විශ්වාස භංගය භංග වු විට – භාතිය බරුකන්ද

මේ පොදු තත්ත්වය තුළ අපට කැටතබා සහිතක විය හැකි වන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට එජාපයට හැකි වනු ඇති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ අප්‍රේල් 04 වැනිදායින් පසු ලංකාවේ දේශපාලනය කුමන ස්වභාවයක් ගනීද ? යන්නයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ශ්‍රීලනිපය – එජාප හවුල් ආණ්ඩු දීගය තව දුරටත් ඉදිරියට ගෙනයාම සඳහා සුදුසු මානසිකත්වයක් අප්‍රේල් 04 වැනිදායින් පසු පක්ෂ දෙකේ නායකයන් අතර සේම සෙසු පිරිස් අතර පවතීද යන්නයි.

වල් ඌරෝ කැකුණ තලන කොට හඹන් කුකුළන්ට රජ මඟුල් කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. මේ කතාව කැලේ සතුන්ට කෙසේ වෙතත් කැලේ නීතියෙන් රට පාලනය කළ හිටපු පාලකයන්ට නම් යස අපූරුවට ගැළපෙන බව පසුගිය කාලය තුළ මේ හිටපු පාලකයන්ගේ දේශපාලන භාවිතය ගැන විමසා බලන විට අපූරුවට පැහැදිලි වෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම සමඟ එජාප නායකත්වයට එරෙහිව සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවෙයි. මේ කුමන්ත්‍රණය පිටුපස යළි බලය අල්ලා ගැනීමට පිඹුරු පත් සකසමින් සිටින පරාජිත බලවේග සේම වත්මන් ආණ්ඩුව තුළ රාජපක්ෂවරුන්ගේ දේශපාලන අවශ්‍යතා සහ ආරක්ෂාව වෙනුවෙන් අප්‍රකටව ක්‍රියාත්මක වන කල්ලිය ද සිටි බව මේ වන විට අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඇතැම් ඇමැතිවරුන් ක්‍රියාකරන ආකාරයෙන් අපට ඉතාම පැහැදිලිව වටහා ගත හැකියි.

පසුගිය තෙවසර තුළ ආණ්ඩුවට එරෙහිව කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නොහැකි වූ ඒකාබද්ධ විපක්ෂය යළිත් තම උපරිම ශක්තිය යොදවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ ආණ්ඩුව තුළ සිටිමින් තම දේශපාලන අවශ්‍යතා නියෝජනය කරන කල්ලියේ පූර්ණ පිටුබලය සමඟ එජාපයේ මන්ත්‍රීවරු පිරිසකගේ තීරණාත්මක සහයෝගය විශ්වාසභංග යෝජනාවට ලැබෙනු ඇතැයි යන උපකල්පනය මත පදනම්වයි. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම සමඟ කණස්සල්ලට පත් එජාපයේ තරුණ බලවේගයේ වර්ණවත් චරිත වශයෙන් සැලකිය හැකි පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ ආදීන්ගේ ඇතැම් රැඩිකල් හා හැඟුම්බර ප්‍රකාශ ඒකාබද්ධ කල්ලියේ මේ අවස්ථාවාදී උපාය මාර්ගය කඩිනම් කිරීමට හේතුවක් වූ බව අපට පැහැදිලියි. “රත් වූ විට තලාගත යුතුයි” යන උපදේශය අනුව යමින් ඒකාබද්ධ විපක්ෂය ඊනියා විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ එජාපයේ බෙදීම යළි තම බල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දඩමීමා කරගත හැකි වනු ඇතැයි යන විශ්වාසය ඔවුන් තුළ පැවැති නිසයි.

ඒකාබද්ධයේ කඹ ඇදිලි

එහෙත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ වහාම ඒකාබද්ධ විපක්ෂයේ ගණන් බැලීම් නිවැරැදි නොවන බව වැටහී ගියේ ඒකාබද්ධ විපක්ෂය තුළින් පවා විශ්වාසභංග යෝජනාවට පූර්ණ එකඟත්වයක් ලබාගත නොහැකි වූ නිසයි. “මේ වෙලාවේ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ මොකටද ?” යැයි ඒකාබද්ධ විපක්ෂයේ සැලකිය යුතු පිරිසක් ප්‍රශ්න කළේ පසුගිය කාලය පුරාම හෝද හෝද මඬේ දාන විශ්වාසභංග කෙළියෙන් විඩාපත්ව සිටි නිසා බව පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ද හෙළි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ණ බලය වන මන්ත්‍රීවරු 95 දෙනාගේ සම්පූර්ණ සහයෝගය සහ ඒ වන විටත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බව ප්‍රකාශ කර සිටි ජවිපෙ මන්ත්‍රීවරුන් 06 දෙනාගේ සහාය ද ලැබුණත් විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතර බලය ලබාගත හැකි විකල්ප ක්‍රම ගැන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් අතර ද දැඩි අවිශ්වාසයක් පැවැති බවයි.

“විශ්වාසභංගයේදී තීරණාත්මක වන්නේ ශ්‍රීලනිපය හෝ ජවිපෙ සහාය නොවෙයි. දමිළ ජාතික සන්ධානයේ සහ එජාපයෙන් ලබාගත හැකි සහායයි. ඒ දෙක ගැනම කිසිඳු විශ්වාසයක් නැතිවයි මේක ඉදිරිපත් කළේ. අපි අතරේ පවා මේ ගැන පූර්ණ එකඟතාවක් තිබුණේ නැහැ. මොකද ශ්‍රීලනිපයේ වුණත් සම්පූර්ණ සහාය ගැන අපිට සහතික වෙන්න බැහැ. ජනාධිපතිතුමා බොහෝ විට මධ්‍යස්ථව සිටින බවයි අපේ ගණන් බැලීම වුණේ. ඒක නිවැරැදි බව මේ වන විට පැහැදිලිව පේනවා. ජනාධිපතිතුමා පැත්තක් නොගෙන ශ්‍රීලනිපය මන්ත්‍රීවරුන්ට නිදහසේ තමන්ගේ ඡන්දය භාවිත කරන්න අවස්ථාව දුන්නොත් සැලකිය යුතු පිරිසක් අගමැතිවරයාට සහාය දෙන බව දැන් පැහැදිලියි. අපි මුලින් බලාපොරොත්තු වුණ ආකාරයට එජාපයේ තරුණ කණ්ඩායමේ සහාය ලැබෙන්නේ නැහැ. ඔවුන් තත්ත්වය කළමනාකරණය කරගෙන තියෙන්නේ. ඒත් අපිට ආපස්සට හැරෙන්න බැහැ. හතරවැනිදා ඇතිවන තත්ත්වය ගැන දැනටමත් අපි දන්නවා. ඒත් මේක සංකේතාත්මකව අපි ලැබූ ජයග්‍රහණයක්”

විශ්වාසභංගයේ වත්මන් තත්ත්වය ගැන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙක් මේ ලියුම්කරු සමඟ විශ්වාසභංග යෝජනාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළේ කිසියම් කණස්සල්ලකින් යුතුවයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් වන අදහස ඉක්මවා ගිය බරපතළ තත්ත්වයක් ගැන පසුගියදා සිවිල් සමාජය විසින් ද ජනතාවගේ දැඩි අවධානය යොමු කළා. ඒ මේ පිටුපස තිබෙන “කඩාකප්පල්කාරී කුමන්ත්‍රණය” ගැනයි. එහිදී රාවය හිටපු කර්තෘ, නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන විසින් ඉතාම පැහැදිලිව අවධාරණය කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් පරාජය වන බව දැන දැනම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ යටි අරමුණ වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම බවයි. විශේෂයෙන් කඩිනම් අවශ්‍යතාවක් ලෙස සලකමින් අලුතින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මහාධිකරණ ත්‍රිත්වය සම්බන්ධ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම මෙමගින් ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වන බවයි.

සිවිල් සමාජය කියන කතාව

“මේ විශ්වාසභංග යෝජනාව හරහා සිදුවන දේ ඉතාම පැහැදිලියි. විශේෂ මහාධිකරණ ත්‍රිත්වය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරමින් ජී.එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ හදන්නේ මේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමටයි. ඒ සමඟ අපරාධ පරීක්ෂණවල යෙදී සිටින පොලිස් නිලධාරීන් ඇතුළු කණ්ඩායම්වලට අනියම් තර්ජනය කිරීමක්, බිය වැද්දීමක් මේ මගින් සිදුවෙනවා. කඩිනමින් සිදුවිය හැකි ආණ්ඩු මාරුවක් ගැන ඔවුන් බියට පත්වීම ස්වභාවිකයි. ඒ මගින් සිදුවන අගතිය අපට පැහැදිලියි. අගමැතිවරයා දඩමීමා කරගෙන මේ සිදුවන්නේ හොරු ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය තවත් වේශයකින් ආරම්භ කිරීමයි” සිවිල් සමාජ නායකයන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ තවත් පැතිකඩක් හඳුනාගෙන තිබෙන්නේ ඒ ආකාරයෙනුයි.

එජාපය ගත් ඓතිහාසික මඟ

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සඳහා තම සහාය නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 16කට හිමිකම් කියන දමිළ ජාතික සන්ධානය නිල වශයෙන් ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ද එජාපය සමඟ එක්ව විශ්වාසභංගයට මුහුණ දෙන බව සහතික කොට තිබෙනවා. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සහායකින් තොරව පවා එජාපය සමඟ මන්ත්‍රීවරුන් 123 දෙනෙකු සිටිනවා. එජාපය ඉතාම පැහැදිලිව අවධාරණය කරන්නේ කිසිදු එජාප මන්ත්‍රීවරයෙකු ඒකාබද්ධ විපක්ෂය විසින් ඇටවූ උඟුලේ නොවැටෙන බවයි.

පළාත් පාලන මැතිවරණයෙන් ලද පසුබෑම, අැමැතිධූර සම්බන්ධ අතෘප්තිමත්භාවය සහ පක්ෂ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ වාද විවාද මධ්‍යයේ එජාපය එකම ස්ථාවරයක රැඳී සිටීම ගැන එජාප පාක්ෂිකයන් තුළ මෙන්ම මේ අවස්ථාවාදී විශ්වාසභංගය පරාජයට පත්වනු දැකීමට කැමැති වෙනත් පාක්ෂිකයන් තුළ ද පවතින්නේ කෘතවේදී හැඟීමක් බව අපට දැකිය හැකියි.

“එජාපයේ තරුණ කණ්ඩායම මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන අපි අවංකව සතුටු වෙනවා. අපි පිළිගත යුතුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ පසුබෑම එජාප තරුණ මන්ත්‍රීවරුන් තුළ දැඩි කණස්සල්ලක් ඇති කිරීමට හේතු වුණා. තමන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් ආණ්ඩු බලය යළිත් රාජපක්ෂවරුන් අතට පත්වීමේ අවදානමක් ගැන බියක් ඔවුන් තුළ ඇතිවීම පුදුමයක් නොවෙයි. මොකද ඔවුන් මේ ආණ්ඩුව බලයට පත් කිරීමට දැඩි වෙහෙසක් වගේම අවදානමක් ගත්තා. රවි කරුණානායක වැනි ප්‍රබලයන් මේ කුමන්ත්‍රණයේ පහසු ගොදුරු බවට පත් වුණා. ඉතිං මේ තත්ත්වය තුළ යළි නැඟී සිටීම සඳහා වන උනන්දුවක් ඔවුන් තුළ ඇතිවීම ස්වභාවිකයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ එළියට ආවේ ඒ වුවමනාවයි. ඒක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි කැරැල්ලක් ලෙස අර්ථකථනය කළේ විපක්ෂ බලවේග විසින් මිස එජාපය විසින් නොවෙයි. එජාපය තුළ දැඩි ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව අපිත් පිළිගන්නවා. අගමැතිවරයාගේ ඇතැම් ස්ථාවරයන් හා බැඳීම් ප්‍රශ්නකාරී බව අපිත් පිළිගන්නවා. ඒත් ඒ සියල්ල නිවැරැදි විය යුත්තේ එජාපය ආරක්ෂා කරගෙන මිස එජාපය යළිත් රාජපක්ෂවරුන්ගේ රූකඩයක්, අතකොළුවක් කිරීම මගින් නොවෙයි. මේ තත්ත්වය තුළ යළිත් ප්‍රේමදාස යුගයේ වාගේ පක්ෂය තුළ දැවැන්ත බෙදීමක්, බල අරගලයක් සිදු නොවීම එජාපය පමණක් නොවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක්. මොකද ලලිත් – ගාමිණි විසින් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව ගැසූ කැරැල්ල මගින් එජාපයට කළ හානිය ගැන අපි කවුරුත් දන්නවා. මේ දක්වා එජාපයට රාජ්‍ය බලය සම්පූර්ණයෙන් දිනාගැනීමට නොහැකි වුණේ එදා සිදු වුණ බිඳ වැටීම නිසයි. මේ තත්ත්වයේ යම් යම් සෙවණැලි 1994 පරාජයෙන් පසුවත් අපට දැකිය හැකි වුණා. එජාපයට 1994 සිට දිගින් දිගටම පරාජයන්ට මුහුණදීමට සිදු වුණේ මේ එජාපය තුළ පැවැති ගැටුම් නිසි පරිදි කළමනාකරණය කරගැනීමට පක්ෂයට අවස්ථාවක් නොලැබීම නිසයි. යළිත් එවැනි තත්ත්වයක් සිදු නොවිය යුතුයි”

එජාපයේ මන්ත්‍රීවරුන් එකම ස්ථාවරයකට පැමිණ විශ්වාසභංගයට මුහුණදීම ගැන දේශපාලන විශ්ලේෂණයේ යෙදෙන කිහිප දෙනෙකු දැක්වූ අදහස්වල පොදු සාරාංශය වුණේ එයයි. මේ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයන් පමණක් නොවෙයි දේශපාලනය ගැන සංවේදී සාමාන්‍ය ජනතාව පවා දක්වන්නේ පොදු අදහසක්. එහිද පොදු හරය වන්නේ එාජාපය එකාවන්ව මේ අසීරු අවස්ථාවේ ක්‍රියාත්මක වීම පක්ෂයක් වශයෙන් සේම ආණ්ඩුවක් වශයෙන් ද ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ සැලසුම් සියල්ල මේ වන විට ව්‍යර්ථ වෙමින් තිබෙනවා. විශ්වාසභංගය ගැන ඒකාබද්ධ විපක්ෂය තුළ පවා පොදු අදහසක් නැහැ. අනෙක් අතින් මෙහි තාක්ෂණික වගේම නෛතික ගැටලුත් රැසක් තිබෙන බව මේ වන විට හෙළි වෙලා තිබෙනවා. ඔවුන්ගේ කලබලය හා නොදැනුවත්කම නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා පිළිගන්න බැහැ. ඔවුන් මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඉතාම සංවිඥානිකව. සැලසුම්සහගතව. ඒත් එයත් පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසු අගමැතිවරයා ඉවත් කිරීමේ උත්සාහය වාගේ තාක්ෂණිකව වගේම දේශපාලන යථාර්ථය අනුවත් ගැළපෙන්නේ නැහැ. ඔවුන් කාලයක් පුරා මේ මුට්ටි සෙල්ලම කරන්නේ වෙනත් අරමුණකින්. ඒ කිසිවක් නිසා නොවෙයි රාජ්‍යය අසාර්ථක කරමින් ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වෙලා තිබෙන දැවැන්ත අපරාධමය නඩු විභාග පමා කර ගැනීම, ඒ යාන්ත්‍රණ බිය වැද්දීම. ඒ පටු හා අවස්ථාවාදී අරමුණුවලින් තොරව ඔවුන්ට ඉදිරි පැවැත්මක් නැහැ. මේ තත්ත්වයන් අපිට ඉදිරියේදීත් බලා ගන්න පුළුවන්” වත්මන් දේශපාලන ප්‍රවණතා ගැන විමසිල්ලෙන් සිටින දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් තත්ත්වයේ පොදු සමාලෝචනය ගොනු කරන්නේ ඉහතින් සඳහන් කළ ආකාරයෙනුයි.

විශ්වාසභංගයෙන් පසු

මේ පොදු තත්ත්වය තුළ අපට කැටතබා සහිතක විය හැකි වන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට එජාපයට හැකි වනු ඇති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ අප්‍රේල් 04 වැනිදායින් පසු ලංකාවේ දේශපාලනය කුමන ස්වභාවයක් ගනීද ? යන්නයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ශ්‍රීලනිපය – එජාප හවුල් ආණ්ඩු දීගය තව දුරටත් ඉදිරියට ගෙනයාම සඳහා සුදුසු මානසිකත්වයක් අප්‍රේල් 04 වැනිදායින් පසු පක්ෂ දෙකේ නායකයන් අතර සේම සෙසු පිරිස් අතර පවතීද යන්නයි. පළාත් පාලන මැතිවරණ සමයේ පළුඳු වූ එජාප – ශ්‍රීලනිප විශ්වාසය හා ගරුත්වය යළි යථා තත්ත්වය පත් කිරීම සඳහා විශ්වාසනීය හා ඵලදායී වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබුණත් එය සිදු වුණේ නැහැ. ඒ වෙනුවට එජාපයට හා ජනාධිපතිවරයාට අවස්ථාවාදී බලවේග, අන්තවාදී බලවේග සමඟ නිමක් නැති ගැටුම්වලට මැදිමත් වීමට සිදු වුණා. විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව සංවිධානාත්මකව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය වගේම ඊනියා විශ්වාසභංගය හමුවේ මේ දේශපාලන සංහිඳියා උත්සාහයන් තාවකාලිකව යටපත් වුණා.

අනෙක් අතින් වත්මන් දේශපාලන බලයේ තීරණාත්මක නියෝජනය වන ජනාධිපතිවරයාට වත්මන් දේශපාලන කැළඹිලි දැඩි පීඩනයක් නිර්මාණය කර තිබෙනවා. ඒ 2015 ජනවාරි 08 දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වගකීමක් මෙන්ම වැඩි වගවීමක් ද තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වීම නිසයි. නෛතිකව මෙන්ම සදාචාරාත්මකව ද සමස්තය වෙනුවෙන් ජනතාවට වගකිව යුතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඒ තත්ත්වය තුළ රාජ්‍යයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා වගේම කැබිනට් මණ්ඩලයේද ප්‍රධානියා වශයෙන් සියලු පාර්ශ්වයන්ගෙන් සහායක් සහ අනුබලයක් ජනාධිපතිවරයාට හිමිවිය යුතුයි. එහෙත් ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාම දැඩි කණස්සල්ලෙන් පවසන්නේ ඒ සඳහා වන සහයෝගයක් ආණ්ඩුව තුළින්, විශේෂයෙන් අගමැතිවරයා වෙතින් තමන්ට නොලැබෙන බවයි. ආර්ථික හා පරිපාලන තත්ත්වයන් හමුවේ මේ තත්ත්වය වඩාත් ප්‍රකට වෙමින් තිබෙන බවක් මුළු රටට ම පොදුවේ දැකගත හැකියි. මේ තත්ත්වය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි. ඒ තත්ත්වය කඩිනමින් කළමනාකරණය කරගත නොහැකි වුවහොත් පශ්චාත් විශ්වාසභංග සමය තවදුරටත් දේශපාලන ආතතියෙන් සහ කැළඹීම්වලින් ගහන සමයක් වේවි.

අනෙක් කාරණය වන්නේ පශ්චාත් විශ්වාසභංග සමය තුළ ශ්‍රීලනිප – එජාප දේශපාලන ආතතිය තව දුරටත් සංකීර්ණ විය හැකියි. එය ඉතාම ඍජුව එජාපයේ හා ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් අතර සංකීර්ණ ගැටුමක් බවට පත්විය හැකියි. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් සම්බන්ධයෙන් මේ තත්ත්වය වඩාත් ප්‍රබල විය හැකි බවයි දැකිය හැකි වන්නේ. මේ තත්ත්වය ද කළමනාකරණය කරගැනීමේ අභියෝගය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ අභියෝගාත්මක ප්‍රශ්නයක් විය හැකියි.

එජාපයේ ප්‍රතිසංස්කරණය පශ්චාත් විශ්වාසභංග සමයේ තීරණාත්මක අභියෝගයක් වන බවත් පැහැදිලියි. කාලයක් පුරා දේශපාලන පාපන්දුවක් බවට පත්ව තිබෙන මේ අර්බුදය සියලු පාර්ශ්වයන්ගේ තෘප්තිය පිණිස කළමනාකරණය කරගැනීමට එජාපයට ලැබෙන අවසන් අවස්ථාව වශයෙන් ද මේ අවස්ථාව සැලකිය හැකියි. එසේ කරගත නොහැකි වුවහොත් තීරණාත්මක මැතිවරණ අවස්ථාවකදී මේ අසහනය දේශපාලන කාලබෝම්බයක් වීම නොවැළැක්විය හැකියි.

අවසාන වශයෙන් ඒකාබද්ධ විපක්ෂයට තවත් පුස් වෙඩිල්ලක් පත්තු කළ විට ලැබෙන පුහු ඝෝෂාවෙන් තෘප්තිමත් වීම හැර වෙනත් කිසිවක් නොලැබෙනු ඇති බවක් බැලූ බැල්මට පෙනී ගියත් ඔවුන් මේ පුස් වෙඩි හරහා ඇති කරන දේශපාලන හා සමාජයීය කම්පනය නම් නොතකා හැරීමට කිසිවෙකුට නොහැකි වේවි. ඒ නිසා ඊනියා ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව යළි කෙළිබිමක් කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට එජාප – ශ්‍රීලනිප නායකත්වයට වගබලා ගැනීමට සිදු වේවි. විශ්වාසභංගය ජයග්‍රහණය කළත් එය කල්පවතින සැබෑ දේශපාලන ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට හැකි වනු ඇත්තේ මෙවැනි අවංක හා ඵලදායී ප්‍රවේශයකින් පමණයි.

සටහන

 භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *