රනිල්ට යුක්තිය ඉටුවිය යුතුව තිබේ – භාතිය බරුකන්ද

දවසක් එක පිටිසර ගමක මිනිහෙක් විකුණා ගැනීම සඳහා සියඹලා ගෝනියක් ගමේ කඬේට ගෙනාවා. සියඹලා මිලදී ගැනීමට කැමැත්ත පළ කළ මුදලාලි සියඹලා ගෝනිය කිරලා බැලූවා. එතන සියඹලා කිලෝ හතරක් තිබුණා. ඊට පස්සේ මුදලාලි ගෝනියේ බරට කියලා සියඹලා කිලෝවක බර අඩු කළා. ඊට පස්සේ සියඹලාවල ඇට සහ පොතුවලට කිලො දෙකක බර අඩු කළා. ඊටත් පස්සේ වේලූම් බර කියලා තවත් කිලෝවක බර අඩු කළා.
‘‘ බණ්ඩයියා සියඹලා කිලෝ හතරක් නොවැ ඇන්න ආවේ. ඕන් මං ගෝනියේ බරට කිලෝ එකකුයි, ඇටවලටයි පොතුවලටයි කිලෝ දෙකකුයි අඩු කළා. ඒත් මේ අමු සියඹලා වේලලා ගන්න එපායැ. ඒකටත් කිලෝ එකක් විතර අඩු කරන්න තියෙනවා. එතකොට ඔක්කොම කිලෝ හතරයි’’ කියලා මුදලාලි කිව්වා.
මුදලාලිගේ මේ කතාව ඇහුවම බණ්ඩයියා පුදුමයට පත් වුණා. තමන් ගෙනාවේ සියලඹලා කිලෝ හතරයි. දැන් ඒකෙන් කිලෝ හතරක බර අඩු කරලා. මේක කල්පනා වුණාම බණ්ඩයියට හීන් දාඩිය දැම්මා. බණ්ඩයියා පුදුමයෙන් වාගේ මුදලාලි ඊළඟට කියන්නේ මොකක්ද කියලා බලාගෙන හිටියා.
‘‘ ඕන්න ඕක තමයි බණ්ඩයියේ තත්තේ. කිලෝ හතරක් ගෙනාවට කිලෝ හතරකම බර අඩු කරන්න වෙනවා නොවැ’’ මුදලාලි කිව්වා.
‘‘ඒ කියන්නේ මුදලාලි මං සියඹලා ගෙනාවෙම නැද්ද ?’’ කියලා මේ පුදුම කතාව අහපු බණ්ඩයියා මුදලාලිගෙන් ඇහුවා.
මුදලාලිගේ ගණන් බැලීම අනුව නම් බණ්ඩයියා සියඹලා ගෙනත් නැහැ.
තවත් මොහොතකින් බණ්ඩයියාගේ මේ කතාව ගමේ ප‍්‍රචාරය වුණා. ඊට පස්සේ ගමේගොඬේ කොල්ලෝ කුරුට්ටෝ බණ්ඩයියා දකින දකින කොට ‘‘මුදලාලි මම සියඹලා ගෙනාවෙම නැද්ද ? ’’ කියලා විහිළු කරන්න පටන් ගත්තා.
‘‘මුදලාලි මම සියඹලා ගෙනාවෙම නැද්ද ?’’ කියන මේ කතාව මගේ මතකයට ආවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරා ජනමාධ්‍ය ඇතුළු තැන්තැන්වල සිදුවන විවේචන හින්දයි. අගමැතිවරයා සම්බන්ධයෙන් මෙහිදී බොහෝ විට දැකිය හැකි වුණේ ඒකපාර්ශ්වික කර්කෂක විවේචනයක්. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පුළුල්ම දේශපාලන අත්දැකීම් සමුදායක් සහිත නායකයා ගැන ඉතාම පටු විවේචනයක් සිදුවන ආකාරයක් තමයි මධ්‍යස්ථව සලකා බලන විට දැකිය හැකි වන්නේ.
රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුවන මේ විවේචනය තුළ එක්සත් ජාතික පාක්ෂියකයින් නාමයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඇතුළු එජාප විරෝධීන් හෙළන කිඹුල් කඳුළුවලට වැඩි වටිනාමක් තිබෙන බවක් තමයි දැකිය හැකි වන්නේ. මේ චෝදනාවල සැබෑ තත්ත්වය ගැන යම් කිසි මධ්‍යස්ථ විමසුමක යෙදීමට හැකි නම් එය 1977 සිට මේ දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ක‍්‍රියාකාරී දේශපාලනයේ මුල්පෙළ භූමිකාවක් නිරූපණය කරන රනිල් වික‍්‍රමසිංහ නම් දේශපාලනඥයාගේ 41 වසරක අඛණ්ඩ දේශපාලන භූමිකාව ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීමට අවස්ථාවක් විය හැකියි.
මා මෙහිදී රනිල් විවේචකයින් විසින් අඛණ්ඩව තහවුරු කිරීමට තැත් කරන ‘‘පාක්ෂිකයින්ට නොසැලකීම’’ හා ‘‘දිගින් දිගටම පරාජය වීම’’ යන කාරණා දෙක වෙත අවධානය යොමු කිරීමට කැමැතියි. මන්ද එජාප පාක්ෂිකයින් කෙරෙහි මේ කාරණා ද්විත්වය අති සංවේදී කාරණා වන නිසයි.

වර්ණවත් ආරම්භයක්

පේ‍්‍රමදාස, ලලිත් හා ගාමිණි ත‍්‍රිත්වයේ හදිසි අභාවයන් නිසා අහඹු ලෙස එජාපයේ බල පිරිමිඩයේ මුදුනට රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණි බව ඇතැමුන් ප‍්‍රකාශ කරනවා. එහෙත් කරුණු කාරණා සියුම්ව විමසන විට පැහැදිලි වන්නේ ආර්. පේ‍්‍රමදාස එජාපයේ දෙවැනියා වශයෙන් අභිෂේක ලබන විට ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක සමග කරට කර සිටිය හැකි ප‍්‍රමුඛ භූමිකාවන් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ද ඉටුකළ බවයි. විශේෂයෙන් යෞවන කටයුතු හා ක‍්‍රීඩා ඇමැතිවරයා වශයෙන් ආරම්භක යුගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා වර්ණවත් හා කැපී පෙනෙන භූමිකාවක් ඉටුකළ බව එම යුගයේ දේශපාලනයේ ක‍්‍රියාකාරීව නිරතව සිටි බොහෝ දෙනෙක් කියනවා. ඒ අතර ජාතික තරුණ සේවා සභාව විසින් ඉටුකළ භූමිකාව සුවිශේෂයයි. අදත් ජාතික තරුණ සේවා සභාවේ පැරණි සේවකයින් කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමැති ධූරය දැරූ චරිත රත්වත්තේ මහතා සභාපති පදවිය දැරූ යුගය (යොවුන් පුරය ආදි වැඩසටහන් සමග* ජාතික තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැකි බවයි. එමෙන්ම පසුකාලීනව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රශස්ත සේවයක් ඉටුකළ බවට පිළිගැනීමක් තිබෙනවා. ඇතැමුන්ට අනුව ලංකාවේ බිහි වූ සාර්ථකම අධ්‍යාපන ඇමැතිවරුන් අතර වික‍්‍රමසිංහ මහතාට ප‍්‍රමුඛස්ථානයක් ලැබෙනවා. ඒ අතර බොහෝ දෙනකු විසින් අමතක කළ කාරණයක් ද තිබෙනවා. ඒ බියගම මැතිවරණ කොට්ඨාශයේ මන්ත‍්‍රීවරයා වශයෙන් 1986 දී ලංකාවේ දෙවැනි නිදහස් වෙළෙඳ කලාපය තම මැතිවරණ කොට්ඨාශය වූ බියගම ප‍්‍රදේශයේ පිහිටුවමින් වික‍්‍රමසිංහ මහතා විසින් එම ප‍්‍රදේශයේ සංවර්ධනයට ලබා දුන් දායකත්වයයි.
ඉහත සඳහන් තත්ත්වය තුළ අපට පෙනී යන්නේ ලලිත් – ගාමිණි තරම් මාධ්‍ය ආකර්ෂණයක් නොලැබුව ද ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක හා කරට කර සිටිය හැකි වැඩ කොටසක් ඉටුකරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන යුගයේ වර්ණවත් තරුණ ඇමැතිවරයෙකුගේ භූමිකාව නිරූපණය කළ බවයි.

පක්ෂයට ලැදි නායකයා

පක්ෂ අභ්‍යන්තර බල අරගල ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ලෝකයේ පොදු හා ප‍්‍රකට කරුණක්. ප‍්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන එජාපය තුළ සේම ශ‍්‍රීලනිපය තුළත් බල අරගල විටින් විට ඇති වුණා. ඒත් ඒ සෑම අවස්ථාවකම එම දේශපාලන පක්ෂවලට දැඩි හානියක් ද සිදු වුණ බව අප අමතක නොකළ යුතුයි. උදාහරණයක් විදහට එජාපයේ ඩඞ්ලි – සර් ජෝන් බල අරගලය, ඩඞ්ලි – ජේ.ආර් බල අරගලය සේම ශ‍්‍රීලනිපය 1977 පරාජයෙන් පසු දිගින් දිගටම මුහුණ දුන් බල අරගල එම පක්ෂවලට දැඩි හානියක් කළා.
ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ජනාධිපති පදවියට පත් ආර්. පේ‍්‍රමදාස මහතාට එරෙහිව එජාපයේ මුල්පෙළ නායකයින් වශයෙන් සැලකූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක මහතා විසින් නායකත්වය දුන් කැරැුල්ල රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය සේම භාවිතය පරීක්ෂාවට ලක් කළ ප‍්‍රමුඛ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකියි. 1977 සිට විපක්ෂයේ සිටි ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ වාමාංශික පක්ෂත්, ජවිපෙ කැරැුල්ල මැඩපැවැත්වීම සමග ඇති වූ ජනතා අප‍්‍රසාදයත් මුල්කොට ගෙන ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පැවැති එජාප ආණ්ඩු විරෝ්ධයට ලලිත් – ගාමිණි බල අරගල ප‍්‍රබල උත්තේජනයක් වුණා. විපක්ෂයේ දේශපාලන සටන් පාඨ හා තවත් අභූත චෝදනා රැුසක් සමගින් එජාපය අභ්‍යන්තරයෙන් ඉදිරිපත් වූ දෝෂාභියෝගයේදී එවකට සභානායක පදවියේ සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය හා පක්ෂ නායකත්වය රැුක ගන්නා දැඩි ස්ථාවරයක් ගත්තා.
ලලිත් – ගාමිණි දෝෂාභියෝගය පුස්සක් කරමින් එජාපයත් ආණ්ඩුවත් රැුක ගැනීමට එදා රනිල් වික‍්‍රමසිංහ භූමිකාව විශාල මෙහෙයක් ඉටු කළ බව නොරහසක්. එදා යම්කිසි ආකාරයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා ද ලලිත් – ගාමිණි කල්ලිය සමග සිට ගත්තා නම් එජාප ආණ්ඩුවේ පමණක් නොව ආර්. පේ‍්‍රමදාස මහතාගේ ද දේශපාලන භුමිකාවේ අවසානය සනිටුහන් වන බව නොරහසක්. එනිසා අද එජාපයට ඇති තම ලැදියාව ගැන කිඹුල් කඳුළු හෙළන ඇතැමුන් රනිල් වික‍්‍රමසිංහ මහතා පේ‍්‍රමදාස මහතාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය හමුවේ ක‍්‍රියාකළ දුරදර්ශී හා පක්ෂ ලැදි ආකාරය යළි විමසා බැලිය යුතුයි.
ජනාධිපති පේ‍්‍රමදාස මහතාට එරෙහිව එජාපය තුළින් ම ඉදිරිපත් වූ දෝෂාභියෝගය විභාගයට නොගෙනම පරාජයට කිරීමට එජාපයට හැකි වුණත් ඒ හරහා එජාපයේ සිදු වූ බිඳ වැටීම පාලනය කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ ඇතුළු පාර්ශ්වයන්ට නොහැකි වීම කනගාටුවට කරුණක්. ලලිත් – ගාමිණි ආණ්ඩුවෙන් ඉවත් වීම සමග පක්ෂ අභ්‍යන්තරයේ නිර්මාණය වූ අභාග්‍යසම්පන්න වාතාවරණයත්, ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක්වීම ඒ සමග ඉතා කෙටි කාලයකින් (1993 මැයි 01* ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ඝාතනයට ලක්වීම සමග උත්ගත වූ අනපේක්ෂිත තත්ත්වයත් කළමනාකරණය කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රබල දායකත්වයක් ලබා දුන් බව නොරහසක්. විශේෂයෙන් ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ඝාතනයට ලක්වීම සමග උද්ගත වූ හදිසි, ව්‍යාකූල තත්ත්වය තුළ රනිල් වික‍්‍රමසිංහ භූමිකාව සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බව අදත් පොදුවේ පිළිගැනෙනවා.
ඇතැමුන්ට අනුව 1993 දී. ඞී.බී. විජේතුංග ජනාධිපතිවරයා යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය පදවියට පත්වීම ද දේශපාලන අහම්භයක්. එසේ නම් අපට ඞී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඩඞ්ලි සේනානායක මහතා අගමැති පදවියට පත්වීම සේම බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැතිනිය බවට පත්වීමත් දේශපාලන අහඹු දේශපාලන සිදුවීම් වශයෙන් සැලකිය හැකියි. ඒත් මේ ආකාරයෙන් අහඹු ලෙස බල පිරිමිඩයේ ඉහළට නැගි පුද්ගලයින් දේශපාලන වශයෙන් ඉටුකළ කාර්යභාරය සුවිශේෂ බව ඩඞ්ලි – සිරිමාවෝ චරිත මගින් පැහැදිලි කරනවා නම් ඔවුන්ට හිිමි වන ගරුත්වය හා යුක්තියට සමව හිමිකම් කීමට රනිල් වික‍්‍රමසිංහ මහතාටත් අවස්ථාව තිබිය යුතුයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදියා

1994 මහ මැතිවරණයෙන් එජාපයේ 17 වසරක පාලනය නිමා වුණේ අන්ත පරිහාණිගත ආකාරයෙන් නොව ගෞරවණීය ආකාරයෙන් බව ඡුන්ද ප‍්‍රතිඵල මගින් මනාව පැහැදිලි වෙනවා. පක්ෂ අභ්‍යන්තර දැවැන්ත බිඳ වැටීම් සමග විපක්ෂය ලැබූ දැවැන්ත ජවය සමග වුවත් පොදුජන එක්සත් පෙරමුණු හවුලට ලබාගත හැකි වුණේ පාර්ලිමේන්තු ආසන 106ක් පමණයි. එක්සත් ජාතික පක්ෂයට ආසන 96ක් දිනාගැනීමට අවස්ථාව ලැබුණා.
මෙම මැතිවරණ පරාජය සමග දේශපාලන දහංගැට දමමින් තව දුරටත් බලය අල්ලා ගෙන සිටීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රවේශය වෙත යනු වෙනුවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තම මහත්මා දේශපාලනය සේම ප‍්‍රජාතන්වාදී භාවිතය ද පෙන්නා දෙමින් ගෞරවනීය ලෙස අරලියගහ මන්දිරයෙන් නිමක්ම ගියා. එදා මේ සිදුවීම බොහෝ දෙනකුගේ දැඩි ඇගයීමට ලක් වුණා.
මහ මැතිවරණ පරාජයෙන් පසු 1995 දී පැමිණි ජනාධිපතිවරණයේදී පක්ෂය ආරක්ෂා කරගත් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය කඩාගෙන ගොස් මහත් දේශපාලන විනාශයක් සිදුකළ ගාමිණි දිසානායක මහතාට යළි පක්ෂ නායකත්වය ලබාදෙමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දුන්නේ වික‍්‍රමසිංහ මහතා තුළ එජාපය වෙනුවෙන් පැවැති කැපවීම යළිත් වරක් පැහැදිලි කරමින්. එහෙත් තොටළඟ එජාප රැුළියට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් ගාමිණි දිසානායක මහතා ඇතුළු එජාප ප‍්‍රබලයින් විශාල පිරිසක් ඝාතනයට ලක්වීම එජාපය යළි අර්බුදයක් කරා ගෙන ගියා. ඒ අවස්ථාවේත් බල ලෝබයයට යට නොවූ රනිල් වික‍්‍රමසිංහ මහතා ගාමිණි දිසානායක මහතාගේ බිරිය වූ ශ‍්‍රීමා දිසානායක මහත්මියට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට තරම් නිර්ලෝභී වුණා.
සිදුවිය යුතු පරිදිම එජාපය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව සිය 17 වසරක පාලන සමය නිමා කළත් අදත් බොහෝ දෙනෙක් මෙම මැතිවරණ පරාජයන් හා පක්ෂ අර්බුද හමුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා නිරූපණය කළ මහත්මා දේශපාලනය අගය කරන බවක් දැකිය හැකියි.

විධායකය සහ විපක්ෂය

රනිල් වික‍්‍රමසිංහ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදියාගේ දේශපාලන භූමිකාවේ වඩාත්ම අභියෝගාත්මක යුගය එළඹෙන්නේ 1995 ජනාධිපතිවරණ පරාජයෙන් පසු විපක්ෂයට යාම සමගයි. 17 වසරක අඛණ්ඩ පාලන සමයකින් පසු මන්ත‍්‍රීධූර 96ක් සමග එක්සත් ජාතික පක්ෂය ආසන 112ක සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන ගිය පොදු පෙරමුණට දැවැන්ත අභියෝගයක් වූ බව නිසැකයි. එමෙන්ම 17 වසරක් ආණ්ඩු බලය හෙබවමින් සිට අති වරප‍්‍රසාදලාභී තත්ත්වයක සිටි ඇතැම් එජාප මන්ත‍්‍රීවරුන්ට බලය රහිතව විපක්ෂයේ සිටීම නීරස මෙන්ම අභියෝගාත්මක අත්දැකීමක් වූ බවත් නිසැකයි.
මේ තත්ත්වය තුළ තමන්ගේ සුළුතර ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිනිය ප‍්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාවන් හා විපක්ෂගත වූ එජාප මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු පිරිසකගේ අපේක්ෂාවන් සමපාත වුණේ ලංකා දේශපාලනයේ අලූත්ම සංස්කෘතියක් නිර්මාණය කරමින්.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාටට තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මන්ත‍්‍රීවරු රොත්තක්ම ආණ්ඩුවට එක්වීම නතර කරගැනීමට නොහැකි වුණේ ඉහත සඳහන් කළ ආණ්ඩුවේ හා විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අපේක්ෂාවන් සමපාත වීම නිසයි. 1994 මහ මැතිවරණයෙන් ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් එල්ල කළ හැකි තත්ත්වයක සිටි එජාපය ක‍්‍රමයෙන් දුර්වල වුණේ කුමක් නිසාද යන්න අපට පහසුවෙන් වටහා ගත හැකියි.
මෙහිදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එතෙක් කිසිදු විපක්ෂ නායකයෙක් මුහුණ නොදුන් සංකීර්ණ අභියෝගයන්ට මුහුණදීමට සිදු වුණේ දැවැන්ත බලයක් සහිත විධායක ජනාධිපති ධූරයේ පූර්ණ රැුකවරණය ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විපක්ෂ මන්ත‍්‍රීන් ක‍්‍රමයෙන් බිලී බා ගත් නිසයි. ඇතැම් එජාප මන්ත‍්‍රීවරුන් ස්වේච්ඡුාවෙන් ආණ්ඩුවේ තුරුළුට පැන්න නිසයි. මේ තරම් නීරස අත්දැකීමකට 1977 – 94 සමය තුළ ශ‍්‍රීලනිපය නායකත්වය මුහුණ දුන්නේ නැහැ. ඒ 1977 මහ මැතිවරණයෙන් මෙන්ම 1989 මහ මැතිවරණයෙන් ද එජපාය පැහැදිලි බහුතර බලයක් ලබා ගෙන අභියෝගයකින් තොරව ආණ්ඩු බලය හිමිකර ගත් නිසයි. එහෙත් 1994 දී සුළුතර ආණ්ඩුවක් වූ පොදුපෙරමුණ බහුතර බලය හිමිකර ගත්තේ සම්පූර්ණයෙන් එජාපයෙන් වීම විශේෂත්වයක්.
අද දැවැන්ත පරාජිත චරිතයක් ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාව අභිෂේක කිරීමට තැත් කරන විවේචකයින් මේ තත්ත්වය වටහා නොගැනීම කනගාටුවට කාරණයක්. විජේපාල මෙන්ඩිස්, සුසිල් මුණසිංහ ප‍්‍රමුඛ එජාප නායකයින් ආරම්භක පියවර තබමින් ගමන් ගත් මේ පටු අවස්ථාවාදී ගමනට පසුව ආචාර්ය සරත් අමුණුගම ආදීන් ද එක් වුණේ එජාප නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දුර්වලතාව නිසා කියා කිසිවෙකුට ප‍්‍රකාශ කළ නොහැක්කේ එජාපය විපක්ෂයට ගිය ආරම්භයේ දී ඉතාමත් නින්දාසහගත ලෙස මේ පිල් මාරුව සිදුවූ නිසයි. මේ ලේඛකයාගේ අදහස වන්නේ 1994 සිට 2010 දක්වා සම්පූර්ණ කාලය තුළ එජාප මන්ත‍්‍රීන් බිලී බා ගැනීමට ශ‍්‍රීලනිප ආණ්ඩුව පියවර ගත්තෙත් එජාප මන්ත‍්‍රීන් ස්වේච්ඡුාවෙන්ම ආණ්ඩුවේ තුරුළට ගියෙත් හුදු බලලෝභය හා අවස්ථාවාදය නිසාම පමණක් බවයි. ඒ බව මනාව පැහැදිලි වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග 2010 වසරින් පසු ඍජු බල අරගලයක නිරතව සිටි සජිත් පේ‍්‍රමදාස මහතා කිසිදු අවස්ථාවක පක්ෂ මාරුවක් හෝ පක්ෂය බිඳ දැමීමක් ගැන ඉඟියක් හෝ ප‍්‍රකාශ නොකළ තත්ත්වය තුළයි. මේ අනුව 1994 සිට අඛණ්ඩව එජාපයෙන් පත් වූ මන්ත‍්‍රීවරුන් සහ සුළුපක්ෂ ආණ්ඩුවේ තුරුළට පැන්නේ හුදු අවස්ථාවාදය සහ බලලෝභය නිසා මිස එාජප නායකයා සමග තිබූ ප‍්‍රතිපත්තිමය ගැටලූ නිසා නොවෙයි. මේ තත්ත්වය අද ශ‍්‍රීලනිපයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් වී සිටින එජාපයෙන් මන්ත‍්‍රී ධූර දිනාගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ සැලූන් දොරට තට්ටු කළ දුමින්ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, දයාසිරි ජයසේකර, මනූෂ නානායක්කාර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආදීන්ගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය දෙස බැලීමෙන් මනාව වටහාගත හැකියි.
මේ තත්ත්වය තුළ අප වටහා ගත යුත්තේ වෙනත් කිසිදු එජාප නායකයෙක් මුහුණ නොදුන් විධායක ආධිපත්‍යකට රනිල් වික‍්‍රමසිංහ මහතා අඛණ්ඩව හා දැඩිව මුහුණ දුන් බවයි. ඒ අතර පක්ෂය හෝ තම හෘද සාක්ෂිය ගැන නොසිතා තම පටු දේශපාලන අවශ්‍යතා මත ක‍්‍රියාත්මක වූ අවස්ථාවාදීන් රොත්තකට නායකත්වය ලබාදීමට වික‍්‍රමසිංහ මහතාට සිදු වූ බවයි.

හිට්ලර් පන්නයේ මැතිවරණ

1947 සිට 1977 දක්වා පැවැති සියලූම මැතිවරණවලදී ආණ්ඩු මාරුවක් සිදු වුණේ එකී මැතිවරණවලදී ජනමතයට බලපෑම් කිරීමට ආණ්ඩුවට ශක්තියක් නොවීම නිසයි. එහෙත් 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය කිරීම සමග රටේ බලය හා සම්බන්ධ පැහැදිලි මැතිවරණ දෙකක් ක‍්‍රියාත්මක වුණා. ඒ පාර්ලිමේන්තුව පත්කර ගන්නා මහ මැතිවරණය සහ විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගන්නා ජනාධිපතිවරණය වශයෙනුයි. ඊට පසුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණත් ආරම්භ වුණේ මැතිවරණ සිතියම තුළ ජාතික මැතිවරණ හතරක් නිර්මාණය කරමිනුයි.
මේ සියලූ මැතිවරණවලදී ඒ කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට අනෙක් ආයතනවලට හැකියාව ලැබීම 1978න් පසු දැකිය හැකි වූ සුවිශේෂ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. උදාහරණයක් ලෙස ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් වූ පසු විධායක ජනාධිපතිවරයාට / හෝ වරියට තම ධූරයේ සිටිමින්ම ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව උදා වුණා. ඒ සමග පාර්ලිමේන්තුව ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය, පළාත් සභාව සහ ප‍්‍රාදේශීය සභාව යන ආයතන ත‍්‍රිත්වයේම බලය අදාළ මැතිවරණය වෙනුවෙන් යෙදිය හැකි වුණා. එවිට බලය රහිත විපක්ෂය සිදු වුණේ අන්ත අසරණ ලෙස අවාසිදායක පිටියක ක‍්‍රීඩා කිරීමටයි. මේ තත්ත්වය එජාපය පාලන යුගය තුළදී සේම 1994න් පසු පොදු පෙරමුණේ, පොදුජන එක්සත් පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලන යුග තුළදීත් පැහැදිලිව ප‍්‍රදර්ශනය වුණා. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් ආණ්ඩුව සන්නාහා සන්නද්ධව සටනට එළඹෙන විට විපක්ෂයට සටනට එළඹීමට සිදු වුණේ නිරායුධවයි.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මේ අවාසි සහගත තත්ත්වයට 1994 සිට 2015 දක්වා අඛණ්ඩව මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස පොදු පෙරමුණ බලයට පත් වූ අලූත පැවැති වයඹ පළාත් සභා මැතිවරණය දැක්විය හැකියි. එය මහ දවල් ඡුන්ද කොල්ලයක් බවට පත් වුණේ ආණ්ඩුව සමස්ත දේශපාලන බලයම වයඹට යොමු කළ නිසයි.
මෙ තත්ත්වය තුළ වුවත් 1999 ජනාධිපතිවරණයේදී ජයග‍්‍රාහී සටනක් ලබාදීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණේ ආණ්ඩුව සමස්ත රාජ්‍ය හා පරිපාලන යාන්ත‍්‍රණයම තම මැතිවරණ ක‍්‍රියාවලියට යොමු කර තිබියදීයි. එහෙත් අනපෙක්ෂිත ආකාරයෙන් කොළඹ පුරහලේ පැවැති පොදු පෙරමුණ මැතිවරණ රැුලියට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තුවාල ලැබීම සමග තත්ත්වය සම්පූර්ණයෙන් ආණ්ඩුවේ වාසියට තීන්දු වුණේ එජාපයට එරෙහිව බෝම්බයේ වාසිය යොදා ගැනීමට ලැබුණු අවස්ථාව නිසයි. මේ මැතිවරණය ගැන එදා මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කළේ දැවැන්ත ලෙස රාජ්‍ය මාධ්‍ය අපයෝජනය කරමින් එජාප අපේක්ෂකයාගේ ප‍්‍රතිරූපය කෙළසමින් ආණ්ඩුව අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ක‍්‍රියා කළ බවයි. ඒ සමග එළැබි 2000 මහ මැතිවරණයේදී ද ආණ්ඩුව පූර්ණ රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් භාවිත කළේ විපක්ෂයට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනුයි.
මා මෙහිදි අවධාරණය කිරීමට උත්හාස ගන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 1994 සිට අඛණ්ඩව දැවැන්ත විධායක බලය හා රාජ්‍ය බලය සමග කළ නිරායුධ සටනට කවදා හෝ සාධාරණත්වය ඉටු විය යුතු නිසයි.

2001න් පසු යුගය

එජාපයේ අත උඩ පැවැති 1999 ජනාධිපතිවරණ ජයග‍්‍රහණය නගරසභා බෝම්බය විසින් අහිමි කළත් දැවැන්ත රාජ්‍ය මර්ධනය හමුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට 2001දෙසැම්බර් 05 මහ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණේ දේශපාලන දරා ගැනීම හා උපාය කෞෂල්‍ය නිසයි.
කොටි සංවිධානය සමග පැවැති අවාසිදායක යුද්ධය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් සටන් විරාම ගිවිසුම අත්සන් කරමින්ද ඍණ තත්ත්වයක පැවැති ආර්ථිකය ඉතාම සකසුරුවමින් ධන තත්ත්වයට පත් කරමින් ද ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය යළි වර්ධනය කරමින් ද ආරම්භ වූ එජාප පාලනයට වසර දෙකක ඇවෑමෙන් අවසානයේ උරුම වූ අවාසනාවන්ත තත්ත්වය කිසිවෙකුට අමතක කළ නොහැකියි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහ මැතිවරණයකින් බහුතර බලය දිනාගත් එජාප ආණ්ඩුව ඉතාමත් අවස්ථාවාදී හා සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් විධායක බලය යොදවමින් විසුරුවා හැරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගත් අවස්ථාවාදී උත්සාහයට අද මෙන්ම එදත් ශ‍්‍රීලනිපය කොතරම් අනුග‍්‍රහයක් හා උනන්දුවක් දැක්වූවාද යන්න කිසිවෙකුට අමතක ඇතැයි සිතිය නොහැකියි. ( එජාප ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා නායකත්වය දුන් ජවිපෙ ඇතුළු කල්ලිය පසු කාලීනව ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ගෙවූ බව අමතක නොකළ යුතුයි)
එජාප ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසු 2004දී පැවැත් වූ මහ මැතිවරණයෙන් ද එජාපය ශක්තිමත් තැනක් හිමිකර ගත් බව අපට නිරීක්ෂණය කළ හැකියි. එහිම දිගුවක් සේ සැලකිය හැකි 2005 ජනාධිපතිවරණයේදී සියලූම රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් ද, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පුළුල් දේශපාලන බලවේගයක සහාය ලබමින් ද ජනාධිපතිවරණයට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා එජාප අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය කරමින් ලබා ගත්තේ වැඩි ඡුන්ද 186,000කට ආසන්න අගයක් පමණක් බව අප අමතක නොකළ යුතුයි. ඒ උතුරේ ඡුන්දය සම්පූර්ණයෙන් වර්ජනය කළ තත්ත්වයක් තුළයි. සාම්ප‍්‍රදායිකව එජාපයට උතුරේ දමිළ ජනතාවගෙන් හිමිවන වැඩි සහාය මෙම මැතිවරණයේදී කොටි ඡුන්ද වර්ජනය සමග අහිමි නොවුණා නම් මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක පරාජයක් උරුම වන බව ද පැහැදිලියි.
මේ තත්ත්වය තුළ අපට ගැඹුරින් විමසා බලන විට පෙනී යන්නේ කුමක්ද ? 1994 සිට මහා පරාජිත තත්ත්වයක් උරුම කරගත් බව කියන රනිල් වික‍්‍රමසිංහ මහතා සැබැවින්ම පරාජිතයෙක් බවද ? එසේ නැතිනම් දැවැන්ත විධායක ආධිපත්‍යකට, මැතිවරණ ¥ෂණවලට මුහුණ දෙමින් පක්ෂ අභ්‍යන්තරයෙන් අඛණ්ඩව සිදු වූ අවස්ථාවාදී බාධා කිරීම්වලින් අධෛර්යට පත් නොවී පක්ෂය රැුකගත් බවද යන්න හෘද සාක්ෂියට එකඟව විමසා බැලිය යුතුයි.

මේ ගෙවන්නේ භාණ්ඩාගාරය හිස් නොකළ පවද ?

1994 සිට 2015 දක්වා අඛණ්ඩව අත්තනෝමතික විධායක බලාධිපත්‍යයක් හමුවේත්, පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වූ අවස්ථාවාදී ක‍්‍රියා හමුවේත් නොවැටී සිටි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල වන තවත් ප‍්‍රබල චෝදනාවක් වන්නේ ‘‘බලය ලැබුණු පසුවත් පාක්ෂිකයින්ට නොසලකන ’’ බවයි.
මේ චෝදනාව ද එජාප නායකයාට අවස්ථාවාදීව එල්ල කරන කුහක විවේචනයක් වශයෙන් සැලකිය හැකි වන්නේ මේ රටේ අති බහුතරයක් නායකයින් මහා භාණ්ඩාගාරය පක්ෂ අරමුදලක් වශයෙන් සලකා ක‍්‍රියා කරමින් රටට කළ හානිය විමසා බලන විටයි.
1994 පරාජයෙන් පසු එජාපයට අර්ධ රාජ්‍ය බලය ලැබුණේ 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදීයි. එහිදී එජාපයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවීම සමග අගමැති පදවිය හිමි වුවත් විධායක ජනාධිපති පදවිය හිමිව තිබුණේ 1999 ජනාධිපතිවරණයෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටයි.
ලංකාවේ දේශපාලනයේ 1947 සිට සිදු වූ සුලභ තත්ත්වයක් වූයේ ආණ්ඩු මාරුව සමග ලංගම, වරාය ඇතුළු රාජ්‍ය සංස්ථාවල පරාජිත පක්ෂයේ ආධාරකරුවන් පළවා හැරීමයි. ඊට පසු රාජ්‍ය ආයතනවලට අසීමාන්තිකව පාක්ෂිකයින් බඳවා ගැනීමයි. මේ තත්ත්වය ශ‍්‍රීලනිපයට වසර 17කට පසු බලය හිමි වූ 1994 මහ මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව ද ප‍්‍රබල ආකාරයෙන් ක‍්‍රියාත්මක වුණා.
එහෙත් 2001 මහ මැතිවරණයෙන් පසු බිහි වූ එජාප ආණ්ඩුව හිමි වුණේ පාර්ලිමේන්තු බලය පමණක් වීම තුළ යම්කිසි ආකාරයක දේශපාලන හික්මීමක් ප‍්‍රදර්ශනය කිරීමට සිදුවීම අනිවාර්ය අවශ්‍යතාවක් වුණා. ඒ සමග ජාතික ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඍණ තත්ත්වයේ තිබීම නිසා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ පැවැතිවේ සංකීර්ණ අභියෝගයක්. ඒ තත්ත්වය තුළ රාජ්‍ය අංශයේ රැුකියා ලබා දෙමින් එජාප පාක්ෂිකයින් සතුටු කරන අවස්ථාවාදී වෑයමකට වඩා එජාප නායකයා උනන්දු වුණේ ආර්ථිකය සංවර්ධනය කරමින් ආර්ථික අභියෝග ජයග‍්‍රහණය කරමින් අභියෝග ජය ගැනීමටයි. මේ තත්ත්වය තුළ රාජ්‍ය අංශයේ රැුකියා ලබා දෙමින් ජයග‍්‍රාහී පාක්ෂිකයින් පිනවීමේ සම්ප‍්‍රදායට තිත තැබීමට අගමැතිවරයාට සිදු වුණා. එය නීරස තීන්දුවක් වුණත් ඉතාම කෙටි කාලයකින් ආර්ථිකය යළි ශක්තිමත් වීම සමග එකී තීන්දුවේ ධනාත්මක ප‍්‍රතිඵල සමාජයට හිමි වීම ආරම්භ වුණා. එහෙත් අනපේක්ෂිත ආකාරයෙන් ඉතාම කෙටි කාලයකින් එජාප ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිනිය ගත් පියවර සමග මේ සියල්ල අහෝසි වුණේ ආණ්ඩු බලය ලැබුණු විට ආණ්ඩුවේ රස්සා නොදුන් බවට එජාප නායකයාට දැවැන්ත චෝදනාවක් එල්ල කිරීමට එජාප පාක්ෂිකයින්ට අවස්ථාව උදා කරමිනුයි. එදා අගමැතිවරයාගේ මේ තීන්දුවෙන් බැට කෑ අයෙක් වූ මෙම ලේඛකයා අද ද විශ්වාස කරන්නේ සාම්ප‍්‍රදායික දේශපාලන සූදුව අනුව යමින් මහා භාණ්ඩාගාරය හා රාජ්‍ය සම්පත් පක්ෂ අරමුදලක් කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතා එදා ගත් තීන්දුව නිර්භීත එකක් සේම අනාගතවාදී එකක් ද වූ බවයි.
2002දී රනිල් වික‍්‍රමසිංහ මහතා රාජ්‍ය භාණ්ඩාගාරය පක්ෂ අරමුදලක් බවට හරවා නොගනිමින් දැක්වූ ධනාත්මක භාවිතය ඊළඟ මැතිවරණයේදී එජාපයේ ජයග‍්‍රහණයට දැවැන්ත හානියක් කළා සේම ශී‍්‍රලනිපයේ ජයග‍්‍රහණයට, විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණයට සුවිශාල දායකත්වයක් ලබා දුන් බවට අපට නිරීක්ෂණය කළ හැකියි. ඒ 2004 දී උපාධිධාරීන් 45,000කට රජයේ රැුකියා ලබාදීමට ආණ්ඩුව ගත් ක්ෂණික තීරණය නිසයි. මෙය 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විශාල ඡුන්ද ප‍්‍රමාණයක් ලබා දෙන ඍජු මැතිවරණ අල්ලසක් බවට පත් වූ බව නොරහසක්. මෙය කොතරම් උග‍්‍ර වූවාද යන්න අපට පැහැදිලි වන්නේ 2005 ලක්ෂ 06ක් පමණ වූ මෙරට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 2015 දී ලක්ෂ 15ක් දක්වා දැවැන්ත ලෙස වර්ධනය වීම තුළයි. සමස්ත රාජ්‍ය ආදායමෙන් 3/2 ක් පමණ මේ රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමට වැය කිරීමට සිදුවීම තුළයි.
මේ තත්ත්වය සමග තවත් කරුණක් ගැන අපගේ අවධානය යොමු කළ යුතුයි. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දැක්ම වන්නේ පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් රට වැනසීම නොව ආර්ථිකය ශක්තිමත් කරමින් සමස්ත ජනතාවගේ ම ආර්ථිකය සුඛිත මුදිත කිරීම නිසයි.
අදත් එජාප පාක්ෂිකයින් ‘‘අපේ ආණ්ඩුවක් තිබිලත් අපිට ආණ්ඩුවේ රස්සාවක් ලැබුණේ නැහැ’’ කියලා මැසිවිලි නඟන ආකාරය නිතර නිතර දැකිය හැකියි. මේ තත්ත්වය තුළ දී ද රනිල් වික‍්‍රමසිංහ මහතා අනාගතවාදීව සිතමින් ධනාත්මක ක‍්‍රියාකරන ආකාරයක් අපට දැකිය හැකි වන්නේ රාජපක්ෂ යුගයේ උතුරා යන තරමට පුරවා ඇති රාජ්‍ය ආයතන යහපාලන යුගයේදී යළි පුරවා දැමීම කිසිසේත් කළ නොහැකි නිසයි.
අවසාන වශයෙන් අපට අවධාරණය කිරීමට ඇත්තේ අනාගතවාදී දේශපාලනඥයෙකු හා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වන රනිල් වික‍්‍රමසිංහ මහතා පිටුදැකීමට අවස්ථාවාදීන් ගන්නා ප‍්‍රයත්නය ඔවුන්ටම පරාවළලක් වනු ඇති බවයි. මන්ද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීවගුණය සුරක්ෂිත කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය දශක දෙක තුළ ඉටුකළ සුවිශේෂ භූමිකාවට ඉතිහාසයෙන් අකාමකා දැමීමට මේ අවස්ථාවාදීන් ගන්නා ප‍්‍රයත්නයක කිසිසේත් රටේත් ජනතාවගේත් හිතසුව පිණිස නොව තම පුද්ගලික පැවැත්ම කේන්ද්‍ර ගතව සිදුවන නිසයි. පමා වී හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාට යුක්තිය ඉටුවිය යුතුව තිබෙන බව අවසාන වශයෙන් අවධාරණය කරමු.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *