයකට ගොදුරු වී ඇත්තේ සියයට 4ක් දක්වා පහලට වැටුණු ඔබය (සිරිසේන). එසේ නම් රනිල් වික්‍රමසිංහට වඩා කලින් ඔබ ඉල්ලා අස්විය යුතු නොවේද? එතරම් පහල චන්ද ප්‍රතිශතයක් ලබා තිබියදීත් රනිල්ට අගමැති කමින් හා එජාපක්ෂ නායකත්වයෙන් ඉවත්වන්නැයි බලකිරීමට ඔබට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය ලජ්ජා නැති වැඩක් නොවේද?

රටේ විශ්වාසය මුළුමනින්ම බිඳදමා ඇත්තේ ජනාධිපති සිරිසේන, ඔබ නොවේද? නිදර්ශන රැසකි. නිර්පාක්ෂික ජනාධිපති වීමේ පොරොන්දුව ඔබ පළමු දාම කඩ කළේය. රටේ නීතියේ ආධිපත්‍යය ඇති කරන බවට වූ පොරොන්දුව කඩ කළේය . ජනාධිපති ධුරය අහෝසි කරන බවට වූ පොරොන්දුව කඩ කළේය. ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ ඝාතන ඇතුළු සියලු සාහසික අපරාධවලට වගකිව යුත්තන් දැන් ඔබගේ තුරුල්ලේය. ඔබගේ රැකවරණ ලබති. ඔබගේ පිහිටෙන් රට යති. නීතියෙන් සහන ලබති. පවුල් පාලනය අහෝසි කරන බව කී ඔබ අවරුදු තුනක් තුල කෝටිපති පවුල් ගහක් හදා තිබේ. රුපියල් බිලියන ගණනක් වටිනා ජනතාවට අයත් සංඛ්‍යාත අතයටින් කිලී මහාරාජාට ලබා දුන් ඔබ දැන් ඔහු ගේ අතරමැදි කමින් සත පහක් නොවටින යුද නැවක් අධික මුදලකට මිලදී ගැනීමට සැරසෙයි.මේ කිහිපයක් පමණි. ඉතින් 62 ලක්ෂයක ගේ විශ්වාසය මුළුමනින්ම බිඳ දමා ඇත්තේ ඔබ නොවේද? එසේ නම් නිරුවත ගැන ලැජ්ජාවක් තිබේ නම් මුලින්ම ඉවත් විය යුත්තේ ඔබ නොවේද, සිරිසේන? “

දනින් වැටෙනවාද? පෙරලා පහර දෙනවාද?
—————————-
හස්ති රාජයකු සේ ශක්තිමත් පක්ෂයක් මෙවැනි අභියෝගයක් ඉදිරියේ මේ තරම් දණින් වැටෙනවා ද? නැතිනම් පූර්ණ ශක්තිය ගෙන පෙරලා පහර දී පක්ෂක් ලෙස එක්සත්ව නැගී සිටිනවාද?

පක්ෂයේ ඉදිරි නායකත්වය ගැන සිතන එජාප නායකයන් මේ මොහොතේ ඉගෙන ගත යුත්තේ 65-70 ගණන්වල ජේ ආර් ගෙන් සහ 80 ගණන් වල ප්‍රේමදාස ගෙනි. නායකත්වය ගන්නට පක්ෂයක් ඉතිරිවිය යුතුය. ඒ පක්ෂය තුළ උගත් බුද්ධිමත් පිරිසත්, ජනප්‍රිය පිරිසත් එකට එක්සත්ව සිටිය යුතුය. එජාප එජාපයක් වන්නේ වර්ගවාදයෙන් ගෝත්‍රවාදයෙන් තොර, 2030 රට තිබිය යුතු තැන අද දකින පිරිසකගෙනි. එවැනි පිරිසක් අද සිටින එකම පක්ෂය තම පක්ෂය බව එජාපයේ සියලු නායකයන් වටහා ගත යුතුය. පක්ෂය තුල සියලු ප්‍රතිසංස්කරණ වලට යොමු විය යුත්තේ මේ මොහොතේ පක්ෂය හා නායකත්වය රැකගෙන පසුව සිදුකෙරෙන එවැනි අවංක, නිර්භීත, ඍජු සාකච්ඡා මාලාවකිනි.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ ගේ ලෝක ආර්ථික දැනුම ගැන මෙම ලියුම්කරු දන්නා සත්‍ය සිද්ධියක් ඉදිරිපත් කළ යුතුය.

ලංකාවේ ඇපල් පරිගණක සහ සංචාරක සන්නිවේදනය ගැන ප්‍රකට සමාගමක් වන BT Options සමාගම “Business Today Top 30 Awards” නමැති ව්‍යාපාරික තිළිණ ප්‍රදානෝත්සවයක් පවත්වයි. එම තිළිණ ප්‍රදානෝත්සවය දින ආර්ථිකය, ව්‍යාපාරික කටයුතු වැනි ආදාළ මාතෘකා යටතේ දේශන මාලාවක් පවත්වනු ලැබේ. අවසන් දේශනය පවත්වනු ලබන්නේ එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වන රනිල් වික්‍රමසිංහ විසිනි. රනිල් සිය දේශනය පවත්වන අවස්ථාවේ එම ශාලාව අතුරු සිදුරු නැතිව පිරී යයි. එම කතාව ඇසීමට නම්, කලින් පැමිණ අසුන් ගත යුතුය. දැන් නොවේ. රනිල් විපක්ෂ නායකාව සිටිය දීද තත්වය මෙයමය. මේ දේශනය ඇසීමට පැමිණෙන විශේෂ කෙනෙකුද ඊට නිතර පැමිණෙන්නන් ගේ නෙත ගැටේ. ඒ වෙනත් කිසිවෙක් නොව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. සජිත් පැමිණෙන්නේ හිස් අතින් නොවේ. පෑනක් සහ සටහන් පොතක් අතැතිවය. රනිල් ගේ ආර්ථික හා ව්‍යාපාරික දේශනයෙන් ගලා එන දැනුම සජිත් සිය මතකයේ පමණක් නොව සටහන් පොතේ ද සටහන් කරගන්නා අයුරු මෙහි එන ආර්ථික සහ ව්‍යාපාරික නායකයනට දැක ගත හැකිය.

නූගත් ගමරාල, (සක්) කිලි මහරාජා ගේ බලකිරීම මත මෙසේ පහර දෙන්නේ ආර්ථිකය සහ ව්‍යාපාරික කටයතු ගැන පුළුල් දැනුමක් සහිත, සිය නියෝජ්‍ය නාකයාට පවා දැනුම් පහනක් වන නායකයාටය යන්න එජාප පාක්ෂිකයා තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගෙන පළමුව තම නායකයාත් පක්ෂයේ එක්සත්බවත් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කලයුතුය.

එජා පක්ෂයේ නායකත්ව ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ ඉන් පසුව පක්ෂයට අවශ්‍ය ආකාරයට පමණකි. ඒ විනා සිරිසේනට, මහාරාජාට, ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න වැනි කබරයින්ට අවශ්‍ය අවස්ථාවල නොවන බව ප්‍රබලව පෙන්වන්නට එජා පක්ෂ නායකයන් පෙළ ගැසිය යුතුය.

එසේ කලොත් අනාගත නායකත්වය ගන්නා කෙනෙකුට ප්‍රබල පක්ෂයක් ඉතිරි වනු ඇත. නැතහොත් එජාපාක්ෂිකයාට සිය හද බැඳි පක්ෂයත් ශ්‍රී ලංකාවට වර්ගවාදයෙන් තොර ඉදිරිය දකිනා පක්ෂයකුත් අහිමි වනු ඇත.

දේශබන්ධු විසිනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *