|

සාටක මිසිං ඉන් ඇක්ෂන්

 

‘මොකද අනේ ඔයා අස්සන් නොකළේ?’ කියා සාටක බිසව ඇසූ විට සාටක රජ්ජුරුවෝ අන්කුන් කුන්දුන් වූයේ කාගෙදෝ මඟුලකට අත්සන් කරන්නට ගොස් නිකම්ම අවාවද්දෝයි සිතුණු නිසාය.

‘මොකකට ද මෙයා මම අත්සන් නොකළේ?’ කියා රජා හෙමිහිට ඇසුවේ මඟුලේ අත්සනම ගැන ඇසුවානම් ජනාධිපති මහජන මන්ත්‍රි වුණාටත් වඩා හතර විලිලැජ්ජාවක් නේදැයි යටි හිතින් හිතමිනි.

‘මම කියන්නේ, පිතුරුගෙයි, සැල්ෆෝන්ගෙයි, වේලිච්ච වට්ටක්කා මහත්තයගෙයි විශ්වාසභංගෙ ගැන’ කියා ඒ සැරේ බිසව කීවාය.

පිවිතුරුගෙ විශ්වාසෙ භංග වුණේ ඇටෝනි බලපත්‍රයකින්මයි. ඇයි තව ගල්ලෙන බිඳිල්ලෙනුත් ඕකාගේ විශ්වාසෙ භංග නෙමෙයි…’ කියා එවිට සාටක කීවේය.

ඒ වුණාට ඔයාට සැල්ෆෝන් ගැනවත් හිතන්න තබුණා’ බිසව එවිට කීවාය.

‘සීනුවේ සෝමවංශට ඇරපු ඇරිල්ලටයි, මාලිගාකතා, ඥාති සංග්‍රහවලටයි ගියාම උගෙත් ගන්න ඇති විශ්වාසයක් නැහැ. විශ්වාසය අතින් වූත් කුජීතුයි’ එවිට සාටක කීවේය.

‘එහෙනම් ව්ලිච්ච වට්ටක්කා?’ බිසව නැවත ඇසුවාය.

‘සමසමාජෙට පස්ස හරවපු දවසෙ ඉඳල උගේ විශ්වාසෙත් නැතිභංග ම වුණා. එකනේ නැෂනල් ලිස්ට් එකේ එල්ලලෙන්නයි, ඇමති කටු බාරගන්නයි සිද්ධ වුණේ.’ සාටක ඊට උත්තර දුන්නේය.

බොල්ගොඩ පප්පා, ධනරින, ජිල් ලොක්කා ආදීන් ගැන අහන්නට බිසව උත්සාය නොකළේ උන්ගේ විශ්වාසෙ තරම සහසුද්දෙන් රටම දන්නා නිසාය.

‘ඔයා අගමැතිකම බාරගන්නෙ නැත්නම් ජාතියෙ මලටවත් දෙන්න තිබුණා නේද?’ බිසව ඇසුවාය.

‘මන්ත්‍රිකමත් බාරගත්තු මම අගමැතිකම ලැබුණොත් බාර නොගනී කියලා ඔයා හිතනවද? මමත් ලක්ෂ පනස් තහරක ජනතාව තරම්ම මොඩයිද මෙයා’ කියා එවිට සාටක ඇසුවේය.

‘එහෙනම් එපා කීවේ’ බිසව ඇසුවාය.

‘එපා කිව්වෙ දෙන්නෙ නැති නිසා. බාරගන්නෙ නැහැ කීවේ බාරගන්න ලැබෙන්නෙ නැති නිසා’ සාටක පැහැදිලි කළේය.

‘බයගෝඨ මල්ලි බලයට ආවොත් පරණ විදිහටම වැඩ පටන්ගන්නවා කියල තිබුණ නේද?’ කියා බිසව ඇසුවාය.

‘එවිට සාටක කීවේ ‘මට ඇහුණෙ නැහැ’ කියාය.

පරණ වැඩ කියල ගෝඨා කීවේ, මවුපිය ස්මාරකද? රතුපස්වල ද? වතු ෆැලැට් කෙරිල්ලද?  තාජුදීන් කේස් ද? වැලිකඩ ද කියල හිතාගන්න අමාරුයි.’ බිසව කීවේ තමාටම කියාගන්නා සේය.

‘ඔය එකක්වත් නෙවෙයි. ඊළම් යුද්දේ’ රජා කීවේය.

‘කොහෙ තියෙන ඊළම් යුද්ධයක් ද අනේ! යුද්ධය නතර කළා කියල ඔයා කටුනායක ඔළුව ගහගත්තු හැටි අමතක වුණාද?’ බිසව ඇසුවාය.

‘අපි දැන් වැඩ කරගෙන යන්නෙ ඊළාම් යුද්ධයක් ඇති කරගන්න බව ඔයාට තේරෙන්නෙ නැද්ද?’ රජා ඇසුවේ කෝපයෙනි.

‘ඉතිං ඔයාට යුද්ධෙ ඉවර නොකර ඉන්න තිබුණා. එහෙනම් මමත් තාමත් අරලිය මල් පිපෙන මන්දිරේ නේද! ඒ සී කරපු ටොයිලට් මතක්වෙද්දි පපුව හෝස් ගානවා.’ බිසව කීවේ හොටු සූරන අතර ය.

‘කොහෙද අර ෆීල්ඩ් මාර්ෂලයා වැඩේ කෑවා. මම රටෙත් නැති අතරෙ යුද්ධෙ හමාර කළා. පුලතිසියත් ඕකට අනුබල දෙන්න ඇති. ඌනේ ඒ දවස්වල වැඩ බලාගත්තේ.’ සාටක රජා කීවේය.

‘ඔයාට තිබුණේ මාෂල්ට මාෂල් ලෝ දාන්න’ බිසව කීවේ කෝපයෙනි.

‘ඒකට ෆනිෂ්මන්ට් එකට තමයි මම ඌට ජම්පර් ඇන්දුවේ. ඔයා හිතන්නෙ ඡන්දෙට ආවා නිසා කියලද?’ සාටක රජා කීවේය.

‘ඔයා අද හෙටම රුසියාවෙ පුටින්ට කතා කරන්න’ බිසව කීවාය.

‘ආයෙ මොනව කතා කරන්නද මම කොළ බොක්කෙන්ම මිනිහට විෂ් පාරක් දැම්මා.’ සාටක කීවේය.

‘අද හෙට ම කතා කරල නැකත හදාගත්තෙ කාගෙන් ද කියල අහන්න. ඔයත් ලබන සැරේ ඒ නැකැත් රාළට කියල වේලාව හදාගන්න’ බිසව කීවාය.

‘පුටියා දින්නේ, නැකතේ හොඳකමට නෙමෙයි. ඌ වටේ ඇසිල් බැසිල්ලා, බය ගෝඨලා, ජාතියේ මලලා, ඩේසි ආච්චිලා උන්නෙ නැති නිසා’ කියා එවිට සාටක කීවේය.

‘ඔයාටත් තිබුණේ පුටින් වගේ කොටි දඩයමේ යන්න. අශ්ව පිටේ යන්න. එහෙම කළා නම් නැකත සවුත්තු වුණත් ආයෙත් මහරජාණෝ චරිතෙට පිවිසෙන්න තිබුණා’ යැයි බිසව කීවාය.

‘බුදු අප්පච්චියෝ මම කොටි දඩයමේ යන්න බයයි. මාවිල්මාරුවට හමුදාව යැව්වෙත් හක්ගෙඩියන්ගෙ කරදරේ හින්දා බව ඔයාම දන්නවා නේද?’ සාටක ඇසුවේය. ‘අනික පුටියා අස්ස පිටේ ගියාට මගේ කැමැත්ත නයිට් රේස් ම තමයි.’ සාටක කීවේය. දළදා මාළිගේ වටේ පදින්නත් තියෙනව නම් කන්න නැතත් කමක් නැහැ.’ තවදුරටත් විග්‍රහ කළේය.

උදයංග කාරයා අල්ලා ගත් ප්‍රවෘත්තිය රූපවාහිනියෙන් සාලයට කඩාපැන්නේ ඒ අතර වාරයේය. ඉස්සා සේ ඇස් විදා රූපවාහිනිය දෙස බලාසිටි සාටක, ‘බුදු ඩේසි ආච්චියේ’ කියා එළියට පැන්නා මිස නැවත පැමිණියේ නැත.

සාටක ගිය අතක් සිතාගත නොහැකි බිසව කල්පනා කළේ පුටින්ගේ නැකත් රාළගෙන් පේන අහනවාද සුමනයාට වැඩේ බර දෙනවාද කියාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *